5/28/13

පුජාවන්ගේ ආනිශංස

පුජාවන්ගේ ආනිශංස


285314_142482135916874_479904282_n[1]

උතුම් ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය.සාධු…සාධු…සාධු…
ඔබට අප මෙතෙක් කල් බොහෝ ඉදිරිපත් කලේ පවෙහි විපාක පිලිබදවය.නමුත් අද පිනෙහි ආනිශංස ගැන අවබෝධයක් ලබා දිමට සිතුවෙමු.බුදුරදුන් පැහැදිලි කර දී ඇත්තේ -චිත්තං පුනාතීතී පුණ්ණං-යනුවෙනි.එහි තෙරුම සිත පිනා යාම හෙවත් සතුටු වීම පින වන බවය.එසේ සතුටු විය යුත්තේ යහපත් ක්‍රියාවකින් මිස අන් දෙයකින් නොවේ.අප මියපරලොව ගිය කල අලේ පිලිසරණ සදහා
සිටින්නේ පින්කම් පමණක් බවද බුදුහිමියන් පෙන්වා දී ඇත.ඉතින් එවැනි පුණ්‍ය ශත්තියක් ලබා ගැනීම සදහා අප විසින් නිතර කරන විවිධ පූජාවන්ගේ ආනිශංස දැන සිටීම ඉතා වැදගත්ය.
(මෙම ත්‍රිවිධ පූජාවේ අනුසස් ඉතා බොහෝ බැවින්, සංක්ෂිප්ත ලෙස ලෙස දක්වා ඇත)
මල් පූජාවේ අනුසස් -
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
සිත එකග කරගැනීමට හැකිවිම
ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
ලෙඩ රෝගවලින් වැලකිම
අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම
පහන් පූජාවේ අනුසස් -
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හො‍ද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම
සුවද පූජාවේ අනුසස් –
උපනූපන් ජාතියේ සැමට ප්‍රිය අයෙකු වීම
වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වීම
සුගති භවයන්හි උත්පත්තියට හේතු වීම
වහා චිත්ත සමාධිය ඇතිවේ
සුවදවත් සිරුරක් ලැබේ
නවන සදහා හේතු වීම
පැන් පිදීමේ අනුසස් –
ආයුෂයෙන්,වර්ණයෙන්,සැපයෙන්,පිරිවරින්,ආධිපත්‍යයෙන්,රූපයෙන්,ශබ්දයෙන්,ගන්ධයෙන්,රසයෙන්,ස්පෂ්ටව්‍යය යන කරුණු වලින් දෙව්ලොවදී අන් දෙවගනන් ඉක්මවා සිටීම යනඅනුසස් ලැබේය.
ආහාරපාන පිදීමේ අනුසස් -
බොහෝ ආයුෂ ඇත්තේ වීම
බලවත් වීම
ධෛර්ය ඇත්තේ වීම
වර්ණ ඇත්තේ වීම
යසස් ඇත්තේ වීම
සුව ඇත්තේ වීම
ආහාර පාන ලැබීම
ශූර වීම
නුවණැති වීම
ගිලන්පස පිදිමේ අනුසස් දසය –
ආයුෂය,ශරීර ශක්තිය,නුවණ,ශරීරයේ යහපත් පැහැය,පිරිවර,
සැපය,උපද්‍රව නැතිබව,ගොවිතැන් පාලු වීම ආදී ව්‍යසන නොමැති
බව,ගරු බුහුමන් ලැබිම,ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නොවීම
යන අනුසස් ලැබීම.
අටපිරිකරට අනුව මෙතැන් සිට සදහන් වන පූජා සයෙහි අනුසස්
පෙළ ගස්වා ඇත.
වස්ත්‍ර පිදීමේ අනුසස් –
රන්වන් සිරුරු ඇත්තෙක් විම
ශරීරයේ කුණු දූවිලි නැත්තෙක් වීම
රැස් විහිදෙන ශරීර ඇත්තේ වීම
ප්‍රතාප ඇත්තේ විම
සිනිදු සිරුරක් ඇත්තේ වීම
හිස මස්තකයෙහි සුදු,කහ,රතු පැහැ ඇත්තා වූ ලක්ෂ ගණනින් වස්ත්‍ර දරා සිටීම
පාත්‍ර පිදීමේ අනුසස් –
රන්,මැණික්,රිදී සෑම කල්හි පරිහරණය‍ට ලැබීම
උපද්‍රව අනතුරු නැත්තේ වීම
සෑම කල්හි සියල්ලන් විසින් ගරු තරන අයෙකු වීම
ආහාරපාන,වස්ත්‍ර,සයනාසන ලබන්නේ විම
බෝග විනාශයට පත් නොවීම
ස්ථිර සිත් ඇත්තෙකු වීම
හැම කල්හි ධර්මය කැමැත්තෙක් වීම
මද කෙලෙස් ඇත්තෙක් වීම
ආශ්‍රව රහිත විම
මෙම සියල්ල දෙව් මිනිස් භවයන්හි අත් නොහැර යන
සෙවණැල්ලක් සේ ලැබීම
දැළිපිහියා පිදීමේ අනුසස් –
හැම කල්හි ශූර වීම
නොවිසිරි සිත් ඇත්තෙක් වීම
වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණීම
ධෛර්ය ඇත්තේ වීම
වීර්ය ඇත්තේ විම
කෙලෙස් වසගයට යා නොදී රැකගත් සිත් ඇත්තෙක් විම
කෙලෙස් සිදින්නා වූ සියුම් ශුද්ධ වූ ඥානය සැම කල්හි ලැබීම
ඉදිකටු පිදිමේ අනුසස් –
සැක නැත්තේ වීම
සැක සිදින්නේ වීම
රූ ඇත්තේ වීම
භෝග ඇත්තේ වීම
තියුණු වූ නුවණ ඇත්තේ වීම
ගම්භීර වූද සියුම් වූද ස්ථාන වූද අර්ථයෙන් ඥානයෙන් දැකීමට සමත් වීම
මොහදුර නසන්නා වූ වජ්‍රායුධාග්‍රයට සමවූ ඥානයක් ඇත්තේ වීම
පටි පිදීමේ අනුසස් –
සමාධීන්හි කම්පා නොවීම
සමාධියෙහි වශී භාවය ඇත්තේ වීම
නොබිදෙන පිරිස් ඇත්තේ විම
හැම කල්හි අනුන් පිලිගන්නා වචන ඇත්තෙකු වීම
එළඹ සිටි සිහි ඇත්තෙකු විම
බියක් හට නොගැනීම
පෙරහන්කඩ පිදීමේ අනුසස් –
සෑම දෙන ඉක්මවා දිව්‍යායුෂ ලැබීම
සොර සතුරන්ට කිසිදා හිංසා නොකල හැකි වීම
ආයුධ වලින්ද,වස විසෙන්ද හිංසාවක් නොවීම
නියමිත ආයුෂ ගෙවන තුරු අකල් මරණයට පත් නොවිම.
—————————————————————–
ඡත්‍ර දානයේ අනුසස් –
ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
ශරීරයේ කුණු නොඇලීම
උපද්‍රව නොමැති වීම
අන්තරාය නොමැති වීම
හැම කල්හි අන්‍යයන් ගරු කිරීම
සියුම් සම ඇත්තේ වීම
සිත පිරිසිදු බවින් යුක්ත වීම
සසර සැරිසරණ කල්හි විචිත්‍ර ඡත්‍ර ලක්ෂණයක් හිස මස්තකයේ පිහිටිම
පවන්අතු දානයේ අනුසස් –
ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
ශරීරයේ දාහය නොමැතිවීම
සිත තවන දාහයක් නොමැති වීම
රාග ගිනි,ද්වේෂ ගිනි,මෝහ ගිනි,මාන ගිනි,දෘෂ්ටි ගිනි යන සියලු
ගිනි නිවීම
පාවහන් දානයේ අනුසස් –
හස්ති,අශ්ව සිවි,රථ ද සැට ලක්ෂයක් සැම කල්හි තමා පිරිවරා සිටීම
මැණිකෙන්ද,කම්බිලියෙන්ද,රනින්ද,රිදියෙන්ද පාදුකාවෝ පා
ඔසවන කල පහළ විම
ඍධිමය මිරිවැඩිට නැගී සිටීමට හැකි විම.
තෙල් බිදීමට තැබීමට බදුන් පිදීමේ අනුසස් –
නිරෝගී සැප ලැබීම
රූප සම්පත්තිය ලැබීම
ප්‍රිය වචන ඇත්තෙකු වීම
කැපඹුනු සිතින් තොර කෙනෙකු විම
ආරක්ෂා ඇත්තෙකු වීම
අංසකඩ පිදීමේ අනුසස් -
අන් අයගේ සිත් දිනාගන්නා නුවණ ඇතිවිම
පෙර ආත්ම සිහිකිරිමේ නුවණ ඇතිවීම
පැහැපත් ශරීර වර්ණයක් ඇති වීම
සැරයටි,කිහිලිකරු හා රෝදපුටු පූජාවේ ආනිශංසය
තම දරුවන්,පබිරිද,සහෝදර සහෝදරියන් මවිපියන් අකාලයේ
මරණයට පත්නොවීම හා එවැනි ප්‍රිය විප්පයෝග දුකකට පත් නොවිම.
ඉන බදින පටි පූජා කිරිමේ ආනිශංස –
සිත සමාධි කර ගැනීමට හැකිවීම
කරදර වලදී කම්පා නොවන සිතක් ඇතිවීම
තමා වෙත බැදුණු පිරිසක් ඇති විම
අන් අය පිලිගන්නා සත්‍ය වචන ඇති බව
පැහැදිලි මතක ශක්තියක් ඇති බව
නිර්භය බව
අනුසස් එකක් ගෙන දුන් පූජා –
ප්‍රාතාදිය තබන ආධාර පිදීම
කුඩා පිහිද,ලොම් උදුරන අඩු පිදීම.
අනුසස් දෙකක් ගෙන දුන්පූජා –
පිදුරු බිසි පිදීම
යතුරු පිදීම හා පා පුටු පිදීම
අනුසස් තුනක් ගෙන දුන්පූජා –
ඉදිකටු,අසංකඩ,භාජන හා තලි පිදිම
අනුසස් පසක් ගෙන දුන්පූජා –
පිහි,නිය කපන,තෙල් කල් තබා ගන්නා භාජන,අදුන් නල,ඇග ගල්වන තෙල්,තෙල් ගිතෙල් පිදීම හා මුව පිරිසිදු කරන පිදීම
අනුසස් සයක් ගෙන දුන්පූජා –
කොට්ට,දිය පිස්නා,පුටු හා මෙට්ට පිදීම
අනුසස් අටක් ගෙන දුන්පූජා –
නස්‍ය කිරීමේ උපකරන පිදීම හා බෙහෙත් අදුන් පිදිම
අනුසස් දසයක් ගෙන දුන්පූජා –
මහා සැළි හා කරඩු පිදීම.
ආහාරපාන පිදීම
බෙහෙත් පිදීම
සුවද දුම් පිදීම
(මෙම පූජාවෙන්ගේ අනුසස් දැන ගැනීම සදහා ත්‍රිපිටකයේ ආපදාන
පාලිය,පාරමිතා ප්‍රකරණය නැමැති ග්‍රන්ථ බලන්න)
ඇමදීමේ ආනිශංස -
තමාගේ සිත ප්‍රසාදයට පත්වේ
අනුන්ගේ සිත ප්‍රසාදයට පත්වේ
දෙවියන් සතුටු වෙති
රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි
මරණින් මතු ස්වර්ගයේ උපදී
වැදීමේ පිදිමේ ආනිශංස –
ආයු,වණ්න,සැප,බල වැඩිවිම
උසස් කුලවල උප්පත්තිය ලැබීම
මාහානුභාව සම්පන්න වීම
සියල්ලන්ගේම ගරු බුහුමන් ලැබීම
කොඩි පූජාවෙන් ලැබෙන ආනිශංස –
උපනුපන් තැන්වල ජනප්‍රිය පුද්ගලයෙකු වීම
උසස් පුද්ගලයෙකු වීම
සැමගේ ගරු බුහුමනට ලක්වීම
සියලු සැප සම්පත් ලැබීම
සේනාසන පූජාවේ ආනිශංස –
විෂෙන් ආරක්ෂා වීම
අවි ආයුධවලින් ආරක්ෂා වීම
දියෙන් ආරක්ෂා වීම
කලට වැසි ලැබීම
දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම
නො අඩුව සියලු සැප සම්පත් ලැබීම
සැලකිය යුතුයි – පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුන්
වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජාකළ මහා දානයන්ගෙන්
ලැබූ අනුසස් ධර්මය අවබෝධ කළ අප බුදුරජාණන් වහන්සේගේ
ශාසනයේදී ප්‍රකාශ කල අයුරු මෙහි බොහොමයක දක්වා ඇත.
අනුසස් දැක්වීම කාණ්ඩ කොට දක්වා ඇත්තේ පින්කම් සිදුකරන
විට අනුසස් මතකයේ තබා ගැනිම පිණිස මිස අන් විශේෂ කරුණක් මත නොවේ.
විශේෂ කරුණු – පින්කම් තුළින් ලැබෙන අනුසස් අඩු වැඩි විම දායක-ප්‍රතිග්‍රාහක දෙපක්ෂයේ සිල්වත් බවත්,පූජා වස්තුව උපයා
ගැනීමේ ධාර්මික බවත්,පූජාව සිදුකරන දායකයා එහි අනුසස් දැක සිත පහදවා ගන්නා ආකාරය අනුව සිදුවන බව විශේෂ කරුණකි.
හේතු-ඵල ධර්මය දැන ඒ ගැන විශ්වාසය ඇති කරගෙන සිදුකරන
සියලු පින්කම් මහත්ඵල මහානිශංස වීමට (ත්‍රි හේතුක කුසල් වීමට)
ප්‍රධාන හේතුව වන බැවින් ඒ අනුව පින්කම් සිදුකිරීමට පුරුදු
පුහුණු කල යුතුය.
මෙතෙක් වේලා ඔබට පූජාවේ ආනිශංස බොහෝ ගෙනහැර පෑවෙමු.
නමුත් ඔබට ඉදිරිපත් නොකල බොහෝ කර්මයන්හි ආනිශංස විස්තර වශයෙන්ද අප සතුව ඇත.ඉදිරියේදී ඒවා ලබාදීමේ බලාපොරොත්තුවෙන් ලිපිය නවතමු.
මේ පින ඔබටත් අපටත් සසර කෙලවර කිරීමටම හේතු වාසනා වේවා..සම්මා සම්බුදු සරණයි…

දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සුත්‍රය

දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සුත්‍රය


11475_144151602416594_1090516738_n[1]

