මම මුලින්ම මතක් කරන්න යන්නේ දුක ඇතිවෙන්නේ තණ්හාව නිසයි, තණ්හාව නැතිවුනොත් දුක නැතිවෙනවා. ඒ තණ්හාව නැතිවෙන්නේ අවිද්‍යාව නැමති වැස්ම දුරු වුනොත්. අවිද්‍යාව නැමති වැස්ම දුරු වෙන්නේ විද්‍යාව නැත්තම් සම්මා දිට්ඨි, නැත්තම් ඇත්ත ඇති හැටිය දැක්කොත්. ඒ නිසා මොකක්ද ඇත්ත ඇති හැටිය දැක්ක යුත්තේ කියන කාරණාවයි පෙන්වන්නේ. ඇත්ත ඇති හැටිය දැක්ක යුත්තේ වෙන කොහෙවත් නෙමෙයි අපි සියළු දෙනාගේ ජීවිතය මුල් කරගෙන පවතින ස්පර්ශ ආයතන හයේ. ස්පර්ශ ආයතන හය කියල කියන්නේ ඇහැට රූපයක් පෙනෙන, පෙනෙන රූපය සිහිවෙන තැන සිහි නුවණ යෙදිය යුතුයි ඇත්ත දැක්ක යුතුයි. කනට ශබ්දයක් ඇහෙන අවස්ථාවේ හා අහපු දේ සිහි කරන අවස්ථාවට ඒ වගේම නාසය-ගන්ධය, දිව-රස, කය - පොට්ඨබ්බ, මන- ධම්ම කියන මේ ආයතන පරිහරණය කරනකොට හා ඒවායෙන් ගත්ත අරමුණු සිහි කරන අවස්ථාවට ඒ අරමුණු එක්ක පවතින සැබෑම ඇත්ත ඇති හැටිය අපි දැක්ක යුතුයි. ඒ ඇත්ත දැක්කහමයි තණ්හාව නැතිවෙන්නේ.
හොඳයි අපි බලමු ඉස්සෙල්ලාම ටිකක් සම්මර්ශනය කරලා ඇහෙන් පෙනෙන රූපයක් ගැන, ඒ පෙනෙන දේ ගැන මෙනෙහි කරලා අපිට අරමුණක් ඕනේ නිසා අපි පහසු අරමුණක් ගමු. ඔබට මෙතන ඉඳල සිහිපත් කරන්න පුළුවන් තමන්ගේ අම්මා, තාත්තා, අයියා, අක්කා, දුවා, පුතා, සහෝදරයෝ නෑදැයෝ ඕනේ තරම් අය,දේවල් සිහිපත් කරන්න පුළුවන්. ඒ සිහිපත්වන අරමුණු අතර තමන්ට ඇලීමට බැඳිමට ආසාව ඇතිවීමට හේතුවෙන අරමුණු තියෙනවා වගේම තමන් කෙරෙහි අප්‍රිය අමනාප ගැටීම් ඇතිකරවන අරමුණුත් තියෙනවා. ඒ වගේ වෙලාවට මේ ප්‍රශ්නය විසදන්න තියෙන්නේ එකම එක තැනකින්. ඇලෙන අරමුණෙ ඇලෙන්නේ නැතුව ගැටෙන අරමුණෙ ගැටෙන්නේ නැතුව ඒ අරමුණෙ තතු විමසිය යුතුයි. සම්මා දිට්ඨි කියල කිව්වේ ඇත්ත දැක්ක යුතුයි. විදර්ශනා කියල කියන්නෙත් ඒක. තමන්ට මේ වගේ දැනුමක් ඇතිවුනේ කොහොමද කියන කාරණාව මෙනෙහි කලයුතුයි. ඒ අරමුණ ඇත්ත වෙලා ඒ අරමුණට උත්තර සැපෙව්වා කියල මේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ. අපිට දරුවා කියන එක සිහිවෙලා දරුවා කියන එක ඇත්ත වෙලා දරුවා කියන එක සිහිවුනේ මනසින්නේ ඒ මනෝ ස්පර්ශය නැතිවෙනකොට නැතිවෙනවා නේද කියල බැලුව කියල ඒ වැරැද්ද ඇති කරපු හේතුව නැතිවෙන්නේ නැහැ.
හැමවෙලාවෙම කටයුතුයි යම් දැනුමක් තමන්ට ඇතිවුනේ කොහොමද කියන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපි මතක් කළා මෙහෙම ඉන්නකොට අම්මා තාත්තා,දුවා දරුවා ගෙවල් දොරවල් ගැන සිහි කල හැකියි කියල. මේ සිහින්කරන්න පුළුවන්කම අපිට ඇතිවුනේ කොහොමද, මොකක් හරි ඇතිවෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනෙනේ. දැන් මෙතන ඉඳල අපිට ගෙදර ඉන්න කෙනෙක් ගැන සිහි කරන්න පුළුවන්. සිහි කරලා ඇලෙන බව, ගැටෙන බව පැත්තකින් තබන්න. ඇලෙන්න ගැටෙන්න ඉස්සෙල්ලා මෙහෙම සිහි කරන්න පුළුවන්කම අපිට ඇති වුනේ කොහොමද කියන එක සෙවිය යුතුයි. එහෙම හොයන්න ගියහමයි අවිද්‍යාව නැතිවෙන්නේ, විද්‍යාව පහල වෙන්නේ. එතකොට තමයි මේ වැරැද්ද හමුවෙන්නේ. මෙතන ඉන්න ඔබට ඔබේ අම්මා සිහිවෙනවා.සමහරවිට ජීවත්වෙනවා වෙන්න පුළුවන් එහෙම නැත්තම් මිය ගිහින් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ අරමුණෙ ස්වභාවය එකමයි, වැස්ම තුල යථාර්තය එකමයි.
වර්තමානයක වේවා, අතීතයක වේවා, අනාගතයක වේවා තණ්හාවට ආහරය එකම තැනක තියෙන්නේ. අම්මා සිහි වෙනකොට අම්මා ගෙදර ඉන්නවා කියල සිහිවෙන්න පුළුවන්, එහෙම නැත්තම් අනේ අම්මා මැරිලානේ කියල හිතෙන්න පුළුවන්, නැත්තම් අම්මාව බලන්න යන්න පුළුවන්නේ කියල හිතෙන්න පුළුවන් කියන අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලයකම ඔබට අම්මා හම්බ වෙයි. දැන් ඔබට අම්මා කියන අරමුණ සිහිවෙනකොට ඒ අරමුණත් එක්ක දුක් වෙන්නෙත් නැතුව සතුටු වෙන්නෙත් නැතුව අම්මව සිහිපත් කරන්න පුළුවන් දැනුමක් ඇතිවුනේ කොහොමද මට කියල විද්‍යාවෙන් යුක්ත විය යුතුයි. යම් ක්‍රමයක් තියෙන්න ඕනෙනේ මේ අම්මා කියන දැනුම ඇතිවෙන්න ඒ හේතුව සෙවිය යුතුයි. එබඳු වූ නුවණින් යුක්තව ඔබ මේ අරමුණෙ මුලට යා යුතුයි ආපහු. අම්මා කියල ජීවිතයට දැනුම එකතු වෙච්ච මුලට යා යුතුයි. අපි අම්මා කියල හිතාගෙන ඉන්න රූපය තියෙන තැනට සිහි නුවණ අරගෙන ගිහිල්ලා හොඳට ඒ රූපයේ යථාභූත ස්වභාවය හිතට පෙන්වන්න ඕනේ.
