5/27/13

බුද්ධාදී රත්නත්‍රයට ගැරහිලිකම් කළ පවින් අවීචි මහ නරකයට



579440_172591862905901_1101322162_n[1]

බුද්ධාදී රත්නත්‍රයට ගැරහිලිකම් කළ පවින් අවීචි මහ නරකයට
“රේවතිය තී කුමක් නම් දොඩන්නෙහි ද? බුද්ධාදී රත්නත්‍රයට ගැරැහිලිකම් කොටැ මසුරුකම් කොටැ දන් ලබනුවට පැමිණි දුගී මගී යාචකයනට පහර දී ඔවුන් පලවා හැරියා ය. දන්වැට කඩා දමා විනාශ කෙරෙමින් දන්දීම් නවතා දැමී ය.
සුළු තරමින් හෝ පිනක් නොකළ තී තමන් සතු සම්පත් හා යස ඉසුරු කෙරෙහි ලෝභ උපදවා ඒවා සඟවා තබා ගනිමින් අන්‍යයන් කෙරෙහි ද්වේශ කළා ය. එබඳු නුගුණ ඇති අසත්පුරුෂ තී වැනි පාපිෂ්ටයන්ට, කුසල් නොකොටැ දිව්‍ය ලෝකයෙහි පහළ වු මහත් වු යස ඉසුරු විඳින්නා වූ දෙවියන් හා වසන්නට පින් නැත්තේ ය.
එසේ හෙයින් බොහෝ කාලයක් දුක් විඳින්නට මෙම ‘සංසවක’ නරකයෙහි පැසෙනවා හැර වෙනත් තැනක් තොපට උරුමව නැත්තේ ය.” බරණැස් නුවර මහ ධන සිටුහු මහා දානපතිවැ බුද්ධෝපස්ථානයෙහි යෙදී සිටි ‘නන්දික’ උපාසක තෙමේ බොහෝ පින් රැස් කොටැ පරමායුෂය ගෙවා මියගොස් මිනිස් කය හැර දමා තව්තිසා දෙව් ලොවැ බොහෝ වූ දිව්‍ය සම්පත් ලද දිව්‍ය පුත්‍රයකුව පහළ විය.
එකල්හි නන්දිකයනට බිරිඳව සිටි ‘රේවතිය’ සියලු දන්වැට විනාශයට යවා “මෙම ශ්‍රමණයන් නිසා මාගේ සියලු ලාභ සත්කාර ගිලිහී ගියේ ය”යි භික්ෂූන් කෙරෙහි වෛර බැඳ ආක්‍රෝෂ පරිභව කෙරෙමින් තැනින් තැන ඇවිදින්නී, ඇගේ මෙම නින්දා සහගත ක්‍රියාකලාපය දුටු ‘වෙසමුණි මහ රජ්ජුරුවෝ’ තම අතවැසි යකුන් දෙදෙනකු වහා කැඳවා,
“අතවැසියනි, තොප දෙදෙන වහා බරණැස් නුවරට යව, ගොස් බරණැස් නුවර මහ ධන සිටුහු මහා දානපති නන්දික මහා උපාසකයෝ මෙයින් බොහෝ කල් සිට බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දානපතිව මහ දන් පැවැත්වූවෝ ය. දුගී මගී යාචකාදීනට ගෙහි දන් වැට තබා දුන්නෝ ය.
එතුමන්ට බිරිඳව සිටි රේවතිය නම් මිසදිටු ගැහැනිය එතුමෝ මිය පරලොවැ ගිය කල්හි බුද්ධාදී රත්නත්‍රයට නින්දා බස් බෙනෙමින් අවමන් කරන්නේ ය. භික්ෂූන්ට දන් දීමෙන් හා දුගී මගී යාචකාදීන්ට දුන් දන් වැට විනාශ කළා ය.
එසේ හෙයින් එම කුරිරු මිසදිටු රේවතිය මෙයින් සත් වන දින ඹ්වග්‍රහයෙන් ගෙන අවීචි මහ නරකයට ඇද දමන්නාහ යි සියලු බරණැස්පුර වාසීන්ට ඇසෙන සේ හඬ නගා කියව“යි නියෝග කෙළේ ය. අතවැසි යක්ෂයෝ දෙදෙන වෙසමුණි මහ රජ කී සැටියෙන් බරණැස් නුවරට පිවිසියාහු,
“නුවර වාසී මනුෂ්‍යයෙනි, මෙය හොඳින් අසත් වා! බරණැස් නුවර මහ ධන සිටාණෝ මහා දානපති නන්දික උපාසකතුමාට බිරිඳව සිටි රේවතී නම් පව්කාර ගැහැනිය කරන ලද බොහෝ අකුසල් ඇත්තී ය. ඊට වන්දි වශයෙන් මෙයින් සත් වන දවස ඇය පණ පිටින් ම අවීචි මහා නරකයට ඇද දමන්නේ ය.
