9/2/15

සෝතාපන්න වීම - දහම් ඇස පහල වීම


ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ ශ‍්‍රී සද්ධර්ම රත්නය තුළින් ආර්ය මාර්ගය පූර්ණ කර ගැනීම සඳහා කෙනෙකු අත්‍යාවශ්‍යයෙන්ම වැඩිය යුතු ධර්ම කාණ්ඩයක් වන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ය. අප නිතර අසා ඇති එසේම නිතර භාවිතා කරන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වන්නේ,

සතර සතිපට්ඨානය
සතර සම්‍යක් ප‍්‍රධාන
සතර ඉර්ධිපාද
පංච ඉන්ද්‍රිය
පංච බල
සප්ත භොජ්ජංග ධර්ම
ආර්ය අෂ්ඨාංගික මාර්ගය

යන ධර්ම කාණ්ඩයන්ය. නිවන් අවබෝධ කර ගැනීම සඳහා වැඩිය යුත්තේ මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ය. මේ පිළිබඳව අවබෝධ කර ගැනීමට පෙර අප දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා. අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු වන අනිච්ච, දුක්ඛ, අනත්ත යන කරුණු තුන මෙහි ඇතුලත් වෙලා නෑ. එසේම චතුරාර්ය සත්‍යයට අයත් දුක්ඛ ආර්ය සත්‍යයත්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයත් මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මවලට ඇතුලත් වෙලා නෑ. ඒ අතරින් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පමණයි මෙයට ඇතුලත් වෙලා තියෙන්නේ.

මේ කරුණු ඇතුලත් නොවීමට හේතුවක් තියෙනවා. පළමුවෙන් ම ප‍්‍රඥාවෙන් අවබෝධ කර ගෙන මතු කර ගත යුතු දහම් කොටසක් තියෙනවා. ඒ කොටස අවබෝධ කරගෙන දෙවනුවයි වැඩිය යුතු කොටස කරගෙන යා යුතු වන්නේ. සත්තිස් බෝධි පාක්ෂික ධර්මවලට අයත් වන්නේ ඒ වැඩිය යුතු කොටසයි. අප කරන සෑම භාවනාවක් තුළින්ම මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩෙනවා.

අප බෞද්ධයන් වශයෙන් කෙතරම් කාලයක සිට භාවනා කරනවද? භාවනා පන්තිවලට යනවද? විශේෂයෙන්ම ආනාපානා සති භාවනාව කෙතරම් කාලයක් වඩලා තියෙනවද? මේ භාවනා ප‍්‍රගුණ කරද්දී නිවන් අවබෝධ වුනා කියලා කවරෙකුට හරි වැටහිලා තියෙනවද? එසේ නම් මේ භාවනා කිරීමේ කිසියම් අඩුපාඩුවක් තියෙනවද? යන කරුණු හොඳින් කල්පනා කළ යුතු වෙනවා.

බුදුපියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ නම් උන්වහන්සේගෙන් ධර්මය ශ‍්‍රවණය කොට කර්මස්ථානයක් වඩන භික්ෂුන් වහන්සේ නමක් හෝ ගිහියකු, දින ගණනකින් හෝ සති ගණනකින් නැත්නම් මාස ගණනකින් උත්තරීතර වන්නා වූ අරිහත් ඵලය හෝ මාර්ග ඵල අවබෝධ කර ගන්නවා. එතරම් හැකියාවක් තිබූ ඒ ධර්මයෙන් අද ප‍්‍රතිඵල ලබා ගත නොහැකිව ඇති හේතුව කුමක්ද යන්න සොයා බැලීම වැදගත් වෙනවා.

බුදු දහම කියන්නේ නිවන් දැක යන මගක් මිසක් ගිහින් දකින මගක් නොවෙයි. මේ සඳහා උපමාවක් ගෙන පැහැදිලි කර දීමෙන් අවබෝධයට පහසු වෙනවා. කිසියම් දිවීමේ තරඟයකදී දිනුම් කණුවක් මෙන්ම ඒ සඳහා වන මාර්ගයක් ද තියෙනවා. ඇස් ඇති කෙනෙක් ඈතක සිට ඒ දිනුම් කණුවත් ඒ සඳහා යන මාර්ගයත් හොඳින් දකිනවා. දිනුම් කණුව දැක්කට පස්සේ ඔහුට කිසිවෙකුගෙන් ඒ පාර අහන්න වුවමනා නෑ. මීළඟට ඔහු ඒ මාර්ගය දිගේ ගමන් කර දිනුම් කණුව ස්පර්ශ කරනවා. මෙහිදී වැදගත් කරුණු දෙකක් සිදුවෙනවා. මාර්ගය දැකීමයි, දිනුම් කණුව දැකීමයි එක ක‍්‍රියාවක්. මාර්ගයේ යාමයි, දිනුම් කණුව ස්පර්ශ කිරීමයි තවත් ක‍්‍රියාවක්.

මේ ආකාරයෙන් බුදු දහම තුලින් කිසියම් ප‍්‍රතිඵලයක් ලබන්නට නම්, නිවනත්, නිවන් මගත් පළමුව දකින්නට ඕන. ඒ මාර්ගය අනුගමනය කර නිවන අත්දැකීමට හෝ නිවන ස්පර්ශ කිරීමට පුලූවන් වෙන්නේ ඒ නිවන දුටු තැනැත්තාටයි. දිනුම් කණුවත්, දිනුම් කණුවට යන මාර්ගයත් දැක්කේ නැත්නම් දිනුම් කණුව ස්පර්ශ කිරීමට බැරිවෙනවා වගේ නිවන් දැකීමට හේතුවන ආර්ය මාර්ගය දැක්කේ නැත්නම් කෙනෙකුට ඒ මාර්ගයේ යන්නත් බෑ. මාර්ග ඵලයක් ලබන්නත් බෑ. එසේනම් අද භාවනාව ලෙස කරගෙන යනු ලබන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩිය යුත්තේ නිවන් මාර්ගයත් නිවනත් දැක්කට පසුවයි. එසේ නම් දකින ලද නිවන් මාර්ගය අනුගමනය කළ යුත්තේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම තුලිනුයි. එයින් ලැබෙන ඵලය නිවනයි. මේ අනුව පැහැදිලි වෙන්න ඕන නිවන දැකීමයි, නිවන අත්දැකීමයි කරුණු දෙකක් කියලා.

බොහෝ දෙනෙක් මේ කරුණු හොඳින් තේරුම් නොගෙන භාවනා කරනවා. භාවනාවෙන් සිදු කෙරෙන්නේ ඇලීමයි, ගැටීමයි සහමුලින්ම දුරුකර ගැනීම හෙවත් සංසිඳුවාලීමයි. ඇලීමයි, ගැටීමයි දුරුකරනවා කියන්නේ අභිජ්ඣා දෝමනස්ස යන කරුණු දෙක දුරු කිරීමයි.

"කායේ කායානුපස්සී විහරති අතාපි සම්පජානෝ, සතිමා, විනෙයිය ලෝකේ අභිජ්ඣා, දෝමනස්සං"

සතියෙන් සහ නුවණින් යුක්තව මේ කයෙහි කායානුපස්සනාවෙන් වාසය කොට ඇලීම සහ ගැටීම දුරුකර ගත යුතුයි යනුවෙනුයි මහා සතිපට්ඨාන සූත‍්‍රය ආරම්භයේම බුදු පියාණන් වහන්සේ දේශනා කර තියෙන්නේ ඇලීමයි, ගැටීමයි දුරුකර ගත යුත්තේ.

"භාවනාය පහාතබ්බං"

හෙවත් භාවනාවෙන් පහකර ගත යුතු දෙවෙනි අවස්ථාවේදීයි.

එසේ නම් භාවනාවෙන් පහකිරීමට පෙර දර්ශනයෙන් පහකර ගත යුතු සංයෝජන කොටසක් තියෙනවා.

දස්සනේන පහාතබ්බං

යනුවෙන් පෙන්වා ඇත්තේ ඒ කොටසයි. නිවන් මග දැකීමත් නිවන දැකීමත් යනුවෙන් මුලින්ම සඳහන් කළේ ඒ දස්සනේන පහාතබ්බං යන කොටසයි. දර්ශනයෙන් පහ කළ යුතු තත්ත්වය තේරුම් නොගෙන, භාවනාවෙන් කළ යුතු පහ කිරීම කරන්නට පුළුවන් කමක් නෑ. බොහෝ අය භාවනා කළත් ප‍්‍රතිඵලයක් නැත්තේ ඒ නිසයි.

මෙතෙක් භවනා කර ප‍්‍රතිඵල නැති අය මේ කරුණු හොඳින් අවබෝධ කර ගත යුතුයි. මේ සඳහා දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය තුළ ඤාණ ගෝචර වූ ධර්මය ලැබෙන්නේ අවස්ථා දෙකකදීයි. මෙයින් පළමුවන අවස්ථාවේදී සිදුවන්නේ පුර්වභාග නුවණ ලැබීමයි. එහි ප‍්‍රතිඵලය වශයෙන් මාර්ග ඤාණය හෙවත් මග නැණ පහළ වන්නේ දෙවෙනි අවස්ථාවෙයි.