යථාභූත ස්වභාවය කියල කියන්නේ ඇත්ත ඇති හැටිය වූ දේ වූ පරිදි පෙන්වන්න ඕනේ. ඒ රූපේ තියෙනවා කෙස්. කෙස් කියන්නේ ඒ රූපේ තියෙන පඨවි ධාතු ස්වභාවයක්. පඨවි කියන්නේ තද ස්වභාවය. බාහිර ගස්වැල් වල තියෙන තද ස්වභාවය, ගලක තියෙන තද ස්වභාවය සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ නෙමෙයි. ඒක ධර්මතාවයක්. එබඳු ස්වභාවයක් තමයි කෙස්, එබඳු වූ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියල පඨවි කොටස් විස්සක් ඒ ශරීරයේ තියෙනවා. හොඳට ඒ ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස් ටිකේ තද ලක්ෂණය හිතට අරගෙන බාහිර ධර්මයන්ගේ තියෙන ධාතුවට සම කරලා බලන්න ඕනේ. පෙන්නන්නටම ඕනේ. එතකොට තමයි ගස්වැල් වල තියෙන තද ස්වභාවය කෙනෙක් පුද්ගලයෙක් නොවෙනවා වගේ ඒ ශරීරයේ තියෙන තද ගතියෙන් යුක්ත කොටස් විස්ස කෙනෙක් නෙමෙයි.
ඊටපස්සේ ඒ රූපේ තිබුන පිත, සෙම, සැරව, ලේ, දහඩිය කියන මේ වගේ ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයෙන් යුක්ත මේ වගේ ආපෝ කොටස් දොළහක්. බාහිර ළිං වැව් පොකුණු වල තියෙන ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයට කියනවා ආපෝ කියල. අපි ජලය කියල කියනවා නමුත් ජලය කියන තැනට වඩා අපෝ කියන්නේ ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයට. ළිං වැව් පොකුණු වල තියෙන ආපෝ ඒ කියන්නේ ඇලෙන බැඳෙන වැගිරෙන ස්වභාවය පුද්ගලයෙක් සත්වයෙක් නෙමෙයි වගේ පිත ටිකක් ගත්තොත් සෙම ටිකක් ගත්තොත් සැරව ටිකක් ගත්තොත් ලේ ටිකක් ගත්තොත් කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. (මේ අහල තියෙන දේවල්මනේ කියන්නේ කියල හිතන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න). ඊටපස්සේ ඒ ශරීරයේ තියෙනවා කනබොන ආහාරපාන දිරවන, ශරීරයේ ඉන්ද්‍රීය මුහුකුරවන, ශරීරයේ පැවැත්මට උපකාරිවෙන උෂ්ණ ස්වභාවයක්. ඒ උෂ්ණ ස්වභාවයට පාලියෙන් කියන්නේ තේජෝ කියල. බාහිර හිරු රශ්මිය, ගිනි ගොඩක් හෝ පහනකින් එන රස්නයක් තියේ නම් බලන්න සත්වයෙක් පුද්ගලයෙක් නෙමෙයි. එබඳු වූ සත්ව පුද්ගල නොවන උෂ්ණ ස්වභාව, තේජෝ ස්වභාව හතරක් තමයි ඒ රූප මිටියේ තිබුනේ.
(අපි මේ විමසන්නේ අම්මා කියල දැනුම ආපු හැටි.). අම්මගේ කියල හිතන රූප මිටිය අපි මේ නුවණින් මෙනෙහි කරනවා. ඒ රූපේ තියෙනවා වායෝ කොටස් හයක්. උද්ධංගම වාතය, අධෝගම් වාතය, කුච්ඡීත වාතය, කොට්ඨාස වාතය, අංගමන්ගානුසාරි වාතය, ආස්වාස ප්‍රශ්වාස වාතය කියල මේ වායෝ ධාතුව නම් කරලා තියෙන්නේ කරන වැඩ වලින්. මළ මුත්‍ර බැහැර කරන්න උපකාරිවෙන වාතයට අධෝගම් වාතය, ඉක්කාව ඔක්කාරය එන වාතයට උද්ධංගම වාතය, කනබොන ආහාර පෙරලන්න හේතුවෙන වාතය කොට්ඨාස වාතය, බඩවැල් දරන එහාට මෙහාට කරන බඩ අතුලේ තියෙන වාතය කුච්ඡීත වාතය, අතපය දිගහරින්න හකුළුවන්න උපකාරිවෙන වාතය අංගමන්ගානුසාරි වාතය., ආශ්වාස ප්‍රශ්වාස වාතය කියල වායෝ කොටස් හයක් තියෙයි. බාහිර ගස්වැල් සොලවමින් උදුරමින් හමන සුළඟ පුද්ගලයෙක් සත්වයෙක් නොවෙනවා වගේ ඒ වායෝ කොටස් හයත් පුද්ගලයෙක් සත්වයෙක් නෙමෙයි ධර්මතාවයක්.
අපි ඒ රූප මිටිය හොඳට විමර්ශනය කලහම පඨවි ආපෝ තේජෝ වායෝ කියල කොටස් හතරක් අපිට හම්බවුනා. අවකාශ ධාතුව අහුරාගෙන රාශි වෙච්ච සතර මහා ධාතු රූප මිටිය අපේ ඇස් ඉදිරිපිටට ආවේ. ඇස් ඉදිරිපිටට රූපයක් ආවහම හැඩ සටහනක්, වර්ණ ස්වභාවයක් පෙනෙනවා කියන එක ධර්මතාවයක්. ඒ හැඩ සටහනක් වර්ණ ස්වභාවයක් පෙනෙන බවට කියනවා රූප සංඥාව කියල. ඇහැට ඔබ්බෙන් තියෙන රූපය හොඳට විමර්ශනය කලහම පංච මහා භූතයි. පඨවි ආපෝ තේජෝ වායෝ, අවකාශ කියන මේ පහ තමයි තියෙන්නේ. එබඳු වූ රූපයක් ඇස් ඉදිරිපිටට එනකොට හැඩ සටහනක් වර්ණ සටහනක් පෙනෙයි ඒකට කියනවා රූප සංඥාව කියල. මේ රූපය බඳුම සංඥාවත් අනාත්මයි. රූපය අනාත්ම නිසා සංඥාවත් අනාත්මයි. මේ පෙනෙන සංඥාවට මේ මගේ අම්මා නේද කියල හිතුවහම, මගේ අම්මගේ නම මේකයි කියල හිතුවහම ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට අපි හිතපු විස්තරයත් එක්ක අර හැඩ සටහන විඤ්ඤාණයේ අත්දැකීමට දෙනවා මේ හැඩය අම්මගේ කියන දැනුමක් අපිට ඇතිවෙනවා.
ඇස් ඉදිරිපිටට ආපු රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි, අවකාශ ධාතුව අහුරාගෙන තියෙන්නේ. එබඳු රූපයක් විතරයි ඇස් ඉදිරිපිටට එන්නේ. ඒ නිසා පෙනෙන හැඩ සටහනට කියනවා රූප සංඥාව අනාත්මයි. අනාත්මයි කියන්නේ සත්වයෙක්ගේ පුද්ගලයෙක්ගේ නොවූ ධර්මතාවයක්. ඔන්න ඇහෙන් එපිට බාහිර පුද්ගලයෙක් ඉන්නවා නෙමෙයි. ඒ සංඥාව අරඹයා අම්මා කියල හිතුවොත් එහෙම නැතිනම් ප්‍රඥප්තියක් අවශ්‍ය නැහැ කෙනෙක් පුද්ගලයෙක් කියල විදිහකින් ඊට නැඹුරු වෙලා හිත හැසිරෙව්වොත් තමන්ගේ හිත යම් විදිහකටද ඒ හැඩය එක්ක හසුරුවන්නේ ඇස් ඉදිරිපිටින් ඒ රූපය අයින් වෙනකොටම ඒ හැඩය, ඒ සංඥාව අරගෙන මනෝ විඤ්ඤාණය උපදිනවා අපේ අර හිතේ හැසිරීමත් එකතු කරලා. ඔන්න දැන් මට සිහි කරන්න පුළුවන් ඒ දැකපු දේ. දකින වෙලාවේදී ඒ පෙනෙන හැඩ සටහනට අම්මා කියල නම් හැසිරුනේ සිහි කරනකොට අම්මා කියන හැඟීමත් ඒකෙ තියෙයි. ඔබ ප්‍රඥප්තියකින් තොරව කැමැත්ත ඇතිවෙන විදිහට නම් ඒ නිමිත්තේ හැසිරුනේ ඒක සිහි කරනකොට ඒ කැමැත්තෙ ගතියත් එක්කමයි සිහි වෙන්නේ.