මනුෂ්‍යයනි, ඇයට වන්නා වු මහා විනාශය සිහි නුවණට ගෙනැ නුවර වාසීහු රේවතිය මෙන් පව්කම් නොකරත් වා! පින්කම් ම කරත් වා!! ඇය මෙන් මිසදුටු නොවී බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි විශ්වාසය තබත් වා! බුදුන් ප්‍රමුඛ මහා සංඝයා ට දන් පුදත් වා! දුගී මගී අසරණයන්ට දන් දෙත් වා!” යී නුවරුන්ට ඇසෙන සේ මහත් උද්ඝෝෂණයක යෙදුණාහ.
අතවැසි යක්ෂයන්ගේ ඒ මහා ඝෝෂාව අසා බොහෝ මනුෂ්‍යයෝ භයින් තැති ගත්තාහු ය. කටයුතු නොකටයුතු තේරුම් ගත නොහැකි ව තම තමන් ගේ ඉෂ්ඨ දේවතාවනට නමස්කාර කෙරෙමින් ආරක්ෂාව පැතූහ.
යක්ෂයන් දෙදෙනාගේ බියකරු වදන් පෙළින් බියටත් ත්‍රාසයටත් පත් වූ රේවතිය ප්‍රාසාදයේ මතු මහලට නැගී දොරවල් වසා අගුලු ලා ගත්තා ය. ඇගේ අකුසල කර්මය හේතුකොට ගෙනැ සත් වැනි දවස වෙසමුණි මහ රජු විසින් අණකර එවන ලද යක්ෂයන් දෙදෙන උඩු මහලෙහි සැඟවී සිටි රේවතිය කරා පැමිණ ඇගේ දෑත් එක් කොටැ ගැටගසාලුහ.
එසේ කොටැ ප්‍රාසාදයෙන් පිටතට ගෙනැ පව් කළ වුන් විඳින්නා වූ දඬුවම් මෙසේ යයි කියන්නා සේ බරණැස් නුවරට ගෙනැ ගොස් වීථියක් පාසා ගෙන යමින් ගල් මුල් ආදියෙහි බිම ලා අදිමින් හිංසනයට පත් කර යළි අහසට ඔසවා ගෙන ගොස් තව්තිසා භවනෙහි නන්දික දේව පූත්‍රයාගේ විමන් දොර අභියස සිටවූහ.
එකල්හි විචිත්‍ර වු ද, මනෝරම්‍ය වූ ද, ස්වර්ණමය දිව්‍ය විමානය දුටු රේවතිය එයින් වශීකෘත වූයේ, “දහසක් දෙවඟනන් හා දේව සමූහයා පිරිවරමින් මේසා මහත් වූ දිව්‍ය සැප හා දිව්‍ය සම්පත් විඳින මොහු කවරෙක් ද? කිනම් තැනෙක සිට පැමිණයේ දැ”යි යක්ෂයන් විචාලා ය.
එසේ විචාල කල්හි “මේ තෙමේ වනාහි පූර්ව ආත්මයෙහි මිනිස් ලොවැ බරණැස් නුවර විසූවෙකි. බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි පැහැදුනා වූ සත් පුරුෂයෙකි. මසුරු නොකොට දන් දීමෙහි පරිත්‍යාගශීලී වූවෙකි. පොහොය අත නෑර සිල් සමාදන් වූවෙකි.
බොහෝ කුසල් සිදු කොටැ ඇති හෙයින් මිනිස් ලොවින් චූත වන්නටත් පෙරැ එතුමෝ වෙනුවෙන් මෙම දිව්‍ය විමානය පහළ විය. දහසක් දිව්‍යාංගනාවෝ විසින් පිරිවරන ලදුව දෙපස සැදී දේව සමූහයා මධ්‍යයෙහි හිරු මඬලක් සේ බබළන්නා වූ තෙල පෙනෙන දිව්‍ය පුත්‍රයා නම් මහා දානපති නන්දික උපාසකයෝ ය”යි යක්ෂයින් කීහ.