පුර්ව භාග නුවණ පළමුව පහළ වෙයි. මග නැණ දෙවනුව පහළවෙයි. යන්න උතුම් වූ බුද්ධ දේශනාවක්.

පූර්ව භාග නුවණ ලැබෙන්නේ කෙසේද?

අනිච්ච, දුක්ඛ, අනත්ත යන ත‍්‍රිලක්ෂණය නිවැරදිව අවබෝධ කරගත්තමයි, පුර්ව භාග නුවණ පහළවෙන්නේ. මේ පූර්ව භාග නුවණ ලබා ගැනීමේදී කිසියම් අඩුපාඩුවක් තිබුණොත්, ඔහුට ආර්ය මාර්ගය හරියට දකින්න බැරිවෙනවා. එතැනින් එහාට ගොස් ඵලය ලබන්න බැරිවෙනවා. නොපෙනෙන මගක ගොස් අතරමං වෙනවා. එසේ නම් අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් වන්නේ, මාර්ගය නිවැරදිව දැන ගැනීමත් ඒ මාර්ගය තුළින් ගමන් කොට ලබන නිවන කුමක්ද යන්න හරියට ම වටහා ගැනීමත්ය. එබැවින් අප මේ සඳහා මුලින්ම දහම් දර්ශනය කර අවශ්‍ය පසුතලය සකස් කර ගත යුතුයි.

නිවන් දැකීමට පෙර නිවන කියන්නේ කුමක්ද යන්නත් අපට නිවන් අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්නත් හොඳින් දැනගත යුතුයි. අපි ඉතාම ගෞරවයෙන් සහ භක්තියෙන් නොයෙක් පින් දහම් කරලා භාවනා කරලා ප‍්‍රාර්ථනා කරන්නේ උතුම් වූ නිවන් ශාක්සාත් කර ගැනීමටම හේතු වාසනා පහළ වේවා කියලයි. කෙනෙක් මිය ගියත්, ඔහුටත් අපි ප‍්‍රාර්ථනා කරන්නේ නිවනේ ශාන්තියම ලැබේවා කියලයි. මෙසේ ප‍්‍රාර්ථනා කරන්නා වූ නිවන කුමක්ද කියලා හරියට දැනගෙන හිටියේ නැත්නම් ඒ ප‍්‍රාර්ථනාව වචනයටම සීමාවෙන්න පුළුවන්.

නිවනවා කිව්වම මොනවද නිවන්නෙ කියලා දැනගන්නත් ඕන. දැල්වෙන දෙයක් තිබෙන බව දැක්කේ නැත් නම් අපට නිවන්න දෙයක් පේන්නෙ නෑ. එසේ නම් මොනවද දැල්වෙන්නේ? ලෝකයේ උපමාවක් තියෙනවා. ගිනි දැල්වෙනවා කියලා යම් යම් දේවල් ගින්නෙන් දැවිලා පිච්චිලා යනව අපේ ඇහැට පේනවා. ඒ වගේ නොපෙනෙන පැත්තක ගින්නක් තියෙනවා. කොහෙද ඒ ගින්න තියෙන්නේ? ඒ ගින්න කුමක්ද? කුමක් ඇසුරු කරගෙන ද ඒ ගින්න හටගන්නේ? යන කරුණු අපි දකින්න ඕන. ලෝකයේ පවතින ඇහැට පෙනෙන ගින්න ගැන නෙවෙයි මේ කියන්නේ.

රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස්ස ගිනි, උපායාස ගිනි යන එකොළොස් ගින්නකින් ලෝක සත්ත්වයා නිරන්තරයෙන් පෙළෙනවා. මේ ගිනි හරියටම තේරුම් ගත්තේ නැත් නම්, මම මොනවා නිවන්නද කියලා වටහා ගන්න බැරිවෙනවා. එසේ නම් ගිනි කියන්නේ මොනවද? ගිනි හටගන්නේ කොහොමද? ඒ ගිනි නිවා දමන්නේ කොහොමද? ඒ සඳහා මාර්ගය කුමක්ද? යන කරුණු අවබෝධ කර ගත යුතු වෙනවා. මේ ආකාරයෙන් අප නිරන්තරයෙන් පෙළෙන එකොලොස් ගින්න නිවා දමා නිවන් දැකිය යුතුය යන තීරණය එනවා. මේ ගිනි හරියට නොදැක නිවන් පැතුවට එය පැතුමක් හෝ බලාපොරොත්තුවක් පමණයි. එතැනින් එහාට කළ යුතු දේ පිළිබඳ අවබෝධයක් නෑ.

මේ අනුව නිවන් දැකීම ප‍්‍රඥාවට ගෝචර වන දහමක් බව අවබෝධ කරගත යුතුයි. ඇසෙන් දුටු පමණින් හෝ කනෙන් ඇසූ පමණින් ප‍්‍රඥාව ගොඩ නැගෙන්නේ නෑ. ඇසූ දෙය ධර්මානුකූලව විමර්ශනයට ලක් කොට නුවණ හොඳින් මෙහෙයවා සිතා බලන විටයි, මේ දහම අවබෝධ වෙන්නේ. එසේනම් අපට මේ ගිනි නොපෙනෙන්නේ ඇයිද යන කරුණත් වටහා ගන්න ඕන.

දරුවන් නැති කෙනෙක් වෛද්‍යවරුන් පසු පස්සේ ගිහින් හරි, ගුප්ත දේවල් කරලා හරි, දරු සම්පත්තියක් බලාපොරොත්තු වෙනවා. දරු සම්පතක් ඇත්නම් මොන තරම් වාසනාවක්ද කියලත් හිතනවා. කෙසේ හෝ දරුවෙක් ලැබුණා නම්, ඒ දරුවා ලැබෙන්න පෙර නොතිබුණු මහා ගින්නක් දරුවෙක් ලැබුණාට පස්සේ පත්තු වෙන්න පටන් ගන්නවා. මේක දෙමව්පියන්ට පේන්නෙ නෑ. දරු සෙනෙහස නමැති ප‍්‍රිය ස්වභාවයෙන් මධුර ස්වභාවයෙන් අර මහා ගින්න වහලා තිබුණ නිසයි, එහෙම ගින්නක් දැක්කෙ නැත්තේ. විපත්තිය, සම්පත්තියක් හැටියටයි නිගමනය කර ගන්නේ. ප‍්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය නිසාමයි ලෝක සත්ත්වයා මේ ලෝකෙට ඇලුම් කරන්නේ.

මේ යථා ස්වභාවය තේරුම් ගැනීමට නම් පළමුව ලෝකය කුමක්ද, ලෝකයට අයිති දේ මොනවාද කියලා අපි අවබෝධ කරගන්න ඕන. බොහෝ අය මේ ලෝකය මස්-ලේවලින් සැදුන කයකට සීමා කර ගෙන දකින්න උත්සාහ කරනවා. එහෙත් ලෝකය නිවැරදිව දකින්නේ නැතුව ගිනි හටගන්න ආකාරය දකින්න බෑ. පංචස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් සහ පටිච්ච සමුප්පාද වශයෙන් සම්බුදු පියාණන් වහන්සේ ලෝකය විග‍්‍රහ කරල තියෙනවා.

- ගරු පූජ්‍ය වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ

ඔබ සැමට තෙරුවන් සරණයි !

ධර්ම දානය පිනිසයි. කියවා මිතුරන් අතර බෙදාගන්න.

උපුටා ගැනීම : http://www.helabodhupiyuma.net/archives/91

8/6/15

භාවනා ක්‍රම හා එහි ඇති ප්‍රයෝජන


01. භාවනා කරන්නේ ඇයි ?