ඇහැට පෙනෙන රූ සටහනේ ඔබ අකමැත්තෙන් නම් හැසිරුනේ ඒ නිමිත්ත මනෝ විඤ්ඤාණයෙන් සිහි කරනකොට අකැමැති ගතියත් එක්කමයි සිහිවෙන්නේ. දැන් ඔබට අම්මා කියන දැනුමක් කැමැත්ත ඇතිවෙන්න හෝ අකැමැත්ත ඇතිවෙන්න තියෙනවා. මෙන්න මේ අම්මා කියන දැනුම ඔබට ඇතිවුනේ ඔබේම අවිද්‍යාවේ කෘත්‍යයක් හැටියට. ඔබ දන්නේ නැහැ ඇස් ඉදිරිපිටට ආපු සතර මහා ධාතු රූපයක් නිසා පහල වෙන හැඩයක් නේද, මේ අරඹයා මොන විදිහකට හෝ හිත හැසිරුවොත් ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට මගේ හිතේ තියෙන ගති ටිකත් එකතු කරලා මනෝ විඤ්ඤාණයෙන් එහෙම නැතිනම් සිතින් ආපහු ඔසවලා ගන්නවා ඒක මගේ මනසේ තුල හැපී හැපී පවතිනවා නේද කියල ඔබ දන්නේ නැහැ. ඔන්න ඕක තමයි අවිද්‍යාව. මේ ලෝකයාට හොයාගන්න බැරි. මෙන්න මේ ස්වභාවය ඔබ නොදන්නකොට මනසෙන් සිහි වුනහම (ඇත්ත නොදන්නකමෙන් වැරදි හැසිරීම නිසානේ දැන් මනසේ සිහි වුනේ) සිහි කරනකොට ඔබ හිතන්නේ දැකපු දේයි සිහිවෙන්නේ කියල. ඊගාවට දකිනකොට හිතපු දේ ආයේ සිහිවෙනවා.
මෙන්න මේ අරමුණ ඇතිවෙන හැටි නොදන්නාකමයි තණ්හාවට ඉඩ තියෙන්නේ. ඔබ අම්මා කියල බොහෝ සෙයින් තණ්හාව ඇතිවෙන විදිහට හැසිරෙන්නේ නැහැ බාහිර තියෙන අනාත්ම වූ සතර මහා ධාතුව නිසා අනාත්ම සංඥාවක් පේන්නේ. ඒ අරඹයා මේ මගේ අම්මා නේද කියල හිතලා ඒ විදිහට හැසිරුනොත් නිමිත්ත මනසෙන් ඔසවලා අරගෙන සිහි කර කර පවතිනවා කියල දැනගත්තොත් ඔබ දන්නවා තමන්ම කෙනෙක්ව හදාගෙන කෙනෙක් එක්ක ඇලෙන ගතියක් මේ සිතේ තියෙන්නේ නේද කියල එහෙම වුනොත් ඒක දිගට යන්නේ නැහැ. නමුත් සිහි කරනකොට ඒ සිහි කරන මනසට අරමුණ ඇතිවෙච්ච හැටි නොදන්නාකම ඇතිතාක් ඔබ සිහි කරන කෙනා හෝ දේවල් සතර මහා ධාතුවට අයිති කියන අදහසයි ඔබේ තියෙන්නේ. සතර මහා ධාතු රූපය තියෙන තැනට ඔබේ මනස යොමු කරනවා. එතකොට ඔබට බාහිර ඉන්න කෙනෙක් තියෙන කෙනෙක් හම්බවෙනවා. ඒ ඉන්න කෙනා තියෙන කෙනෙක් ගැන කැමැත්ත ඇතිවෙන තාක් හිතනවා, අකැමැත්ත ඇතිවෙන තාක් හිතනවා.
මෙන්න මේ හිතීම මතයි තණ්හාව බොහෝ සෙයින් වැඩිවෙන්නේ. ඒ නිසයි දුක ඇතිවෙන්නේ. දුක ඇති කරන තණ්හාව නැමති හේතුව හැදෙන තැන දක්වා වර්ධනය වෙන්නේ අරමුණක ඇතිවෙන ස්වභාවය නොදන්නාකමයි. ඔය වූ දේ වූ විදිහට නොදැන වෙන දුක නැති කරන්න යන්න දශමයකවත් තැනක් නැහැ.වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මීට එහා සත්‍යයක් නැහැ. ඔබේ මනසේ උපදින නිමිත්තට මොන විදිහට ප්‍රතිකර්ම කලත් හරියන්නේ නැහැ. ඒකෙ ඇතිවීම බැලුවත් හරියන්නේ නැහැ, නැතිවීම බැලුවත් හරියන්නේ නැහැ, ඇතිවීම නැතිවීම දෙකම බැලුවත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ නිමිත්ත ඇත්ත වෙලා. ඒකෙන් මතක් කලේ මේ මනෝ සම්ඵස්සය නිසා හටගත්ත එකක් නේද කියල බැලුවත් වැඩක් නැහැ මනෝ සම්ඵස්සය නැතිවෙනකොට නැතිවෙනවා කියල බැලුවත් වැඩක් නැහැ අවිද්‍යාව හිඳෙන්නේ නැහැ. අවිද්‍යාව නැතිවෙන්නේ ඇලෙන අරමුණ ඇතිවුනේ කොහොමද කියන විමසීමෙන්මයි. අකැමැත්ත ඇතිවෙන, ගැටීම ඇතිවෙන අරමුණ ඇතිවුනේ කොහොමද කියන එක විමසීමෙන්මයි අවිද්‍යාව නැතිවෙන්නේ.
මතු සම්බන්ධයි...
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2017.03.18 දින බලංගොඩ දී සිදු කරනලද පළමු දේශනාව ඇසුරෙන්
සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට
http://www.mediafire.com/file/13z4cd92b8h1bka/2017-03-18_Balangoda_1_Morning_Deshana.mp3
දෙවන දේශනාව ශ්‍රවනය කිරීමට
http://www.mediafire.com/file/u9a630657jh593r/2017-03-18_Balangoda_2_Bhavana_Upades.mp3
තුන්වන දේශනාව ශ්‍රවණය කිරීමට
http://www.mediafire.com/file/cpsbqfkygk85t6g/2017-03-15_Balangoda_Discussion.mp3
Showing posts with label චතුරාර්ය සත්‍ය. Show all posts
Showing posts with label චතුරාර්ය සත්‍ය. Show all posts
10/23/17
3/24/17
දුක්ඛ ආර්ය සත්‍යයේ ද්වාදසාකාරය
“තත්ථ කතමං දුක්ඛං අරියසච්චං? ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොක පරිදෙව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.” මෙය අභිධර්ම පිටකයෙහි විභඞ්ග ප්‍රකරණයෙහි සච්ච විභංග සුත්තන්ත භාජනීයයෙහි දුඃඛාර්‍ය්‍ය සත්‍යය දැක්වෙන පාඨයයි.
(1) ජාතිය,
(2) ජරාව,
(3) මරණය
(4) ශෝකය,
(5) පරිදේවය,
(6) දුක්ඛය
(7) දෞර්මනස්‍යය
(8) උපායාසය
(9) අප්‍රිය සම්ප්‍රයෝගය,
(10) ප්‍රිය විප්‍රයෝගය
(11) කැමැති දෑ නොලැබීම,
(12) පඤ්චෝපාදානස්කන්ධයෝ ය යන මේ දොළස දුඃඛාර්‍ය්‍ය සත්‍යය බව මෙයින් දක්වනු ලැබේ.
1. ජාති දුක්ඛය
‘ජාති’ යන මේ වචනය අර්ථ රාශියක් දෙන වචනයෙකි. මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි එයින් අදහස් කරනු ලබන්නේ භවයෙහි පළමු කොට ඉපදීම යන අර්ථය යි. එයින් ද කියැවෙනුයේ, මව්කුස පිළිසිඳ ගන්නා වූ සත්ත්වයන්ගේ පිළිසිඳීමේ පටන් බිහිවීම දක්වා ඇත්තා වූ ද අවශේෂ සත්ත්වයන්ගේ ප්‍රතිසන්ධික්ෂණයෙහි පහළවන්නා වූ ද ස්කන්ධයෝ ය. ඒ ජාතිය දුක් වනුයේ නොයෙක් දුක් වලට හේතු වන බැවිනි.