ශාස්ත්‍රවේදී, පණ්ඩිත අමුණුපුර පියරතන හිමි
වැරැදි සංඥා අහිතකර ඵල ගෙනදීම ස්වාභාවික ය. සාමාන්‍ය සඤ්ඤාව කලක් එම ස්වරූපයෙන් ම පවතින්නේ නම්, මාරයා අප ග්‍රහණය කර ගැනීම ඉතා කලින්ම සිදුවනු ඇත. එබැවින් බුදුරදුන් විසින් දේශිත අනිත්‍ය සංඥාව අනත්ත සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, පහාණ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, සබ්බලෝකේ අනභිරත සංඥාව, සබ්බ සංඛාර අනිත්‍ය සංඥාව , ආනාපානසතිය යන දස සංඥාව, නිරෝගී භාවයට නිරවුල් චින්තනයට, නිරවුල් භාෂාවට, ක්‍රියාවට, බණ භාවනාවට කෙලෙස් සමනයට, නිවන් සුවයට මාර්ගය යි.
අථඛෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දසසඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භි වුට්ඨාහිචායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා තථා පහීනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති.
සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත සත්ත්වයන්ට දුක් වේදනා සමනය කොට සැනසුම ලබා ගැනීමට අති ශ්‍රේෂ්ඨ ධර්මයක් දේශනා කළ සේක. එම දේශනා අතර ගිරිමානන්ද සූත්‍රය මානසික පරිවර්තනයකින් ශාරීරික වේදනා නැති කිරීමට, වේදනා අරමුණු කරගෙන රාගාදී කෙලෙස් දාහ නිවීමට, විමුක්ති සුවයෙන් සැනසීමට මහෝපකාරී වන්නේ ය.
සත්වයකුගේ රූප, වේදනා, සංඥා, සංඛාර , විඤ්ඤාණ යන පංචස්කන්ධයම එක්ව, පවතින අතර, මෙම ස්කන්ධ පහ ක්‍රියාකාරී ලක්ෂණ වශයෙන් වෙනස් ය. ගිරිමානන්ද සූත්‍රයෙන් දක්වා ඇත්තේ පංචේන්ද්‍රියවලින් රූපාදී අරමුණු තම තමන්ගේ බුද්ධි සීමාව තුළ හඳුනා ගැනීම නොව, පංච උපාධනස්කන්ධ අනිත්‍යාදී වශයෙන් හඳුනා ගැනීමේ බුද්ධිමය උපාය වශයෙන් නිර්වාණගාමී පිළිවෙතට අවතීර්ණ වීමයි. සත්ත්වයාගේ පුහුදුන් ස්වභාවය අනුව පංචේන්ද්‍රිය වලින් රූපාදිය හඳුනාගන්නේ, තාවකාලික ප්‍රයෝජන අපේක්ෂාවෙනි. එහෙත් බුද්ධිය මුහුකුරා යන විට සිහි බුද්ධියෙන් ගෝචර ධර්ම හඳුනා ගැනීමට පෙළඹීම, සිදු වෙයි.
සත්ත්වයකු උපන්දා පටන් ලෝකය හඳුනා ගන්නේ පාරම්පරික සම්මත අනුව බැවින්, ලෙඩ රෝග, අතුරු ආන්තරා අපල උපද්‍රව ආදියට මුහුණ දීමට සිදු වෙයි. වැරැදි සංඥා අහිතකර ඵල ගෙනදීම ස්වාභාවික ය. සාමාන්‍ය සඤ්ඤාව කලක් එම ස්වරූපයෙන් ම පවතින්නේ නම්, මාරයා අප ග්‍රහණය කර ගැනීම ඉතා කලින්ම සිදුවනු ඇත. එබැවින් බුදුරදුන් විසින් දේශිත අනිත්‍ය සංඥාව අනත්ත සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, පහාණ සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, සබ්බලෝකේ අනභිරත සංඥාව, සබ්බ සංඛාර අනිත්‍ය සංඥාව , ආනාපානසතිය යන දස සංඥාව, නිරෝගී භාවයට නිරවුල් චින්තනයට, නිරවුල් භාෂාවට, ක්‍රියාවට, බණ භාවනාවට කෙලෙස් සමනයට, නිවන් සුවයට මාර්ගය යි.
සත්ත්වයා රූපාදී අරමුණු හඳුනා ගන්නේ මතු ග්‍රහණය කරන අපේක්ෂාවෙන් නිසා එහි යථාර්ථ ස්වරූපය අත්හැර එම ක්‍ෂණයකින් වෙනස්වන සියුම් පරමාණු රූප පාරම්පරිකව දී ඇති බාහිර නම් වලින් ග්‍රහණය කර ගනියි. මේ නිසා ඒවායේ සැබෑ තත්ත්වයට මුහුණදීමේ දී දුක් සන්තාප ඇති කර ගනියි. එය අහක යන කුණු ගොඩක් නොදැක බදා ගත්තා මෙනි. පුහුදුන් සත්ත්වයාගේ මානසික රෝගයක් වශයෙන් ආත්ම සංඥාවද අකුසල චේතනා රාශියකට හේතු භූත වන්නේ ය. එමෙන්ම පංචේන්ද්‍රිය ආශි‍්‍රතව විවිධ රෝගාබාධ ඇති වන බැවින් අප බුදුරජාණන් වහන්සේ ආයතන ද අනාත්ම වශයෙන් හැඳින ගත යුතු බව පහදා දුන් සේක.
ශරීරය මෙතරම් පීඩාකාරී වන්නේ එහි ඇති කුඩා අනුකුඩා අංගෝපාංගවල පවත්නා අනිත්‍ය ස්වභාවය නිසා ය. මෙම ස්වභාවය අමතක කර හෝ නොදැනුවත්කම හෝ අන්තවාදී දෘෂ්ටිය නිසා හෝ බාහිර වශයෙන් විවිධාකාර පිළියම් හා පෝෂණය, මණ්ඩණය කරන බැවින් එය, පීඩනයට පත්වන විට මානසික වේදනාවට පත් වෙයි. මේ නිසා අසුබ සංඥාව මානසික පර්වතනයකට හේතුවක් ලෙස, භාවනාමය කුසලයක් ලෙස, නිරෝගී භාවයේ නිධානයක් ලෙස ඵලදායක වන්නේය.
නව දොරකින් ජරාව පිටවන, සතර මහා භූතයන්ගෙන් පාලනය වන ශරීරය, උපන් දා සිට විවිධාකාර රෝගාබාධවල නිදානයක් වන්නේ ය. මේ වග සිහි බුද්ධියෙන් මෙනෙහි කිරීම, ආදීනව සංඥා නම් වන්නේ ය. එමගින් වේදනා සමනය වන්නේ ය.
ශරීරය පිළිබඳ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් සිතන විට ඇතිවන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී වූ පාපී අකුසල ධර්ම නොඉවසීම බැහැර කිරීම, යළි නූපදින තත්ත්වය ඇති කර ගන්නේද එය ප්‍රහාණ සංඥාව වන අතර, එයින් ද මානසික පීඩා පහව යන්නේ ය.
සියලු සංස්කාර ධර්මය නිරුද්ධ වන කාමාදී උපධීන් බැහැර කිරීම, තණ්හාව ක්‍ෂය වීම, විරාගය උතුම් චින්තාවක් වන අතර, විරාග සංඥාව උභයාර්ථ සුවයට ද හේතු කාරක වෙයි.
නිරෝධ සඤ්ඤාව නම් සියලු සංස්කාර ධර්ම නිරෝධය, සියලු උපධීන් බැහැර කිරීම, තණ්හාව ක්‍ෂය වීම, විරාගය නිරෝධය තුළින් නිවීම යි.
සබ්බ ලෝක අනභිරත සංඥාවත් සබ්බ සංඛාර අනිත්‍ය සංඥාවත්, චෛතසික පිළිබඳ පරිවර්තන අවස්ථා දෙකකි. පවිත්‍ර සිතින් සිත තුළ බැලීම මෙයින් සිදුවන අතර, යථාර්ථ සංඥාවෙන් සංස්කාර කෙරෙන් සන්තානය වෙන් කිරීමට මෙය හේතු වෙයි.
සත්ත්වයාට ඇතිවන තණ්හා දෘෂ්ටි උපාදානාදී සාවද්‍ය දැකීම් හැඟීම් සියල්ලම ස්කන්ධ ධර්ම අරමුණු කරගෙන ඉපදී තුන් දොරින් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම බණ භාවනාදියෙන් සිත දියුණු නොකළ තැනැත්තා, ශාස්වත උච්ඡේදාදී දෘෂ්ටි සහ සත්වැදෑරුම් අනුසය කෙලෙස් ඇතිව ඒවායේ ඇලී ගැලී වාසය කරයි. එය ඔහුගේ මානසික පීඩනයට හේතු කාරක වන්නේ ය. සංසාරික මහා දුක් රාශියකට ගොදුරුවීමට එය හේතු වන්නේ ය.
අප බුදුරදුන් විසින් දේශනා කළ ගිරිමානන්ද සූත්‍රයේ අවසාන සංඥාව ආනාපාන සතිය යි. ආශ්වාස ප්‍රාශ්වාස 34 ආකාරයකට කිරීමෙන් ඒ පිළිබඳ ඉතා සියුම්ව සිහි බුද්ධියෙන් ආවර්ජන කිරීම ද කායික මානසික වේදනා සමනය කර ගැනීමට හේතු වෙයි.
සත්ත්වයා උපන්දා පටන් මරණය දක්වා කරක නිරායාස නිත්‍ය ක්‍රියාව නම්, ආශ්වාස ප්‍රාශ්වාසය යි. ඉතා වේගයෙන් සිදුවන එම ක්‍රියාව, අරමුණක් වශයෙන් මනසින් අල්ලා ගැනීමට සතිය තිබිය යුතු ය. ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයක් එය නාසයේ පටන් ගමන් කරන මාර්ගයත්, ඉන් ක්‍රියා කරන ශරීරයත් දළ වශයෙන් මනසට ගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළ හැකිය.
සිතත්, සිතිවිලිත්, ශරීරයත් එක්ව ක්‍රියා කරවන ආනාපාන භාවනාව ක්‍රමයෙන් දියුණු කර ගන්නා විට සමථ විදර්ශනා දෙයාකාරයෙන්ම චිත්ත සන්තානය පී‍්‍රතියටත් සරල භාවයටත් පත් වෙයි. මෙයින් රාගාදි කෙලෙස් සමනය වෙයි. චිත්ත විවේකයෙන් යුතුව දිට්ඨධම්ම වේදනීය වශයෙන් ඉහාත්මයේදීම විමුක්ති සුවයෙන් සැනසීමට හැකිවෙයි.
බාහිර දියුණුවට වඩා ආධ්‍යාත්මික දියුණුව ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ එයින් සසර ගමනේ දී පවා සුගතිය තහවුරු වන බැවිනි. මෙයට ප්‍රධාන වන්නේ, සංඥා පරිවර්තනය යි.
අනවරාග්‍ර සසර සැරිසරන සත්ත්වයා, පංචේන්ද්‍රිය මගින් හඳුනා ගන්නා අරමුණු අනුව, කොතරම් සැප සම්පත් ලැබුවද, එහි අවසානය අනන්ත දුක් වේදනාවලින් පිරී පවත්නේ ම ය. එබැවින්, සංස්කාර වල උපතක්, පැවැත්මත්, විපතත් නුවණින් විමසා ඒ පිළිබඳ බුදුරදුන් විසින් වදාළ දස සඤ්ඤා ප්‍රගුණ කිරීමෙන්, මෙලොව හා පරලොව සුවපත් බවද අවේදයිත සැප සංඛ්‍යාත උතුම් නිවන් සුවයද ලබා ගැනීමට අප්‍රමාදව අවශ්‍ය කටයුතු කළ යුතු වන්නේ ය.

5/27/13

බුද්ධාදී රත්නත්‍රයට ගැරහිලිකම් කළ පවින් අවීචි මහ නරකයට



579440_172591862905901_1101322162_n[1]

බුද්ධාදී රත්නත්‍රයට ගැරහිලිකම් කළ පවින් අවීචි මහ නරකයට
“රේවතිය තී කුමක් නම් දොඩන්නෙහි ද? බුද්ධාදී රත්නත්‍රයට ගැරැහිලිකම් කොටැ මසුරුකම් කොටැ දන් ලබනුවට පැමිණි දුගී මගී යාචකයනට පහර දී ඔවුන් පලවා හැරියා ය. දන්වැට කඩා දමා විනාශ කෙරෙමින් දන්දීම් නවතා දැමී ය.
සුළු තරමින් හෝ පිනක් නොකළ තී තමන් සතු සම්පත් හා යස ඉසුරු කෙරෙහි ලෝභ උපදවා ඒවා සඟවා තබා ගනිමින් අන්‍යයන් කෙරෙහි ද්වේශ කළා ය. එබඳු නුගුණ ඇති අසත්පුරුෂ තී වැනි පාපිෂ්ටයන්ට, කුසල් නොකොටැ දිව්‍ය ලෝකයෙහි පහළ වු මහත් වු යස ඉසුරු විඳින්නා වූ දෙවියන් හා වසන්නට පින් නැත්තේ ය.
එසේ හෙයින් බොහෝ කාලයක් දුක් විඳින්නට මෙම ‘සංසවක’ නරකයෙහි පැසෙනවා හැර වෙනත් තැනක් තොපට උරුමව නැත්තේ ය.” බරණැස් නුවර මහ ධන සිටුහු මහා දානපතිවැ බුද්ධෝපස්ථානයෙහි යෙදී සිටි ‘නන්දික’ උපාසක තෙමේ බොහෝ පින් රැස් කොටැ පරමායුෂය ගෙවා මියගොස් මිනිස් කය හැර දමා තව්තිසා දෙව් ලොවැ බොහෝ වූ දිව්‍ය සම්පත් ලද දිව්‍ය පුත්‍රයකුව පහළ විය.
එකල්හි නන්දිකයනට බිරිඳව සිටි ‘රේවතිය’ සියලු දන්වැට විනාශයට යවා “මෙම ශ්‍රමණයන් නිසා මාගේ සියලු ලාභ සත්කාර ගිලිහී ගියේ ය”යි භික්ෂූන් කෙරෙහි වෛර බැඳ ආක්‍රෝෂ පරිභව කෙරෙමින් තැනින් තැන ඇවිදින්නී, ඇගේ මෙම නින්දා සහගත ක්‍රියාකලාපය දුටු ‘වෙසමුණි මහ රජ්ජුරුවෝ’ තම අතවැසි යකුන් දෙදෙනකු වහා කැඳවා,
“අතවැසියනි, තොප දෙදෙන වහා බරණැස් නුවරට යව, ගොස් බරණැස් නුවර මහ ධන සිටුහු මහා දානපති නන්දික මහා උපාසකයෝ මෙයින් බොහෝ කල් සිට බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දානපතිව මහ දන් පැවැත්වූවෝ ය. දුගී මගී යාචකාදීනට ගෙහි දන් වැට තබා දුන්නෝ ය.
එතුමන්ට බිරිඳව සිටි රේවතිය නම් මිසදිටු ගැහැනිය එතුමෝ මිය පරලොවැ ගිය කල්හි බුද්ධාදී රත්නත්‍රයට නින්දා බස් බෙනෙමින් අවමන් කරන්නේ ය. භික්ෂූන්ට දන් දීමෙන් හා දුගී මගී යාචකාදීන්ට දුන් දන් වැට විනාශ කළා ය.
එසේ හෙයින් එම කුරිරු මිසදිටු රේවතිය මෙයින් සත් වන දින ඹ්වග්‍රහයෙන් ගෙන අවීචි මහ නරකයට ඇද දමන්නාහ යි සියලු බරණැස්පුර වාසීන්ට ඇසෙන සේ හඬ නගා කියව“යි නියෝග කෙළේ ය. අතවැසි යක්ෂයෝ දෙදෙන වෙසමුණි මහ රජ කී සැටියෙන් බරණැස් නුවරට පිවිසියාහු,
“නුවර වාසී මනුෂ්‍යයෙනි, මෙය හොඳින් අසත් වා! බරණැස් නුවර මහ ධන සිටාණෝ මහා දානපති නන්දික උපාසකතුමාට බිරිඳව සිටි රේවතී නම් පව්කාර ගැහැනිය කරන ලද බොහෝ අකුසල් ඇත්තී ය. ඊට වන්දි වශයෙන් මෙයින් සත් වන දවස ඇය පණ පිටින් ම අවීචි මහා නරකයට ඇද දමන්නේ ය.
මනුෂ්‍යයනි, ඇයට වන්නා වු මහා විනාශය සිහි නුවණට ගෙනැ නුවර වාසීහු රේවතිය මෙන් පව්කම් නොකරත් වා! පින්කම් ම කරත් වා!! ඇය මෙන් මිසදුටු නොවී බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි විශ්වාසය තබත් වා! බුදුන් ප්‍රමුඛ මහා සංඝයා ට දන් පුදත් වා! දුගී මගී අසරණයන්ට දන් දෙත් වා!” යී නුවරුන්ට ඇසෙන සේ මහත් උද්ඝෝෂණයක යෙදුණාහ.
අතවැසි යක්ෂයන්ගේ ඒ මහා ඝෝෂාව අසා බොහෝ මනුෂ්‍යයෝ භයින් තැති ගත්තාහු ය. කටයුතු නොකටයුතු තේරුම් ගත නොහැකි ව තම තමන් ගේ ඉෂ්ඨ දේවතාවනට නමස්කාර කෙරෙමින් ආරක්ෂාව පැතූහ.
යක්ෂයන් දෙදෙනාගේ බියකරු වදන් පෙළින් බියටත් ත්‍රාසයටත් පත් වූ රේවතිය ප්‍රාසාදයේ මතු මහලට නැගී දොරවල් වසා අගුලු ලා ගත්තා ය. ඇගේ අකුසල කර්මය හේතුකොට ගෙනැ සත් වැනි දවස වෙසමුණි මහ රජු විසින් අණකර එවන ලද යක්ෂයන් දෙදෙන උඩු මහලෙහි සැඟවී සිටි රේවතිය කරා පැමිණ ඇගේ දෑත් එක් කොටැ ගැටගසාලුහ.
එසේ කොටැ ප්‍රාසාදයෙන් පිටතට ගෙනැ පව් කළ වුන් විඳින්නා වූ දඬුවම් මෙසේ යයි කියන්නා සේ බරණැස් නුවරට ගෙනැ ගොස් වීථියක් පාසා ගෙන යමින් ගල් මුල් ආදියෙහි බිම ලා අදිමින් හිංසනයට පත් කර යළි අහසට ඔසවා ගෙන ගොස් තව්තිසා භවනෙහි නන්දික දේව පූත්‍රයාගේ විමන් දොර අභියස සිටවූහ.
එකල්හි විචිත්‍ර වු ද, මනෝරම්‍ය වූ ද, ස්වර්ණමය දිව්‍ය විමානය දුටු රේවතිය එයින් වශීකෘත වූයේ, “දහසක් දෙවඟනන් හා දේව සමූහයා පිරිවරමින් මේසා මහත් වූ දිව්‍ය සැප හා දිව්‍ය සම්පත් විඳින මොහු කවරෙක් ද? කිනම් තැනෙක සිට පැමිණයේ දැ”යි යක්ෂයන් විචාලා ය.
එසේ විචාල කල්හි “මේ තෙමේ වනාහි පූර්ව ආත්මයෙහි මිනිස් ලොවැ බරණැස් නුවර විසූවෙකි. බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි පැහැදුනා වූ සත් පුරුෂයෙකි. මසුරු නොකොට දන් දීමෙහි පරිත්‍යාගශීලී වූවෙකි. පොහොය අත නෑර සිල් සමාදන් වූවෙකි.
බොහෝ කුසල් සිදු කොටැ ඇති හෙයින් මිනිස් ලොවින් චූත වන්නටත් පෙරැ එතුමෝ වෙනුවෙන් මෙම දිව්‍ය විමානය පහළ විය. දහසක් දිව්‍යාංගනාවෝ විසින් පිරිවරන ලදුව දෙපස සැදී දේව සමූහයා මධ්‍යයෙහි හිරු මඬලක් සේ බබළන්නා වූ තෙල පෙනෙන දිව්‍ය පුත්‍රයා නම් මහා දානපති නන්දික උපාසකයෝ ය”යි යක්ෂයින් කීහ.
ඒ ඇසූ රේවතිය මහත් උනන්දුවෙන් “පින්වතුනි, එහි පෙනෙන්නේ නන්දික උපාසකයෝ නම් ඒ මාගේ ස්වාමි පුරුෂයාණෝ ය. ඔහු සමඟ එක ගෙයි වෙසෙමින් යස ඉසුරු විඳී මම නන්දික ගේ භාර්යාව වෙමි. එසේ හෙයින් මා ද ඔහු සමඟ දිව්‍ය විමානයෙහි වසන්නට කැමැත්තෙමි. මම ඔහු ගේ සම්පත් ප්‍රිය කරමි. නරකයට යන්නට හෝ එහි වැටී දුක් විඳින්නට හෝ මම නො කැමැත්තෙමි. මට එහි යාමට අවකාශ දෙව“යි ඉල්ලා සිටියාය.
ඇගේ වචන ඇසු යක්ෂයෝ “රේවතිය තී කුමක් නම් දොඩන්නෙහි ද? බුද්ධාදී රත්නත්‍රයට ගැරහිලිකම් කොට, මසුරුකම් කොටැ, දන් ලබනුවට පැමිණි දුගී මගී යාචකයනට පොලු මුගුරු ගෙන පහර දී ඔවුන් පලවා හැරියා ය. දන්වැට කඩා දමා විනාශ කෙරෙමින් දන් දීම් නවතා දැමී ය. එහෙව් දුෂ්ටකම් කළ තිට කවර නම් දිව්‍ය සැපතක් ද?
පාපිෂ්ට අසත්පුරුෂ ගැහැනිය තී ගැන නන්දිකයෝ සිත නො අලවන්නාහ. එහෙයින් තිගේ නිරර්ථක ප්‍රාර්ථනාවලින් සිද්ධවන යහපතක් නැත්තේ ය, තී කැමැත්තේ හෝ නො කැමැත්තේ නරකයට ම යවන්නෙමු”යි කියා එතැනින් ‘සංසවක’ නම් නිරය වෙත ගෙන ගොස් එහි සිටවූහ.
එසේ සිටුවා, “රේවතිය තී මිනිස් ලොවැ වසන කල්හි සුළු තරමින් හෝ පිනක් නොකළා ය. තමන් සතු සම්පත් හා යස ඉසුරු කෙරෙහි ලෝභ උපදවා ඒවා සඟවා තබා ගනිමින් අන්‍යයන් කෙරෙහි ද්වේශ උපදවාලී ය. එබඳු නුගුණු ඇති අසත්පුරුෂ තී වැනි පාපිෂ්ඨයන්ට කුසල් කොටැ දිව්‍ය ලෝකයෙහි පහළ වු මහත් වූ යස ඉසුරු විඳින්නා වු දෙවියන් හා වසන්නට පින් නැත්තේ ය.
රේවතිය, එසේ හෙයින් බොහෝ කාලයක් දුක් විඳින්නට මෙම සංසවක නරකයෙහි පැසෙනවා හැර වෙනත් තැනක් තොපට උරුමව නැතැ”යි පැවසූ යක්ෂයින් දෙදෙනා එතැනින් අතුරුදහන් වුහ.
ඉක්බිති යමපල්ලන් දෙදෙනෙක් පැමිණ ඇය සංසවක නිරයට ලනු පිණිස ඇදගෙන ගියහ. එසේ ඇදගෙන යන යමපල්ලන් දෙදෙනා කියන්නාහු ය.“රේවතිය, තී සංසවක නිරයට ඇද දැමූ කල්හි තිගේ ශරීරය තුන්ගව් තරම් උස් වන්නේය. නාසය පුපුරා පැළී යන තරම් මහා දුර්ගන්ධයක් ඇති අසූචියෙන් පිරුණා වූ සංසවක නිරයෙහි තී කල්ප ලක්ෂ සංඛ්‍යාත ගණන් පැසීමට නියමිත ය.
රේවතිය යක්ෂයින් විසින් ගෙන ගිය බව භික්ෂූන් වහන්සේ වෙතින් දැනගත් බුදුරජාණන් වහන්සේ, “මහණෙනි, රේවතී මෙලොව වසන කල්හි ඇය විසින් සිදුකරන ලද කෙළවරක් නැති පාප කර්මයන්ගේ විපාක ඇය විසින් විඳිය යුතු හෙයින් ඇය සංසවක නම් නිරයෙහි පැසීමට ඒ හේතුවී ය”යි ඇය පිළිබඳව සියලු පුවත් සැකෙවින් වදාරමින් ‘චතුස්සත්‍ය’ මාතෘකා කෙරෙමින් ධර්මය දෙසූ සේක. දේශනය අවසානයෙහි බොහෝ දෙනා සෝවාන් ආදී සතර මග සතර ඵලයන්ට පැමිණියාහ.
උඩුබද්දාවේ
සෝමරත්න බන්නැහැක
සිතුවම් – ආරියසිරි කොඩිතුවක්කු