භාවනාව වූ කලී එදිනෙදා ජීවිතයේ දී ඇතිවන ආයාසයන් සමනය කළ හැකි මානසික ව්‍යායාමයකි. නිවසේ හෝ රැකියා ස්ථානයේ අප ගත කරන ජීවිතය හිත්තැවුල් - භේදවීම - දෙගිඩියාවෙන් බලාපොරොත්තු සුන්වීම් හා අසහනයන් ආදියෙන් ගහන වූ එක් විය හැකිය. නාගරික හෝ කාර්මික පරිසරයක ජීවත් වන අය හට ආතතිය (මානසික පීඩන) තදින් බලපාන දෙයකි. කළබල රහිත වේලාවන්හිදී පවා අපගේ මනස තුළ දොම්නස් භාවය, තනිකම හෝ බිය ආදිය ඇති විය හැකිය.
බලාපොරොත්තු රහිත ප්‍රශ්න පැන නගින අවස්ථාවන්හි දී අපගේ ජීවිතය මහත් ගැටලුවක් සේ දිස් වීමට ඉඩ ඇත. තමන් භාවනාව පුරුදු පුහුණු කිරීමෙන් මෙම හිරිහැරදායක අවස්ථාවලින් සිත වෙහෙසට පත් නොවී තබාගත හැකිවෙනවා පමණක් නොව ජීවිතයේ දුක සැප හෝ කුමන ආකාරයේ තත්ත්වයකට වුවද ඉවසීමෙන් සහ සතුටින් මුහුණදීමට හැකිවනවා ඇත.
ඔබේ වයස හෝ වෘත්තීය කුමක් වුවත් භාවනාව මගින් ඔබේ ජීවිතයට යහපතක් උදාකර ගත හැකිය. දවසේ බොහෝ වේලාවක් වෙහෙස මහන්සි වී රාජකාරියෙහි නියුතු වුවත් දිනකට සුළු වේලාවක් වුවත් භාවනාවේ යෙදෙන්නේ නම් ඔවුන්ගේ මනස සැහැල්ලු වෙයි. ඒකාකාරී ක්‍රියාවන්හි නිරතවීමෙන් නීරස සහ අසහනකාරී භාවයට පත්වන මනස එම තත්ත්වයෙන් මුදවා ගැනීමට භාවනාව මහෝපකාරී වේ. වයෝවෘධ හා රෝග පීඩාදියෙන් පෙළෙන අයට, ඒ නිසා ඇතිවෙන නොයෙක් අපහුතාවයන් සහ බිය, භාවනාව නිසා දුරුවේ.
සිසුනට ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමටත්, භාවනාව උපකාරී වේ. ගෘහ ජීවිතය, වෘත්තීය කටයුතු සහ සමාජයීය සබඳතා ඉතා සතුටුදායක තත්ත්වයකට පත්කර ගත හැකිය. භාවනාවේ යෙදීමෙන් මනසේ ස්වභාවය ශක්තිමත් වන බැවින් ශාරීරික හා මානසික දුර්වලතාවයන් නැතිකර ගත හැකිය. සැහැල්ලු මනසක් ඇති තැනැත්තාට ඉතා සුවදායක නින්දක්ද ලැබේ.
සමස්ථයක් වශයෙන් ගත් කළ භාවනාව තුළින් ඉතා ඵලදායී මෙන්ම තෘප්තිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගත හැකිය. එපමණක් නොව භාවනා කරන තැනැත්තාට තම නුවණ දියුණුවීම හේතුවෙන් ලැබෙන පී‍්‍රතියට සමාන තරම් පී‍්‍රතියක් කිසිදු අන් ක්‍රමයකින් අත්කර ගත නොහැකිය.
02. භාවනාව යනු කුමක්ද ?
මෙලොව ජීවත් වන සෑම කෙනෙකුටම පින උපකාර වන බවත්, පින් ඇත්නම් ජීවිතයේ සැප ළඟා කර ගත හැකි බවත් අප තථාගතයානන් වහන්සේගේ ඉගැන්වීමයි. පින් වැඩෙන පහසු ක්‍රමයකි භාවනා කිරීම. ඉතා දුෂ්කර දෙයක් සේ සලකා සමහරු එය නොකරති. සමාජය අතහැර දමා ජීවිතය ගැන කළකිරීමක් හෝ සිත් තැවුලක් ඇති වූ විටක, බාහිර උපද්‍රවයන් ගෙන් මිදී, ගසක් යටට වී කරන මහා අමාරු වැඩපිළිවෙළක් ය යන හැඟීම නිසා බොහෝ දෙනා මෙයට බිය වෙති.
ජීවිතයෙන් පලායෑමකැයි සිතති. නමුත් එය එවැනි දෙයක් නොවේ. ජීවිතය සමඟ සම්බන්ධ කර ගත හැකි, කරගත යුතු දෙයකි. භාවනා කිරීමෙන් ජීවිතය මනා ලෙස හැඩ ගැසේ. බුදුපියාණන් වහන්සේගේ භාවනා ක්‍රම මගින් සහනදායී සැපවත් ජීවිතයක් උදාකරගත හැකිය.
මෙලොවට ජනිත වන ඕනෑම සත්වයෙකුට ජීවත් විය හැකිය. එම ජෛව ශක්තිය සෑම සත්වයෙකුටම උපතින්ම උරුම වන දෙයකි. ජීව ශක්තිය අතින් බලන විට මනුෂ්‍යායාත් අනිත් සත්වයාත් අතර කිසිදු වෙනසක් නැත. මනුෂ්‍යයා හා සත්වයා අතර ඇති එකම වෙනස නම් පරිණත වූ සිතක් මනුෂ්‍යයාට උරුමව තිබීමයි. මනුෂ්‍යයාට මේ සිතම තවදුරටත් දියුණු කර ගැනීමේ හැකියාව තිබේ. මෙලොව බුදු කෙනෙක් පහළ වන්නේ අපේ මනස දියුණු කර දෙන්නයි. මනස දියුණු කර ගන්නා ආකාරයට “භාවනාව කියලා කියනවා.”
03. සිතෙහි ස්වභාවය හා භාවනා ක්‍රම
අපි රාත්‍රී කාලයක ජනෙල් දොරවල් ඇර ඇති කාමරයක ඉටිපන්දමක එළියෙන් පොතක් කියවීමක් වැනි යම්කිසි කාර්යයක යෙදී සිටිනවා යැයි සිතමු. සුළඟට මේ ඉටිපන්දමේ දැල්ල සෙලවෙනවා. අපේ වැඩේ කිරීමට මෙය බාධාවකි. දැල්ලේ සෙලවීම නතර කළහොත් අපට හොඳ ආලෝකයක් ලැබෙනවා. එමෙන්ම අපේ සිත් නිතරම සැලෙමින් පවතිනවා. සිත එක්තැන් කරගත හොත්, හැඩ ගස්වා ගතහොත් ඉන් ජීවිතය ආලෝකමත් කර ගන්න පුළුවන්.
අපි බලමු මේ සිත සැලෙන්නේ ඇයි කියා. මනුෂ්‍යයාගේ ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පංච ඉන්ද්‍රීයන් (නම් වූ දොරටු) විවෘතව තිබෙන නිසාය. මේ සැලීම සිදුවන්නේ. මේ දොරටු පහ හැකි තරම් වසා ගැනීමට, සංවර කර ගැනීමට පුරුදු වුවහොත් සිතෙහි සැලීම අඩුවෙනවා. බුදුන් වහන්සේ මේ සිත එක්තැන් කර ගන්නා ආකාරය, ඉන්ද්‍රියන් සංවර කර ගන්නා ආකාරය, නොයෙක් ආකාරයෙන් දේශනා කර තිබෙනවා. මෙය සරළ අභ්‍යාසයේ පටන් ඉගැන්වෙන ගැඹුරු විද්‍යාවක්. මෙය හොඳින් ඉගෙන ගතහොත් ජීවිතයේ කොයි අවධියක වුවත් උපරිම ප්‍රයෝජන ගත හැකියි.
සිත සකස් කර දියුණු කර ගැනීමට ඉවහල් වන ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකකි. එනම් - 1. සමථ භාවනා, 2. විපස්සනා (විදර්ශනා) භාවනා වශයෙනි. සමථ භාවනා මගින් කෙරෙනුයේ සිත එකතැන් කර ගැනීමක් නැතහොත් සිත තැනපත් කර ගැනීමක්. විදර්ශනා භාවනාව මගින් අපේ දුර්වලකම් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කර ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් දුක් නැතිකර ගැනීම සිදු කෙරේ.
04. සමථ භාවනාවේ මූලධර්ම කුමක්ද ?
සමථ භාවනාව මගින් සිත එකඟ කරගන්නේ කෙසේද ? අප විසින් කරන නිරන්තර ක්‍රියාව හුස්ම ගැනීමයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීම නිරායාසයෙන්ම සිදුවෙතත්, හැම විටම අපට එය දැනෙන්නේ නැත. එහෙත් ඒ සඳහා සිත යෙදුවහොත්, එම ක්‍රියව දැනේ. නිදාගෙන සිටි විට පංච ඉන්ද්‍රියත්, ඉන්ද්‍රියයන් නිශ්චලයි. ඊට හේතුව සිත ඉන්ද්‍රියයන්ට සම්බන්ධ නොවීමයි. සිතත්, ඉන්ද්‍රියත්, ඉන්ද්‍රියට ගෝචර අරමුණත් යන කාරණා තුන එක්කාසු වීමෙන්ය අපට දැනීමක් ම ඇතිවන්නේ . ඇස, කන ආදී සෑම ඉන්ද්‍රියයක් ම ක්‍රියා කරනුයේ මේ ක්‍රමයටයි.
රූපය, ඇස, සිත යන තුනෙහි එකතුවීමෙන් ම දැකීම නම් ක්‍රියාව ඇති වේ. ශබ්දය, කන, සිත යන තෙවදෑරුම් සම්බන්ධයෙන් ඇසීම සිදුවේ. හුස්ම හෝ ඇස මගින් ලැබෙන දැනීමක් ඔස්සේ සිත නැවත නැවත පවත්වා ගැනීමෙන් සිත එකඟ කරගත හැකිය. සමථ භාවනා ක්‍රම මේ ක්‍රමයෙන් බොහෝ දැකිය හැකිය. ආනාපානා සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහිය පැවැත්වීම බොහෝ දෙනෙකුට අසන්නට ලැබීම නිසාත්, පහසුවෙන් කළ හැකි නිසාත්, එය ජනපි‍්‍රයත්වයට පත් වී ඇත.
එහිදී කරනුයේ වාතයත්, නාසයත්, සිතත් අතර සම්බන්ධයෙන් ඇතිවන දැනීමම නොකඩවා පවත්වා ගනිමින් සිටීමයි. හුස්ම ගැනීම පිට කිරීම සිදුවන විට එය නාසයේ අගටත් උදරයටත් පහසුවෙන් දැනේ. එබැවින් නාසයේ අග හෝ උදරයේ චලනය (උස් පහත්වීම) අරමුණු කරගත හැකියි. වැදගත්කම තිබෙන්නේ ස්ථානයේ නොව සිත එක් අරමුණක පවත්වා ගැනීමට පුරුදු කර ගැනීම මතය. මෙය හොඳින් ඉගෙන ගතයුතු විද්‍යාවක් යැයි කීවේ එහෙයිනි.