දුඃඛය වනාහි දුඃඛ දුඃඛය, විපරිණාම දුඃඛය, සංස්කාර දුඃඛය, ප්‍රතිච්ඡන්න දුඃඛය, අප්‍රතිච්ඡන්න දුඃඛය, පර්‍ය්‍යාය දුඃඛය, නිෂ්පර්‍ය්‍යාය දුඃඛය යි අනේකාකාර වේ.
එහි හිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම යනාදි ශරීරයෙහි හටගන්නා වූ වේදනාවෝ ද ප්‍රිය වස්තු විනාශාදියෙන් සිත්හි හට ගන්නා වේදනාවෝ ද දුඃඛ දුඃඛ නමි. සුඛ වේදනාව හෙවත් සිත කය දෙක්හි හට ගන්නා සුවය නැති වී යාමෙන් දුක් වන බැවින් විපරිණාම දුඃඛ නමි. උපේක්ෂා වේදනාව හා අවශේෂ ත්‍රෛභූමික සංස්කාරයන් උදයව්‍යය දෙකින් (ඉපදීම බිඳීම දෙකින්) පීඩිත වන බැවින් සංස්කාර දුඃඛ නමි. කන් කැක්කුම, දත් කැක්කුම, රාගය නිසා වන තැවීම්, ද්වේෂය නිසා වන සිත් තැවීම් ආදිය නො කියා නො දත හැකි බැවින් උපක්‍රමයක් ද නො පෙනෙන බැවින් ප්‍රතිච්ඡන්න දුඃඛ නමි. වැසී පවත්නා දුකය යනු එහි තේරුමයි. දඬු මුගුරු වලින් ගැසීම්, පිහියෙන් ඇනීම්, කඩුවෙන් ගැසීම් ආදියෙන් වන්නා වූ දුඃඛය නො කියා ම දත හැකි බැවින් ද, උපක්‍රමය ප්‍රකට බැවින් ද අප්‍රතිච්ඡන්ද දුඃඛ නමි. ප්‍රකට දුකය යනු එහි තේරුමයි. දුඃඛ දුඃඛය හැර සත්‍යය විභංගයෙහි දැක්වෙන ජාත්‍යාදි සියල්ල ඒ ඒ දුක්වලට වස්තු වන බැවින් පර්‍ය්‍යාය දුඃඛ නමි. දුඃඛ දුඃඛය නිෂ්පර්‍ය්‍යාය දුඃඛ නමි.
ජාතිය දුකය යි කියන ලදනමුත් හුදු ඉපදීම් මාත්‍රය ම දුකෙක් නො වේ. නරකාදි සතර අපායෙහි ඇත්තා වූ යම් මහත් වූ දුකෙක් වේ නම් ඒ දුක ද සුගතියෙහි ගර්භාවක්‍රාන්ති මූලක දුඃඛාදි යම් දුකෙක් වේ නම් ඒ දුක ද නූපන්න හොත් නො වන්නේය. ඉපදීමෙන් ම වන්නේය. එබැවින් ජාතිය ද ස්වභාවයෙන් දුක නුවූයේ ද දුකට වස්තු භාවයෙන් දුකකැයි කියනු ලැබේ. අපායෙහි දුඃඛය යට කියන ලදි. සුගතියෙහි ගර්භාවක්‍රාන්ති මූලකාදී දුඃඛය මෙසේ දත යුතු.
මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගැබෙක හෝ රන් කරඬුවක නො වේ. ඔහු පක්වාශය මතුයෙහි ආමාශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිර වූ ලෝකාන්තරික නරකයක සේ අඳුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුණා වූ මවු කුස වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය, ඉක්බිති ඔහු දස මසක මුළුල්ලෙහි මව් කුස තුළ ම උෂ්ණයෙන් පැසෙමින් අත් පා සැකිළීම් දිගු කිරීම් වලින් තොරව මහත් දුකක් විඳින්නේ ය. මෙය ගර්භාවක්‍රාන්ති මූලක දුඃඛය යි.
ඔහු මව හිඳගන්නා වූ ද නැගිටින්නා වූ ද යන්නා වූ ද නොයෙක් වැඩ කරන්නා වූ ද කාලයන්හි රා සොඩෙකු අතට අසු වූ එලු පැටවකු මෙන් ද, අහිකුණ්ඩිකයකු අතට ගත් සර්පයකු මෙන් ද පොඩි වන්නේය. තැළෙන්නේය. ඔහු මව ඇල් දිය බී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන් ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය. මෙය ගර්භපරිහරණ මූලක දුඃඛය යි. ගැබ් මුළා වූ මවට අතිශයින් මෘදු වූ ස්ථානයන්හි වෙදුන් විසින් සැත්කම් කිරීම් ආදියෙන් වන්නා වූ මහත් වූ රිදීම ගර්භ විපත්තිමූලක දුඃඛය යි.
දරුවා බිහිවන කල්හි මව් කුස තුළ ම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවාගේ ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙන සේ පෙරළෙන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබූවකුට මෙන් මහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සංඝාත නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බඳු මහත් දුකෙක් වන්නේය. මෙය විජායන මූලක දුඃඛය යි.
මව්කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහි ම නාවා පිරිසිදු කරන කල්හි අලුත හට ගත් වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හි මෙන් මහත් වූ දුකෙක් වන්නේය. මෙය වහිර් නිෂ්ක්‍රමණ මූලක දුඃඛය යි. හෙවත් පිටවීම හේතු කොට වන දුකය.
ඉපද වැඩිවිය පැමිණීමේන පසු සිය දිවි නසා ගන්නවුන්ට ද, ක්‍රෝධය නිසා හෝ ලෝභය නිසා හෝ ආහාර වර්ජනය කරන්නවුන්ට ද, මිථ්‍යාව්‍රත සමාදානයෙන් අව්වෙහි සිටීම් කටු ඇතිරිවල හිඳීම් ආදිය කරන්නවුන්ට ද උපදනා දුඃඛය ආත්මෝපක්‍රම මූලක දුඃඛ නමි.
තැළීම්, කැපීම්, බැඳීම් ආදියෙන් අනුන් විසින් උපදවන්නා වූ යම් දුකක් වේ නම් එය පරෝපක්‍රම මූලක දුඃඛ නමි. මේ සියලු ම දුඃඛයන්ට ජාතිය හෙවත් ඉපදීම හේතුවන බැවින් ජාතිය දුකෙකි.
2. ජරා දුඃඛය
උපන් සත්ත්වයාගේ ස්කන්ධ පරණවීම දිරීම ජරා නමි. ආත්මභාවය පරණ වූ කල්හි කෙස් ලොම් පැසෙන්නේය. දත් සැලෙන්නේය. ඇඟ රැලි වැටෙන්නේය. දුර්වර්ණ වන්නේය. තල කැලල් හට ගන්නේය. කොරල පිපෙන්නේය. ඇට නහර ඉල්පෙන්නේය. කුදු වන්නේය. ඇස් පෙනුම අඩු වන්නේය. අන්ධ හෝ වන්නේය. කන් බිහිරි වන්නේය. දිවට රස දැනීම මඳ වන්නේය. කළ දෑ කරන්නට තිබෙන දෑ නොයෙක් විට අමතක වන්නේය. නුවණ මඳ වන්නේය. නොයෙක් විට ඔහු රැවටෙන්නේය. වැරදීම් බහුල වන්නේය. ශරීර ශක්තිය අතිශයින් හීන වන්නේය. අත් පා වෙව්ලන්නට වන්නේය. දරුවන්ට පවා අප්‍රිය වන්නේය. ජරාව ස්වභාවයෙන් දුකක් හෙවත් රිදීමක් නොවන නමුත් මේවා නිසා දිරූ තැනැත්තාට කායික වූ ද මානසික වූ ද බොහෝ දුඃඛ වේදනාවෝ වන්නාහු ය. ඒ සියලු දුඃඛ වේදනාවන්ට හේතුව ජරාව ම බැවින් ජරාව ද මහත් වූ දුකක් වන්නේය.
