9/17/15

මුගලන් මහ රහතන් වහන්සේ


මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.
මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධිමත් භාවය, ධර්මඥාණය ප්‍රකට කරන සිදුවීම් රැසක් තියෙනවා. මේ එව්වයින් කීපයක්.
= විශ්වයේ සැරිසැරීම = 
මහා මුගලන් රහතුන් වහන්සේගේ සෘද්ධිබලය කෙතරම් වීද යත් මොහොතකින් එක්‌ චක්‍රාවාටය බැගින් සත් දිනක චාරිකාවෙන් චක්‍රාවාටයන් 584,800 ක්‌ තරණය කරන ලද බව දීඝනිකායෙහි සූත්‍රයන්හි විස්‌තර වීමය. එක් අවස්ථාවක දී, සක්වළෙන් සක්වළට පා තබමින් සක්වළවල් ගණන් කර ගැනීමට ගිය අප සෘද්ධිමතුන් අතර අග්‍ර වූ මුගලන් මහ රහතන් වහන්සේ දින ගණනාවක් නොකඩවා සක්වළ සිසාරා ගමන් කර අවසන් කර ගත නොහැකිව විඩාපත් වී තිබෙනවා. එවිට බුදු රදුන්ගේ මඟ පෙන්වීමෙන් පසු යළි මනුලොවට වැඩම කළ මුගලන් හිමියන්ට බුදුරදුන් දේශනා කොට වදාරා ඇත්තේ.

“මහ රහතන් වහන්සේ කෙනෙකු සිය සම්පූර්ණ ජීවිත කාලය තුළ සක්වළ පුරා අඛණ්ඩව ඇවිද ගියද සිය ජීවිත කාලය ගෙවී අවසන් වුවද සක්වළ තවත් අනන්තයට පැතිර පවතින” බවයි.
= ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීම. =
බුදු හාමුදුරු‍වො සත්වන වස්කාලව තව්තිසා දෙව්ලොව වැඩඉදල මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කරල සෝවාන් කලා. වස්කාලය අවසානයේ වප් පෝදින තමයි පොළවට බැස්සෙ. ඒ සංකස්ස පුයට. සැවැත් නුවර ඉදල සංකස්ස පුරයට යොදුන් තිහක් කියෙනව. ( හැතැප්මනම් 48ක් විතරනෙ ) ඉතින් තව පොඩි වෙලාවයි තියෙන්නෙ බුදු හිමියන් වඩින්න. සැවැත්නුවර වැසියන්ට සංකස්සපුරයට යන්න වෙලාවක් නෑ. ඒත් යන්නම ඕනි. මොකද එදා තමයි මහපොළවට දෙව්ලොව විවර වන දේවාහරෝහන පූජාව තියෙන දවස. දැන් මුගලන් හාමුදුරුවො මේ අය ගෙනියන්න ඉදිරිපත් උනා. සමහරු බුලත්විට කන්න සැවැත්නුවරදි ඇගිල්ට හුණු ගත්ත කටින් තියනකොට හිටියෙ සංකස්ස පුරේලු. නැත්නම් ගැහැනු අය සැවැත් නුවරදි කොණ්ඩෙ බදින්න පටන් ගත්තම සංකස්ස පුරෙදිත් බැද බැද හිටියලු‍. මේ කියන්නෙ මොහොතකින් ඒ අය සැවැත් නුවරින අතුරුදන්වෙලා සංකස්ස පුරෙදි පහල වෙලා. ඒ බව පූජාවලිය, දෙවොරොහණ පූජා කථා වලදි මෙන්න මෙහෙම දක්වල තියෙනව.

“එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැ’ යි විචාළහ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුනකැ’ යි වදාළ සේක…
….. එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නාහු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු, ඔබ වන් කලම බැඳ නිම වූහ…..”
= මහපොළොව පෙරළීමට අවසර ඉල්ලීම =
දොලොස්වන වස් කාලය බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ගත කරන්නේ වේරංජා නුවර. ඒ කාලයේ වේරංජා නුවර දරුණු දුර්භික්ෂයක් ඇති උනා. ආහාර පාන හිඟ උනා. දාන මාන ලබා ගැනීමේ හැකියාව ඉතා අඩු උනා. ඒ නිසා මුගලන් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙත පැමිණිලා, භික්ෂූන් වහන්සේලාට භික්ෂාව ලබා ගැනීමේ අපහසුතාවය පවසලා, මහපොළවේ යට කොටස රසවත් බැවින් මහ පොළොව පෙරළන්න අවසර ඉල්ලුවා. ඊට අවසර ලැබුණේ නෑ. ඉන් පස්සෙ උතුරු කුරු දිවයිනට පිඬු සිඟා වඩිමු කියා බුදුන් වහන්සේට යෝජනා කළා. නමුත් බුදුන් වහන්සේ ඒ ඉල්ලීමටත් එකඟ වුණේ නෑ.

= නන්දෝපනන්ද නා රජු දමනය =
දිනක් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන වෙලාවෙ මහමේරු පර්වතය මුදුනේ නන්දෝපනන්ද නා රජුගේ විමන ඉහළින් වැඩියා. එයින් නා රජු කෝපයට පත් වුණා. මහ කළු නයි වෙසක් මවාගෙන මහමේරු පර්වතය හත් පාරක් දරණින් වෙලාගෙන, තව්තිසා දිව්‍යලෝකෙත් යටිකුරු කරලා පෙණයෙන් වහගෙන හිටියා. වෙනදට වඩා කිසියම් වෙනසක් දුටු රට්ඨපාල මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ පිලිබඳ විමසුවා. බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කලාට පස්සෙ රට්ඨපාල මහ රහතන් වහන්සේගේ නා රජුගේ තේජස බිඳ දමා දමනය කිරීමට අවසර ඉල්ලුවා, නමුත් අවසර ලැබුණේ නෑ. ඒ ආකාරයෙන් කාළිගෝධා පුත්‍ර භද්දිය මහ රහතන් වහන්සේ, ජිනපුත්‍ර රාහුල මහ රහතන් වහන්සේ ඇතුළු මහාශාක්‍ය මහ රහතන් වහන්සේලා නා රජ දමනයට අවසර ඉල්ලුවත් අවසර ලැබුණේ නෑ. අවසානයේ මුගලන් මහ රහතන් වහන්සේ ඒ සඳහා අවසර ඉල්ලුවම බුදුන් වහන්සේ අවසර දුන්නා. නොයෙක් වෙස් ගනිමින්, නොයෙක් සෘද්ධි පාමින් මුගලන් මහ රහතන් වහන්සේ නන්දෝපනන්ද නා රජු දමනය කළා පමණක් නෙවේ, අවසානයේ ඔහු බුදුන් සරණ ගියා

= නන්දුත්තරා පරිබ්‍රාජිකාව පැරදවීම =
නන්දුත්තරා කියන්නෙ කුරු රට කම්මාස්සදම්ම නියම් ගමේ බමුණු පවුලක උපන්නියක්. හොඳින් සිප් සතර හදාරපු ඇය නිඝන්ඨ ආශ්‍රමයක පැවිදි වෙලා විවිධ දුෂ්කර වත් පිළිවෙත් පිරුවා. පසුව ඒවා පසෙක ලා නොයෙකුත් වාද ඉගෙන ගෙන, තමා සමඟ වාද කිරීමට සමතෙක් සොයමින් දඹදිව පුරාම ඇවිද්දා. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇයට හමුවෙලා වාද කරලා, එයින් අන්ත පරාජයක් ලැබුවා. ඉන්පසු උන්වහන්සේගේ ධර්මවාවද පිළිඅරන් මෙහෙණවරකට ගිහින් පැවිදි වෙලා විදර්ශනා වඩලා රහත් වුණා.

= කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කිරීම =
මසුරු කෝසිය සිටුතුමාගේ කතාව ඔයාල දන්නවා නේ.. අර කැවුම් කන්න ආස හිතිලා හොරෙන් කැවුම් උයන්න හැදුවේ... ඒක ආයේ කියන්න ඕන නෑනේ නේද? ඉතින් බුදු හාමුදුරුවෝ දිවැසින් බලද්දී කෝසිය සිටුතුමා සෝවාන් බව ලැබීමට තරම් පින් ඇති කෙනෙක් බව දැකලා මුගලන් තෙරුන් එහෙ යැව්වෙ ඔහුගේ මසුරු බව දුරු කරන්න. නොයෙක් පෙළහර පා අවසානයේ සිටුතුමා සහ දේවිය පහදවාගෙන බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන ආවේ උන්වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේගේ දායකත්වය නිසා සිටුතුමාටත් දේවියටත් සෝවාන් වෙන්න පුළුවන් වුණා වගේම සතර අපායෙන් සදහටම මිදෙන්න හැකි වුණා.

= බුදුරදුන්ගේ ඇරයුමෙන් පූර්වාරාමය පයින් ගසා සෙලවීම =
බුදුන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින කාලයේ එහි මහල් විහාරයේ යට මහලේ නොහික්මුණු භික්ෂූන් වහන්සේලා මහත් හඬින් කෑකෝ ගසමින් උන්නා. බුදුන් වහන්සේ ඒ ඇසී අනඳ තෙරුන් ලවා මුගලන් මහ රහතන් වහන්සේ කැඳෙව්වා. ඒ ඇරයුමෙන් මුගලන් මහ රහතන් වහන්සේ මහල් වෙහෙර අසළට වැඩලා එහි පාදමට වම් පයේ මහපට ඇඟිල්ලෙන් පුංචි පහරක් ගැසුවා. එතකොට මහා භූමිකම්පාවක් වගේ මහල් විහාරය පැද්දෙන්න පටන් ගත්තා. ඇතුලෙ හිටපු නොහික්මුණු භික්ෂූන් වහන්සේලා බය වෙලා විහාරයෙන් එළියට ආවා. බියවී සංවේගයට පත් වෙලා ඉන්න පිරිස දැකපු බුදු රජාණන් වහන්සේ එතනට වැඩලා කරුණු විමසලා ඒ මුගලන් මහ රහතන් වහන්සේගේ වැඩක් බව පැවසුවා. ඉන්පසු මුගලන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළ බුදුන් වහන්සේ ඔවුන්ටද එවන් තත්ව ලබා ගැනීමට උත්සහ කළ යුතු බව පවසා දහම් දෙසුවා. දේශනා අවසානයේ ඒ පිරිස හික්මී දහම් මාර්ගයේ පිහිටියා.