සිත, ඇස සම්බන්ධ කරගෙන යම්කිසි පාටක් දෙස බලාගෙන හෝ මැටි දෙස හෝ ජලය දෙස හෝ ගින්නක් දෙස හෝ සුළගෙන් වැනෙන ගසක දල්ලක් හෝ බලාගෙන එම අරමුණම සිත තබා ගැනීමෙන් සිත එකඟ කරගත හැකියි. මේවා කසිණ භාවනා නමින් හඳුන්වනවා. මළ සිරුරක් හෝ ඇට සැකිල්ලක් දෙස බලා සිත එක්තැන් කළ හැකියි. මෙය අසුභ භාවනා නමින් හඳුන්වනවා. ආශා බහුලනයට මේ අසුභ භාවනාවෙන් සිත සංවර කරගත හැකියි. අසහනය හා දොම්නස් ඇත්තත්ට තමා හා සියලු සත්ත්වයන් සුවපත් වේවා යි සිතීම හොඳයි.
මෙම මෛතී‍්‍ර භාවනාවත් ජනපි‍්‍රය වී තිබෙනවා. මෙයින් අපට සමථ භාවනා ක්‍රම සම්බන්ධව පැහැදිලි මූලධර්මයක් සොයාගත හැකිය. එනම් අවශ්‍ය කරනුයේ එක් අරමුණක් මත නැවත නැවත සිත පිහිටුවා ගැනීමයි. එය ශරීරයේ ස්ථානයක් හෝ බාහිර ස්වාභාවික දැයක් හෝ යහපත් සිතුවිල්ලක් හෝ වූවාට කම් නැති බව පෙනේ.
ස්වභාව ධර්මයෙන් මෙසේ භාවනා අරමුණු කමටහන්ව රාශියක් සොයාගත හැකි බව පරීක්ෂා කරන්නෙකුට අමුතුවෙන් කිවයුතු නොවේ. හින්දු යෝගීන් ද නොයෙකුත් සමථ භාවනා ක්‍රම නිපදවා තිබේ. බෞද්ධ සමථ භාවනා ක්‍රම 40 කි. හුස්ම ගැනීමේ දී උදරයේ ඇතිවන චලනය දෙස සිතින් බලා හිඳීමෙන් සිත එකතු කර ගැනීමට නොහැකි යයි සමහරෙක් සිතනුයේ මෙම භාවනා ක්‍රමවල මූලධර්ම නොදැනීම නිසයි.
සැරියුත් හාමුදුරුවන්ගේ ගෝල හිමි නමකට බුදුන් වහන්සේ මලක් දෙස බලා හිඳීමට සැලැස්වූයේත්, චූල පන්තක හිමියන්ට රෙදි කඩක් පිරිමදිමින් බලා හිඳීමට සැලැස්වූයේත් පළමු කොට මේමගින් සිතේ එකඟවීමක් ඇතිවන බව බුදුන් වහන්සේ දත් බැවිනි. සමථ භාවනා ගැන විස්තර දැන ගැනීමට කැමැත්තන් විසින් “විසුද්ධිමාර්ගයම” නම් පොත් කියවීම හොඳයි.
05. විදර්ශනා භාවනාව හා එහි ප්‍රයෝජන
බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයෙහි හරය වන්නේ දුකින් නිදහස්වීමෙ නුවණ උපදවා ගැනීමයි. සෑම වස්තුවකම පැවැත්මක් මෙන්ම නැතිවීමක් තිබෙනවා. අප ආශා කරන දෙයක් නැතිවන විට අපට දුකක් හට ගන්නවා. සෑම දෙයම අපේ කැමැත්තේ අනුව නොව ස්වභාවධර්ම නීති මත ක්‍රියාකරන බව නුවණින් බලන විට පේනවා. මේ විදියට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අපට ඉදිරිපත් වන අරමුණු නුවණින් යුක්තව බැලීම විදර්ශනා භාවනාව වශයෙන් හඳුන්වනවා. සමථ භාවනාවේ මෙන්ම මෙහි සිත එකම අරමුණක පවත්වා ගැනීමක් අවශ්‍ය කරන්නේ නැත.
මෙහිදී කරනුයේ ඊට හාත්පතිස්ම වෙනත් කාර්යයකි. එක් පදනමක් වශයෙන් සිතේ තැන්පත් වීම අවශ්‍ය කරනවා. මෙයට ප්‍රඥා භාවනාව කියලා කියනවා. මෙම භාවනා ක්‍රම පුදුමාකාර බව ඔබට පෙනේවි. මෙය භාවනාවක්දැයි සිතන තරමට එය අමුතුම ආකාරයක් ගනී. භාවනා යන වචනය ඇසෙන විටම සිත එක් අරමුණක තබා ගැනීම යනුවෙන් සිටීමයි. බොහෝ දෙනාට පුරුදුව තිබෙන්නේ. ඊට හේතුව නම් අපට වැඩි වශයෙන් අසන්නට ලැබී ඇත්තෙත් එම සමථ භාවනා ක්‍රම දැක්වෙන ඉගැන්වීම් වලටය.
සතර ඉරියව්ව පිළිබඳ නුවණින් දැන ගනිමින් සිටීම මෙහි එක් භාවනාවකි. එය ඉරියාපථ භාවනාව යනුවෙන් හඳුන්වනවා. අප හිඳගෙන සිටින විට හිඳගෙන සිටිනවා යැයි නුවණින් දැනගන්නා, සිටගෙන සිටින විට සිටගෙන සිටිනවා යනුවෙන්ද, සක්මන් කරන විට සක්මන් කරනවා යනුවෙන් ද , නිදාගෙන සිටින විට නිදාගෙන සිටිනවා යනුවෙන්ද දැන ගැනීම මෙම භාවනා ක්‍රමයයි.
මෙය සරළ ක්‍රමයක් ලෙස පෙනුනද එහිම සිත පවත්වමින් නිතර සිටීමෙන් පුදුම විදියේ දියුණුවක් ඇතිවෙනවා. නොදන්නා අයට මෙය වැඩකට ඇති දෙයක් දැයි සිතෙන්නට පුළුවන. තවත් ක්‍රමයක් මෙසේයි. දෛනික ක්‍රියාවන් අවබෝධයෙන් හා නුවණින් යුක්තව කිරීම, මූණ සේදීම, කෑම, බීම, නෑම, ඇඳුම් ඇදීම ආදී ඕනෑම කටයුත්තක් කරන විට එය සිහියෙන් යුක්තව කිරීමයි. මෙම ක්‍රමය සති සම්පඡඤ්ඤය යනුවෙන් හැඳින්වෙනවා. උදාහරණයක් වශයෙන් මේසය මත ඇති තේ කෝප්පය බීමට අවශ්‍ය යැයි සිතමු.
අත දිගහරිනවා, කෝප්පය අල්ලනවා, කෝප්පය ඔසවනවා, මුව ළඟට ගෙනෙනවා, කෝප්පය ඇල කරනවා, බොනවා, බොනවා, කෝප්පය තබනවා, අතගන්නවා වශයෙනි. එමෙන්ම සිතේ පහළ වන ධර්ම (ගති) ගැන අවධානයෙන් යුක්තව විසීම තවමත් ක්‍රමයකි. අපට ආශාවක් ඇතිවන විට “ආශාවක් ඇතිවුනා” යැයි දැන ගන්නවා. කෝපයක් ඇති වූ විටක කෝපයක් ඇති වුණා යැයි දැනගන්නවා. අලසකමක් ඇති වූ විටක අලසකමක් ඇතිවුනා යැයි දැනගන්නවා. නොසන්සුන්කමක් ඇති වූ විට නොසන්සුන්කමක් ඇතිවුණා යැයි දැනගන්නවා.
මෙසේ භාවනා කරගෙන යෑමෙන් මේ පිළිබඳව හෝ සැකයක් ඇති වූ විටක මා සිත තුළ සැකයක් පහළවුණා යැයි දැනගන්නවා. ආශාවන් නැති විට ආශාවක් නැතැයි දැනගන්නවා. කෝපයක් නැති විටත් ඒ බව දැන ගන්නවා. අනිත් කරණු තුන ගැනත් එසේමයි. දවසේ රාජකාරි කරමින් තමාගේ සිතේ පවතින මෙම ගති පිළිබඳ සෝදිසියෙන් සිටීම පුරුදු වූවෙකුට එතරම් අපහසු නැහැ. මෙයද විදර්ශනා භාවනාවකි. දැන් ඔබට පෙනේවි විදර්ශනා භාවනාවේ දී සිත එක අරමුණකම පැවැත්වීමක් නොකෙරෙන බව.
මෙහිදී කෙරෙනුයේ සිතෙහි හෝ ගතෙහි පවතින වර්තමාන අවස්ථාව තේරුම් ගැනීම බව ඔබට හැඟේවි. හිඳගෙන භාවනා කරන්නේ මෙසේයි. නාසයේ අග හෝ උදරයේ චලනය වෙත සිත යොමු කරන්න. එසේ සිටින විට කල්පනාවක් ආ විට “කල්පනාවක් කල්පනාවක්” යනුවෙන් දෙතුන් වතාවක් සිතා නැවත හුස්ම බැලීම වෙත යන්න. කකුලේ වේදනාවක් එනු පෙනුනොත් “වේදනයි වේදනයි” ම යනුවෙන් එය ඉවත් වී යනතුªරු මෙනෙහි කරන්න. ඉවත් කිරීමේ අදහස සිතට නොගත යුතුයි.
වේදනාව නිසා අපහසු තත්ත්වයක් දැනුනොත් “අපහසුයි අපහසුයි” ම යනුවෙන් සිතා හෙමින් සීරුවේ ඉරියව් වෙනස් කරන්න. වෙනස් කරනවා වෙනස් කරනවා ම යනුවෙන් සිතමින් ඉරියව් වෙනස් කළයුතු බවත් මතක තබාගන්න. දැන් නැවත හුස්ම ගැනීමට සිත යොදන්න. නිදිමතක්, කමිමැලිකමක්, සතුටක් හෝ ඕනෑම අරමුණක් ආවිට ඒ දෙස අවධානය යොමු කොට නිදිමතක් නම් “නිදිමතයි නිදිමතයි” ම යනුවෙන් ද, සතුටක් නම් “සතුටක් සතුටක්” ම යනුවෙන් ද සිතිය යුතුයි. හදිසි ශබ්දයක් ඇසුණොත් “ශබ්දයක් ශබ්දයක්”ම යනුවෙන් සිතන්න. ඒ ඒ අරමුණු අවසන් වූවායින් පසු හුස්ම වෙත සිත යොදන්න. මෙය පුරුදු වුවහොත් ඉතාමත් රසවත් භාවනාවක් බව ඔබට පෙනේවි.
මෙහිදී අපට වර්තමානය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් හොඳ අවබෝධයක් ලැබේ. මනස නිරවුල් වේ. කරදරයකදී කලබලවීමක් හෝ සතුටේ දී උද්දාම වීමක් මේ නිසා ඇති නොවේ. සමබර මනසක් ඇතිවේ. ශාරීරික හෝ මානසික වේදනා යටපත් කළ හැකි වේ. මනස ප්‍රබෝධවීම නිසා සාමාජීය හා පෞද්ගලික ජීවිතය සැපදායක වේ. ශාරීරික නිරෝගිතාවයට ද හේතු වේ. නුවණ ද වැඩේ.
එබැවින් ප්‍රබෝධමත් ජීවිතයත් ගත කිරීමට ලැදි හැමදෙනාම මේ විදර්ශනා භාවනා ක්‍රමය භක්තියෙන් ඉගෙන ඒ අනුව කටයුතු කරත්වා. සියලු දෙනාට ධර්මාබෝධය ම වේවා.