මහලුව දුබලව සිටින්නා හට නිදා සිටි තැනින් නැගිට හිඳ ගැනීම ද හිඳගෙන සිටින තැනින් නැගිටීම ද දුකෙකි. යන කල්හි මඳ දුරක් යෑමෙන් ම වෙහෙසට පත් ව ඔහුට බොහෝ ශාරීරික වේදනා හට ගන්නේ ය. ගමන් කරන්නා වූ දුබල මහල්ලා ඉදිරියට තබන පය බලාපොරොත්තු වූ තැනට නො පැමිණීමෙන් ද ගල් මුල් ආදියෙහි සැපීමෙන් ද නොයෙක් විට බිම ඇද වැටෙන්නේ ය. එසේ වැටුණු අවස්ථාවල දී අත් පා බිඳීම් ආදියෙන් ඔහුට බොහෝ දුක් වන්නේ ය. තමහට වුවමනා දෑ ලබා ගනු පිණිස රැකී රක්ෂාවක් කරන්නට නුපුළුවන් බව ද ඔහුට මහත් දුකෙකි. ආහාරයක් ලද ද ඔහුට රිසි සේ වළඳන්නට නුපුළුවන් බව ද දුකෙකි. තමහට තිබෙන දෑ සොරුන්ගෙන් සතුරන්ගෙන් ආරක්ෂා කරන්නට නුපුළුවන් බව ද දුකෙකි. අමාරුවෙන් සිටින කල්හි අන්‍යයන් විසින් විසුළු කරනු ලැබීම ද දුකෙකි. ආදරයෙන් පෝෂණය කරනු ලැබූ අඹුදරුවන් අකීකරු වීමත්, ඔවුන් විසින් නො සලකා හැරීමත් මහත් දුකෙකි. මේ ආදි ජරාව හේතු කොට ඇත්තා වූ දුක් මහත් රාශියකි.
3. මරණ දුඃඛය
මරණය වනාහි ක්ෂණික මරණය, සංවෘත මරණය යයි දෙ වැදෑරුම් වේ. ක්ෂණයක් පාසා සිදුවන නාම රූපයන්ගේ බිඳීම ක්ෂණික මරණය නමි. පරම්පරා වශයෙන් පැවත එන ස්කන්ධ සමූහයක හෙවත් සත්ත්වයකුගේ ජීවිතේන්ද්‍රියය සිඳී යාම සංවෘත මරණය නමි. ලෝකයේ “මිනිසා මළේය, ළමයා මළේය, ගොනා මළේය,” යනාදීන් කියනු ලබනුයේ ඒ සංවෘත මරණය යි. මේ මරණ දෙක ම දුක් ම වන නමුත් මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි අදහස් කරනුයේ සංවෘත මරණය යි.
එය ද ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ඡේදක මරණය යි සිව් වැදෑරුම් වේ. ඒ ඒ ජාතිවලට අයත් සත්ත්වයන් හට ජීවත් විය හැකි කාල ප්‍රමාණයක් ඇත්තේය. ඒ කාල ප්‍රමාණයට ආයුෂයයි කියනු ලැබේ. ඒ කාලය ගෙවෙත් ම ශරීරය දිරා යාමෙන් ඉන් ඔබ්බට ජීවත් විය නො හැකි ව සත්ත්වයෝ මිය යති. ඔවුන්ගේ ඒ මරණයට ආයුක්ෂය මරණය යයි කියනු ලැබේ. අතීත කර්මය ද සත්ත්වයාගේ ජීවත්වීමට එක හේතුවකි. බලවත් වූ කර්මයෙහි සත්ත්වයා බොහෝ කල්හි ජීවත් කරවන ශක්තියක් ඇත්තේ ය. දුර්වල කර්මයන් කෙරෙහි බොහෝ කල් ජීවත් කරවන ශක්තියක් නැත්තේ ය. එබැවින් දුර්වල කර්මවලින් උපන් සත්ත්වයෝ පහන් වැටිය නිරුපද්‍රිතව තිබියදී, වැසි සුළං ආදී බාහිර උපද්‍රවයකුදු නැතිව, තෙල් ඉවර වීම නිසා නිවී යන්නා වූ පහන් මෙන් ආයුෂය ඉදිරියට තිබියදීම කර්ම ශක්තිය ගෙවීමෙන් මිය යෙති. ඒ මරණය කර්මක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය හා කර්ම ශක්තිය එකවර ගෙවී යාමෙන් මිය යෙති. එය උභයක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය කර්මය යන දෙක ම තිබිය දී හදිසියෙන් පැමිණෙන්නා වූ රෝගාදි යම්කිසි හේතුවකින් මිය යෙති. එය උපච්ඡේදක මරණ නමි.
ජීවිතේන්ද්‍රියයාගේ සිඳීම් මාත්‍රය රිදුමක් නො වෙතත් මේ සතර ආකාරය අතුරෙන් කවර ආකාරයකින් වුව ද මැනේනා වූ සත්ත්වයා හට මරණය වනුයේ ඔහුගේ සිත කය දෙක ම මහත් රිදුම් රාශියක් ඇතිකොට අන්තිමේදී ය. එබැවින් මරණය මහත් වූ දුකෙකි. මරණය ළං වූ කල්හි මැරෙන සත්ත්වයාගේ ශරීරයෙහි වාතාදි දෝෂයන් නයින් සේ කිපී පොලු වලින් තලන්නාක් මෙන් ද, පිහිය වලින් පලන්නාක් මෙන් ද, හුල් වලින් අනින්නාක් මෙන් ද, ශරීරය ඒ මේ අත පෙරළ පෙරළා පොඩි කරන්නාක් මෙන් ද, ගින්නේ දවන්නාක් මෙන් ද, අත් පා ගලවන්නාක් මෙන් ද, ඇඟ මස් ගලවන්නාක් මෙන් ද, ශරීරය පෙළන්නට වන්නාහු ය. මරණය ළංවත් ම විශේෂයෙන් ම ඝන වූ සෙම නැගී අවුත් ළය තද කරන්නේ ය. ආශ්වාස ප්‍රශ්වාස මාර්ගය අවුරන්නේය. එයින් මැරෙන්නා වූ තැනැත්තා හට ආශ්වාස ප්‍රශ්වාස කිරීම ඉතා අමාරු වන්නේය. මේ තද වීම නිසා ඔහුට ඉතා මහන්සියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නට සිදුවන්නේය. භයානක හඬක් නංවමින් ඉතා අමාරුවෙන් ඒ අවස්ථාවේ දී කරන ආශ්වාස ප්‍රශ්වාසයට පණ ඇදීමය යි කියති. සෙම නැගී අවුත් ආශ්වාස ප්‍රශ්වාස මාර්ගය ආවරණය කළ කල්හි සත්ත්වයාහට වන්නා වූ වේදනාව ඉතා මහත් වූවකි.
අනේපිඬු මහ සිටාණන් මරණ මඤ්චකයෙහි සැතපෙන අවස්ථාවෙහි එතුමන් දක්නට ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද වැඩි සේක. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සිටාණන් ගෙන් සුවදුක් විචාළහ. එකල්හි සිටාණෝ “ස්වාමීනි ශාරිපුත්‍රයන් වහන්ස, බලවත් පුරුෂයකු විසින් මිටියකින් ගසන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් පෙළන්නේය. බලවත් පුරුෂයකු විසින් වරපටකින් තද කොට වෙළන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් තද වන්නේය. දක්ෂ වූ ගව ඝාතකයන් විසින් ගෙරි මස් කපන තියුණු සැතකින් කපන්නාක් මෙන් මාගේ කුසය රිදෙන්නේය. බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් දුර්වල පුරුෂයකු දෑතින් අල්වා ගෙන ගිනි අඟුරු වළෙක ලා පෙරළා තවන්නාක් මෙන් දැවෙන්නේය” යි කීහ. අනේ පිඬු මහ සිටාණන් වැනි පින්වතුන් හට මරණ දුක්ඛය මෙපමණ මහත්ව යන කල්හි සෙස්සන්ට මරණාසන්නයේ දී මහත් වූ දුකක් වීම ගැන කියනුම කිම?