ඒ ඇසූ රේවතිය මහත් උනන්දුවෙන් “පින්වතුනි, එහි පෙනෙන්නේ නන්දික උපාසකයෝ නම් ඒ මාගේ ස්වාමි පුරුෂයාණෝ ය. ඔහු සමඟ එක ගෙයි වෙසෙමින් යස ඉසුරු විඳී මම නන්දික ගේ භාර්යාව වෙමි. එසේ හෙයින් මා ද ඔහු සමඟ දිව්‍ය විමානයෙහි වසන්නට කැමැත්තෙමි. මම ඔහු ගේ සම්පත් ප්‍රිය කරමි. නරකයට යන්නට හෝ එහි වැටී දුක් විඳින්නට හෝ මම නො කැමැත්තෙමි. මට එහි යාමට අවකාශ දෙව“යි ඉල්ලා සිටියාය.
ඇගේ වචන ඇසු යක්ෂයෝ “රේවතිය තී කුමක් නම් දොඩන්නෙහි ද? බුද්ධාදී රත්නත්‍රයට ගැරහිලිකම් කොට, මසුරුකම් කොටැ, දන් ලබනුවට පැමිණි දුගී මගී යාචකයනට පොලු මුගුරු ගෙන පහර දී ඔවුන් පලවා හැරියා ය. දන්වැට කඩා දමා විනාශ කෙරෙමින් දන් දීම් නවතා දැමී ය. එහෙව් දුෂ්ටකම් කළ තිට කවර නම් දිව්‍ය සැපතක් ද?
පාපිෂ්ට අසත්පුරුෂ ගැහැනිය තී ගැන නන්දිකයෝ සිත නො අලවන්නාහ. එහෙයින් තිගේ නිරර්ථක ප්‍රාර්ථනාවලින් සිද්ධවන යහපතක් නැත්තේ ය, තී කැමැත්තේ හෝ නො කැමැත්තේ නරකයට ම යවන්නෙමු”යි කියා එතැනින් ‘සංසවක’ නම් නිරය වෙත ගෙන ගොස් එහි සිටවූහ.
එසේ සිටුවා, “රේවතිය තී මිනිස් ලොවැ වසන කල්හි සුළු තරමින් හෝ පිනක් නොකළා ය. තමන් සතු සම්පත් හා යස ඉසුරු කෙරෙහි ලෝභ උපදවා ඒවා සඟවා තබා ගනිමින් අන්‍යයන් කෙරෙහි ද්වේශ උපදවාලී ය. එබඳු නුගුණු ඇති අසත්පුරුෂ තී වැනි පාපිෂ්ඨයන්ට කුසල් කොටැ දිව්‍ය ලෝකයෙහි පහළ වු මහත් වූ යස ඉසුරු විඳින්නා වු දෙවියන් හා වසන්නට පින් නැත්තේ ය.
රේවතිය, එසේ හෙයින් බොහෝ කාලයක් දුක් විඳින්නට මෙම සංසවක නරකයෙහි පැසෙනවා හැර වෙනත් තැනක් තොපට උරුමව නැතැ”යි පැවසූ යක්ෂයින් දෙදෙනා එතැනින් අතුරුදහන් වුහ.
ඉක්බිති යමපල්ලන් දෙදෙනෙක් පැමිණ ඇය සංසවක නිරයට ලනු පිණිස ඇදගෙන ගියහ. එසේ ඇදගෙන යන යමපල්ලන් දෙදෙනා කියන්නාහු ය.“රේවතිය, තී සංසවක නිරයට ඇද දැමූ කල්හි තිගේ ශරීරය තුන්ගව් තරම් උස් වන්නේය. නාසය පුපුරා පැළී යන තරම් මහා දුර්ගන්ධයක් ඇති අසූචියෙන් පිරුණා වූ සංසවක නිරයෙහි තී කල්ප ලක්ෂ සංඛ්‍යාත ගණන් පැසීමට නියමිත ය.
රේවතිය යක්ෂයින් විසින් ගෙන ගිය බව භික්ෂූන් වහන්සේ වෙතින් දැනගත් බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, රේවතී මෙලොව වසන කල්හි ඇය විසින් සිදුකරන ලද කෙළවරක් නැති පාප කර්මයන්ගේ විපාක ඇය විසින් විඳිය යුතු හෙයින් ඇය සංසවක නම් නිරයෙහි පැසීමට ඒ හේතුවී ය”යි ඇය පිළිබඳව සියලු පුවත් සැකෙවින් වදාරමින් ‘චතුස්සත්‍ය’ මාතෘකා කෙරෙමින් ධර්මය දෙසූ සේක. දේශනය අවසානයෙහි බොහෝ දෙනා සෝවාන් ආදී සතර මග සතර ඵලයන්ට පැමිණියාහ.
උඩුබද්දාවේ
සෝමරත්න බන්නැහැක
සිතුවම් – ආරියසිරි කොඩිතුවක්කු