රහතන් වහන්සේ දෙනමක් අතර අපූරු ධර්ම සාකච්ඡාවක්


මලින් බර අතු පතරින් ගලා ආ නොසැඩ හිරුකිරණ, බරණැස ඉසිපතනයට සවස් භාගය උදා වූ බව හැඟවීය. කිසි බියකින් තොරව එක් පසෙක සැරිසරන මුව කැල ද ටික වේලාවකින් එළඹෙන සැඳෑ සුවය විඳීමට සැරසුණු සේ ය. භවයට බැඳෙන සියලු බන්ධනයන් ගෙන් මිදුණු බුදුසව්වන්ගේ පරම ශාන්ත වූ සන්තානයට මිගදායේ ශාන්ත භාවය ගැලපී ගියේ, අපූර්වත්වයකිනි. අවේදයිත සුඛයෙන් සුවසේ වාසය කරන ඒ උතුමන්ට ඉසිපතන භූමිය ආනන්ද ජනක රමණීය තැනකි. මේ සුන්දර සවස් භාගය උදාවූ ඉසිපතන මිගදාය කෙම්බිමෙහි එක් තැනෙක ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේගේ සෙනසුන ය. නුදුරින් වූ තවත් තැනෙක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ සෙනසුනය. කිසිවකට නොබැඳුණු අරමුණක, ඵලසමාපත්ති සුවයෙන් සිට වුට්ඨාන වසිතාවෙන් ඉන් නැගී සිටි කොට්ඨිතයන් වහන්සේට නුදුරින් පිහිටි සාරිපුත්තයන් වහන්සේගේ සෙනසුන නෙත ගැටිණි.
“ අප දෙදෙනාම එකම නිෂ්ටාව ලත් අය නොවේ ද? දෙදෙනාටම ඇත්තේ ද එකම ගුරුවරයා ය. ප්‍රතිවේධ කළේද එකම ධර්ම ය යි. අනුගමනය කළ මාර්ගයන් එකම යි. අප දෙදෙනාම ලැබූ ඵලප්‍රාප්තියත් එකම යි. එහෙම නම් මොකක්ද අප දෙදෙනාගෙ වෙනස?.” කොට්ඨිතයන් වහන්සේට එහෙම හිතුණද? අනේ නැහැ. දස සංයෝජනම දුරු කළ උන්වහන්සේ ළඟ මානය සියුම් මාත්‍රයක්වත්, අපේ කාලෙ සම සහතික ලත් අය ළඟ වාගෙ තිබුණේ නැහැ. “ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නුවණින් දෙවැනි වන්නේ භාග්‍යවතුන් වහන්සේට පමණ යි. උන් වහන්සේ මහා ප්‍රාඥ යි. ඒ ප්‍රඥාවට කවුරුන්ගේ ප්‍රඥාව සම කළ හැකි ද? මේ වාගෙ උතුමකුගේ ඇසුර ලැබෙන එකත් මහා භාග්‍යයක් ම යි. යන්න ඕනෑ උන්වහන්සේගෙන් ධර්ම කාරණයක් ගැන විමසා දැනගන්න.”
මේ විදිහටයි ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේට සිතුණේ.මෙහෙම හිතලා නිහතමානීව සතුටු සිතින් යුක්ත වූයේ ශාන්ත ගමනින් සාරිපුත්තයන් වහන්සේ සිටි තැනට උන්වහන්සේ වැඩම කළ සේක. සතුටින් ඔබ මොබ දුව පැන ඇවිදින මුව පොව්වන් දෙස සිවු බඹ ෂහරණයෙන් යුතුව බලා සිටි සාරිපුත්තයන් වහන්සේට , කොට්ඨිතයන් වහන්සේගේ පැමිණීම නිරාමිස සතුටක් ගෙන දුන්නේ ය. නිවුණු ඇත්තෝ, නිවුණු ඇත්තන් සමඟම අගේට ගැලපී පෑහී යෙත්. ක්ලේශ පරිනිර්වාණයෙන් ලෝකය ඉක්මවා ගිය උතුමන් දෙදෙනෙක් මුණ ගැසුණු තැන කුමක් නම් කථා කරන්නට ඇද්ද? රට තොට දේශය ගැන ද? අනෙකුත් සව්වන්ගේ කුදු මහත් කටයුතු ගැන වගතුග ද? තම තමන් අතීතයේ කළ කී දෑ ද? වැස්ස, අවුව, ගහකොළ , සතා, සිව්පාවා ගැන ද? මේ සියල්ල ඉක්මවා ගිය අයට ඒවා ගැන කවර කථා ද? මෙය, කොට්ඨිතයන් වහන්සේ තම පාලුව මකා ගන්නට ආ ගමනක් නොවේ.
හරිම සුහද හමුවක්! සතුටුවිය යුතු පිළිසඳරක පමණක් යෙදුණු කොට්ඨිතයන් වහන්සේ එකත්පස්ව අසුන්ගෙන ඉතා වැදගත් ධර්ම කාරණයක් සාරිපුත්තයන් වහන්සේගෙන් විමසූ සේක. ඒ කුමක් නිසා ද සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව උරගා බලන්නට ද? එක් කෙනෙක් මෙහෙම කියනවා, ඔබ වහන්සේ ඒ ගැන කොහොමද සිතන්නෙ කියල දැන ගන්නද? තමන්ගේ දැනුම සමග සසඳා බලන්නද? නැත, මේ එකක්වත් නිසා නොවේ. අපූරු ධර්ම සාකච්ඡාවක් මෙතැන දී ආරමභ වීය. ප්‍රතිවේධ කර ගත් දහමක් වුවත් නැවත නැවත විමසමින් සුදුසු කාලයෙහි සාකච්ඡා කරන්නට, එමගින් ධර්ම රසය උපේක්‍ෂාවෙන් ලබන්නට රහත් ශ්‍රාවකයන් වහන්සේ ද කැමැත්තෝය. නෛර්යානික ශ්‍රී සද්ධර්මය, සේඛ, අසේඛ දෙපක්‍ෂයටම රසයක් ම ගෙන දෙයි. මහා ප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ යම් ධර්ම කාරණයක් පැහැදිලි කරනු අසන්නට අකැමැති කවුරුද?
ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේ මෙසේ අසති.
“කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්ත, චක්ඛු රූපානං සඤ්ඤෝ ජනං , රූපා චක්ඛුස්ස සඤ්ඤෝජනං?”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස! ඇස තියෙන්නෙ රූපවලට බැඳිලද? නැත්නම් රූප තියෙන්නෙ ඇසට බැඳිල ද?”
ඇසෙන් රූප දකිනවා . රූපයක් දුටු විට ඒ රූපය සමග බැදී යනවා. ඒ බැඳීම නිසා නැවත නැවත බලන්නට පෙළෙඹෙනවා. මේ බැඳීම කොහොම එකක් ද? ඇස රූපයට බැඳිලද? නැත්නම් රූපය ඇසට බැඳිලද? ඉතින් ඔය ප්‍රශ්නය අපෙන් කවුරු හරි ඇසුවොත් අපටත් බැරියැ ඔය ප්‍රශ්නයට උත්තරයක් දෙන්න, වැඩි ඈතට සිතන්න ඕනෑ නැහැනේ. ඇස තමා රූප වලට බැඳිල තියෙන්නේ. වැඩි දෙනෙක් ළඟ ඔය උත්තරේ තියෙනවා ම යි. ඇස නැත්නම් රූප සමග බැඳීමක් කොයින් ද? තව ටිකක් කල්පනා කරපු කෙනෙක් කියාවි, රූපයයි ඇසට බැඳෙන්නෙ කියල. බලපුවම ඒකත් හරි වාගෙ, තවත් කෙනෙක් කියාවි ඇසත් රූපයට බැඳිල, රූපයත් ඇසට බැඳිල කියල. ඒ පිළිතුරෙන් ආඳෙකු මෙන් ප්‍රශ්නයෙන් ලිස්සල යන්නත් පුළුවන්, ඇයි බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන්නෙ කෝකටත් හරියන දෙයක් කියලා. ඒ වාගෙ ලිස්සලා යන කට්ටියක් ඒ කාලෙත් හිටිය කියලා. ඉතින් මේ ප්‍රශ්නය ඇසූ විට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කොට්ඨිතයන් වහන්සේ දෙස බලා දෙතොල් මඳක් විවර කර මඳහසින් හරි අපූරු පිළිතුරක් වදාළා.
“නඛෝ ආවුසෝ කොට්ඨිත! චක්ඛු රූපානං සඤ්ඤෝජනං න රූපා චක්ඛුස්ස සඤ්ඤෝජනං “ “ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්ස, ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මේ දෙක අතර එහෙම නම් බැඳීමක් කියල දෙයක් ඇත්තෙම නැද්ද? “
“ ඒකාන්තයෙන්ම තියෙනවා කොට්ඨිතයන් වහන්ස”
“පි‍්‍රය සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේ ඔය විදිහටමද කන ගැන කියන්නෙත්? කන ශබ්දයට බැඳිලද? ශබ්දය කනට බැඳිල ද? අනෙක් ආයතන ගැනත් එහෙම ද? නාසය ගඳ සුවඳට බැඳිල ද? ගඳ සුවඳ නාසයට බැඳිල ද? රසය දිවට බැඳිල ද? දිව රසයට බැඳිල ද? කය පහසට බැඳිල ද? පහස කයට බැඳිල ද? මනස අරමුණට බැඳිල ද? අරමුණ මනසට බැඳිල ද? “ “ඒක එහෙමම යි, පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, කන ශබ්දයට බැඳිලත් නැහැ, ශබ්දය කනට බැඳිලත් නැහැ. අනෙක් ආයතන ගැනත් කියන්න තියෙන්නෙ ඒ විදිහමයි.”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඇස, කන, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතන හයත්, රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස ධර්ම යන බාහිර ආයතන හයත් එකිනෙකට ඒවායින්ම බැඳිල නැහැ කියල ඔබ වහන්සේ පවසනවා. ඒ වාගේම ඒවා ඒකාන්තයෙන්ම බැඳිලත් තියෙනව කියලා පවසනවා. එහෙම නම් මේ බන්ධනය කොයි වාගෙ එකක් ද? කොහොමද ඇති වන්නෙ?”
“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස! ඒක මෙහෙමයි . ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. නමුත් ඔය දෙක බැඳ තබන බන්ධනයක් තියෙනවා.”
“යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්ද රාගෝ තං තත්ථ සඤ්ඤෝජනං “ “ඇසයි රූපයයි යන දෙක නිසා යම් ඡන්ද රාගයක් උපදිනවා නම් ඒ ඡන්ද රාගය තමයි ඔය දෙක බැඳ තබන බන්ධනය.”
“ඔය විදිහටමයි කන, නාසය, දිව, කය, මනස කියන ආයතන සමග ශබ්දය ,ගන්ධය, රසය, පහස, ධර්ම බැඳිලා තියෙන්නෙත් ඒ බැම්ම තමයි, ඡන්ද රාගය කීවේ.”
“පි‍්‍රය සාරිපුත්තයන් වහන්ස, ඒ බන්ධනය කොයි වගේ එකක් ද කියල උපමාවකින් පෙන්නල දෙන්න පුළුවන් ද? “
“පුළුවන් පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඒක කොයි වගේ ද? කියනව නම්, කලු ගොනෙකුයි සුදු ගොනෙකුයි කඹයකින් හරි යොතකින් හරි බැඳල තියෙනකොට, කලු ගොනා සුදු ගොනාට බැඳලා කියල කෙනෙක් කියන්න පුළුවන්. තවත් කෙනෙක් කියාවි , සුදු ගොනා කලුගොනාට බැඳලා කියල. ඒ දෙකම හරි කියමන් ද? “
“ නැහැ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස”
“අන්න ඒ වගේ තමයි. කලුගොනා සුදු ගොනාගේවත් සුදුගොනා කලුගොනාගේවත් බන්ධනය නොවෙයි. ඒ දෙදෙනා බැඳල තියෙන කඹය හරි යොත හරි තමා බන්ධනය. ඒ විදිහටමයි අභ්‍යන්තර ආයතන හය බාහිර ආයතන හයට බැඳිලත් නැහැ. බාහිර ආයතන හය අභ්‍යන්තර ආයතන හයට බැඳිලත් නැහැ. ඡන්ද රාගය අර ගොන් දෙන්නා බැඳල තිබුණු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා බැඳල තිබුනු කඹය වාගෙ.ඡන්ද රාගය තමයි ඒවා එකිනෙකට බැඳිලා තියෙන බන්ධනය, ඡන්ද රාගයක් උපදිනවා නම් විතරයි , ඒ බැඳීම සිද්ධ වන්නෙ.”
“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, ඇස රූපයට බැඳිලා ගියා නම්, රූපය ඇසට බැඳිල ගියා නම් කාටවත් දුක් නැති කිරීම පිණිස නිර්වාන මාර්ගය අවබෝධ කරගන්න ලැබෙන්නෙ නැහැ. ඇසයි රූපයයි තියෙන ඒවාමයි. ඒ දෙක එකට බඳින ඡන්ද රාගය අශ්‍රැතවත් පුද්ගලයා තුළ උපදින එකක්. ශ්‍රැතවත් ආර්යයන් වහන්සේ ඒ ඡන්ද රාගය ක්‍ෂය කරලයි තියෙන්නෙ. ඡන්ද රාගය ක්‍ෂය කළ හැකි දෙයක්.”
“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේටත් ඇස තියෙනවා. ඇසින් රූපත් දකිනවා. අනෙකුත් ආයතනත් තියෙනවා. නමුත් උන්වහන්සේට අර කියූ බන්ධනය නැහැ. ඡන්ද රාගය නැති කරලයි තියෙන්නෙ.” “ඇස රූපයට බැඳිලා ගියා නම් මොකද වන්නෙ? ඇස තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. රූපය ඇසට බැඳිලා තිබුණා නම් රූප තියෙන තෙක් මේ බන්ධනයෙන් මිදෙන්න බැහැ. නමුත් මේ බන්ධනයෙන් මිදෙන්න නම් සිඳ දැමිය යුත්තේ ඡන්ද රාගය කියන යොතයි. අන්න එදාට මේ බ්‍රහ්මචරියාව සම්පූර්ණ වනවා. ශාස්තෘන් වහන්සේ අපට කියා දුන්නේ මෙන්න මේ ඡන්ද රාගයේ ආස්වාදය ගැන යි. ආදීනවය ගැන යි. නිස්සරණය ගැන යි. ඉතින් යම් කෙනෙක් යම් මොහොතක මේ ඡන්ද රාගය කියන බන්ධනය සිඳ දැම්මේ නම් මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම නිරුද්ධ වී යනවා. එයාට සියලු දුක් නැති කිරීම පිණිස තවත් කළ යුතු දෙයක් නැහැ.”
“සාධු! සාධු! ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමය හරිම ආශ්චර්ය යි. මේ කාරණය මේ තරම් පිරිසුදුව අසන්නට ලැබුණු එක, මොන තරම් භාග්‍යයක් ද?
මේ උතුම් ධර්ම කාරණය පිරිසිඳ සාකච්ඡා කිරීමෙන් ඒ රහතන් වහන්සේ ;දනමම සතුටට පත් වුණා. ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේ ඒ සෙනසුනෙන් නික්මී තම සෙනසුන වෙත ශාන්ත ගමනින් වැඩම කළා.

සං.නි.4, සළායතන වර්ගයේ
කොට්ඨිත සූත්‍රය ඇසුරෙනි

මරණාසන්න මොහොතේ පහළවන දර්ශන

මරණාසන්න මොහොතේ පහළවන දර්ශන
ස්වර්ණකලාප්‍රදීප, දර්ශනපති
උඩුගම,
මෝහාන් නන්දන නානායක්කාර
බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ
තමන් අදහනු ලබන ආගම ධර්මය කුමක් වුවද මරණාසන්න අවස්ථාවේදී දර්ශනය වන නිමිති පහක් පිළිබඳව බුදුදහමේ කරුණු සඳහන් වේ.
මරණයට පත්වීමට ආසන්නව සිටින අයෙකුට දර්ශනය වන මෙම පංච නිමිති පිළිබඳව පරීක්‍ෂාකර බලා විමර්ශනයක් සිදුකළ විට මෙම නිමිතිවල ඇති සත්‍ය අසත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පේ‍්‍රතවත්තු , විමානවත්තු වැනි සූත්‍ර දේශනා කරනු ලැබුවේ මනුෂ්‍යයන් අතින් සිදුවන අකුසල කර්ම වළක්වා කුසල කර්ම රැස් කිරීමටත් එමගින් මනුෂ්‍යයාගේ මෙලොව හා පරලොව සුබ සිද්ධිය සලසාදීම සඳහාත්ය.
බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ. මේ බව කාලාම සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් ඒවා වේ. බුදුරදුන් ලෝකත්‍රයම ඇති සැටියෙන්ම
දේශනා කොට වදාළ හෙයින් ලෝකවිදු නමින්ද හඳුන්වති. එවැනි ධර්මයක් පිළිබඳව සැක සංකා නොමැතිව මරණාසන්න අවස්ථාවේ දර්ශනය වන පංච නිමිති පිළිබඳව විමර්ශනශීලිව සොයා බලා සත්‍ය අවබෝධ කර ගත හැකිවේ.
අග්නි ජාලාවක් දර්ශනය වීම – කාලයාත්‍රා කරන අවස්ථාවේ ගින්දර ගොඩක් පෙනේ යැයි සඳහන් කරන්නවුන් මෙන්ම ඒ බව නොපවසා දනවා දනවා යැයි කියමින් කෑ මොර දෙන අයද සිටිති. තවත් අය කිසිවක් නොපවසා අභිනයන් මගින් ඉරියව් පළ කරති. තවත් අය ගින්නක් ඇවිලෙන විට කටින් පිඹ එය නිවා දැමීමට හුලං පිඹිති. තවත් සමහරුන් ජලය සොයති.
අන්ධකාරය දර්ශනය වීම “මට මොකක්වත් පේන්නේ නැහැ. ලාම්පුව පත්තු කරන්න. ලයිට් දමන්න .හරි කළුවරයි. මොකක්වත් පේන්නේ නැහැ. ඉටිපන්දමක් වත් ගේන්න” යනුවෙන් මරණාසන්න මොහොතේ ප්‍රකාශ කරන අය සිටිති. එළියක් රැගෙන එන ලෙස පවසමින් කෑ මොර දෙන අය සිටිති. ඇස් පොඩි කරමින් ඇස් පිලි ගසන අය සිටිති.
වන සතුන් හා වනාන්තර දර්ශනය වීම “හරක් එනවො” ඔන්න අලි එනවෝ මා බේර ගන්න” යනුවෙන් සතුන් ගේ නම් කියමින් කෑමොර දෙන්නවුන් මෙන්ම එසේ නොකියා සතුන් එළවන අභිනයන් පළ කරන්නෝද සිටිති. තවත් සමහරුන් නොයෙක් සතුන් කෑ ගසන හඬට සමාන හඬවල් පිට කරමින් මිය යති. කැලයේ විස්තර ප්‍රකාශ කරන්නෝද සිටිති. තවත් අය කැලයේ ඇවිදින අය මෙන් විපරම් කරමින් වටපිට බලති.
මිය ගිය ඥාතින් හෝ මනුෂ්‍යයන් දර්ශනය වීම
කාලයාත්‍රා කරණ මොහොතේ තම මියගිය නෑ දැ හිතවතුන් දර්ශනය වන්නවුන් මෙන්ම ජීවතුන් අතර සිටින අයගේ නම ප්‍රකාශ කරමින් කතා කරන අය, එම අයගේ තොරතුරු පවසන්නවුන් මරණින් මතු මනුෂ්‍ය භවයේම උත්පත්තිය ලබන්නෝය.
දෙවිදේවතාවුන් හා දිව්‍ය විමාන දර්ශනය වීම
මිය යන විට ප්‍රසන්න මුහුණින් සමන්විතව මල් සුවඳ හා මල් ගැන කතා කරන, සිනහවන මෙන්ම දුක්මුසු බියකරු හැඟීම් කිසිවක් පළ නොකරන අය වෙති. තවද අහස දෙස බලා සිටිමින් උඩ හිඳින දෙවි දේවතාවුන් ගැන කරුණු සඳහන් කරන්නෝද සිටිති. ඔවුන් දිව්‍ය විමාන, දිව්‍ය සම්පත්, දිව්‍ය රථ ගැන කරුණු දක්වයි. සුදත්ත සිටුතුමා, දුටුගැමුණු රජතුමා වැනි අයට මෙවැනි දර්ශන පෙනුන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. වර්තමානයේද මෙවැනි දර්ශන පෙනෙන අය සිටිති.
කාල යාත්‍රා කිරීමට ආසන්නව සිටින අයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කරවා පිරිත් දේශනා කිරීම, ධර්ම දේශනා කරවීම, පිං පොත කියවීම ආදි සිරිත් බෞද්ධයන් තුළ එදා සිට මේ දක්වාම පවතියි. ශාසන ඉතිහාසයේ සඳහන් ධම්මික උපාසක චරිතයෙන් දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන අයට දිව්‍ය සැප සම්පත් ලැබෙන බව බුදුරදුන් භික්‍ෂුන් වහන්සේලාට දේශනා කොට ඇත. හදිසි අනතුරුවලින් ක්ෂණයෙන් මරණයට පත්වන අය තුළ ඉහත පංච නිමිති දර්ශනය වේදැයි ප්‍රශ්නයක් පැන නගී. එහෙත් මේකී දර්ශනයක් පහළවීමට චිත්තක්ෂණයක් පමණක්ම ප්‍රමාණවත් වේ. විශුද්ධි මාර්ගයෙහි පෙන්වා දී ඇති පරිදි ජීවියෙකුගේ පරම ජීවිත කාලය ඉතා කෙටි මොහොතක් වන අතර එය එක් සිතිවිල්ලක් පවතින තෙක් පමණක්ම වේ. රථ රෝදයක් කැරකෙන විට රෝදය ඒ මොහොතක් පොළොව හා බද්ධ වී පවතින්නේ එක ස්ථානයකින් පමණක් වන්නාසේම ජීවියාගේ පැවැත්ම පවතින්නේද එක් සිතිවිල්ලක් පවතින තරම් සුළු මොහොතක් බවද පෙන්වා දෙයි. ඊට අදාළව, යම් සිතිවිල්ලක් සත්වයාගේ සිත තුළ පහළ වීද ඒ සඳහා වූ ගති ස්වභාවයක් පවතී. ඒ ගති ස්වභාවය දේව ගතියක් විය හැකිය. මනුෂ්‍ය, පේ‍්‍රත හෝ තිරිසන් ගතියක් විය හැක. දුගති ගතියක් විය හැක.
එම ගති නිමිති ස්වභාවය අනුව පංච නිමිති දර්ශනය පහළවීම, චිත්තනියාමය ලෙස සඳහන් කළ හැකිය. බුදුරජාණන් වහන්සේගේ මඟ ගමන් කරන්න වුන් වශයෙන් තම තමන්ගේ චිත්තසන්තානයන්, තුළ නිරන්තරයෙන් මනුෂ්‍ය ගතිගුණ හා දේවගති ගුණ පවත්වාගෙන යෑමට සිහි බුද්ධියෙන් හා නුවණින් කටයුතු කිරීමට පුරුදු පුහුණූ වීමට හැකියාවක් ඇත්තේ නම් මරණාසන්න අවස්ථාවේ සුගතිගාමී නිමිති දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා ඔබ අප සියලු දෙනාටම ශක්තිය හා වාසනාව ලැබේවා!