අපමණ ශාරීරික වේදනාවලින් පෙළෙන්නා වූ සත්ත්වයා හට මේ අවස්ථාවෙහි දී මරණය ගැන මහත් වූ භයක් ද හට ගන්නේය. ඒ භය තරම් විශාල වූ අන් භයක් නැත්තේය. අති රෞද්‍ර වූ ඒ මරණය ගිනි කඳක් හෘදයට වැද යන කලෙක මෙන් සත්ත්වයාගේ සිත දවන්නේය. ශාරීරික දුඃඛ වේදනාවලින් අතිශයින් තැවෙමින් දෙවියන් සිහිවී සිටින සත්ත්වයා පව් කළ කෙනෙක් වී නම්, මේ අවස්ථාවෙහි ඔහුට තවත් මහත් වූ බියක් එළඹෙන්නේ ය. මේ අවස්ථාවෙහි දී ඔහුට කර්මය විසින් ම නරකය දක්වනු ලබන්නේය. ඔහුට මහා ගිනි ජාලාවක් තමන් වැළඳ ගැනීමට තමා දෙසට බුර බුරා නැග එන්නාක් මෙන් පෙනෙන්නේය. රෞද්‍ර වූ යම රකුසන් තමා ඇදගෙන යන්නට එන්නාක් මෙන් පෙනෙන්නේය. මේවා දක්නා කල්හි භයින් තැති ගන්නා වූ ඒ සත්ත්වයා හට මල මුත්‍ර පවා පහ වන්නේය.
සුගති දුර්ගති දෙක්හි ම උපදින සත්ත්වයන්ට මේ අවස්ථාවෙහි දී ඇතිවන තවත් මහත් දුකක් නම් ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වීමෙන් වන ශෝකයයි. මැරෙන්නා වූ සත්ත්වයා හට මරණයෙන් තමා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටියා වූ මිල මුදල් ගෙවල් දොරවල් ආදියෙන් වෙන් වන්නට, ප්‍රිය වූ අඹුදරුවන් ගෙන් නෑයන්ගෙන් මිතුරන්ගෙන් වෙන් වන්නට සිදුවේ. මෙය ද ඔහුට ඉවසිය නො හෙන දුකකි. තමාගේ අඹු දරු ආදීන්ගෙන් එක් කෙනකු නැති වූ විට ද, දවස් ගණනක් හඬන්නා වූ මාස ගණනක් අවුරුදු ගණනක් ශෝක කරන්නා වූ පුද්ගලයකුට සියල්ලෙන් ම වෙන් වීම කෙසේ නම් ඉවසිය හැකි වන්නේද? නො වන්නේ ම ය. මේ වෙන් වීම ගැන මරණාසන්න සත්ත්වයාට වන චිත්තසන්තාපය ළය තුළට මහ ගිනි කඳක් වැද දවන කලක් වුවහොත් එබඳු කලෙක වන දුක හා සමාන වන්නේ ය. මෙසේ සිත කය දෙකට ම මහත් වූ දුක් රාශියක් ගෙන දෙන බැවින් ජීවිතේන්ද්‍රියය සිඳීම වූ මරණය සත්ත්වයා හට අන් සියල්ලට ම මහත් වූ දුක වන්නේ ය. එබැවින් සත්ත්වයෝ අන් හැම දෙයට ම වඩා මරණයට බිය වන්නාහු ය. මරණයෙන් ගැලවීම සඳහා අන් සියල්ල ම පරිත්‍යාග කරන්නාහු ය.
4. ශෝක දුඃඛය
රන් රිදී මුතු මැණික් මිල මුදල් ගේ වතු කුඹුරු ආදි ප්‍රිය වස්තූන්ගෙන් විනාශයෙන් ද, අන්‍යයන් විසින් පැහැර ගැනීමෙන් ද, අඹු දරු ආදි ප්‍රිය පුද්ගලයන්ගේ විනාශයෙන් ද, ඔවුනට වූ හානි වලින් ද, තමහට වන රෝගාදි අන්තරායන්ගෙන් ද, වන්නා වූ සිත දැවීම ශෝක නම් වේ. මෙය ද සසර සැරිසරන සත්ත්වයා හට නොයෙක් විට පැමිණෙන්නා වූ දුකෙකි. එය විනාශ වන වස්තුවෙහි ප්‍රියත්වය වැඩි පමණට මහත් ව ඇති වන්නා වූ දුකෙකි. අතිශයින් ම ප්‍රිය වස්තුවක් හෝ අතිශයින් ප්‍රිය පුද්ගලයකු හෝ විනාශ වූ කල්හි එය ගිනියම් වූ යහුලක් පපුවට ප්‍රවේශ කළ අවස්ථාවක මෙන් ද මහ ගිනි කඳක් පපුවට වැදුන අවස්ථාවක මෙන් ද සිත කය දෙක ම අතිශයින් දවන්නේය. දැවීමේ වේගය කොතරම් ද කියතහොත්, ශෝක ගින්නෙන් ලේ හුණු වී සමහරකුට හුණු ලේ වමනය වන්නේය. සමහර කෙනකුට හුණු ලේ විරේචනය වන්නේ ය. සමහරෙක් උමතු වන්නාහ. සමහර කෙනකුට තවත් නොයෙක් රෝග හට ගන්නේය. සමහරෙක් බෙල්ලේ වැලලා මිය යන්නාහ. සමහරෙක් බෙලි කපා ගෙන මිය යන්නාහ. සමහරෙක් දුම්රියට බෙල්ල තබා මිය යන්නාහ. සමහරෙක් දියට පැන මිය යන්නාහ. සමහරෙක් ගින්නට වැද මිය යන්නාහ. සත්ත්වයන්ට හැම කල්හි ම මුණ ගැසෙනුයේ එක එක ප්‍රිය වස්තුවක විනාශය පමණක් නොවේ. සමහර විටෙක එකවර ම බොහෝ ප්‍රිය වස්තූන්ගේ විනාශය ද පැමිණෙන්නේ ය. බොහෝ ප්‍රිය පුද්ගලයන්ගේ විනාශය ද පැමිණෙන්නේ ය. එක වස්තුවක හෝ එක ප්‍රිය පුද්ගලයකුගේ විනාශයෙන් හට ගන්නා ශෝකය සිය දිවිනසා ගැනුමට තරම් කරුණක් වන කල්හි වස්තු බොහෝ ගණනක හෝ පුද්ගලයන් බොහෝ ගණනක හෝ විනාශයෙන් වන්නා වූ ශෝක දුඃඛයේ මහත්ත්වය කෙසේ කිය හැකි වන්නේ ද?
5. පරිදේව දුඃඛය
ඥාති ව්‍යසනාදිය සිදු වූ කල්හි ශෝකයෙන් “අනේ, පුතේ නුඹ කොහි ගියෙහි ද? අනේ දුවේ නුඹ කොහි ගියෙහි ද? නුඹ නැතුව අප සිටින්නේ කෙසේද?” යනාදීන් ඒ ඒ පුද්ගලයන් ගැන කියමින් හෝ ඔවුන්ගේ ගුණ කියමින් හෝ නැති වූ වස්තු ගැන කියමින් හෝ ඒ වස්තූන් නැති පාඩුව කියමින් හෝ නන් දෙඩීම ද, සුසුම් ලමින් කඳුළු සලමින් කෙළ පෙරමින් ශබ්ද පැවැත්වීම ද පරිදේව නම් වේ. හැඬීමය යනු ද මීට නමෙකි. හැඬීම ම දුකක් නො වෙතත් හඬන්නා වූ තැනැත්තා හට හිසට ගසා ගැනීම් බිත්තිවල කණුවල හිස ගසා ගැනීම් බිම හැපීම් බිම පෙරළීම් ආදියෙන් බොහෝ දුඃඛ වේදනා වන බැවින් “පරිදේවය දුඃඛයකැ” යි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දේය.