7/26/15

භාවනාව යනු කුමක්ද ?


බුදු දහමේ ප්‍රායෝගික හරය ගැබ්වී ඇත්තේ භාවනාවෙහිය. භාවනාව යන වචනයේ මූලික අර්ථය වැඩීම යන්නයි. එනම් සිතේ වැඩීමයි. සිත යම් අරමුණක පිහිටුවා සංවර්ධනය කිරීම මෙහි කාර්යයි.
වැඩීම යනු “භාවනා” යන පාලි වචනයේ අදහසයි. සිතේ සමාධිය හෙවත් එකඟ බව වැඩීම වේ. එය සමථ සහ විපස්සනා වශයෙන් දෙවැදෑරුම්වේ. “භාවේතිති භාවනා භාවේති ඒතායාති භාවනා” හිත හදා ගැනීම හිත වර්ධනය කර ගැනීම භාවනාව යනුවෙන්ද හඳුන්වනු ලැබේ.
සමථ භාවනාව බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වන්නට බොහෝ පෙරදි භාරතය හෙවත් ඉන්දියාවේත් යවන ලෝකය හෙවත් ගී‍්‍රසියේත්, චීනයේත්, ඇතැම් බටහිර රටවලත් පැවතින. ථෙරවාද ධර්මයේ දැක්වෙන පරිදි සියලු භාවනා ක්‍රම සමථ සහ විදර්ශනා වශයෙන් කොටස් දෙකකට බෙදේ. සමථ භාවනා මගින් කෙලෙස් යටපත් වන අතර, ධ්‍යාන නමින් හැඳින්වෙන තහවුරු වූ සිත එකඟ බව ලබයි. කුසල සිතේ එකඟ බව මෙහි සමාධිය වේ. නමුත් විදර්ශනා භාවනාවෙන් කෙලෙසුන් යටපත්වීමද ස¼ිදීම ද එයින් නිර්වාණය අවබෝධ කිරීමද සිදුවේ. ඇතැමෙකුට භාවනා කිරීම දුෂ්කර දෙයක් වනු ඇත්තේ ඔවුන් භාවනාවේ දී අත්හැරීම සිදු කරන ආකාරය ඉගෙන නොමැති බැවිනි.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං” සීලයෙහි පිහිටා සිතත් ප්‍රඥාවත් වැඩිය යුතුය යන දේශනාව අනුව භාවනාවේ අඩිතාලම සීලයයි. භාවනාවෙන් කෙරෙනුයේ සිත හා ප්‍රඥාව දියුණු කිරීමයි.
සීලය වැඩි දියුණු කර ගත යුතුය. සීලයෙන් භාවනාව ද භාවනාවෙන් ප්‍රඥාවද, ප්‍රඥාවෙන් සීලයද දියුණුවේ. භාවනාව මානසික වශයෙන් පමණක් නොව, මානසික හේතුන් මත ඇතිවන කායික අපහසුතාවයන් සම්බන්ධයෙන්ද සහනයක් ලබා ගත හැකි ක්‍රමයක් ලෙස අනුගමනය කළ හැකිය. තමන් කරන භාවනාව අන් හැම දෙයකටම වඩා උසස් දෙය හැටියට සලකා ගෙන ඉතා ගෞරවයෙන්, ඉතා ආදරයෙන් ඕනෑකමින් එය කළ යුතු ය. අත්හදා බැලීමට කියා හෝ පින් සිදු කර ගැනීමට කියා හෝ සසරට පුරුදුවීමටය කියා හෝ නොව අද අදම නිවන් දකින්නට භාවනා කරමිය යන අදහසින් ම භාවනා කිරීම උතුම් දෙයකි.
භාවනාමය කුසලය වනාහී කුසලයන් අතුරෙන් අග්‍ර වූ කුසලයයි.දාන සීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නොලැබීය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකිය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගයද භාවනාවමය. “චිත්තං සමෙතිති සමථො” සිත සන්සුන් කරන්නේ භාවනාවයි. සමථ භාවනාවට යොදා ගත හැකි අරමුණු හතළිහක් දක්වා තිබේ. එය කර්මස්ථාන හෙවත් කමහටන් යැයි කියනු ලැබේ. ඒවා නම්, දස කසින (10), දස අසුභ (10), දස අනුස්සති (10), බ්‍රහ්ම විහාර, (4), චතුරාරුප්ප (4), ආහරේ පටිකුල සඤ්ඤාව, සහ චතුධාතුවවත්තානය, යන අරමුණු හතළිස කර්මස්ථාන ලෙස හැඳින්වේ.
විදර්ශනා භාවනා ක්‍රමය තුළ සප්ත විශුද්ධියක් දක්වා ඇත.
1. ශීලය විශුද්ධිය
2. චිත්ත විශුද්ධිය
3. දෘෂ්ඨි විශුද්ධිය
4. කාංක්ෂා විතරණ විශුද්ධිය
5. මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධිය
6. ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය
7. ඥාන දර්ශන විශුද්ධිය යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබා දෙන්නකි. තවද සතිපට්ඨාන සූත්‍රය භාවනාව සම්බන්ධව ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන පොදු වැඩ වලටත්, සතුටුවීම් හා අසහන වලටත්, කතා වලටත්, සිතිවිලි වලටත්, බුද්ධිමය කාර්ය වලටත් එය සම්බන්ධය.
බුදුදහමට අනුව භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම, නැත්නම් සිත දියුණු කිරීමයි. නිවැරදි ශ්‍රද්ධාව තුළින්, සිත කිලිටි කරන කෙලෙස් ධර්ම වලින් සිත මුදාගෙන පිරිසුදු කර, චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන හොඳ අධිෂ්ඨානයකින් යුතුව වීර්ය වඩා ප්‍රඥාව ඇති කර ගැනීම තුළින් ධර්මාවබෝධයට පත්වීම බුදුදහමේ පෙන්වා දෙන භාවනාව වේ.
තෙරුවන් සරණයි!
බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