අපායට ගිය ගමනක්

අපායට ගිය ගමනක්

කරන ලද කුසල කර්මානුරූපව උතුම් වූ මනුෂ්‍යත්වයක් ලැබූවකු හට සිය ජීවිත කාලය තුළ දී අපාය සහ දිව්‍ය ලෝකය ඒ හැටියෙන්ම දැක බලා ගන්නට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. කලාතුරකින් වුවද ලැබෙන ඒ අවස්ථාව ලබන්නට තරම් පින් කළ කෙනෙකි වේදේහ රට මියුලු නුවර නිමි රජ.
එක් කාලයකදී වේදේහ රටෙහි මියුලු නුවර මඛාදේව රජු රජකම් කරන ලද්දේ ය. බොහෝ කලක් රජ සැප විඳි රජු දිනක් තම කරණවෑමියාට කතා කොට යම් දවසක තම හිසෙහි සුදු පැහැ කෙස් ගසක් දුටු කළ එය තමනට දන්වන ලෙසද අණ කළේ ය. කලක් ගත විය. දිනක් රජු ගේ හිසෙහි සුදු පැහැ කෙස් ගසක් දුටු කරණවෑමියා ඒ බව රජුට දැන්වූයෙන්, රජු සිය වැඩිමල් පුතුට රාජ්‍යය පවරා මුවදෙව් නම් උයනේදී පැවිදි වෙස් ගෙන ධ්‍යාන ලබා බඹලොව උපත ලැබීය. ඉන් පසු මඛාදේව රජුගේ පුතුන් දෙදෙනාද බොහෝ රජසිරි විඳ හිසෙහි පැසුණු කෙස් මතු වූ විට රජ සැප හැර දා පැවිදිව ධ්‍යාන ලබා බඹලොව ඉපදුණි. දිනක් මඛාදේව රජු බඹලොව සිට මනුලොව බලන්නේ තම පැවිදි වංශය රැක ගැනීමට කෙනෙකු නොමැති බැව් දැන බඹලොවින් චුත වී මියුලු නුවර මහ රජුට දාව අග මෙහෙසිය කුසින් මෙලොව එළිය දුටුවේය. නිමි රජ්ජුරුවෝ ලෙස නම් කරන ලද්දේ එසේ උපන් මඛාදේව රජුමය.
නිමි රජ කුඩා කල සිටං පිනට දහමට ලැදිය. නිරතුරවම පෙහෙවස් රකිමින් කුසල් දම්හි යෙදෙන්නේය. නුවර සතර වාහල්කඩ දන්සල් කරවා නිති දන් දෙන්නේය. රජුගේ අවවාද අනුශාසනා වලින් යහමඟ ගිය බොහෝ මනුෂ්‍යයෝ දාන, ශීලාදී උතුම් පින්කම් කොට දිව්‍ය ලෝකයෙහි උපදින්නේ, නරකාදිය හිස් වන්නට විය. නිමි රජුගේ නාමයද දසත පතළ වන්නට විය.
මෙසේ කල් ගත වෙද්දී පසළොස්වක දිනය උදා විය. නිමි රජ පෙහෙවස් සමාදන්ව දාන ශීලාදී පින්කම් කොට සිත් සමාධියෙන් සැතපී හිඳින විට සිතෙහි එක්තරා සැකයක් හට ගත්තේය.
මම නිරතුරවම මහජනයා උදෙසා දන් දෙමි. එමෙන්ම දිවි හිමියෙන් පන්සිල් සුරකිමි. එහෙත් මේ දාන ශීල යන පින්කම් දෙකින් කවරක් උසස් වෙත්ද?’ යනුවෙන් ඇති වූ සැකය නිසා නිදි නොලබාම චිත්ත සන්තාපයෙන් කල් ඇරියේය. මේ වේලෙහි නිමි රජුගේ ශීලානුභාවයෙන් සක් දෙවිඳුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු විය. එවිට සක් දෙවිඳු ලොව බලන්නේ් නිමි රජු සිත තුළ ඇති වූ සැකය දැක එය විසඳාලන්නෙමියි සිතා ශක්‍ර භවනයෙන්, නිමි රජ මාළිඟයේ ශ්‍රී යහන් ගබඩාවට පැමිණියේ ය. නිමි රජු ඒ සක් දෙවිඳු යැයි නොදැන “තොප කවරෙක්ද? දෙවියෙක්ද, ගන්ධර්වයෙක්ද?’
මහරජ සක් දෙවිඳු නම් මම වෙමි. තොප සිතෙහි උපන් සැකය දුරුකරලීම පිණිස මෙහි පැමිණියෙමි.
නිමි රජ තම සිතෙහි උපන් සැකය එනම් දානයද ශීලයද වඩා උතුම් යනුවෙන් ශක්‍රයා විමසීය. එවිට සක් දෙවිඳු නොයෙක් උපහැරණ ගෙන දක්වමින් දානයට වඩා ශීලය උතුම් බව පවසා රජු සිතෙහි සැකය දුරුකොට ආපසු ශක්‍ර භවනයටම ගියේය. මෙසේ පැමිණි සක් දෙවිඳු දුටු අනෙකුත් දෙවිවරු සක් දෙවිඳුගේ ගමන ගැන විමසුහ.
‘මම මියුලු නුවර නිමි රජුගේ සිතෙහි ඇති වූ සැකයක් විසඳීම පිණිස ගියෙමි’
‘සක් දෙවිඳුනි, නිමි රජු අපෙගේත් ගුරුවරයාය. එසේ හෙයින් ඔහුගෙන් බණ අසන්නට අපිත් යන්නෙමු.
‘තොප යා යුතු නැත. නිමි රජු මෙහි ගෙන්වාගෙන බණ අසන්නට සලස්වමි’ යි පැවසූ සක් දෙවිඳු මාතලී දෙව් පුත් කැඳවා නිමි රජ කැඳවාගෙන එන්නට අණ කළේය. නිමි රජුද මියුලු නුවර වාසීනට අවවාද කොට මාතලී දෙව් පුත් සමඟ ශක්‍ර භවනයට යන ගමනේදී මාතලී දෙව්පුත් මෙසේ අසයි.
‘පින්වත් රජතුමාණෙනි, යන ගමනේදී පින් කළ වුන් වෙසෙන දෙව්ලොවට හෝ පව් කළ වුන් රැඳෙන අපායට යා හැකිය. පළමුව යන්නේ කොතැනටද?
පළමුව නරකය දකින්නට කැමති යයි රජු ප්‍රකාශ කළෙන් තමන් ජීවත්ව සිටියදී නරකයට ගොස් පව්කම් වල විපාක දකින්නට නිමි රජට වාසනාව අත්විය. මාතලී දෙව් පුතු නරකය කරා රථය පදවන්නට විය.
පළමුව පැදවූයේ චෙතරණී නම් නරකයටයි. දිගින් පළලින් හා ගැඹුරින් සැට යොදුනක් බැගින්වූ එහි ගිනිගෙන දැවෙන ලෝ දිය පිරී පවතී. අකුසල් කළවුන්ගේ ඇට නහර බිඳී යන ගිනිගෙන දැවෙන මුවහත් පියන්පතින් ඔවුනගේ ඇට නහර ම සිඳී යති. පාපය මහත් හෙයින් යළි යළි ඉපිද ලෝදියෙහි පැසෙති. නිමි රජු ඒ දැක තැතිගන්නවා දුටු මාතලි දෙව් පුතු මෙසේ කීය.
‘මහරජ මොවුන් මිනිස් ලොව සිටියදී දාගැබ්, පිළිම, විහාර කඩා බිඳ දැමීමේ පවින්ද, කිසිදු මහන්සියකින් තොරව අසරණයින්ගෙන් බදු අයකළ පවින්ද මෙසේ චෙතරණි නරකයෙහි දුක් විඳිති.
ඉන්පසු රථය පැදවූයේ දිගින්, පළලින් හා ගැඹුරින් පනස් යොදුන බැගින් වූ ඔසුපත් නරකය වෙතය. එහි ඉතා විශාල ශරීර ඇති විසකුරු සතුන් විසින් වටකර ඇට නගර බිඳින ලද පව්කාර සත්ත්වයෝ නැවත ඉපිදෙමින් එසේම දුක් විඳිති. මාතලි දෙව්පුත් කියන්නේ… “මොවුන් මිනිස් ලොව ඉපිද සිටි කාලයෙහි සෙනසුන්, දාගැබ්, අම්බලම් හා ඒ දඬු පාලම් බඳින්නට යැයි කියා මිනිසුන් රවටා මුදල් ඉල්ලාගෙන පොරොන්දු වූ ලෙස ඒවා ඉදි නොකොට ඒ මුදලින් තම බඩවියත සරිකළවුන්ය’.
එසේ පැවසූ මාතලී දෙව්පුතු නිමි රජු කැඳවාගෙන දිග, පළල හා ගැඹුර දහසක් යොදුන බැගින්වූ ලෝකුඹු නිරයට රථය ගෙන ගියේය. මුවවිට දක්වා පිරී පැසෙනා ලෝදියෙහි පැසෙමින් යළි යළි ඉපිද දුක්විඳින සත්ත්වයින් පෙන්නා මාතලී දෙව්පුත් කියන්නේ “මහරජය…. මොවුන් මිනිස් ලොවදී කුකුළන් ඇතුළු නොයෙක් සතුන් හදාවඩා හෝ වනයට ගොසින් මරා මස් කා සුරාපානය කරමින් පී‍්‍රති වූවෝ වෙති.’ එසේ පැවසූ මාතලී දෙව්පුත් ලෝකුඹු නිරයෙන් නික්මී සීත නම් නරකය වෙත නිමි රජු රැගෙන ගියේය. යොදුන් තුන්සියයක් බැගින් වූ දිග පළල හා ගැඹුරින් යුත් වූ සීත නරකයේ දරාගත නොහී සීතයෙන් උඩු යටිකුරුව ඇට නහර සුන්ව නැවත නැවත ඉපදෙමින් විපාක විඳිනවුන් නිමි රජුට පෙන් වූ දෙව් පුතු “මොවුන් මිනිස් ලොවදී දානයෙන්, ධර්මයෙන් ජීවිකාව ගෙනයන්නවුන් නසා, අනුන්ගේ දේ බලෙන් ගත්තවුන් හා ගෙවලට වැද සොරකම් කළවුන් වන්නේය…’ පවසා නිමි රජු සමඟ දිග, පළල හා ගැඹුර සත්සියයක් යොදුන බැගින්වූ සංඝාත නම් නරකය වෙත ගියේය. එහි මුවවිට දක්වා පිරුණු වතුරේ විශාල ශරීර ඇති පණුවෝ පව්කම් කළවුන්ගේ ඇඟ මස් උදුරා කා ඇට නහර බිඳී. මෙසේ නොනැවතී දුක් විඳින සත්ත්වයින් පෙන් වූ මාතලී දෙව්පුත් “ මහරජ මොවුන් මිනිස් ලොවදී බොරු වළවල් කපා, ඒ මත උල සිටුවා, මලපුඩු අටවා සතුන් මරා මස් කළවුන්, හා දාගැබ් පිළිම නොවැද, බණ නොඅසා, යමක් සිඟා ආ වුන්ට කිසිත් නොදී පව්කම් කළෝ වෙති.
ඉන්පසු ගියේ යොදුන් නවසීයක් දිග, පළල හා ගැඹුරැති තාප නම් නරකය වෙතය. මෙහි තඹ වැනි දියෙන් නැගෙන ගිනි මත, යොදුනක් පමණ උස සත්ත්වයෝ සතරගාත් එක්කොට බැඳ පැසෙමින් සිටිති. ඔවුන් පෙන්වා දෙව්පුතු මෙසේ කීවේය.
‘මොවුන් මිනිසුන්ව සිටි කල කුරුල්ලන් වැනි සත්ත්වයින් මරා උකුණන් හා මකුණන් මරා හා මකුණනට උණුදිය වත්කොට මරා දැමුවෝ ;වති.
ඉන්පසු ඔවුන් ගියේ යොදුන් පනහක් දිග, පළල හා ගැඹුර ඇති අඟුරුමැල නම් නිරය වෙතය. මෙහි ගිනිගෙන දිළිසෙන අඟුරු අතර පිච්චෙමින් මහ හඩින් හඬමින් ගිනියම් අඟුරු දෝතින් තමන්ගේ ශරීරයට ඉස ගනිමින් නිරතුරු දැවෙන සත්ත්වයින් නිමි රජුහට පෙන් වූ මාතලී දෙව් පුතු” මහරජ මොවුන් මිනිසුන්ව සිටි කළ සතුන්මරා මස් පුළුස්සා කෑ අය හා ඒ මස් ගෙනගොස් උයා මස් ඉතා රසයි යනුවෙන් කියා කෑ අය හා නොයෙක් සතුන් දුටු විට උන්ගේ ඇගේ තෙල් බොහෝ ඇත යනුවෙන් කියූවෝ වෙති.
මාතලී දෙව්පුතු නිමි රජු කැඳවාගෙන එතැනින් ගියේ යොදුන් තුන් සියයක් දිග, පළල හා ගැඹුරින් යුතු දළකෙස්මැලි නම් නරකය වෙතය. ඉතා විශාල ශරීර ඇති කවුඩන් හා උකුස්සන් එහි වෙසෙන පව්කම් කළවුන්ගේ ඇස් උදුරාගෙන, බඩවැල් ඇද කති. නමුත් කර්ම බලයෙන් නැවත එහිම ඉපිද පෙරසේම දුක් විඳිති. දිව්‍ය පුත්‍රයා නිමි රජුට මෙසේ කීවේය.
‘මහරජ මොවුන් මිනිසුන් කළ මහත් ධනයක් තිබුණද සුළුවෙන් දන් දී අධර්මයෙන් වෙළදාම් කළවුන් හා වී සමඟ බොල් මිශ්‍ර කොට දුන්නවුන් හා කුඩා ලාහකින් දී මහා ලාහකින් ආපසු ගත්තවුන් සේම නොදෙන දෙයක් දෙන්නම් කියා රවටාලූවන් ද වෙති.
ඉන්පසු ඔවුන් දෙදෙන ගියේ පොකුරුපත් නම් නිරය වෙතය. දිග, පළල හා ගැඹුර යොදුන් හාරසීයක් වූ එහි ඉතා විශාල ශරීර ඇති කිනිතුල්ලෝ රුදුරු වේශයෙන් අකුසල් කළවුන්ගේ ඇට නහර බිඳ කති. මෙසේ දුක් විඳිනා සත්ත්වයෝ පෙන්වා මාතලී දෙව්පුත් කියන්නේ “ මොවුන් මිනිස් ලොව සිටි කළ සංඝයා වහන්සේට හා සිල්වතුන්ට අපහාස කළෝය. සංඝයා වහන්සේ ඔවුනොවුන් කෙරෙහි බිඳ වූවෝ ය. මව්පියන්, නැදිමයිලන් හා වැඩිහිටියන් දැක අසුනින් නොනැගිටම ඔවුන් හා තර්ක විතර්ක කළෝය. මේ උන් පැසෙන නරකයයි.
එතැනින් නික්මී දිග, පළල හා ගැඹුර පනස් යොදුනක් පමණ වූ වෙරළ නම් නිරයට රථය ගෙන ගියේය. එහි වෙසෙන විශාල ශරීර හා කුරිරු දළ ඇති බල්ලෝ අකුසල් කළවුන් අල්ලා මස් ඉරා කා ඇට නහර බිඳිති. එහෙත් අකුසල් මහත් හෙයින් එහිම නැවත නැවත ඉපදී විපාක විඳිති. ඔවුන් පෙන්වා මාතලී දෙව්පුත් කියන්නේ, “මහරජ, මොවුන් මිනිසුන් ලෙස සිටි කළ දඩයම් පිණිස බල්ලන් පුරුදු කර උන් ලවා ගෝණුන්, හාවන් වැනි සතුන් මැරවූවන් හා අතංගු හා බිලීකටු වැනි දේ වලින් කුඩා මසුන් ඇල්ලූවන් වෙති.
එම නිරය දැක බලාගත් නිමි රජුත්, මාතලීත් ඊළඟට ගියේ අළුකුඹු නම් නරකය වෙතය. දිග, පළල හා ගැඹුර පනස් යොදුන බැගින් වූ එහි මුව විට දක්වා ගිනිගෙන දැවෙන අළු පිරී ඇත. අකුසල් කළවුන් මේ අළුවල දැවීදැවී පතුලේ සිට උඩටත් උඩසිට පතුලටත් යති. එහිම මියගොස් යළිත් එහිම උපදී විපාක විඳිති. ඔවුන් පෙන්වා දෙව්පුත් කියන්නේ් ‘’මහරජ බෙහෙත් බී දරු ගැබ නැසුවෝද ඒ දරු ගැබ නසන්නට බෙහෙත් දුන්නෝද ඔසප් වූ බව දැනගෙනම එම දිනවල කම්සුව විඳි ගැහැණුන් හා මිනිසුන්ද පෝය දිනවල තොටුපලවල හා කම්හල් වල වැඩ කළවුන්ද පැසෙන නරකය මෙයයි.
ඉන්පසු ඔවුන් දෙදෙන දිග, පළල හා ගැඹුර සැට යොදුන බැගින් වූ ඉඹුල්වන නම් නිරයට ගියෝය. එහි ඉඹුල් ගස්වල එක් පැත්තක ගිනිගෙන දැවෙන උඩට හැරවූ උල් කටුත් අනෙක් පස එවැනිම වූ පහතට හැර වූ කටුත් ඇත. අකුසල් කළ ගැහැණියකට හිස සිට පය දක්වා ගිනියම් වූ ආභරණ පළන්ඳන යමපල්ලෝ ඔවුන් අත ඇති යගදාවෙන් පහර පන්සීයක් ගසා ඉඹුල් ගසට නංවති. එහි කටු ඇනී ලෙයින් තෙත්ව හඬ හඬා බසින අතරේ ඇයට පෙම්බැඳි පුරුෂයාටද එසේම කරති. දෙදෙනාම ගව්වක් උස් වූ ඉඹුල් ගසේ නගිමින් බසිමින් මියයමින් උපදිමින් විපාක විඳිති. ඒ දැක තැතිගත් නිමි රජු දුටු මාතලී දෙව්පුත් කියන්නේ “ මහරජ… මොවුන් මිනිසුන්ව සිටි කළ තම තමන්ගේ් බිරින්දන් හා ස්වාමිපුරුෂයින් රවටමින් පර අඹ හා පරපුරුෂ සේවනයෙහි යෙදුනවුන්යැයි පහදා දුනි. මොවුන් මෙසේ විපාක විඳ නරකයෙන් ගොඩ වුවද පන්සියයක් ජාති නපුංසකව උපදින බවද කීය. එතැනින් නික්මී නිමි රජු රැගත් රථය පැමිණියේ දිග, පළල හා ගැඹුර, සත්සියයක් යොදුන බැගින්වූ කිහිරිඟුරු නම් නරකය වෙතය. මෙහි යොදුනක් උසැති සූක්ෂම උල් කටු ඇනි ඇනී ගින්නෙන් දැවි දැවී ගිනිගෙන දැවෙන වියදඬු හා නඟුල් ඉස තබාගෙන සමහරු පැසෙති. ගිනිගත් රුකක් ඉස තබා ගත්තවුන්ද මහ හඬින් හඬමින් දිව දෙතුන් විටක් ඇඳ ගත්තවුන්ද, ගිනිගත් යකඩ කඳක් හිස තබාගත්තවුන්ද පෙන් වූ මාතලී දෙව්පුත් “මහරජ මොවුන් මිනිස් ලොව සිටියදී දිව ඇද කා සිය පණ නසාගත්තවුන්ද, වස විෂ කා පණ හානිකර ගත්තවුන්ද, ගෙල වැලලාගෙන මියැදුනවුන්ද එසේම අවේලාවේ කුඹුරුවල සීසෑ වුන්ද වෙති’ යි පැවසීය.
එම නිරය දැක ඔවුන් ගියේ රෞරව නම් මහ නිරය වෙතය. දිග පළල හා ගැඹුර දහසක් යොදුන බැගින් වූ එහි යමපල්ලෝ පව්කළවුන් අල්වා හිස සිට දෙපතුල දක්වා හම ගසති. පොරොවෙන් ඉරති. පලති. මියගියත් නැවත එහිම ඉපදී විපාක විඳිති. මොවුන් නම් රජුට පෙන් වූ දෙවිපුතු “මහරජ මොවුන් මිනිස් ලොව සිටියදී සිත්තරුන්ව සිට මුදල් සොයනු පිණිස හොඳට තිබූ පිළිම විනාශ කොට ඉන්පසු ඒවා හොඳින් පිළියම් නොකොට ගාස්තු අයකළ වුන්ය. පෙති පිළිම විකුණා කෑවුන්ය. අනුන්ගේ රන්, රිදී, මුදල්, වී, හාල්, ගව, කුකුළු ආදීන් සොරාගෙන කෑවුන්ය. දන් දෙන්නට යයි බොරු කියා අනුන්ගෙන් ඉල්ලාගෙන කෑ වුන්ය’ යැයි පැවසීය. ඉන්පසු ඔවුන් දෙදෙන ගියේ දිග, පළල හා ගැඹුර දහසක් යොදුන බැගින් වූ පදුම නම් නරකය වෙතය. ගින්නෙන් පැසී කැකෑරෙන තඹ දිය මත අතුරු සිදුරු නැතිව පිරුණු විශාල ශරීර ඇති කෘමි සතුන් ව ඉපදුනු අකුසල් කළවුන් උනුන්ම වටලා පහර දී මස් ඇද, ඇට නහර බිඳ කති.
මියගොස් නැවත ඉපදී විපාක විඳිති. මොවුන් පෙන් වූ මාතලී දෙවිපුතු “මහරජ මොවුන් මිනිසුන්ව සිටියදී, කකුළුවන් බෙල්ලන් වැනි සතුන් අල්ලා මැරුවෝ වෙති. වනයේ වසන සතුනට වස දී මැරුවෝ වෙති. කේලාම් කියා ඔවුනොවුන් බිඳලූවෝ වෙති’ යනුවෙන් පැවසීය.
මෙසේ ශක්‍රයාගේ ආරාධනයෙන් දෙව්ලාවට යන අතරතුරදී එකසිය තිස් හතක් වූ නිරයන්ගෙන් කිහිපයක් බලාගන්නට නිමි රජුට හැකි වූ බවත්, ඉන්පසු ඔහු දිව්‍ය ලෝකය නරඹන්නට ගිය බවත් එසේ නිමි රජව උපන්නේ ගෞතම සම්බුදු රජාණන් වහන්සේ බවත් නිමි ජාතකයේ සඳහන්ව ඇත.
(නිමි ජාතකය ඇසුරිනි – ”බුදුසරණ” පත්‍රයෙන්)