6. දුඃඛ දුඃඛය
ශරීරයෙහි හට ගන්නා වූ අනේකප්‍රකාර වූ රිදුම් දැවීම් ආදි වූ දුඃඛයෝ දුඃඛ දුඃඛ නම් වෙති. ජාත්‍යාදි දුඃඛයෝයයි කියන ලද්දේ ඒවා දුකට හෙවත් රිදීමට හේතුවන බැවිනි. කයෙහි හට ගන්නා දුඃඛ වේදනාව වනාහි තවත් කායික මානසික දුඃඛ වේදනාවන්ට හේතු ද වෙයි. තොමෝ ද ඒකාන්ත දුඃඛයක් වෙයි. එබැවින් එය දුඃඛ දුඃඛ යයි කියනු ලැබේ. අතිශයින් මහත් වූ දුකය යනු එහි තේරුමයි. සත්ත්වයන්ගේ ශරීරයන්හි ආභ්‍යන්තරික ධාතූන්ගේ කෝපයෙන් හට ගන්නා වූ ද, බාහිර උපද්‍රවයන්ගෙන් හට ගන්නා වූ ද, දුඃඛ වේදනා ඉතා බොහෝය. වාතාදීන්ගේ කෝපයෙන් හිසෙහි දුඃඛ වේදනා හට ගන්නේය. ඇස් වල ද කන් වල හා දත් වල ද ඉවසීමට ඉතා දුෂ්කර වූ ඉතා මහත් වූ දුඃඛ වේදනා හට ගන්නේ ය. දිවෙහි ද උගුරෙහි ද පපුවෙහි ද පිටෙහි ද උරහිස්හි ද ඇලපත්හි ද තුනටියෙහි ද අත් පා වල ද සන්ධිස්ථානයන්හි ද ඇට වල ද මස්වල ද නහර වල ද නොයේක විට වාතාදීන් ගේ කෝපයෙන් බොහෝ දුඃඛ වේදනා හට ගන්නේය. මල මුත්‍ර නිකුත් වන මාර්ගයන් වැසුණු කල්හි මල මුත්‍ර පිට නො වීමෙන් ඉතා රෞද්‍ර වූ, පණ යන තරම් ම මහත් වූ දුඃඛ වේදනා හට ගන්නේ ය. ස්ත්‍රීන් හට දරුවන් ප්‍රසූත කිරීමෙහි දී මහත් දුඃඛ වේදනා හට ගන්නේ ය. කුෂ්ඨ වණ ගෙඩි සෑදුණු කල්හි ඒවායේ ද මහත් දුඃඛ වේදනා හට ගන්නේ ය. වණ වල පණුවන් සෑදී කන කල්හි මහත් වූ දුඃඛ වේදනා වන්නේය. මේවා අභ්‍යන්තරයෙන් ම හට ගන්නා වේදනාවෝ ය.
පිටතින් පැමිණෙන උපද්‍රවයන් නිසා ශරීරයෙහි වන්නා වූ දුඃඛයෝ ද ඉතා බොහෝ ය. සත්ත්වයා හට නොයෙක් විට අව්වෙහි සිටින්නට වීමෙන් ද දුක් හට ගන්නේ ය. ගින්නෙන් දැවීමෙන් ද දුක් හට ගන්නේ ය. ගල් මුල් වල සැපීමෙන් ද දුක් හට ගන්නේ ය. ඇඟ පිට ගෙඩි කඩා වැටීමෙන් අතු කඩා වැටීමේන ගස් කඩා වැටීමෙන් ගෙවල් කඩා වැටීමෙන් රථවාහන හැපීමෙන් බොහෝ වේදනා වන්නේ ය. ගල් පහරවල් වැදීමෙන් පොලු පහර පිහියා පහර වෑ පහර පොරෝ පහර උදලු පහර කඩු පහර හී පහර වෙඩි පහර වැදීමෙන් ද බොහෝ වේදනා වන්නේය. පත්තෑයන් ගෝනුස්සන් සර්පයන් බල්ලන් සිංහයන් ව්‍යාඝ්‍රන් විසින් කෑමෙන් ද බොහෝ දුක් වන්නේයෙ. එළුවන් විසින් ගවයන් විසින් ඇනීමෙන් ද, ඇතුන් විසින් පාගා දැමීමෙන් ද, ගවයන් විසින් අසුන් විසින් පා පහර දීමෙන් ද බොහෝ වේදනා වන්නේ ය. උකුණන් මකුණන් මැක්කන් මදුරුවන් විසින් කෑමෙන් ද බොහෝ වේදනා වන්නේ ය. සොරකම් ආදි වරද කොට අසුවීමෙන් හා තමන් නො කළ වරද වලට නිකම් අසුවීමෙන් සිරකොට තබනු ලැබීමෙන් ද, සිරගෙයි දී වැඩ කරනු ලැබීමෙන් ද, කසයෙන් තළනු ලැබීමෙන් ද කෝටුවලින් පොලුවලින් තළනු ලැබීමෙන් ද, අත් කැපීම් කන් කැපීම් නාස් කැපීම් හිස සිඳීම් පිළිස්සීම් ආදිය කරනු ලැබීමෙන් ද බොහෝ දුඃඛ වේදනා වන්නේය. සොරුන් විසින් අල්වා ගෙන ධනය සඟවා තිබෙන තැන් අස අසා තළනු ලැබීමෙන් ද, කටු වලින් පිහියා වලින් හුල් වලින් මඳින් මඳ කපනු ලැබීමෙන් ද, වන්නා වූ වේදනාවෝ ඉතා බොහෝ ය. මේ දක්වන ලදුයේ මනුෂ්‍ය ලෝකයෙහි මනුෂ්‍යයකුට ඇතිවිය හැකි දුඃඛ වේදනාවන්ගෙන් ස්වල්පයකි. තවත් බොහෝ දුක් ඇත්තේය. මනුෂ්‍යයා හට හැම කල්හි ම මෙසේ සිටින්නට ලැබෙන්නේ නො වේ. පව් කරන්නා වූ ඔහුට අපායට පැමිණෙන්නට සිදුවන්නේ ය. අපායෙහි දී විඳින්නට වන්නේ මීට වඩා සිය දහස් ගුණයෙන් මහත් වූ දුකෙකි. එය ද සලකා ගත යුතු. දීර්ඝ වන බැවින් මෙහි නො දක්වනු ලැබේ.
7. දෞර්මනස්‍යය
සිතෙහි හටගන්නා දුක දෞර්මනස්‍ය නම් වේ. තමා විසින් බොහෝ දුකින් පෝෂණය කරන දරුවන් අකීකරු වීම, මහලු කල්හි දරුවන් විසින් නො සැලකීම, දුකින් ධනය සපයා පෝෂණය කරන භාර්‍ය්‍යාව අන් පුරුෂයන් පතනු දැකීම, අකීකරු වීම, අනුන් විසින් අවමන් කරනු ලැබීම, දරුවන් දුකට පත්ව සිටිනු දැකීම, පාඩම් විභාග වලින් අසමර්ථ වීම, රූපය අවලක්ෂණ වීම, කටහඬ නරක් වීම, දිළිඳු වීම, අනුන් කරන දෑ තමහට නො කළ හැකි වීම යනාදි දහස් ගණන් කරුණු වලින් මේ දෞර්මනස්‍යය මිනිසුන්ට නිතර ඇති වන්නේය. ධනවත් ව සිට පසුව දිළිඳුව අනාථව අම්බලමක සිටින්නට වූ විටෙක පෙර තමා හා එක්ව හැසිරුණු නෑයන් මිත්‍රයන් යස ඉසුරෙන් රථ වාහනාදියෙන් තමන් දෙසවත් නො බලා යනු දක්නා කල්හි මහත් වූ දොම්නස් ඇති වන්නේ ය. එක් ජාතියක දී ම එක් පුද්ගලයකුට ඇති වන දොම්නස්වල ප්‍රමාණයක් නැත්තේ ය. දුප්පත් පොහොසත් කාටත් නොයෙක් විට මේ දොම්නස ඇති වන්නේය.
