මේ කාමද දිව්‍ය පුත්‍රයා පෙර ජීවිතයේ මිනිස් ලොව ඉපිද සසුන් බඹසර හැසිරෙන්නට මහන්සි වූ කෙනෙක්. නමුත් ඔහු මාර්ගඵල නො ලබාම මියගොස් දෙවියන් අතර උපත ලැබුවා. ඒ දෙව් ලොවේදීත් ඔහු සීල, සමාධි, ප්‍රඥා වඩමින් ධර්මයේ හැසිරෙන්නට මහන්සි ගත්තා. ඉන් අපට ඉතා හොඳින් තේරුම් ගන්නට පුළුවන් දෙවියන් අතරත් ධර්මයේ හැසිරෙන්නට පුළුවන් බව. ඉතින් ඒ අතරතුර තමා මේ කාමද දිව්‍යපුත්‍රයා භා්‍යවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ.
එදිනත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. මුළුමහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණි කාමද දිව්‍ය පුත්‍රයා උන්වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිටි කාමද දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
භාග්‍යවතුන් වහන්ස, මේ බ්‍රහ්මචාරී ජීවිතය දුෂ්කරයි. ගොඩක්ම දුෂ්කර එකක්මයි”
බුදුරජාණන් වහන්සේ විසින් ඒ දුෂ්කර බ්‍රහ්මචාරි ජීවිතය ගත කිරීමට සුදුස්සෙක් වෙනහැටි ඒ දිව්‍ය පුත්‍රයාට මහ කරුණාවෙන්ම පෙන්වාදී වදාළා
”කාමද දුෂ්කර දේ වුණත් කරනවා (සේඛා සීල සමාහිතා) නිවන් මඟට බැසගත්තු සිල්වත් වූ සමාහිත සිත් තිබෙන අය තමයි එහෙම කරන්නේ. ගිහි ගෙයින් වෙන්වෙලා දහම තුළ පිහිටි සිත් තිබෙන ඔවුන් සැපය ලබන සතුටින් තමයි ඉන්නේ.
මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේ විසින් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා පෙන්වා දී වදාළා. ඒ තමයි සේඛ ශ්‍රාවකයා සහ අසේඛ ශ්‍රාවකයා. අසේඛ කියන්නේ ‘හික්මීම අවසන් කළ’ කියන අර්ථය යි. ඒ කියන්නේ රහතන් වහන්සේ.
’සේඛ’ කියන්නේ හික්මෙන කියන අර්ථය යි. නිවන් කරාගෙනයන ප්‍රතිපදාවේ හික්මෙන සියලු දෙනා සේඛ ශ්‍රාවක පිරිසටයි අයිති වෙන්නේ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ මේ බඹසර ජීවිතයට නිවන් මඟට බැස ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන්නේ. ඒ වගේම ඔහුට සිල්වත්බවත් අවශ්‍යයි. සීලය කියන්නේ උතුම් ගුණධර්ම වලට අම්මා කෙනෙක් වගේ කියලයි සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළේ.
ඊළඟට සිතේ සමාහිත බවත් තිබිය යුතුයි. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාළා (සමාහිතස්සා යං ධම්මෝ තායං ධම්මෝ අසමාහිතස්ස) මේ ධර්මය තිබෙන්නේ සිත සමාහිත උදවියට යි. අසමාහිත සිත් ඇති අයට නොවේ කියලා. ඉතින් මේ ගුණධර්ම ඇති කරගෙන කම් සැපයේ නොඇලී ධර්මයේම හැසිරෙන්නට මහන්සි වෙන කෙනා දුෂ්කර වූවත් බඹසර ජීවිතය අනුගමනය කරන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළා. එබඳු උදවිය නිරාමිස සතුටක් තමයි ලබන්නේ. ඉතින් කාමද දෙවියා යළි මෙබඳු ප්‍රකාශයක් කළා.
”භාග්‍යවතුන් වහන්ස, ඔය සතුට කියන්නේ දුර්ලභ දෙයක්”
කාමද දුර්ලභ දේ වුණත් ලබනවා. සිත සංසිඳීමේ ඇලී ඉන්න කෙනා දිවා රාත්‍රී දෙකේම භාවනාවේ ඇලී ඉන්න කෙනා තමයි (චිත්තවූසමේ රතා, යේසං දිවා ච රත්තෝ ච භාවනාය රතෝ මනෝ) ඒ දුර්ලභ සතුට ලබන්නේ’.
එතකොට කාමද දිව්‍ය පුත්‍රයා ආයමෙත් මෙහෙම පැවසුවා.
”භාග්‍යවතුන් වහන්ස, මේ සිත කියන්නේ එකඟ කරගන්න ගොඩාත් දුෂ්කර එකක්”.
බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා
දුස්සමාදහං වාපි සමාදහන්ති
ඉන්ද්‍රියූපසමේ රතා
තේ ජෙත්වා මච්චුනෝ ජාලං
අරියා ගච්ඡන්ති කාමදාති
කාමද, එකඟ කර ගන්නට ගොඩාක් දුෂ්කර වුණත් එකඟ කර ගන්නවා. ඉඳුරන් දමනය කිරීමේ ඇලුණු අය ඉන්නවා. ඒ අය මාරයාගේ තෘෂ්ණා දැල සිඳගෙන පින්වත් කාමද, ඒ ආර්යයන් වහන්සේලා නිවනට ම යනවා.
සිත ගැන මනාව අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ හැර මෙබඳු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැකිවෙන කිසිවෙක් මේ ලෝකයේ නැහැ. උන්වහන්සේ වදාළේ වතුරෙන් ගොඩට ගත් මාළුවෙකු සේ මේ සිත අරමුණක් අරමුණක් පාසා සැලෙමින් තිබෙන බවයි. නමුත් එබඳු සිත නුවණැත්තන් විසින් දමනය කර ගන්නවා. සිත දමනය කරගැනීමෙන් සැපය ලැබෙන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළේ.
සිත දමනය කරන්නට නම් ඒ කෙනා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන සංවර කර ගන්නට ඕන. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලින් මේ ඉන්ද්‍රියයන් අසංවර වුණොත් සිත තුළ ඇලීම් ගැටීම් හට ගන්නවා. එය මනාකොට තේරුම් ගන්න නුවණැති කෙනා මේ ඉඳුරන් හොඳින් සංවර කර ගන්නවා.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ හොඳින් ඉන්ද්‍රිය සංවර කරන කෙනා නිවනට ළංවෙන බවයි. කාමද දිව්‍ය පුත්‍රයා තමන්ගේ අනෙක් ප්‍රශ්නයත් භාග්‍යවතුන් වහන්සේ හමුවේ මෙසේ පැවසුවා.
”භාග්‍යවතුන් වහන්ස, විෂම මාර්ගයක් තිබෙන්නේ. ගමන දුෂ්කරයි”.
මෙතැනදී මාර්ගය කිව්වේ ප්‍රතිපදාවේ ගමන් කිරීම කියලා අදහස් කළේ අනුගමනය කිරීමයි. භාග්‍යවතුන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දී වදාළා
දුග්ගමේ විසමේ වාපි
රියා ගච්ඡන්ති කාමද,
අනරියා විසමේ මග්ගේ
පපතන්ති අවංසිරා
අරියානං සමෝ මග්ගෝ
අරියාහි විසමේ සමාති
කාමද මාර්ගය විෂම වුනත් මාර්ගය දුෂ්කර වුනත්, ආර්යයන් වහන්සේලා ඒ මඟ යනවා. නමුත් ආර්ය තත්ත්වයට පත් නොවිච්ච උදවිය විෂම මාර්ගයේ ගිහින් යටිකුරු වෙලා වැටෙනවා. ආර්යයන් වහන්සේලාගේ මාර්ගය සමයි. ආර්යයන් වහන්සේලා තමයි විෂම ලෝකයේ සමව සිටින්නේ.
ආර්යයන් වහන්සේලා කියන්නේ බුද්ධ ශාසනයට පැමිණි උතුමන්ටයි. මේ ලෝකයේ එබඳු ආර්ය උතුමන් අට දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගයෙන් ගමන් කරන ශ්‍රාවකයා, සෝතාපන්න ශ්‍රාවකයා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා, සකදාගාමි ශ්‍රාවකයා, අනාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා, අනාගාමි ශ්‍රාවකයා, අරහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා සහ රහතන් වහන්සේ තමයි ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලා අටදෙනා වන්නේ.
ඒ උතුමන් අනුගමනය කරන වැඩපිළිවෙල නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. කෙතරම් දුෂ්කරව වුවත් සීල සමාධි ප්‍රඥා වඩන ඒ උතුමන් වහන්සේලා නිවනට ඇති එකම මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් අමා නිවන කරා ගමන් කරනවා.
නමුත් බුදු සසුනෙන් බැහැර කිසිවෙක් ආර්ය බවට පත් වන්නේ නැහැ. ඔවුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය නොකරන නිසා ආයේ ආයෙමත් ඒ දුක්ඛිත වූ සංසාරයටමයි වැටෙන්නේ.
’කාමද දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ පැවසූ ධර්මය නිවන් මඟ හැසිරීමට කැමති සියලුදෙනාටම ඉතාම වැදගත්. මේ විෂම වු ලෝකයේ සමව සිටින්නට නම් අපත් ආර්ය පුද්ගලයන් බවට පත්විය යුතුයි. එය කළ හැක්කේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැස ගැනීමෙන්ම පමණයි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැනත්, සොඳුරු වූ අමා නිවන ගැනත් ලෝකයට පෙන්වා දී වදාළ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනම අප තව තවත් සිත පහදවා ගනිමු
කාමද සූත්‍රය -> http://pitaka.lk/21119/cs,aps