5/23/13

අතහැරීම


අවිද්‍යාව පැත්තට ලෝකය බර වෙන්නට බර වෙන්නට ලෝකයා බර වෙන්නේ තන්හාව දෙසටයි. අවිද්‍යාවේ දරුවා තමයි තන්හාව. අවිද්‍යාවේ බර නිසා තන්හාවේ ගොඩ සැප ලෙසයි සත්වයා දකින්නේ. ඒ නිසා සත්වයා නිරතුරුවම පිංකම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපමයි. මොකද සැපයට ඇති තන්හාව නිසා අවිද්‍යාව විසින් ඔබව නිරතුරුවම දැනුවත් කරනවා, ලෝකය තුළ සැප තිබෙනවා කියලා. ඔබව ඉදිරියට පදවනවා සැප ස්‌පර්ශ කරන්න.

මනුෂ්‍ය ලෝකයේ සැප ගැන ඔබට අත්දැකීම් තිබෙනවානේ. දුක්‌ කන්දක්‌ විසිතුරු දවටනයක ඔතා, විසිතුරු ඇඳුම් ආයිත්තම්, සුවඳ විලවුන්, යාන වාහන, ගෙවල් දොරවල්, පවා දරුවන් සමඟ සැපයෑයි සිනාසෙමින් කරගසාගෙන යන මනුෂ්‍ය ලෝකයේ සැප, ඔබ අත්දකිනවා බොහොම කැමැත්තෙන්.

මේ කියන්න යන්නේ දිව්‍ය ලෝක සැප ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දුප්පත් මනුෂ්‍යයෙක්‌ සිටිනවා, ඔහුට තිබෙන්නේ දිරාගිය පැල්පතක්‌. එහි වහළයෙන් අහස පෙනෙනවා. බිරිඳ හරියට දර ඉපලක්‌ වගේ. අහේනිය නිසාම විරූපි වෙලා. ධාන්‍ය මල්ලේ අඩියේ ධාන්‍ය ටිකක්‌ තිබෙනවා. මේ මනුෂ්‍යයාට තිබෙන්නේ ඔය ටික පමණයි. මේ මනුෂ්‍යයාට පැවිදිවෙන්න සිතක්‌ ආවත්, මේ දිරාගිය පැලත්, විරූපී බිරිඳත්, හිස්‌ ධාන්‍ය මල්ලත් අතහැරීමට ඔහුට නොහැකිය කියලා. බලන්නකෝ තන්හාවේ ස්‌වභාවය.

අනවබෝධය නිසාම, කෑදර සිත් ඇතිව පිළුණු වී යන ආහාර බුදින, දෙතිස්‌ කුණපයකින් යුතු කයක්‌ දරන, දූවිලි අවු වැසි වලින් පීඩා විඳිමින් සැප සොයන අපි, ආහාර නිදි විවේකය නොලබා සැප සොයන අපි, සිතූ සිතූ සම්පත් පහළවන දිව්‍ය ලෝකයට ගියහොත් කුමකින් කුමක්‌ වෙයිද?

දිව්‍ය ලෝකය කියන්නේ කාම පුරයක්‌. එහිදී සිතූ සිතූ සම්පත් ඔබට ලැබෙනවා. ඒ සියල්ල ඔබට ලැබෙන්නේ දිව්‍ය ඕජාව වශයෙන්. ඔබ කළ පිං වල ප්‍රමාණයට ඔබ ඉපදෙන දිව්‍ය තල වල පංති භේදයක්‌, පංති පරතරයක්‌ තිබෙනවා. මේ භේදය නිසා දෙවියනුත් ගැටෙමින් අකුසල් කරගන්නවා. අතීතයේ කළ කුසල් අනුව තමයි ඔබට සැප ලැබෙන්නේ. ඔබ මෙහෙම හිතන්න. මනුෂ්‍යයෙක්‌ ඉන්නවා... ඔහු දුප්පත්, උදේ සිට රාත්‍රිය වනතුරු ඔහු කුලී වැඩක්‌ කරලා කීයක්‌ හරි සොයාගෙන ගොස්‌ බතුයි පරිප්පුයි කාලා ජීවත්වෙනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා, ඔහු හොඳ රජයේ රැකියාවක්‌ කරලා හොඳ වැටුපක්‌ අරගෙන අරකෙනාට වඩා හොඳ ජීවිතයක්‌ ගතකරනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා ඔහු කෝටිපතියෙක්‌. ඔහු තරුපහේ හෝටලයකට ගොස්‌ අවන්හලේ වාඩිවී වේටර්වරයෙක්‌ පිළිගන්වන ආහාර වට්‌ටෝරුවට ඇඟිල්ල තබනවා. මොහොතකින් ලෝකයේ රසවත්ම ආහාර වේලක්‌ ඔහුගේ මේසයට එනවා. බලන්න මේ තුන්දෙනාම මනුෂ්‍ය ලෝකයේ ඉපැදුණ මනුෂ්‍යයෝ. නමුත් සංසාරයේ කළ කුසල් අකුසල් නිසා සැප ලැබීමේ පරතරයක්‌, සීමාවක්‌ තිබෙනවා. මිනිසුන් දස දෙනෙක්‌ ගතහොත් එම දසදෙනාට ලැබීමේ ස්‌වභාවයන් දස ආකාරයක්‌ වෙනවා. දිව්‍ය ලෝකයෙත් මේ වගේමයි. අර කෝටිපති ව්‍යාපාරිකයා ආහාර වට්‌ටෝරුවේ ඇති තමා කැමැති ආහාර වර්ගයට ඇඟිල්ල තැබූ සැනින් තමන් කැමතිම ආහාරය ලැබෙනවා වගේ දෙවියන්ට යම් සැපක්‌ අවශ්‍ය යෑයි සිතූ සැනින් එම සැපයෙන් දෙවියාව තෘප්තිමත් වෙනවා.

සුපිරි වෙළඳසලකට ගොස්‌ කෙනෙක්‌ රුපියල් දෙසීයක්‌ ගෙවලා අයිස්‌ක්‍රීම් එකක්‌ කනවා. තව දුප්පත් අයෙක්‌ ගමේ කඩේට ගිහින් රුපියල් දහයේ අයිස්‌පලම් එකක්‌ කනවා. දෙදෙනාම මනුෂ්‍යයෝ. දෙදෙනාම කන්නෙත් අයිස්‌ ක්‍රීම්. නමුත් දෙදෙනා ලබනා රසයේ ස්‌වභාවයන් වෙනස්‌. ඒ දෙදෙනාගේ ලැබීමේ විවිධත්වයයි. පිංකර ඇති ස්‌වභාවයන්ට අනුව දෙවියන් දිව්‍ය ඕජාවෙන් තෘප්තිමත් වෙනවා. දෙවියන්ට තිබෙන්නේ ඕලාරික කයක්‌. එම ඕලාරික කය ඝන භාවයට පත්කරගැනීමට දිව්‍ය ලෝකවල දෙවියන්ට පුළුවන් වගේම, සමාධියෙන් පරිපූර්ණ, ප්‍රඥාව වඩන භික්‍ෂුවටද ඕලාරික භාවයෙන් මුදවා ඝන ස්‌වභාවයෙන් දෙවියන් දර්ශනය වෙයි. ඕලාරික කයක්‌ තිබුණද දෙවියන්ට ආයතන හයක්‌ (සලායතන) මනුෂ්‍යයාට සේම ඕලාරික කය ඇසුරුකොටගෙන පිහිටා ඇත. එහෙයින් මනුෂ්‍යයාට සේම නිරතුරුවම ඇතිවෙමින් නැතිවෙන සිත් දෙවියාටද හටගනී. කාම ලෝකයක සැප විහරණය කරන දෙවියාද සතර මහා ධාතූන්ගෙන් නිර්මානය වූ, අනිත්‍ය ඕලාරික කයක්‌ද, නිරතුරුවම ඇතිවෙමින් නැතිවී යන සිතක්‌ද ඇති සත්වයෙකි. දෙවියන් තුළද සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැත්තේය. දෙවියන් සැප විඳිනවා යනු, ක්‍රියාත්මක වෙනවා යනු ස්‌පර්ශය නිසා ඇතිවන වේදනාවක්‌ පමණක්‌මය. මනුෂ්‍යයින් වශයෙන් මහා පිංකම් කරමින් ඔබ යන්නට ප්‍රාර්ථනා කරනා සුරපුරය ඔතැනය. දිව්‍ය ලෝක වල දිව්‍ය සැපය ලැබෙන්නේ දිව්‍ය ඕජාව ලෙසින්ය. දිව්‍ය ඕජාව යනු සුන්දර අත්දැකීමකි. දෙවියන් මෙම දිව්‍ය ඕජාව අතහැරීම උපරිමයෙන් පූර්ණ කළ භික්‍ෂුවටද, නිවන් අවබෝධය ලබාගත් භික්‍ෂුවටද අත්‍යවශ්‍යම අවස්‌ථාවලදී ලබාදෙයි.

ඔබ මෙහෙම සිතන්න. භික්‍ෂුවක්‌ හුදෙකලා වනයේ කුටියක වැඩ සිටින විට ආහාර මද බව නිසා ලේ වල සීනි අඩුවී අසනීප වෙනවා. මෙය සිදුවන්නේ රාත්‍රියේදී. භික්‍ෂුව දැඩි වේදනාවට පත්වෙනවා. කුටිය තුළ ගිලන්පසක්‌ සාදා ගැනීමට සීනි තේකොලවත් නැහැ. අත්හැරීමේ උපරිමය නිසා. භික්‍ෂුව මොකද කරන්නේ. රිදුම් දෙන, කලන්තයෙන් අප්‍රාණික වන කයත් සිතත් මගේ නොවෙයි. මට අයත් දෙයක්‌ නොවේ කියලා අතහරිනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨම අතහැරීම ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවක්‌ සිත කය අතහරින මොහොතේ ලෝකය කම්පා වෙනවා. ලෝකය නිරුද්ධ වෙනවා. එය දිව්‍ය ලෝක වලට දැනෙනවා. දෙවියන් සොයනවා මොකක්‌ද වුණේa කියලා. දෙවියන් දකිනවා අසවල් තැන වැඩසිටින භික්‍ෂුවගේ අතහැරීමයි මේ දැනුනේ කියලා. ඒ මොහොතේම දිව්‍ය ඕජාව දෙවියන් එම භික්‍ෂුවට සමාධිය තුළින් ලබාදෙනවා. දිව්‍ය ඕජාව භික්‍ෂුව විඳින්නේ මනසින්. සීනි අවශ්‍ය නම් භික්‍ෂුවගේ දෝතට රන්වන් පාට සීනි අහුරක්‌ ලැබෙනවා. අත රන් වගේ දිලිsසෙන භික්‍ෂුව මනසින් එය විඳිනවා. වළඳනවා. පියෙවි සිහියෙන් අවධියේදී නොවෙයි මෙය වෙන්නේ. සමාධිගත නින්දේදියි. භික්‍ෂුව පැය කිහිපයකින් අවධිවන්නේ ශරීරයේ තිබූ රෝගී බව දුරුවී පූර්ණ සුවය ලැබීමෙන්. මොකද ශරීරයට අවශ්‍යව තිබූ සීනි ප්‍රමාණය දිව්‍ය ඕජාව වශයෙන් භික්‍ෂුවගේ ශරීරයට ලැබුණු නිසා. හැබැයි දෙවියන් ඕජාව දෙන්නේ සිත කය අතහැරියොත් පමණයි කියලයි භික්‍ෂුව සිතන්නේ. ප්‍රඥාව හොඳින් වැඩීමෙන් පමණයි, අවංකවම කය, සිත අතහැරිය හැක්‌කේ. එහෙම වුණොත් තමයි එම කම්පනය දිව්‍ය ලෝකයට දැනෙන්නේ.

දිව්‍ය ලෝකයේ නිරතුරුවම සඡ්ජායනා කරන හඬ, විටෙක පිරිත් හඬේ ස්‌වභාවයෙන්ද තවත් වේලාවන්ට කෝවිල් වල පූජාව තබනකොට ශබ්ද පූජාවේදී ලොකු නලාවකින් නැගෙන හඬේ ස්‌වභාවයෙන්ද ඇසෙනවා. වනයෙ හුදෙකලා කුටි වලදී මෙම හඬ රාත්‍රී යාමයේදී හොඳින් ඇසිය හැකිය. මුහුද ගංගා දිය ඇලි අසල අපි වාඩිවී සිටියදී මොනතරම් මිහිරි රිද්මයන් අපට ඇසෙනවාද. කැලයක රාත්‍රියට සුළඟ ඇති වෙලාවට අපූරු සංගීතයන් මැවෙනවා. මේවා කවුරුවත් කරන, වයන දේවල් නොවේ. පස්‌සය නිසා ඇතිවන වේදනාවන්. කාම ලෝකයක්‌ වුවද පිනැති දෙවියන් ජීවත්වන නිසා එම පිං මහිමය නිසාම මෙවැනි සඡ්ජායනා, සංගීත රිද්ම ස්‌වභාවයන් දිව්‍යතලවල රැව්දෙනවා. අර ගඟේa මුහුදේ දිය ඇල්ලේ රිද්aමය වගේ. පිනේ ආශ්චර්යය නිසාම දෙවියන් ආස කරන හඬ රිද්මය, ඒ මොහොතේම ඇතිවෙලා දෙවියන් තෘප්තිමත් වෙනවා. දැන් ඔබ සිතන්නකෝ මෙවැනි කාම ලෝකයක ඔබ උපත ලැබුවොත් මෙම කාමයෙන් ඔබට අත්මිදෙන්න පුළුවන් වෙයිද?

ඔබ මනුෂ්‍ය ලෝකයේ පිංකම් කර ලැබූ දිව්‍ය කාම සම්පත නිසාම පිරිහීමට පත්වී නැවත සතර අපායට වැටීමේ ඉඩකඩ ඉතාමත් වැඩිය. දිව්‍ය ලෝකවල බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ සිටින්නේ නැත. නමුත් ධර්මරත්නය වැඩ සිටියි. එහෙත් ධර්මය මතුකර පෙන්වීමට බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ නොසිටින නිසා දෙවියෝ අනාථයෝය. එහෙත් දෙවියන් දක්‍ෂ නම් සංඝ රත්නය වැඩසිටින මනුෂ්‍ය ලෝකයට පැමිණ සද්ධර්මය ශ්‍රවණය කර අවබෝධය ලැබිය හැකිය.