7/21/15

සක්වල විස්තරය.....


මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය.
වියත් 2 = රියන් 1
රියන් 7 = යෂ්ඨි 1
යෂ්ඨි 20 = ඉස්බ 1
ඉස්බ 80 = ගවු 1
ගවු 4 = යොදුන් 1
මිනිසාගේ ආයුෂය - මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්‍යෙ (ගැනිය නොහැකි සංඛ්‍යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ.
සැලකිය යුතුය - සතර අපායික සත්වයින්ගේ ආයු ප්‍රමාණ නියමයක් නැත.නරකයේ උපන් සත්වයින්ට කර්මයේ ප්‍රමාණය ආයු ප්‍රමාණය වේ.සෙසු අපායික සත්වයිනටද එසේමය.බූමාටු දෙවියන්ටද කර්මය අනුව ආයුෂය ප්‍රමාණ වේ.එහෙත් සමහර බූමාටු දෙවියන් සතියක්,අඩමසක්,මාසයක් ඇතැම්හු කල්පයක්ද සිටින්නාහ.
බඹ තලයේ සිට මනුලොවට දුර උපමා කොට දැක්වීම - අනුරපුර ලෝහ ප්‍රසාදය තරම් ශෛලමය පර්වතයක් පළමු බඹ තලයේ සිට මහපොළොවට හෙළන ලද්දේ නම් සතර මාසයකින් මිහිපිට පතිත වන බව දැක්වේ.
මහ පොළොවේ පිහිටීම - මනුෂ්‍ය,ප්‍රේත,අසුර,තිරිසන් හා අපායගාමීන්ගේ වාසස්ථානය මහ පොලොව ඝනයෙන් යොදුන් 240000 කි.මෙය 480000ක් යොදුන් ජල පොළොවෙන් උසුළා සිටී.මෙම ජල පොලොව යොදුන්
960000 ක් ඝන වා පොලොවෙන් උසුලා සිටී.ඒ වාතය උසුලා සිටින අජටාකාෂය අනන්ත අපරියන්තයි.
තල එකිනෙක පිළිබ‍ද විස්කරය මෙතැන් සිට....
මෙම සක්වල කොටස් 3කට බෙදිය හැක.ඒ නම් කාම ලෝක,රූප ලෝක සහ අරූප ලෝකයි.කාම ලෝක 11 ක්ද රූප ලෝක 16 ක්ද,අරූප ලෝක 4 ක්ද මේ සක්වල තුළ පිහිටා ඇත.මෙයින් කාම හා රූප යන ලෝකවල
පඤ්චස්කන්ධය පවතී*.
බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.
කාම ලෝක කියන්නෙ මේවා.
ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.
රූප ලෝක කියන්නෙ මේවා.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.
අරූප ලෝක කියන්නෙ මේවා.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි.
දැන් එකිනෙක විස්තර කර ගනිමු.
දුගති භූමි 4 (සතර අපාය)- දස අකුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී(අපුණ්‍යාභි සංස්කාර).‍මුලින් කීවා සේම මොවුන්ගේ ආයුෂ
කර්මය වේ.මෙහි ප්‍රේත,අසුර,තිරිසන් කියන අපායවල් ඇත්තේ මේ මනුස්සයන් ජීවත් වන තලයේමය.තිරිසනුන් හා බොහෝ ප්‍රේතයන් ගොඩබිම ඇසුරු කරමින්ද අසුරයන් මහමුහුද ඇසුරු කරමින්ද වාසය කරයි.නමුත් මෙහි විශේෂිතම අපාය වන්නේ නිරයයි.ප්‍රධාන නරකයන් 8කි.සංජීවය,කාල සූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,
ප්‍රතාපය,අවීචිය යනු ඒවාය.ඒ සෑම නිරයක්ම වටා ඔසුපත් නිරයන් 16 බැගින් නිරයන් 128 පිහිටා ඇත.එවිට සියලුම නිරයන් ගණන 136ක් වේ.නරකයන් අතරින් පළමු නරකය වන සංජිවය පිහිටා ඇත්තේ මනුෂ්‍ය තලයේ සිට යොදුන් 15000 ක් පහළිනි.ඉන්පසු පවතින අනිකුත් නරකයන්ද එකිනෙකට යොදුන් 15000ක් පහළින් පහළට පිහිටා ඇත.
සුගති භුමි 7 = දිව්‍ය ලෝක 6 + මනුෂ්‍ය භූමිය
මේ සුගති භූමි වල උපදින්නේ දස කුසල කර්ම විපාක තුළිනි(පුණ්‍යාභි සංස්කාර).අප මුලින්ම කීවා සේ මනුෂ්‍යයාගේ ආයුෂ නම් දස වර්ෂයේ සිට
අසංඛ්‍යෙය දක්වා වේ.දිව්‍ය ලෝක සයෙහි මුල්ම දෙව් ලොව පිහිටා ඇත්තේ (චාතුර්මහා රාජිකය)මනුෂ්‍ය තලයට වඩා යොදුන් 42000 ක් ඉහළිනි.ඉන්පසු පවතින අනික් දිව්‍ය ලෝකය පිහිටා ඇත්තේ ඊටත් යොදුන් 42000ක් ඉහලිනි.එසේ සියලුම දිව්‍ය ලෝක එම දුර ප්‍රමාණයම සහිතව පිහිටා ඇත.
දැන් එකින් එක දිව්‍ය ලෝක වල ආයුෂ විමසා බලමු.
චාතුර්මහා රාජිකය - දිව්‍ය වර්ෂ 500කි.(මනුෂ්‍ය වර්ෂ 90,00000)
තාවතිංස - දිව්‍ය වර්ෂ 1000කි.(මනුෂ්‍ය වර්ෂ 3,60,00000)
යාම - දිව්‍ය වර්ෂ 2000කි. (මනුෂ්‍ය වර්ෂ 14,40,00000)
තුසිත - දිව්‍ය වර්ෂ 4000කි.(මනුෂ්‍ය වර්ෂ 57,60,00000)
නිම්මාණරති - දිව්‍ය වර්ෂ 8000කි. (මනුෂ්‍ය වර්ෂ 230,40,00000)
පරිනිම්මිත වසවත්ති - දිව්‍ය වර්ෂ 16000ති. (මනුෂ්‍ය වර්ෂ 921,60,00000)
රූප භූමි දහසය
මේවා රූපාවචර බ්‍රහ්ම ලෝක යනුවෙන්ද හදුන්වයි.(පුණ්‍යාභි සංස්කාරමය)මෙහිදි පඨම,ද්විතීය,තෘතික,චතුත්ථ යන රූප ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩූවන්ය.ඉතිරි පඥචම ධ්‍යාන භූමි පසෙහි (ශුද්ධාවාස රූප භූම් පසෙහි)උපදින්නේ අනාගාමී වූ උත්තමයන්ය.අනික් කරුණ නම් ශුද්ධාවාස බ්‍රහ්ම තල හැර අනිකුත් ධ්‍යාන තළ පරීත්ත,මධ්‍යම,ප්‍රණීත යනුවෙන් කොටස්වලට බෙදේ. ප්‍රථම ධ්‍යාන භූමිවල වල පළමු තළය වන බ්‍රහ්මපාරිසජ්ජය, පරනිම්මිත වසවර්තියට වඩා යොදුන් 5508000 ඉහලින් පිහිටා ඇත.අනිකුත් සියලු බ්‍රහ්ම ලෝකද ඒ ඒ තල වලට ඉහළින් පිහිටා ඇත්තේ ඒ දුර ප්‍රමාණය සහිතවමය.