8. උපායාසය
ඥාති ව්‍යසනාදිය හේතු කොට සිතට වන්නා වූ බලවත් වෙහෙස උපායාස නමි. උපායාසයෙන් යුක්ත වූයේ ව්‍යසනයට පත් පුද්ගලයාගේ ගුණ කීම් හැඬීම් ආදි කිසිවක් නො කොට සුසුම් ලමින් බලා සිටී. සමහර විට කෑම්-බීම් ආදි තමාගේ කටයුතු නො කර සිටී. එය බලවත් වූ කල්හි මුර්ඡා ද වෙයි. සමහර විට ළය වියළී මරණයට ද පැමිණෙයි. ඒ සිත වෙහෙසීම් මාත්‍රය ම දුකෙක් නො වෙතුදු එය බොහෝ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් තථාගතයන් වහන්සේ උපායාසය ද දුකකැයි වදාළ සේක.
9. අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය
අප්‍රිය වස්තූන් හා අප්‍රිය පුද්ගලයන් මුණ ගැසීම් අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි. කුණු කසන සෙම් සොටු මල මුත්‍රාදි දැකීමට අප්‍රිය වූ වස්තූහු ද, අමිහිරි වූ ඇසීමට අප්‍රිය වූ ශබ්දයෝ ද, කුණු ගඳ ආදි ආඝ්‍රාණයට අප්‍රිය ගන්ධයෝ ද, තික්තාදි අප්‍රිය රසයෝ ද, ශරීරය හා ස්පර්ශ වූ කල්හි දුක් උපදින අනිෂ්ට ස්පර්ශයෝ ද යන මොවුහු අප්‍රිය වස්තූහු ය. මේවා ස්වභාවයෙන් දුක් නො වෙතත්, මේ අනිෂ්ට වස්තූන් දැකීමේ දී ඇසීමෙහි දී ආඝ්‍රාණය කිරීමේ දී ආශ්වාදනය කිරීමේ දී සිතට ද, ස්පර්ශ වීමේ දී කයට ද දුක් උපදින බැවින් අප්‍රිය වස්තු සම්මුඛ වීම දුකෙකි. අප්‍රිය පුද්ගලයෝ නම් තමා හට සතුරු වූ ද, සතුරු නො වූවත් තමා කැමති නොවන කථා හා ක්‍රියා ඇත්තා වූ පුද්ගලයෝ ය. එබඳු පුද්ගලයන් හා එක්ව වාසය කරන්නට හා එක්ව වැඩ කරන්නට සිදුවීම අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි. අප්‍රිය පුද්ගලයන් හා සම්ප්‍රයෝග මාත්‍රය දුකක් නො වෙතුදු එය අප්‍රමාණ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් දුකකැයි කියන ලදි. සසර සැරිසරන සත්ත්වයන්ට මෙය නිතර මුණ ගැසෙන දුකෙකි. රජකුට වත් මෙයින් මිදී විසිය හැකි නො වේ.
10. ප්‍රිය විප්‍රයෝග දුඃඛය
ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුඃඛය යි. ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර කලාත්‍රාදි ප්‍රිය පුද්ගලයන් හා වාසය කරන තැනැත්තාට තමාට ඔවුන් හැර අන් පෙදෙසකට යන්නට සිදුවීමෙන් ද ඔවුන් තමා හැර යාමෙන් ද, මරණයට පැමිණීමෙන් ද ඔවුන්ගෙන් වෙන් වන්නට සිදු වේ. තමාගේ මරණයෙන් හෝ වෙන් වන්නට සිදුවේ. එබැවින් ප්‍රිය විප්‍රයෝගය ද සසර සැරිසරණ පුද්ගලයා හට ජාතියක් පාසා ම සිදු වන දෙයකි. එය ම ඒකාන්තයෙන් දුකක් නො වතුදු බොහෝ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් එය දුකකි. එහි උග්‍රතාවය කොතෙක් ද කියතහොත් සමහරු රෝගී වෙති. සමහරු මිය යති. සමහරු සිය දිවි නසා ගනිති.
11. කැමති දෑ නො ලැබීමේ දුක
මේ සත්ත්වයන් විසින් කැමති වන්නා වූ ලැබීමට බලාපොරොත්තු වන්නා වූ දේවල් ඉතා බොහෝ ය. දිරන ස්වභාවය ඇති සත්ත්වයෝ නො දිරීමට හෙවත් මහලු නො වීමට බලාපොරොත්තු වෙති. රෝගී වන ස්වභාවය ඇති සත්ත්වයෝ නිරෝගීව සිටීමට බලාපොරොත්තු වෙති. නූගත්තු උගතුන් වීමට බලාපොරොත්තු වෙති. මෝඩයෝ නුවණැතියන් වීමට බලාපොරොත්තු වෙති. දුප්පත්තු පොහොසත් වීමට බලාපොරොත්තු වෙති. තනතුරු නැත්තෝ තනතුරු ලැබීමට බලාපොරොත්තු වෙති. සාමාන්‍ය වැසියෝ රජ වීමට බලාපොරොත්තු වෙති. තවත් නොයෙක් දේවල් නැත්තෝ නැත්තා වූ ඒ ඒ දේවල් ලැබීමට ද, ඇත්තෝ වැඩි වැඩිය ලැබීමට ද බලාපොරොත්තු වෙති. මෙසේ ලැබීමට බලාපොරොත්තු වන දේවල් බොහෝ ඇත. ඒවායින් දහසෙන් පංගුවකුදු ඔවුන්ට නො ලැබෙන්නේ ය. මේ නො ලැබීම දුකක් නො වෙතත් එය බොහෝ කායික මානසික දුක් ඇති කරන්නක් බැවින් කැමති දෑ නො ලැබීම ද මේ සත්ත්වයන්ට මහත් දුඃඛයක් වන්නේය.
12. පඤ්චෝපාදානස්කන්ධ දුඃඛය
ජාති ජරා මරණාදි මේ දුක් සමූහය ඇතිවන්නේ අන් තැනක නොව මේ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ම ය. උපාදානස්කන්ධ පඤ්චකය සියලු ම දුක්වල උත්පත්ති ස්ථානය යි. එබැවින් උපාදානස්කන්ධ පඤ්චකය ද දුකෙකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක.ලෝකයෙහි සත්ත්වයා උපදින්නේ ද දුකෙනි. උපන් තැන් පටන් ම ඔහුගේ ශරීරය දිරන්නේ ය. එ ද ඔහුට දුකෙකි. දිරන්නා වූ ඔහු මොහොතක් පාසා ම යන්නේ මරණය කරා ය. මරණය ද ඔහුට මහත් දුකෙකි. ඉපදීමටත් මරණයටත් අතරදී නොයෙක් වර ඔහුට ශෝක කරන්නට ද හඬන්නට ද, බලවත් සිත් වෙහෙසට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. නොයෙක් වර අප්‍රිය සම්ප්‍රයෝගයෙන් කැමති දෑ නො ලැබී දුකින් ඔහු නො මිදෙන්නේ ය. මෙතෙක් දුඃඛයන් ඇත්තා වූ මේ සත්ත්වයාගේ ස්කන්ධ පඤ්චකය ම දුකෙකි. ස්කන්ධ පඤ්චකය හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත්තේය. එබැවින් මේ සත්ත්ව ලෝකය ම දුක් ගොඩෙකි. උපදින්නේත් දුක ම ය. නිරුද්ධ වන්නේත් දුක ම ය. මෙහි සත්‍ය වශයෙන් සැපයක් නැත. මේ විභංගපාළියෙහි දුඃඛ සත්‍යය දැක්වීම ය.
දුක්ඛාර්‍ය්‍ය සත්‍යය මෙතෙකින් නිමියේ ය.
දුක්ඛාර්‍ය්‍ය සත්‍යය මෙතෙකින් නිමියේ ය.
Subscribe to:
Posts (Atom)