භික්‍ෂුවක්‌ කැලයේ හුදෙකලා කුටියක වැඩ සිටින විට රාත්‍රියේ පැමිණි දිව්‍යාංගනාවක්‌ ගැන ඔබට කියන්නම්. එක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍යාංගනාවක්‌ දර්ශනය විය. ඇය සිටියේ පාවෙමින්ය. වැඩි ඉහළක නොවේ. ඇයගේ ස්‌වභාවය අති සුන්දරය. ඇය සිහින්ය. දිගැටිය. දිග කේශ කලාපයකින් යුක්‌තය. එය පාදාන්තය දක්‌වා දිගය. ඇය ප්‍රභාශ්වර සුදු පැහැතිය. පැහැදිලි සුදු වලාකුළක පාටය. ඇයගේ සියුම් ඝන කය ප්‍රභාෂ්වර සුදු පැහැයෙන් යුක්‌ත විය. හරියට ශරීරයට හිරවෙන සුදු දිග ගවුමක්‌ ඇඳසිටියා සේය. ඇයගේ ශරීරයේ දෙපා ප්‍රදේශය සිහින් වී ගොස්‌ තිබිණි. ඇය භික්‍ෂුව ඉදිරියේ තරමක ඉහළින් සරුංගලයක්‌ පාවෙනවා සේ පාවෙමින් සිටියාය. මෙවැනි රූප දර්ශනය වීමේදී භික්‍ෂුවගේ ස්‌වභාවය මේ ආකාරයට පිං දීමය. "මෙම භික්‍ෂුවගෙන් ඔබට යම් කුසලයක්‌, පිනක්‌ ගතහැකි නම් එය භික්‍ෂුවගේ යෑයි නොසිතා ඔබේ යෑයි සිතා ඔබ අනුමෝදන් වී සුවපත් වෙන්න" භික්‍ෂුව මෙසේ සිතූවිට ඇය නැතිව ගියා.

දෙවැනි දවසේ රාත්‍රියේත් ඇය පෙර දින සේම දර්ශනය වුණා පෙරදින සිටි ස්‌වරූපයෙන්ම. එදාද භික්‍ෂුව පෙරසේම පිං දුන්නා. ඇය නැවතත් නොපෙනී ගියා. මැය මෙසේ දර්ශනය වුවද භික්‍ෂුවට ඇය ගැන කුතුහලයක්‌, ඇය දැකීමේ කැමැත්තක්‌ නොතිබිණි. ඇය ගැන මතකයද, අවධානයක්‌ද නොතිබිණි. නොසිතූ මොහොතක ඇය දර්ශනය වනවා පමණි. මේ වන විට භික්‍ෂුව සිටියේ දිව්‍ය ලෝක සංඥාවලින් මිදීය. දිව්‍ය ලෝකයත්, එහි ජීවත්වන දෙවියනුත් අසූචිගොඩක්‌ මත ජීවත්වන පණුකැළක්‌ ලෙස භික්‍ෂුව අවබෝධයෙන් දැනසිටියේය. එනිසා දිව්‍යාංගනාව භික්‍ෂුවට තවත් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ පමණක්‌ විය. මෙසේ පසුවෙද්දී තුන්වැනි දින රාත්‍රියේ ඇය පෙරසේම දර්ශනය විය. තුන්වැනි දිනයේදී භික්‍ෂුව ඇයට පෙරසේම පිං දුන්නේය. ඇය නොපෙනී ගියාය. ඇය පැමිණි විට විනාඩි දහයක පමණ කාලයක්‌ භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටින්නීය. හතරවැනි දිනයේදී ඇය පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුවට දර්ශනය විය. භික්‍ෂුව දැන් ඇය ගැන අවබෝධය ලබා අවසන්ය. ඇයට දින තුනක්‌ පිං දුන්නද ඇයට පිං අනුමෝදන් වූයේ නැත. ඇයට භික්‍ෂුව දුන් පිං අනුමෝදන් වූවානම් පළවෙනි දිනයට වඩා දෙවැනි දිනයේදී ප්‍රභාශ්වර විය යුතුය. ඇයගේ දිව්‍යශ්‍රීය ධනාත්මක බවක්‌ විද්‍යාමාන විය යුතුය. එහෙත් එය එසේ නොවිණ. ඇය මුල් දිනයේ දර්ශනය වූ ස්‌වරූපයෙන්ම හතරවැනි දිනයේදීද දර්ශනය විය. මෙයින් පැහැදිලිවන්නේ ඇයට පිං අනුමෝදන් නොවූ බවයි. මෙම දිව්‍යාංගනාව අනුන්ගේ පිං අවශ්‍ය නැති, පිනෙන් පිරුණු සශ්‍රීක දිව්‍ය ලෝකයේ වැඩ වසන දිව්‍යාංගනාවක්‌ බවයි. ඇයට භික්‍ෂුව දුන් පිං අවශ්‍ය නැත. ඇයට අවශ්‍ය භික්‍ෂුව දකිමින් සතුටු වීමටය. නැතහොත් භික්‍ෂුවට ගරු කිරීමට, නමස්‌කාර කිරීමටද විය හැකිය. මේ දෙකින් කුමක්‌ සඳහාද යන්න භික්‍ෂුවට ඇයගේ ඉරියව් වලින් දැනගත නොහැකි විය. ඇය සතුටින් ප්‍රමෝදයෙන් සිටින බව පමණක්‌ භික්‍ෂුව හඳුනාගත්තේය. හතරවැනි දිනයේදී භික්‍ෂුව ඇයට මෙසේ අවවාද කළේය. "ඔබ මොකක්‌ද මේ කරන්නේ. ඔබ විහිළුවක්‌ කරනවාද? ඔබ කව්ද? සමහර විට ඔබ භික්‍ෂුවගේ මිය ගිය මවුද දන්නේ නැහැ. වෙන දිව්‍යාංගනාවක්‌ද දන්නෙත් නැහැ. මේ භික්‍ෂුව හෙට අපවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට භික්‍ෂුව දැකලා සතුටුවෙන්න පුළුවන් කමක්‌ නැහැ. ඔබට පිං අවශ්‍ය වුවද දෙන්න කෙනෙකුත් නැහැ. ඔබ ඔය දිව්‍ය සැප අවසන් වුණාම අසරණ වේවි. නැවත සතර අපායට වැටේවි. එදාට ඔබව බේරාගන්න කවුරුවත් නැහැ. ඒ නිසා ඔබ මේ පිං අනුමෝදන් වෙලා සැපවත් වෙන්න. සතර අපායෙන් මිදෙන්න. මේ භික්‍ෂුව සේම අනිත්‍ය වඩන්න" කියලා භික්‍ෂුව අනුමෝදනාවක්‌ කළා. මෙසේ අවවාද කළ ද ඇය පස්‌වැනි දිනයේ රාත්‍රියේද පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටියාය. ඇයට පිං අනවශ්‍ය බව දැන් ස්‌ථිරය. ඇයට දිය යුත්තේ පිං නොව, ප්‍රඥාව වැඩීමට සංඥාවක්‌ බව භික්‍ෂුවට අවබෝධ විය. මන්ද අනුන්ගේ පිං අනවශ්‍ය, මහා පිනැති දිව්‍යාංගනාවක්‌ නිසාය. ඇය සසර ප්‍රඥාව වඩා ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් මැද කෙළිලොල් දිවියක්‌ ගතකරන නිසා ප්‍රඥාව යටපත්වී සැඟවී ගොස්‌ තිබේ. භික්‍ෂුව දිව්‍යාංගනාවගේ සැඟවී තිබූ ප්‍රඥාව මතුකර දීමට ඇයව මෙසේ දැනුවත් කළේය.

"පුතේ ඔබට මේ භික්‍ෂුව කථාකරන අවසාන අවස්‌ථාව. ඔබට දෙන අවසාන අවවාදය. දින හතරක්‌ම භික්‍ෂුව ඔබට පිං දුන්නා. ඔබ ඒවා අනුමෝදන් වූයේ නැහැ. ඔබ භාග්‍යවන්තියක්‌. ඔබ මේ භික්‍ෂුව දෙස හොඳින් බලන්න. භික්‍ෂුව පරිහරණය කරන තුන් සිවුර දෙස හොඳින් බලන්න. එක වේලෙන් පමණක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපෙන මේ පාත්‍රය දෙස හොඳින් බලන්න. මේ සයනය, මේ කුටිය දෙස බලන්න. භික්‍ෂුවගේ ප්‍රතිපදාව දෙස බලන්න. භික්‍ෂුවගේ අතහැරීම දෙස බලන්න. මේ භික්‍ෂුව අනිත්‍ය වඩන්නේ යම් සේද ඔබද ඔය දිව්‍ය සැප, දිව්‍ය ඕජාව, දිව්‍ය ශරීරය, ඔය රූපය අනිත්‍ය බව දකින්න. ඔය ඇස, කන, නාසය, දිව, ඕලාරික ශරීරය, සිත අනිත්‍ය බව දකින්න. කවදාහරි දිනයක ඔය දිව්‍ය සැප අනිත්‍යභාවයට පත්වී ඔබ දිව්‍ය ලෝකයෙන් චුතවේවි. දිව්‍ය සැප අහිමි වන බව දැකලා ඔබ එදාට හඬාවැටේවී. ඔබ ඔය සැපෙන් මිදිලා සතර අපායට වැටේවී. පුතේ ඔබ ඔය විඳින සිත ඔබේ නොවෙයි කියලා අතහරින්න. ඔය ස්‌වර්¨ණහංසියක්‌ බඳු කය ඔබට අයිති නැති අනිත්‍යයට අයත් දෙයක්‌ යෑයි කියලා අතහරින්න. සියල්ල අනිත්‍ය බව දකින්න. මේ භික්‍ෂුව ඔබව දකින අනිත්‍ය සංඥාවෙන්ම ඔබ භික්‍ෂුව දෙස බලන්න. මේ භික්‍ෂුවද මැරෙන, ලෙඩ වෙන, වයසට යන ස්‌වභාවයෙන් යුක්‌ත බව දකින්න. මේ භික්‍ෂුව දෙස නැවැත නැවත බලන්න. ඔබ අවබෝධය ලබන්න. ධර්මය දැක්‌ක කෙනෙක්‌ වෙන්න. ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න. දිව්‍ය ලෝකයෙන්, සතර අපායෙන් මිදෙන්න. බ්‍රහ්ම ලෝකයට ගොස්‌ කල්ප ගණනක්‌ වුවද ගතකරන්න. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ. මොකද කවදාවත් ඔබ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. භික්‍ෂුවට අවශ්‍ය ඔබව සතර අපායෙන් මුදවන්න පුතේ. මගෙ පුතේ භික්‍ෂුව කියන දෙය ඔබ අසන්න" භික්‍ෂුව රාත්‍රියේ පැය කාලක්‌ පමණ ඉහත බණ ශබ්ද නගලා දේශනා කළා. එදායින් පසු නැවත එම දිව්‍යාංගනාව නොපැමිණියාය. නොදුටුවේය. ඇයට කුමක්‌ වූයේ දැයි භික්‍ෂුව නොදනී. එහෙත් ඇය සසර ප්‍රඥාව වඩා පුරුෂ දිව්‍යාංගනාවක්‌ නිසා භික්‍ෂුව විසින් දේශනා කරන ලද අනිත්‍ය සංඥාව ඒ මොහොතේම අවබෝධ වීමෙන් ඇය දිව්‍ය ආත්මභාවයෙන් මිදී බ්‍රහ්ම ලෝකයේ උපතක්‌ ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එහෙත් එය නිවැරදිව නොදනිමි.

භික්‍ෂුවට දිව්‍යාංගනාව දර්ශනය වන්නේ සමාධිය තුළ සිටියදීය. එහෙත් ඇයට බණ කියන විට ඇය සමඟ කථා කරන විට සමාධිය නැතිවන නිසා ඇයව දර්ශනය නොවේ. එහෙත් ඇය එහි සිටින බව භික්‍ෂුව දනී. එම දිව්‍යාංගනාවගේ සුකුමාල බව, සැහැල්ලුව, ලාලිත්‍යය, රිද්මය කොතෙක්‌ද කිවහොත් ඇය පෘතග්ජන ස්‌වභාවයේ කෙනෙකුට කාමයේ පාරාදීසයකි. දිව්‍ය ලෝකය යනු එවැනි කාම පාරාදීසයකි. මෙවැනි කාම ලෝකයක්‌ ඔබ නිරතුරුවම ප්‍රාර්ථනා කරන්නේ නම් එය මහා මුලාවකි. දිව්‍ය සැප නිරතුරුවම ඔබට අකුසල් රැස්‌කර දෙන්නකි. මන්ද ඔබ තුළ භවයට ඇති කැමැත්ත නිසා නිරතුරුවම තන්හාවෙන් සිත පිsරී පවතී. දිව්‍ය සැප විඳීම යනු මෙම කාම ලෝකය තන්හාවෙන් බදාගැනීමයි. රස විඳීමයි. ඒ තන්හාව නිසා ඇතිවන අකුසල් වලින් ඔබව නැවත සතර අපායට ගාල් කරයි. එහෙත් මෙම දිව්‍යාංගනාව මිනිස්‌ ආත්ම වල ඉපිද ප්‍රඥාව වඩා තිබුණු නිසා ලැබුණු අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට ඇයට සමහරවිට හැකිවිය. ඔබද කුමන පිංකම කළද එම පිංකම්වල අනිත්‍ය ස්‌වභාවය, අනිත්‍ය සංඥාව වැඩීමට සරළව හෝ පුරුදුවෙන්න. දිනකට ඔබ පැය කාලක්‌ අනිත්‍ය සංඥාව වැඩුවොත් එය ඔබේ ආධ්‍යාත්මය තුළ තැන්පත් වෙලා කවදාහරි දවසක ඔබට සසර දුකින් ගැලවෙන්න උපකාර වෙනවා.

ඉහත දිව්‍යාංගනාවත් අතීත බව වල පිංකම් කරලා අනිත්‍ය සංඥාව සරළව හෝ වඩා තිබූ නිසයි පිංකම් නිසා දිව්‍ය සැපත්, අනිත්‍ය සංඥාව වැඩීම නිසා (ලැබුණා නම්) බ්‍රහ්ම සැපත් ලැබුණේ. දිව්‍ය ලෝකවල වැඩ සිටින දෙවිවරු තුළ මනුෂ්‍ය ලෝකයේදී වඩන ලද ප්‍රඥාව ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් නිසා ප්‍රඥාව යටපත් වේ. මෙම දිව්‍යාංගනාවද භික්‍ෂුව ඉදිරියට පැමිණියේ සතුටුවීම සඳහාය. එහෙත් භික්‍ෂුව ඇයට සුදුසුම කමටහනින් යටපත්ව තිබූ ප්‍රඥාව මතුකර දුන්නායෑයි අනුමාන කරමි. මේ සෑම දෙයක්‌ම ධර්මයේ ආශ්චර්යයන්ය. භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොවේ. ඔබත් සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබේවී. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධකර ඇති නිසාය.

ඔබ ලක්‍ෂ ගණන් ධනය කාලය වියදම් කර පිංකම් සිදුකරමින් ප්‍රාර්ථනා කරන ලෙස ස්‌ථිරවම ඔබ මහා සැප සහිත දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ වුනොත් මෙවැනි සුකුමාල දිව්‍ය කුමාරයන්, කුමරියන් ඔබව කුල්මත් කරාවී. ඔබව පිස්‌සු වට්‌ටාවී. අවසානයේ ඔබට හිමිවන්නේ භවයේ පිස්‌සන්කොටුව වන සතර අපායමය. වර්තමානයේද භවයේ පිස්‌සන් කොටුවේ දුක්‌විඳින්නේ අතීතයේ අනන්ත අප්‍රමාණ දිව්‍ය මනුෂ්‍ය සැප විඳි කෙළිලොල් දිව්‍ය දිව්‍යාංගනාවන්ය. එදා දිව්‍ය ඕජාව, රාජ භෝජන වැළ» ඔවුන් අද සතර අපායේ සෙම්, සොටු, මළමුත්‍රා, ගින්දර, පුන්නක්‌කු, තණකොල අනුබව කරයි. මෙය නිමා නොවන චක්‍රයකි. පටන් ගැන්මක්‌, අවසානයක්‌ නොමැත. ඔබට ඇත්තේ වටේ යැම පමණකි. ඔබට මින් ගැලවීමට නම් චක්‍රයම නිවා දැමිය යුතුය. ඔබම අවුලුවාගන්නා ගින්න කවදාහෝ දිනයක ඔබම නිවාගත යුතුය. එය වෙන අයකුට කළ නොහැක්‌කකි. මන්ද ගිණි අවුලුවන්නේ ඔබම නිසාය. ඔබම අවුලුවාගන්නා ගින්නකින් ඔබම දැවෙන අංක එකේ මෝහබරිත සත්වයා පෘතග්ජන සත්වයාය.

ඔබට ඉහත කථාව කියවන විට හිතෙන්නට ඇති අනේ මටත් මේ අත්දැකීම ලබන්නට ඇත්නම් කියලා. ඔබ එහෙම සිතුවොත් ඔබට මෙම අත්දැකීම කවදාවත් ලබන්න බැහැ. ඔබට එම අත්දැකීම ලබන්න නම් ඇතිවූ එම කෙලෙස්‌ සිත අනිත්‍ය වශයෙන් දැකලා අතහරින්නට ඕනේ. එවිට ඔබට දිව්‍යාංගනාවක්‌ නොව දිව්‍යලෝකයම දැකිය හැකිය. එහෙත් ඔබ ජයග්‍රාහකයෙක්‌ වන්නේ දිව්‍යාංගනාවක්‌, දිව්‍ය ලෝකය දැකීමෙන් නොව දිව්‍ය ලෝකයම අතහැරීමෙන්ය. දිව්‍ය සැප දකින, පතන සිත තිබෙනතාක්‌ ඔබට දිව්‍ය ලෝකය අත්හල නොහැක. ඔබ එහි පදිංචිකරුවෙකි, සාමාජිකයෙකි. කුළිය, සාමාජිකත්වය ඉවරවුනු තැන, වෙන තැනක්‌ සොයා යා යුතුය. අලුත් තැන සොයාගන්නේද ඔබ විසින්මය. මේ මොහොතේ ඔබ ඉන්නා තැන තෝරාගන්නේද ඔබමය. ඔබම තෝරාගන්නා ජිවිතයට මොනතරම් ප්‍රශ්න තිබුණද ඔබ නොගැටෙන්න. ඔබ ගැටුණොත් ඔබේම තෝරාගැනීමට ඔබ කරන ද්‍රෝහිකමකි.

මිනිසුන්ගෙන් සියයට සියයක්‌ම රෝගී වන්නේ ඉන්ද්‍රියන් හය පිනවීමට යැම නිසාය. දිවට, කයට රස පහස සොයන්නට යැම නිසාය. දියවැඩියාව, අංශභාගය, කොලෙස්‌ටරෝල්, ලිංගික රෝග, සමේ රෝග.....

රිය අනතුරකින් අංගවිකල වන රෝගියාට එසේ වූයේ රියදුරා මත්වතුර බීම නිසාය, නැතිනම් අධික වේගය නිසාය. එසේත් නැතිනම් පදිකයාගේ නොසැලකිල්ල නිසාය. මේ සියල්ල තුළ තිබෙන්නේ තන්හාවය. අපි වේගයෙන් යන්නේ යමක්‌ ඉක්‌මනින් ස්‌පර්ශ කිරීමටය. වැඩිපුර අයිතිකර ගැනීමටය. පළවෙනියා වීමටය. සියල්ල තුළ තන්හාවයි තිබෙන්නේ. සැප සෙවීමේ මෙහෙයුම නිසා මිනිසා දුකට පත්වී රෝගීභාවයට පත්වී අසරණවනවා සේම, දිව්‍ය ලෝකයේ දෙවියන්ද දිව්‍යාංගනාවන්ද සැප පසුපස හඹා යැම නිසා මනුෂ්‍යයන් සේම පිරිහීමට පත්වී දුකට ඇද වැටේ. ඔබ පතන ආශ්චර්යමත් දිව්‍ය සැප ගැන ඔබ විවේකීව නැවත සිතාබලන්න. දිව්‍ය ලෝක යනු ගොම පිඩකි. දෙවියන් යනු එය අනුභව කරමින් පෘෂ්ටිමත් වන පණු කැළයි. ගොම කමින් සතුටුවෙමින් පනුවා හොඳින් වැඩුනු පසු ගොම තලිය ඉවරවේ. පනුවන්ට සිදුවන්නේ තවත් සතෙකුගේ ගොදුරක්‌ වීමට පමණි. දිව්‍ය සැපත ඉහත ස්‌වභාවයමය. එහෙත් දිව්‍ය ලෝකයේද ශීලයෙන් පරිපූර්ණ, මතු පාරමී ධර්මයන් වඩන මහේශාඛ්‍ය දෙවිවරු සිටිති. ඒ අය තමන් පුහුණු කරන ලද ශීලයේ ආනුභාවයෙන් සිත, කය, වචනය හික්‌මවාගෙන සුදුසු කාලය පැමිණෙන තුරු හික්‌මීමෙන් යුතුව දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප අනුභව කරති. මෙම දෙවිවරු තුළ තිබෙන හික්‌මීමද තන්හාවකි. එම තන්හාව නම් මතු සසර බලාපොරොත්තු වන ප්‍රාර්ථනාවයි. කැමැත්තයි. පාරමී අරමුණයි.