දැන් රූප ලෝක එකිනෙකෙහි ආයුෂ විමසා බලමු.
බ්‍රහ්මපාරිසජ්ජ - අසංඛ්‍ය කල්ප 1/3
බ්‍රහ්මපුරෝහිත - අසංඛ්‍ය කල්ප 1/2
මහා බ්‍රහ්ම - අසංඛ්‍ය කල්ප 1
පරිත්තාභ - මහා කල්ප 2
අප්පමාණභ - මහා කල්ප 4
ආභස්සර - මහා කල්ප 8 (මෙම බඹ ලොවෙන් පහළ 7 වරක් ගින්නෙන් විනාශ වේ.පහළ යනු පෙර සදහන් කල ඒවාය)
පරිත්ත සුභ - මහා කල්ප 16
අප්පමාණ සුභ - මහා කල්ප 32
සුභකිණ්න - මහා කල්ප 64 (8 වෙනි වර ජලයෙන් මෙම බඹ ලොවෙන් පහළ විනාශ වේ)
වෙහප්ඵල - මහා කල්ප 500 (64 වෙනි වර මෙම ලොවින් පහළ සුළගින් විනාශ වේ)
අසඤ්ඤසත්ත - මහා කල්ප 500 (*මෙය ඒක වෝකාර භූමියක් හෙවත් එක් ස්කන්ධයක් පමණක් ඇති ලොවකි)
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක
අවීහ(ශ්‍රද්ධාදිකයෝ) - මහා කල්ප 1000
අතප්ප (වීර්යාදිකයෝ) - මහා කල්ප 2000
සුදස්ස (ස්මෘත්‍යාධිකයෝ) - මහා කල්ප 4000
සුදස්සී (සමාධි අධිකයෝ) - මහා කල්ප 8000
අකනිට්ඨ (ප්‍රඥාධිකයෝ) - මහා කල්ප 16000 (බොහෝ බුද්ධ දේශනා ශ්‍රවණය කොට මෙම අකනිටා බඹ ලොව
දක්වාම සියලුම දෙවියන් සාධුකාර දෙන බව ධර්මයෙහි ඇතැම් දේශනා වලින් ප්‍රකට වේ.නමුත් එක් බුදුවරයෙකුගේ ආඥා
චක්‍රය අප මේ කතාකරමින් සිටින සක්වල කෝටි ලක්ෂයක් පුරා පැතිර ඇත)
අරූප ලෝක
ආනෙඤ්ජාභි සංස්කාර හෙවත් අරූප ධ්‍යාන වැඩූ භාවනා කුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී.අරූප බ්‍රහ්ම තල 4කි.මේවා චතුවෝකාර භූමි ලෙස හදුන්වයි.(ඇත්තේ ස්කන්ධ 4කි)‍.අකනිට්ඨක රූප බඹ ලොවට යොදුන් 5508000 ක් ඉහළින් මෙහි පළමු අරූප ලෝකයවනආකාසානඤ්චායතනය පිහිටා ඇත.ඉන්පසු යොදුන් 5508000 බැගින් ඉහළට වන විට අනෙකුත් බඹ ලෝක හමුවේ.අපේ සක්වලෙහි ඉහලින්ම ඇත්තේ නේවසඤ්ඤානාසඤ්ඤයතන නම් අරූප ලොවයි.
දැන් මේ එක් එක් අරූප ලෝකයන්හි ආයුෂ විමසා බලමු.
ආකාසානඤ්චායතනය - මහා කල්ප 20000
විඤ්ඤාණඤ්චායතන - මහා කල්ප 40000
ආකිඤ්චඤ්ඤායතන - මහා කල්ප මහා කල්ප 60000
නේවසඤ්ඤානාසඤ්ඤයතන - මහා කල්ප 84000
‍එක් සක්වලක ඇත්තේ පෙර පැහැදිලි කල තල 31ක ප්‍රමාණය පමණි.
දැන් ඒ ඒ විශේෂිත ලෝකයන්හි කෙටි අර්ථ දැක්විමකට යොමු වෙමු.
1.අපාය භූමි - පුණ්‍ය සම්මත අය කෙරෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ.
2.සුගති - අනේකවිධ සැපත් ඇතිව යා යුතු ,ඉපදිය යුතු තැන සුගතියයි.
3.තිරිසන් - සැපයට හරස් වූ තැන බැවින්ද,සැම ඉරියව්වක්ම හරහට පැවතෙන බැවින්ද තිරිසන් නම් වේ.
4.මනුෂ්‍ය - ස්මෘතිය,ශූර භාවය,බ්‍රහ්මචර්යාවට සුදුසු බව ආදි ගුණයෙන් උසස් මනසක් ඇති බැවින්ද මනුෂ්‍ය නම් වේ.
5.චාතුර්මහා රාජිකය - සතරවරම් දෙවිවරුන්ගේ වාසස්ථාන භූමිය වූ බැවින්
6.තාවතිංස - මඝ මානවක තුමා සමග කුසල් රැස්කල තෙතිස් දෙනා උපන් භූමිය (ශක්‍ර භූමිය)
7.යාම - දුකින් ඉවත් වූවෝ යන අර්ථයෙන්
8.තුසිත - ස්වකිය සැප සම්පත් වලින් තුෂ්ඨිමක් වූවෝ යන අර්ථයෙන්
9.නිම්මාණරති - තමන් මවාගත් සම්පත්තියෙන් සතුටු වන ඇලුම් කරන යන අර්ථයෙන්
10.පරිනිම්මිත වසවත්ති - අනුන් මවා දෙන සම්පත් විදින
11.බ්‍රහ්මපාරිසජ්ජ - මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන
12.බ්‍රහ්මපුරෝහිත - මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන
13.මහා බ්‍රහ්ම - ප්‍රථම ධ්‍යානාදී ගුණ ප්‍රණීත ලෙස වැඩුනු බැවින්
14.පරිත්තාභ - ආභස්සර බහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින්
15.අප්පමාණභ - පරිත්තාභ බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින්
16.ආභස්සර - හාත්පස නිරතුරුවම විහිදෙන ආලෝක ඇති බැවින්
17.පරිත්ත සුභ - ඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින්
18.අප්පමාණ සුභ - පර්ත්තාභ සුභ වාසීන්ට වඩා ඒක ඝන ආලෝක ඇති බැවින්
19.සුභකිණ්හක - ශරීරාලෝකයෙන් අතිශයින් අකීර්ණක බැවින්
20.වෙහප්ඵල - විපුල වූ ධ්‍යනානිශංස ඇති බැවින්
21.අසඤ්ඤසත්ත - සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්ත සන්තාන ඇති බැවින්
22.සුද්ධාවාස - අනාගාමී ශුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින්
23.අවීයහ - සුලු කලකින් ස්ථාන අත් නොහරින බැවින්
24.අතප්ප - තැවීම් කිසිත් නැති බැවින්
25.සුදස්ස - පරම සුන්දර සැප ඇති බැවින්
26.සුදස්සී - අතිශයින් පිරිසිදු දැකිම් ඇති බැවින්
27.අකනිට්ඨ - කිසිවෙකුට කනිටු නොවන බැවින්
සක්වල විභංගය අවසානයි.මෙම ලිපිය නිර්මාණය කල අපටත් කියවු ඔබටත් නිවනින්ම සදා සැනසෙන්නට හැකියාව ලැබේවා...
සාධු.....සාධු.......සාධු...

6/25/15

දෙන දෙයෙහි උපරිම ආනිශංස ලබන්නේකෙසේ ද?