                                                                                        - ධර්ම දානය පිණිසයි පේජයෙන් උපුටා ගන්නා ලදි -

5/20/13

සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත

සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත


ලෝකය ගැන යම් කෙනෙකුට හොඳ වැටහීමක් නැතිනම්, තමන්ගෙ ජීවිතය ගැන හොඳ වැටහීමක් නැත්නම්, එයාගේ ජීවිතය එයාට සාර්ථක කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. දැන් බලන්න හෙට ගැන නොදන්න කෙනා, අද ගැන පමණක් දන්න කෙනා, හෙට ගැන හිතන්නෙ නෑ. හෙට ජීවත් වෙන්නෙ කොහෙමද කියල එයා කල්පනා කරන්නෙ නෑ. අද ගැන පමණයි එයා කල්පනා කරන්නේ. එතකොට එයාට හෙට දවසේ ජීවිතය සැපවත් කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. බලන්න, ඒ වගේ තමයි මේ ලෝකය ගැන පිරිපුන් වැටහීමක් නැත්නම්, එයාට මේ ජීවිතය සාර්ථක කරගන්න බැරුව යනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට ජීවිතය ගැන කලින් නොදුටු දේවල්, නොඇසූ දේවල්, ඉගෙනගන්ට පුළුවන්කම ලැබෙනව. අපට වෙනත් කිසියම් ම කිසියම් දේකින් ඉගෙන ගන්ට බැරි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි, ඉගෙනගන්ට පුළුවන්කම තිබෙන්නේ. දීර්ඝ සංසාරයක් පුරාවට අපි විවිධ අකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් පැමිණි ගමනක් තිබෙනවා කියල අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්.

ඒ වගේම තමයි, ඒ ගමන යම් දවසක නතර කරගන්ට බැරි වුනොත් එහෙම ආපහු සැරයක් ඉපදෙමින් මැරෙමින් ඒ සංසාර ගමන යන්ට සිද්ධ වෙනවා කියල දැනගන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. මේ සංසාර ගමන පුරාවට විවිධ ආකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් යන්ට සිද්ධ වෙනවා. විශේෂයෙන් ඉතාම දුක් සහිත වූ ලෝකවල අපට ඉපදෙන්න සිද්ධ වෙනව. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, යම් කෙනෙක් යහපත් දේවල් කළොත්, මරණයෙන් මත්තේ යහපත් වූ සැප ලැබෙන තැන්වල ඉපදෙන්ට ලැබෙනවා කියල.

ඒ වගේම තමයි යම් කෙනෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත් එයාට මරණයෙන් මත්තේ ඉතාම දුක් සහිත තැන්වල ඉපදෙන්ට සිද්ද වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම තමයි පින්වතුනි, යමෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත්, එයාට මේ ජීවිතයේදීත් ඉතාම දුක සහිතව තමයි වාසය කරනට සිද්ධ වෙන්නෙ. කායික වශයෙන් වැරදි කරන කෙනාට, වචනයෙන් වැරදි කරන කෙනාට, සිතින් වැරදි කරන කෙනාට, මේ ජීවිතය පුරාවට දුකෙන් වාසය කරන්න සිද්ධ වෙනවා. මේ ජීවිතයේදී දුකෙන් වාසය කරන කෙනාට, ඊලඟ ජීවිතයේ සැප සහිත තැනක ඉපදෙන්ට ලැබෙන්නේ නෑ.

නමුත්, යම් කෙනෙක් මේ ජීවිතයේදී කයෙනුත් හොඳ දේවල් කරනව, වචනයෙනුත් හොඳ දේවල් කරනව, සිතිනුත් හොඳ දේවල් කරනව. අන්න එබඳූ කෙනෙකුට මේ ජීවිතය පුරාවට ම ඉතාම සතුටින් සැපෙන් වාසය කරන්ට පුළුවන්කම ලැබෙනව. ඒ විදිහට මේ ජීවිතය සැපසේ වාසය කරන කෙනෙක්, මතු ජීවිතය එයා ආයෙ ඉපදෙන්ට ලැබුණොත්, ඉතාමත් ම සැප සහිත, සැප බහුල වූ ලෝකවල උපදින්න පුළුවන්කම තිබෙනව.

පින්වතුනි, අපේ ජීවිතය පිළිබඳ ව සැඟවිලා තිබුණ, මෙන්න මෙබඳූ කාරණා අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට කොතරම් පරිපූර්ණ වැටහීමක් ජීවිතය සම්බන්ධයෙන් ඇතිකරගන්න පුළුවන්ද? කියන කාරණාව. මෙබඳූ වැටහීමක් ඇතිකරගත්තා වූ කෙනෙක් මේ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. ඒ වගේම තමයි, එයා ඊලඟ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. අද දවස ගැන පමණක් දන්න කෙනා හෙට දවසට කිසිවක් කරගන්නෙ නෑ. අන්න ඒ වගේ, මේ ජීවිතය ගැන පමණක් දැනගන්න කෙනා, ඊලඟ ජීවිතයට කිසිවක් ඉතුරු කරගන්නේ නෑ.

අන්න ඒ විදියට අපි මේ සසර ගැන නොදන්නවා නම්, ඊළඟ ජීවිතයක් තිබෙනවා කියල එයාට වැටහීමක් නැත්නම්, මරණයෙන් මත්තේ ඉපදීමක් තිබෙයි කියල එයාට වැටහීමක් නැත්නම්, එයා ඒ ජීවිතයට යහපත් විදියට යමක් රැස් කර ගන්ට කල්පනා කරන්නෙ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල සසර ගැන වැටහීමක් ඇතිකරගන්න කෙනා, සුගති දුගති ලෝක ගැන වැටහීමක් ඇතිකර ගන්න කෙනා, දුගති ලෝකවලින් නිදහස් වෙලා සුගති ලෝකයක ඉපදීමට වුවමනා කරන පින් දහම් රැස්කරගන්ට පුරුදු වෙනවා.

අන්න ඒ විදිහට පින් කරගන්න කෙනා, පව් අතහරින කෙනා, මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන්ට වාසනා වන්තයෙක් බවට පත්වෙනවා. මේ ජීවිතය පින් කරමින්, පව් නොකර සැපවත් ජීවිතයක් ගතකරන කෙනාට ඊළඟ ජීවිතය ඉතාම සැප සහිත සුගති ලෝකවල ඉපදෙන්ට පුළුවන්කම තිබෙනවා. මෙබඳූ සැප සහිත ජීවිතයක් උදාකරගන්ට භාග්‍ය ලැබෙන්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව, ඒ සද්ධර්මය ඉගෙනගෙන, ඒ සද්ධර්මයට අනුව ජීවිතය ගත කරන කෙනාටයි.

ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතන්න කැමතියි, ආශිර්වාද කරන්න කැමතියි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන, ඒ සද්ධර්මය ඉගෙනගෙන, දහමට අනුව ජීවත් වෙන්නට සියලු දෙනාටම භාග්‍ය උදාවේවා

තෙරුවන් සරණයි.


                                                                                                                        - From Dharma Danaya Page-

පන්සිල් රැකීමේ අනුසස්.....


පන්සිල් රැකීමේ අනුසස්.....


තෙරුවන් සරණ ගිය බෞද්ධයාගේ නිත්‍යශීලය පඤ්චශීලයයි. අංග පහින් යුත් ශීලය පඤ්චශීලය හෙවත් පන්සිල් නම් වේ.

පන්සිල් රැකිය යුත්තේ කුමක් නිසාද?

බුදුරජාණන් වහන්සේ පිහිට කර ගත් ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි කර්ම කර්මඵල පිළිබඳ විශ්වාසය ඇති කරගනියි. චේතනාත්මක ව අප කයින් කරන වචනයෙන් කියන සිතින් සිතන දේ කර්මය යි. ඒ අනුව කර්මය, කායකර්ම , වචීකර්ම, මනෝකර්ම වශයෙන් ත්‍රිවිධ වේ. චේතනාත්මක ව සිදු කරන හොඳ (කුසල) නරක (අකුසල) කර්ම අනුව ඊට අනුරූප වන විපාකයක් (ප්‍රතිඵලයක්) ජනිත වීම කර්ම නියාමය යි. කෙනෙකු සිදු කරන කර්මවලින් ඇතැම් කොටසක් මේ ජීවිතයෙහි දීම විපාක දෙන අතර එයට ‘දිට්ඨධම්මවේදනීය කර්මය’ යයි කියනු ලැබේ.

කෙනෙකු සිදු කරන කර්මවලින් තවත් කොටසක් අනතුරු ජීවිතයෙහි දී විපාක දෙන අතර එයට ‘උපපජ්ජවේදනීය කර්ම’ ය යි කියනු ලැබේ.කෙනෙකු සිදු කරන කර්මවලින් තවත් කොටසක් මතු දෙවන ජීවිතයෙහි පටන් පරිනිර්වාණය දක්වා විපාක දෙන අතර එයට ‘අපරාපරියවේදනීය කර්ම’ ය යි කියනු ලැබේ. ඒ අනුව චේතනාත්මක ව සිදු කරන කුසල අකුසල කර්ම වඳ නො වන බවත් අවස්ථාවලත් කල්හි විපාක දෙන බවත් ධර්මයට අනුව පැහැදිලිය. එනිසා කයින් වචනයෙන් දුශ්චරිතයන්හි යෙදෙන්නවුන්ට අවස්ථානුකූ®ල ව එහි දුක් විපාක ලැබෙන බැවින් එම දුශ්චරිතයන්ගෙන් වැළකීම මෙලොව පරලොව දෙලොව සැප ලැබෙන මඟක් වේ.

සතුන් මැරීමාදි දුශ්චරිතවලින් වැළකිය යුත්තේ ඒ නිසාය.එසේම නිවන්මඟ වන ආර්යෂ්ටාංගික මාර්ගයෙහි පදනම ද ශීලයයි. එනිසා මෙලොව පරලොව දුක් අකමැති ලෞකික ලෝකෝත්තර සැප කැමති සත්පුරුෂයෝ දුශ්චරිත දුරු කොට සිල්වත් ජීවිතයක් ගත කළ යුත්තාහ. පන්සිල්හි අන්තර්ගතවන සංවරය , ධර්මානුකුªලව මෙන්ම ලෝක සම්මතය අනුවද ඇති කර ගන්නා මුලික හා අවම සංවරයයි. මෙම සංවරයෙන් තොර වුවෝ ධාර්මිකලෝකයා අතරද පිළිකුල් කටයුතු වෙති.

පන්සිල් වනාහි කයින් සහ වචනයෙන් සිදු වන මෙම දුශ්චරිත පසෙන් වැළකීමයි. එනම්

1. පරපණ නැසීමෙන් වැළකීම (පාණාතිපාතා වේරමණී)
2. නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම (අදින්නාදානා වේරමණී)
3. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම (කාමේසු මිච්ඡාචාරා වේරමණී)
4. බොරු කීමෙන් වැළකීම (මුසාවාදා වේරමණී)
5. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරයමජ්ජපමාදට්ඨානා වෙරමණී)

මෙම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලයයි. පන්සිල් හොඳින් රැකීමට නම්, මෙම දුශ්චරිත සිදුවන අයුරු ද වටහා ගත යුතුය.ඒ මෙසේයි.

1. ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදු වන අයුරු

1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනීම
3. මරණ චේතනාව
4. මරණ උපක්‍රමය
5. එම උපක්‍රමයෙන් මරණය සිදුවීම

ප්‍රාණඝාතයක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් ප්‍රාණඝාතයක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

2. අදත්තාදානය (සොරකම ) සිදු වන අයුරු

1. අන්සතු වස්තුවක් වීම
2. අන්සතු වස්තුවක් බව දැනීම
3. සොරා ගැනීමේ චේතනාව
4. සොරකම් කිරීමේ උපක්‍රමය
5. තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම

සොරකමක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සොරකමක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

3. කාම මිථ්‍යාචාරය (කාමයන්හි වරදවා හැසිරීම) සිදුවන අයුරු

1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

කාමයන්හි වරදවා හැසිරීමට මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් කාමයන්හි වරදවා හැසිරීමක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

4. මුසාවාදය (බොරු කීම) සිදු වන අයුරු

1. කියන කරුණු බොරු අසත්‍යයන් වීම
2. අන්‍යයන් රැවටීමේ චේතනාව
3. එය ඇඟවීම
4. එයින් අසන්නා මුළාවීම

බොරුකීම සඳහා මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් බොරු කීමක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

5. සුරා පානය සිදු වන අයුරු

1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම
2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව
3. ඒ සඳහා උත්සාහ කිරීම
4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම

මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සුරා ආදි මත්ද්‍රව්‍ය භාවිතයක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

මෙම දුශ්චරිතයන්ගෙන් වැළකුණු තෙරුවන් සරණ ගිය උපාසකයා සිල්වතෙක් වේ. බොහෝ දෙනෙකු යහපත්දෙයක් හෝ අයහපත් දෙයක් කිරීමට උත්සාහවත් වන්නේ ඉන් තමාට ලැබෙන ප්‍රයොජන සලකා ගෙනය. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකුට එයින් බොහෝ ආනිසංස ලබා ගත හැකි වෙතත් වැඩිදෙනෙක් එම ආනිසංස නො දන්නා බැවින් සිල්වත් ජීවිතයක් ගත කිරීමට උනන්දු නො වෙති. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකුට පහත සඳහන් ආනිසංස ලැබෙන බව දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වේ.

1. සිල්වත් ශ්‍රාවකයා නො පමා බව නිසා බොහෝ භෝග ලබයි.
2. සිල්වත් ශ්‍රාවකයා පිළිබඳ වූ කීර්තිරාවයක් උස්ව නැඟේ
3. සිල්වත් ශ්‍රාවකයා යම් පිරිසක් වෙත එළඹෙද හෙතෙම විශාරදව ම එළඹෙයි.
4. සිල්වත් ශ්‍රාවකයා සිහි මුළා නොවී කලුරිය කරයි
5. සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙයි.

තවද පන්සිල් රකින්නා වූ ශ්‍රාවකයාට වෙන වෙන ම ලැබෙන ආනිසංස පිළිබඳ ව පරමත්‍ථජෝතිකා නම් වූ ඛුද්දකපාඨ අට්ඨකථාවෙහි මෙසේ සඳහන්වේ.

ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මනා අඟපසඟින් යුතුව ඉපදීම ආරෝහපරිනාහයෙන් (මනා උස මහතින්) යුක්ත වීම, ජවයෙන් (ශක්තියෙන්) යුතු වීම,පොළොවෙහි මැනවින් පිහිටන යටිපතුල් ඇති බව, මනෝඥ බව, මෘදු බව, පිරිසුදු බව, ශුරභාවය, මහාබල ඇති බව, ඇදහිය හැකි වචන ඇති බව, ලෝකයාට පි‍්‍රය වන බව, නිදොස් බව, නො බිඳිය හැකි පිරිස් ඇති බව, තැති නො ගන්නා බව, විනාශ කළ නො හැකි බව, අන්‍යයන්ගේ උපක්‍රමයකින් නො මැරෙන බව, බොහෝ පිරිවර ඇති බව සුරූපී බව, මනා සටහන් (හැඩ) ඇති බව, අල්පාබාධ බව, ශෝක නො කරන බව, පි‍්‍රය මනාප වූවන්ගෙන් වෙන් නොවන බව, දීර්ඝායුෂ්ක බව යනාදී ආනිසංස ලැබේ.

නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම නිසා මහාධනවතෙකු වීම, බොහෝ භවභෝග සම්පත් ලැබීම, ප්‍රමාණ කළ නො හැකි තරම් සම්පත් ලැබීම, නො ලද සම්පත් ලැබීම, ලද සම්පත් විනාශ නොවීම, කැමති වන සම්පත් වහා ලැබීම, තමාගේ සම්පත් රජුන්, සොරුන්, අපි‍්‍රයයන් විසින් පැහැර ගත නො හැකි වීම මෙන් ම ගින්නෙන් ජලයෙන් විනාශ නො වී, අන්‍යයන්ට සාධාරණ නො වන ධනය ලැබීම, ලොව උතුම් කෙනෙකු වීම, තමාට අසවල් දෙය නැතැ’ යි කියන බව නො දැනීම, සැප සේ විසීම යනාදි ආනිසංස ලැබේ.

කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම නිසා සතුරුබිය නැතිවීම, බොහෝ දෙනාට පි‍්‍රයමනාප වීම, අපායභය සන්සිඳීම, ස්ත්‍රිභාවය හෝ නපුංසකභාවයට පත් නොවීම, සමාජයෙහි නො පසු බෑම, පිරිපුන් ඉන්ද්‍රියයන් ඇතිවීම ස්ත්‍රීපුරුෂයන්ට ඔවුනොවුන් පි‍්‍රය වීම යනාදි ආනිසංස ලැබිය හැකි බව පෙනේ.

බොරුකීමෙන් වැළකීම නිසා ප්‍රසන්න ඉන්ද්‍රියයන් ඇති බව, මිහිරි වදන් ඇති බව, මනා සුදුවන් දත් ඇති බව, තරබාරු නො වීම, වඩාත් කෘශ නොවීම. වඩාත් උස් නොවීම, වඩාත් මිටි නොවීම, සැප පහස ඇති බව, මානෙල්මල් සුවඳ හමන මුඛයක් ඇති වීම, කීකරු පරිවාර පිරිසක් ඇති බව, ඇදහිය යුතු වචන ඇති බව, නෙළුම්පතක් මෙන් මෘදු තුනි රතුවන් දිවක් ඇති වීම, නො සන්සුන් නොවීම, චපල (ස්ථිර වචන නැති) නො වීම යනාදි ආනිසංස ලැබේ.

රහමෙර (මත්ද්‍රව්‍ය ) භාවිතයෙන් වැළකීමෙන් අතීත අනාගත වර්තමාන යන තුන්කල්හිම කළ යුතු කටයුතුවල දී වහා වැටහෙන සුලු බව, සෑම කල්හි මනා සිහියෙන් යුතු වීම, උමතු නොවීම , ඥානවන්ත වීම, අලස නොවීම, අඥාන නො වීම, කෙලතොලු නොවීම, මත් නොවීම, ප්‍රමාද නො වීම, මුළා නොවීම, තැති නො ගැනීම, එකටෙක නො කිරීම, ඊර්ෂා නො කිරීම, සත්‍යවාදි බව, කේලාම් නොකීම, පරුෂවචන නො කීම, නිරර්ථකවචන නො කීම, දිවාරාත්‍රී මැලි නොවීම, කෘතඥ වීම, මසුරු නො වීම, ත්‍යාගශීලි වීම, සිල්වත් වීම, ඍජු වීම, ක්‍රෝධ නො කිරීම, පාපයට ලජ්ජා වීම, පාපයට බිය වීම, ඍජු වූ (නිවැරදි ) දෘෂ්ටියෙන් යුතු වීම, මහාප්‍රාඥයෙකු වීම, නුවණැත්තෙකු වීම, පණ්ඩිතයෙකු වීම, අර්ථානර්ථ දැනගැනීමෙහි දක්‍ෂ වීම යනාදි බොහෝ ආනිසංස ලැබේ.

මෙබඳු අනේක ආනිසංස ගෙන දෙන්නා වූ පන්සිල් රැක ස්වර්ග මෝක්‍ෂ සම්පත් ලැබ ගැනීමට නුවණැති සත්පුරුෂයෝ වෑයම් කරත්වා!


                                                                                                             - From Dharma Danaya Pinisai Page -

සුරාවේ ආදීනව



සුරාවේ ආදීනව දැක දුගතියෙන් මිදෙමු.....


සුරාව පානය කිරීම නිසා පුද්ගලයාට මරණින් පසුව මුහුණ දෙන්නට සිදුවන ආදීනව පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපායසංවත්තනික සූත්‍රයෙහි දක්වා තිබේ. ඒ අනුව සුරාපානයෙහි නිරත පුද්ගලයා මරණින් පසුව

* නිරය, තිරච්ඡාන, පේ‍්‍රත යන තුනෙන් එකක උපත ලබයි.
* මනුෂ්‍යයෙකු වුවහොත් උන්මත්තකයෙකු බවට පත්වෙයි (මනුස්සභූතො උන්මත්තක සංවත්තනිකොහොති)

මෙය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් කරුණු පැහැදිලි කළ යුතුය. සුරාව චතුර්විධ දුශ්චරිත හා සම්බන්ධවන නිසා එය සාමාන්‍ය වශයෙන් ඔබට වටහා ගන්න පුළුවන. බුදුරජාණන් වහන්සේ ගිහියාගේ ප්‍රතිපදාව දක්වමින් මෙසේ දේශනා කළහ.

‘ගිහිතෙම සුරාවෙන් වළකින්නේ ය. යම් ගිහියෙක් සුරාපානයෙන් වැලකීමට කැමති වන්නේ ද ඔහු එය උන්මාදය ඇති කරන්නක් බව දැන එයින් තමන්ද වළකින්නේය අන් අයද වළක්වා ගන්නේය’.

‘සුරා මදය හේතුවෙන් අනුවණ පුද්ගලයා පව් කරයි. අන් අයත් ප්‍රමාදයට පත්කරයි. පරලොවදී උමතු බවට හේතුවන මෙලොවදී පුද්ගලයා මුලාවට පත්කරන සුරාපානය මෝඩයන්ගේ සිත්ගත් ක්‍රියාවකි. (මෝඩයන්ගේ කාර්යකි) එබැවින් නුවණැති ගිහියා එයින් මුළුමණින්ම වැළකෙන්නේය (සුත්නිපාත ධම්මික සුත්ත)

බුදුරජාණන් වහන්සේගේ මෙම අවවාදය පිළිපදින සැබෑ බෞද්ධයන් ලොව ඉතාමත් දුර්ලභය. බෞද්ධ යැයි කියාගන්නා බොහෝ දෙනෙක් මෙම පාප කර්මයෙහි තවදුරටත් යෙදෙන අතර එය සාධාරණය කරනු පිණිස නොයෙකුත් කරුණු ඉදිරිපත් කරති. ඒ අය එම ශික්ෂාපදයෙහි අර්ථ විකෘති කරමින් වරද සිදුකරන අතර ධර්මයටත් හානියක් සිදු කරති. මංගල සූත්‍රයේ දැක්වෙන ‘මජ්ජපානාච සංයමො’ යන වචන විකෘති කරමින් මද්‍යපානයෙහි සංවරවීම යනුවෙන් අදහස් ඉදිරිපත් කරති.

තවදුරටත් ඔවුන් ප්‍රකාශ කරන්නේ ටිකක් පානය කළාට වරදක් නැති බවයි. වැළකීම යන අර්ථය දෙන එම වචනයට වැරදි අර්ථ දක්වමින් පාප කර්මයේ නිරත වෙති. බුදුරජාණන් වහන්සේ පාපය හෝ අකුශල මුළුමනින්ම දුරුකරන්න මිසක් ටිකක් දුරු කරන්න කියා දේශනා කර ;නාමැත.
මොලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයත් අඳුරු කරගත් පුද්ගලයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කළහ. ඒ අනුව සුරා පානයෙහි නිරත පුද්ගලයා දෙලොව පිරිහුණු අයෙකු වශයෙන් දක්වා තිබේ. (අ.නි. 4 සික්ඛාපද සුත්ත) ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි පුද්ගලයෙකු පිරිහීමට පත්වන කරුණු වශයෙන් ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම සුරාව කෙරෙහි ලොල්වීම පාප මිත්‍ර සේවනය හා සූදුවට ලොල් වීම ආදිය දැක්වේ. (අ.නි. 8 ව්‍යඝ්ගපජ්ජ සුත්ත) පුද්ගලයා දෙලොවින් පරිහානියට පත්කරන සුරාව එයින් එකක්. එහෙත් සුරාව සම්බන්ධයෙන් සලකන විට සෙසු කරුණු තුනටද එය පදනම් වන බව පැහැදිලියි.

සුරාවෙන් වළකින පුද්ගලයා කරුණු තුනකින් සමාජයට අභය, අවෛරය හා මෛත්‍රිය දානය කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (අ.නි.8 පුඤ්ඤාභිසන්ද සුත්ත) ඒ අනුව සුරාවෙන් තොර පුද්ගලයා තමන් චතුර්විධ දුශ්චරිතයන්ගෙන් වැළකින අතර මුළු මහත් සමාජයටම තමන්ගෙන් කිසිවෙකුටත් බයක් වෛරයක් හා විනාශයක් කිසිසේත්ම සිදුනොවන බවට සහතිකයක් ලබාදෙයි.

මෙම අගනා සහතිකය සමාජයේ සිටින සියලුම සාමාජිකයන්ට දෙන්නට හැකිනම් එය මොනතරම් සුන්දර සමාජයක් වේද? පවුලක සිටින ස්වාමියාට, බිරිඳට, මවට, පියාට, දරුවන්ට තම පවුලේ එකිනෙකාට එම සහතිකය ලබාදෙන්න හැකි නම් එම පවුල කොතරම් වාසනාවන්ත එකක්ද? මුළු ලෝකයම බියෙන් ඛ්ා වේදනාවෙන් මෙන්ම වෛරයෙන් අසහනයට පත්ව තිබෙන්නේ මෙකී පංච දුශ්චරිතයේම නිරතවන්නන් නිසා නොවේද? අඩුම තරමින් තමන් නිසා කිසිවෙකුටත් අයහපතක් සිදුවන්නේ නැතැයි හිතන්න හැකිනම් එය උසස්ම මෛත්‍රිය පැතිරවීමයි.

« මත් පානයෙන් වැළකීමේ අනීසංස»

1. තුන් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
2. සෑම කල්හිම එළඹ සිටි සිහි ඇත්තෙකු වීම
3. උම්මත්තක නොවී ඉපදීම
4. ඥානවන්තයෙකු වීම
5. අලස නොවීම
6. නොහික්මූනු ක්‍රියා නොකිරීම
7. කෙළත්හොගු නොවීම
8. තරුණ මදයෙන් ආදී මත්වූ ස්වභාවයක් නොකිරීම
9. අප්‍රමාණ විහරණ ඇත්තෙකු වීම
10. මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
11. තැතිගැනීම් නැත්තෙකු වීම
12. එකට එක නොකිරීම
13. ඊර්ෂ්‍යා නොකරන බව
14. සත්‍ය වචන කතාකරන්නෙකු වීම
15. කේලාම් පරුෂ හිස්වචන කථාකරන්නෙකු නොවීම
16. දිවා රෑ දෙකෙහි අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
17. කළගුණ දන්නෙකු වීම
18. කළ උපකාරයට ප්‍රති උපකාර කරන්නෙකු වීම
19. මසුරු මල ධර්ම නැත්තෙකු වීම
20. ත්‍යාග වන්තයෙකු වීම
21. මහා සිල්වතකු වීම
22. සෘජු ගති පැවතුම් ඇත්තෙකු වීම
23. ක්‍රෝධ නොකරන සත්පුරුෂයකු වීම
24. පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවතෙකු වීම
25. පව් කිරීමට බිය ඇත්තෙකු වීම
26. සෘජු අදහස් ඇත්තෙකු වීම
27. මහා පඥාවන්තයකු වීම
28. මහා චිත්ත ශක්තියක් ඇත්තෙකු වීම
29. දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම
30. අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇති බව

(සබ්බ පාපාස්ස අකරණං) ධම්මපදයේ දැක්වෙන ආකාරයට යම් කෙනෙක් සුරාපානයේ නිරත වන්නේ නම් ඔහු විසින් මෙලෝ පරලොව දෙකෙදීම තමන්ම තමන්ගේ වළ කපාගන්නා පුද්ගලයකු වන බව දේශනා කළහ.

(මූලං ඛනති අත්තනො) එබැවින් නුවණැති පුද්ගලයෙකු වශයෙන් සුරාපානය මගින් තමන්ගේ අභිවෘද්ධිය විනාශ කර ගැනීමෙන් වළකින්නට කල්පනා කළ යුතුවේ.

පංචශීලය ආරක්ෂා කරන ගෘහස්ථ පුද්ගලයා සිල්වතෙක් බවට පත්වේ. (මහනාම සුත්ත) පංචශීලය ආරක්ෂා කරමින් ඔහුට මෙම ගිහි ජීවිතයේදීම (පැවිදි නොවී) දැහැමින් අඹුදරුවන් පෝෂණය කරමින් සකෘර්දාගාමි අවස්ථාවට පත්වීමට හැකිබව ධර්මයේ දැක්වේ. (මිගසාලා සුත්ත) එබැවින් දෙලොව දියුණුව නසන සුරාවෙන් වැළකී එම උතුම් ආර්ය ප්‍රතිපදාව වැඩීමට අධිෂ්ඨාන කරගැනීම වැදගත් 

වේ.

                                                                                                        - From Dharma Danaya Pinisai Page -


ඉසිදාසි තෙරණියගේ කතාව


කාමමිත්‍යාචාරයේ ආදීනව පල දී ජීවිතයේ මහා ඛේදවාචක රැසකට මුහුණ දුන් ඉසිදාසි                   තෙරණියගේ කතාව...


මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු පැටවුන්ට. ඒක එහෙම නේද? ලස්සන විවාහයකුත් වෙලා, යහපත් සැමියෙකුත් ලැබිලා ඒත් තමන් අතේ කිසිම වැරැද්දක් නැති ව සැමියට තමන් ව එපා වුණොත්, විවාහය අසාර්ථක වුණොත් ගැහැණු ළමයෙකුට මොනවා හිතේවිද? වැඩිය හිතන්න යන්නෙපා, ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ලෝකේ. ඒත් එහෙම වෙන්නෙ ඇයි කියලා කවදාවත් හිතුවෙ නැහැ නේද? එහෙනම් කියවන්නකෝ මේ කථාව...

කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත් භික්ෂුණිය ගේ නම බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යාන සැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක් අහල තියෙනව. ඒ වගේ ම නිකෙලෙස්. දවසක් ඒ භික්ෂුණින් දෙනම පිණ්ඩපාතෙ වැඩිය. දන් වැළඳුව. දෙපා සෝද ගෙන විවේක තැනක සුවසේ සිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ.

ආර්ය වු ඉසිදාසී ඔයා හරි ම ලස්සන කෙනෙක්. තව ම ඉන්නෙ තරුණ වයසෙ. ඔයා මහණ වෙන්ට කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකල ද?

විවේක තැනක දී මේ විදියට අසද්දී දහම් දෙසීමෙහි දක්ෂ වු ඉසිදාසී භික්ෂුණිය මේ විදියට පිළිතුරු දුන්න. එහෙම නම්,පින්වත් බෝධි,මං මහණ වෙච්ච විදිය අහගන්න.

මගේ තාත්තා සිල්වත් කෙනෙක්,එයා උදේනි නගරයේ සිටුවරයෙක්. මං ඒ ගොල්ලන් ගෙ එක ම දුව. ඒ ගොල්ලන් ගෙ හැම ආදරයක් ම ලැබුණෙ මට. සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආව. ඒ සිටුවරයාට ත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමා ගේ ලේලිය හැටියට මාව, මාගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්න. ඉතින් මං නැන්ද යි මාම යි ලඟට උදේ සවස ගිහින් ඒ ගොල්ලන් ගෙ දෙපා වැන්ද. ඔවුන් කියන දේ විතරක් ම කෙරුව. මං මගේ ස්වාමිය හරි,සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනව. කෑමෙන් බීමෙන් වුණත්, කැවිලි පෙවිලිවලින් වුණත් ඒ ගොල්ල කැමති දෙවල් හදල දීල සතුටු කරනව. මං ඒ ගොල්ලන්ට හොඳට සැලකුව. අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනව. මං මගේ අතින් සැමියා ගේ පා සෝදල යි ගෙට ගන්නෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙන යි. මං පනාවත්, සුවඳ විලවුන් වර්ග ත්, වෙනත් දේවලුත්, කණ්ණාඩිය ත් අරගෙන සැමියා ළඟට යනව. මගේ අතින් ම යි මං එයා ව සැරසුවේ. මගේ අතින් ම බත් ඉව්ව. හැලි වලං හේදුව. අම්ම කෙනෙක් එක ම දරුවෙකුට සලකනව වගෙයි මං සැමියට කටයුතු කළේ.

එයාට මං කොයි තරම් ආදරෙන් වැඩකාර කම් කරගෙන හිටියත්, නිහතමානී ව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජිවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ. අන්තිමේ දී එයා ඒ ගොල්ලන් ගෙ දෙමපියන්ට මෙහෙම කිව්ව. "මං යනව මේ ගෙදර අත් හැරල, මට මේ ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕන කමක් නෑ." "පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඤාණවන්ත කෙනෙක් නේ. වාසනාවන්ත කෙනෙක් නෙ. විරියවන්ත යි නෙ. කම්මැලි නෑනෙ. ඉතින් පුතේ. ඔයා මොකද ඉසිදාසීට මේ තරම් අකැමැති?" "ඔව්! ඇය මට වරදක් කළේ නෑ. මට ඉසිදාසී ත් එක්ක ඉන්ඩ ඕන කමක් නෑ. මට ඈ ව අප්පිරිය යි. මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට ත් නොකියා ම මේ ගෙදරින් යන්ඩ යනව." නැන්ද යි මාම යි එයා ගෙ වචනෙ පිළිගත්ත. ඉතින් ඒ ගොල්ල මගෙන් ඇහැව්ව."දරුවො. ඔයා මොකක් ද අපේ පුතාට කරපු වැරැද්ද? සැක නැතිව කියන්න" මං එයාට කිසි ම වරදක් කළෙ නෑ. හිංසාවක් කළේ නෑ. වැරදි වචනයක් කියල නෑ. ආර්යාවෙනි, ඉතිං එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නේ? "අපේ පුතා ව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මී ව අපේ පවුලට නැති වුණා." කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්ත ළඟට ඇරලුවා.

ඒ වතාවේ මගේ තාත්ත, අපට වඩා බදු ආදායම භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්ඳල දුන්න. මාසය යි මං ඒ ගෙදර හිටියෙ. මං කීකරු දාසියක් වගෙ උපස්ථාන කරද්දී, සිල්වත් ව සිටිද්දි, ඒ ගෙදරිනුත් මාව අයින් කළා. අන්තිමේ දී මගේ තාත්තා, සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආව. "ළමයෝ, ඔය රෙදි කඩමාල්ල යි, ඔය තැටිය යි වීසි කරපන්. මගේ දියණිය ගේ ස්වාමිය බවට පත් වෙයන්." කියල කිව්ව. ඒ මනුස්සයා මම ත් එක්ක ටික කලක් හිටිය. එයත් මාව අත් හැරල ගියා. එයා යන දවසේ තාත්තට මෙහෙම කිව්ව. "මගේ රෙදි කඩමාල්ල යි මගේ තැටිය යි, මට ආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්ඩ පටන් ගන්නව." එතකොට අම්ම යි තාත්ත යි එයාට මෙහෙම කිව්ව. " මේ ගෙදරින් ඔයාට මොනව ද ලැබෙන්නෙ නැත්තෙ? ඕන දෙයක් කියන්න, හරි ගස්සල දෙන්නම්." එහෙම කියද්දි ත් එයා මෙහෙම යි කිව්වෙ. "නෑ මට ජීවත් වෙන්ඩ තාම හයිය තියෙනව. මට මේ ඉසිදාසී ගෙන් වැඩක් නෑ. මට ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕනකමක් නෑ." ඒ ඉඳුල් කන මනුස්සය ත් මාව දාල ගියා. මං තනියම හිතන්න පටන් ගත්ත. එක්කෝ මං කාටවත් නො කියා දිවි නසා ගන්නව. එක්කෝ මං මහණ වෙනව.

විනයධර,බහුශ්‍රැත, සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්ය වු ඒ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතෙ වඩින ගමන් අපේ ගෙදරට ත් වැඩිය.එතුමිය දැකල අපි සිටිය ආසනේ වාඩි වෙන්න පිළියෙල කළා. එතන හිඳ ගත්ත ඒ භික්ෂුණී ගේ දෙපා වැඳල දානෙ පුජා කරගත්ත. දන් පැන්වලිනුත්, කැවිලි පෙවිලිවලිනුත් ඇයට සැලකුව. "ආර්යාවෙනි, මාත් කැමැති යි මහණ වෙන්න," මං තාත්තා ළඟ වැඳ ගෙන හඬා වැටුණා. "නෑ, මං කරගත්තු පව් තමයි මේ. මම් ම ඒ පව් දිරවල අවසන් කරල දානව." ඊට පස්සෙ තාත්ත මෙහෙම කිව්ව. " නර ශ්‍රේෂ්ඨ වු බුදු රජාණන් වහන්ස් යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම්, ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබා ගන්න. නිවනට පත් වෙන්න." මං දෙමාපියන්ට ත්, නෑදැ පිරිසට ත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.

මට අතීත ජිවිතේ ආත්මභාව හතක් සිහි කරන්න පුළුවන්. මං මේ ජිවිතේ විපාක වින්ඳේ ඒ කාලේ කරපු පවක්. මං ඔයාට එක කියන්නම්. හොඳට අහගෙන ඉන්න. මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ජ නගරයේ ගොඩක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියෙ. මං තරුණකමින් මත් වෙලා හිටිය. මං නොයෙක් කාන්තාවන් පස්සෙ ගියා. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙළින් ම ඉපදුනේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්ඳා. නිරයෙන් චුත වුණාට පස්සෙ උපන්නෙ වැඳිරියක ගේ කුසේ. එතකොට මං ඉපදිලා දවස් හත යි. එ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හුරල දැම්ම. පරස්ත්‍රීන් සේවනය කරපු කර්මවිපාක තමයි මං ඒ වින්ඳේ. මං එතැනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බුරු දෙනෙක්. ඒ ගමන මං උපන්නෙ ඇගේ කුසේ. මං කුඩා කාලේ මගේ රහසඟේ ඇට තැලුව. දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ උණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි.

මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනෙක ගේ කුසේ ඉපදුනා. මං රතුපාට වහු පැටියෙක්. දොළොස් වෙනි මාසෙ දී අර විදියට ම මාගේ ලිංගයේ ඇට තැලුව. මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා, ලෙඩ වෙලා ගියා. මං එතනින් චුත වුණා. නගරේ වීදීයේ දාසියක ගේ කුලයේ තමයි ඊළඟට උපන්නේ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවෙ මං ගැහැණියෙකුත් නො වේ, පිරිමියෙකු ත් නොවේ නපුංසකයෙක්! මං ගොඩාක් දුක් වින්දා, අවුරුදු තිහේ දී මැරුණා. ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක යි මං ඊ ළඟට ඉපදුනේ. ඒ ගමන මං ස්ත්‍රියක්.අපේ ගෙදරට ණය ගෙවා ගන්ට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දී ම බලාත්කාරයෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස දහසය යි. මං තරුණ යි. ඒ ගැල් නායකයා ගේ පුතෙක් හිටිය ගිරිදාස කියල. එයා මාව තමන් ගෙදරට කැඳව ගත්ත. එයාට හිටියා හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුන. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදියට කටයුතු කිරීම යි. මං දාසියක් වාගේ ස්වාමියා ට උපස්ථාන කරද්දී. ස්වාමියා මාව අත් හැරල යන්නෙ, ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මය ත් අවසන් කළා.


                                                                                           - From Dharma Danaya Pinisai Page -