එක කලක, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත් පුරවරයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහාප්‍රජාපතී ගෝතමී දේවිය තම දෑතින්ම කපු කටා මසන ලද චීවර දෙකක් බුදුරජාණන් වහන්සේට පිළි ගැන්වීමට රැගෙන ආවාය. ඇයට මහානිශංස ලබාදෙනු වස් එම චීවර යුග්මය මහා සංඝයාට පුදන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙම කථා ප්‍රවෘත්තිය මෙන්ම පෞද්ගලික දාන 14 ක් හා සාංඝික දාන 7 ක් පිළිබඳව ද කරුණු ඇතුළත් සම්බුද්ධ දේශනාවකි. මජ්ඣිමනිකායන්තර්ගත දක්ඛිණවිභංග සූත්‍රය. උක්ත දානයන්ගේ ආනිශංස මෙන්ම දාන විසුද්ධි හතරක් පිළිබඳව ද මෙහි තවදුරටත් සඳහන් වේ. මෙම ධර්ම කාරණා මෙතැන් සිට පෙළ දහමට අනුව විමසා බලමු.
.
මහාප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම
.
ස්වාමිනි, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින්ම වියන ලදී. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා යනුයි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙය වදාළහ. ගෝතමීය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේ ය යනුයි. දෙවනුවද මහා ප්‍රජාපතී ගෝතමි තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළෝ ය. ස්වාමිනී, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින් වියන ලදී. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා, යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට කීවාය.
දෙවනුව ද, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙය වදාළහ. ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හී මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේය යනු යි. එහෙත්, තුන්වන වරටද මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළෝය. ස්වාමිනී, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින්ම වියන ලදී. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා යනුයි. තුන්වෙනුව ද භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙසේ වදාළ සේක. ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේය යනුයි.
.
ආනන්ද හිමියන්ගේ ඉල්ලීම
.
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා. ස්වාමිනි, මහා ප්‍රජාපතී ගෝතමීය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. මවගේ සහෝදරිය, අත් පා වැඩූ තැනැත්තීය. පෝෂණය කළ තැනැත්තීය. කිරි දුන් තැනැත්තීය. භාග්‍යවතුන් වහන්සේට වැදු මව කලුරිය කළ කල්හි කිරි පෙව්වාය.
ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමියට බොහෝ උපකාර ඇත්තේ වේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බුදුන් සරණ කොට ගියෝ ය. ධර්මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෝතමී සතුන් මැරීමෙන් වැළකුණේ ය. සොරකම් කිරීමන් වැළකුනීය. කාමයන්ගෙන් වරදවා හැසිරීමෙන් වැළකුනීය. බොරු කීමෙන් වැළකුණාය. රහමෙර පානය කිරීමෙන් වැළකුනීය. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බුදුන් කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය.
ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය. සංඝයා කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය. ආර්යයන් කැමැති වූ සීලයෙන් යුක්ත වූවෝය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෝතමී තොමෝ දුක්ඛ සත්‍යයෙහි සැක නැති වූයෝ ය. දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති වූවෝය. දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති වූවෝ ය. දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නා වූ මාර්ග සත්‍යයෙහි සැක නැති වූවෝය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමියට උපකාර ඇති සේකයැයි සැලකළ සේක.
.
බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය
.
ආනන්දය එය එසේය. යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් සරණ කොට ගියේ වේද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද ආනන්දය, මේ ආචාර්ය වූ පුද්ගලයාට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රති උපකාර කළ නොහැක්කේ යැයි කියමි. එනම්, වැඳීමය. දැක හුනස්නෙන් නැගිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය. යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද තෙරුවන් සරණ යෑමට කළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
පස්පවින් වැළකීම
.
ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම සතුන් මැරීමෙන් වැළකුණෝ වේද, සොරකම් කිරීමෙන් වැලකුණෝ වේද,, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණෝ වේද, බොරු කීමෙන් වැළකුණෝ වේද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කිරීමෙන් වැළකුණෝ වේද, ආනන්දය, මේ ආර්ය වූ පුද්ගලයාහට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර (උපකාරයට උපකාර) කළ නොහැකියැයි කියමි. එනම් වැඳීමය, දැක හුනස්නෙන් නැඟිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත්, පිරිකරය, යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද පස්පවින් වැළකීමට කළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය
.
ආනන්දය, යම් පුද්ගලයකුª නිසා පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වේද, ආර්යයන් කැමැති වූ සීලයෙන් යුක්තවූයේ වේද ආනන්දය, මේ ආචාර්ය වූ පුද්ගලයාහට මේ අතවැසිවු පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර කළ නොහැකි යැයි කියමි. එනම්, වැඳීමය. දැක හුනස්නෙන් නැඟිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය. සායනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය. යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද තෙරුවන් කෙරෙහි ඇතිකළ (අචලප්‍රසාදයට) උපකාරයට මේ එකක්වත් සම කළ නොහැක)
.
සත්‍යාවබෝධය
.
ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම දුක්ඛ සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා සත්‍යයෙහි සැක නැතිබවට පැමිණියේ වේද, ආනන්දය, මේ ආර්ය වූ පුද්ගලයා හට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර කළ නොහැකියැයි කියමි. (මේ සියල්ලින් උපකාර කළද සත්‍යාවබෝධය ඇතිකළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
පුද්ගලික දාන දාහතරකි
.
ආනන්දය, පුද්ගලික දාන දාහතරක් වෙත්. එනම් ආර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි. පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන්වන පුද්ගලික දානයයි. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි. අනාගාමී පුද්ගලයකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි. අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයකුට දානය දේද මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි.
සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි. සස්නෙන් බැහැර වූ කාමයන්හි පහ වූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි. තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දාහතරවන පුද්ගලික දානයයි.
.
පුද්ගලික දානයන්ගේ ආනිශංස
.
ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානයදී දහසක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේය. පෘතග්ජන සීලවන්තයකු කෙරෙහි දානයක දී ලක්ෂයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේ ය. ශාසනයෙන් පිටත්හි වූ කාමයන්හි පහ වූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටි ලක්ෂයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේ ය.
සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තා වූ ප්‍රමාණයක් නැත්තා වූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේ ය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේ ද? සකෘදාගාමී පුද්ගලයෙකුට කියනුම කවරේ ද? අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නාහු කෙරෙහි කියනුම කවරේ ද? අනාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේ ද? අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේ ද? තථාගත රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේ ද? පසේ බුදුන් කෙරෙහි කියනුම කවරේ ද? අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දුන් දනෙහි අනුසස් කියනුම කවරේ ද?
.
සංඝික දාන හතකි
.
ආනන්දය, සංඝික දාන සතක් වෙත්, ඒවා නම් මෙසේය. බුදුන් ප්‍රධාන භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා විෂයෙහි දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි. තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි උභතෝ සංඝයා විෂයෙහි දානය දේද, මෙය දෙවන සාංඝික දානයයි. භික්ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි.
භික්ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සාංඝික දානයයි. මෙතෙක් භික්ෂුහුද භික්ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි. මෙතෙක් භික්ෂුහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවන සංඝික දානයයි.
මෙපමණ භික්ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වන සංඝික දානයයි. ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගෝත්‍රය පමණක් ඇත්තා වූ ලාමක ස්වභාව ඇත්තා වූ කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. ආනන්දය, කිසියම් ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයැයි නොකියමි.
.
දාන විසුද්ධි හතරකි
.
ආනන්දය, මේ දාන විසුද්ධිහූ සතරක් වෙත්. ඒවා කෙසේද යත්. 1. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසුදු වේද, මහත්ඵල වේද ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. 2. ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේද, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේ ය. 3. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේ ය. 4. ආනන්දය, දායකයා කෙරෙනුත් පිිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු වේද, එබඳු දානයක් ඇත්තේ ය.
.
පළමු දාන විසුද්ධිය
.
ආනන්දය,, කෙසේ නම් දානය දායකයා කෙරෙන් පිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම සිල්වත් වූ යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තෝ වෙත්ද, ආනන්දය, මේ දානය වනාහි දායකයා කෙරෙන් පිරිසුදු වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේ.
.
දෙවන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේනම් දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේද, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ සිල්වත් වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහී දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේ. දායකයා කෙරෙන් පිරිසුදු නොවේ.
.
තෙවන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙනුත් පිරිසුදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු ද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේද දුශ්ශීල වූ ලාමක වූ ස්වභාව ඇත්තෙක් වේ. ප්‍රතිග්‍රාහකයෝද දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තාහු වෙත්. ආනන්දය, මෙසේ වනාහී දානය දායකයා කෙරෙහිද පිරිසුදු නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසුදු නොවේ.
.
සිව්වන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේනම් දානය දායකයා කෙරෙනුත් පිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු වේද, ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙනුත් පිරිසුදු වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේ.
.
ආනන්දය, මොහු වනාහි දාන විසුද්ධිහු සතරවෙත්යැයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. උන්වහන්සේ නැවත ද මෙසේ වදාළහ.
.
සිල්වත් වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසුදු වේ.
.
යම් දුශ්ශීලයෙක් අධර්මයෙන් ලද දෙයින් ප්‍රසන්න වූ සිත් නැත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය නො අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේ.
.
යම් දුශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලද දෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ මහත්වූ කර්මය හා කර්ම ඵලය නො අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසුදු නොවේ.
.
යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්න වූ සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත් වූ විපාක ඇත්තේයැයි කියමි.
.
යම් පහ වූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලද දෙයින් යහපත් ප්‍රසන්න වූ සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්ම ඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිස දාන අතුරෙන් අග්‍ර යැයි කියමි.
.
භාග්‍යවතුන්වහන්සේ මෙසේ මෙම දම්දෙසුම නිමකළ සේක. ආනන්ද තෙරුවන් වහන්සේ එය සතුටින් පිළිගත්හ.
.
(දක්ඛිනවිභංග සූත්‍රය - මජ්ඣිම නිකාය ඇසුරෙනි)