මුගලන් මහ රහතන් වහන්සේගෙත් සැරියුත් මහ රහතන් වහන්සේගෙත් තිබුණේ සංසාරගත මිත්‍ර කමක්. වරක් එක් පුරුෂයෙක් මේ දෙනම විරසක කරන්න එකිනෙකාට කේලම් කිව්වා. නමුත් එය හරිගියේ නෑ. එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයෙන් උන්නු ඒ දෙන්නගේ සමඟිය බිඳුනේ නෑ. ඒ වගේම සැරියුත් තෙරුන් අසනීප වුණු සෑම අවස්ථාවකම පාහේ ඒ සඳහා ගත යුතු බෙහෙත් මොනවාදැයි විමසලා , ඒ බෙහෙත් සපයා දෙන්නත් මුගලන් තෙරණුවෝ ක්‍රියා කළා.
පෙර භවයක මුගලන් තෙරණුවෝ බරණැස් නුවර කුලපුත්‍රයෙක් වෙලා තමාගේ මහලු මව්පියන්ට උපස්ථාන කරගෙන හිටියා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ සුදුසු විවාහයක් කරගන්න කියන එකයි. නමුත් මේ කුල පුත්‍රයා හැමවිටම ඒක ප්‍රතික්ෂේප කළා. බැරිම තැන මනාලියක් කැන්දාගෙන ආවා. මුලදී ඇයත් මේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කරගෙන උන්නත් කල් යද්දී යද්දී ඒ සැලකිලි අඩු වුණා. මේ දුෂ්ට කාන්තාව ස්වාමියා රැකියාවට ගියාම නොයෙක් අකටයුතුකම් කරලා ඒවා කලේ මහලු මව්පියන් බව හැඟෙව්වා. එපමණක් නෙවේ, තවදුරටත් තමාට ඒ නිවසේ ඉන්න බැරි බවත් දෙමාපියන් හෝ තමා යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස පුතාට කිව්වා. අගසව් තනතුරකට පෙරුම් පුරන මේ කුලපුත්‍රයා පවිටු ස්ත්‍රියගේ බසට රැවටිලා දෙමාපියන් හොඳින් සරසවලා මහ වනයක් මැදට ගිහින් සොරු පැමිණි බව අඟවලා තමාගේ අතින්ම ලොකු පොල්ලක් අරගෙන ඔවුන් දෙදෙනාට මැරෙන තුරුම පහර දුන්නා. මේ මහා පවට අවීචි මහා නරකයේ ඉපදිලා බොහෝ කල් දුක් වින්දා. රහත් බව ලබා සසර නිමවන අවසන් භවයේදීත් ඉතිරිව තිබූ අකුසලය විපාක දීමක් තමා සිදු වුණේ. (ඔන්‍න‍ බලන්න ආනන්තරීය පාපකර්මයක බලවත්කම)
ඒ මහා මුගලන් වහන්සේ සිදුකල ගිහියකුව සිටියදී සිදුකල වැරදි වලින් අපිදු ජීවිතයට පාඩමක් ඉගෙන ගරැනීමටත් ඒ මහා ගුණකද අපේ ජීවිතයට එක් කර ගැනීමටත් අදිටන් කරගනිමු.

9/2/15

සෝතාපන්න වීම - ( සිවුවන කොටස ) සෝතාපන්න වීම සමග ඇති වන වෙනස්කම්

"සම්මා දිට්ඨියට පත් පුද්ගලයාගේ සත්කාය දිට්ඨිය, විචිකිච්චාව, සීලබ්බත පරාමාසය ඉවත් වේ. එසේනම් දස සංයෝජන ධර්මවලින් පළමු සංයෝජන තුන සෝවාන් පුද්ගලයා වෙතින් ඉවත් වන බව කරුණු කාරණා ඇතිව තේරුම් ගන්න පුළුවන්. මෙසේ සෝවාන් ඵලයට පත් පුද්ගලයාට ඒ සඳහා ඉවහල් වූ කාරණා හතරක් සෝවාන් අංග වශයෙන් බුදු දහමේ විස්තර වෙනවා."

සම්මා දිට්ඨියට පත්වන ආකාරය පසුගිය කලාපයේ විග‍්‍රහ කළා. ‘සං’ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන අභ්‍යන්තර ආයතන සමග රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර ආයතන පටිච්ච වීමේ ක‍්‍රියාවලිය බව පැහැදිලි කළා. ඒ ක‍්‍රියාවලිය, බැඳීමේ ක‍්‍රියාවලිය ලෙස තේරුම් ගත යුතුයි. එය සංඛාර වශයෙන් හඳුන්වනවා. මෙම සංඛාර හෙවත් සං වීමේ ක‍්‍රියාවලිය තවදුරටත් පහත සඳහන් පරිදි අවස්ථා කීපයකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ, චිත්ත, මනෝ, මානසං, හදයං, පන්ඩරං (පන්නරං – පණ පොවනවා), මනෝ මනායතනං, මනේන්ද්‍රියං, විඤ්ඤාණං යනුවෙන්. එහෙමනම් විඤ්ඤාණය ගොඩනැගීමට පෙර, ඇසක් රූපයක් සමග ගැටෙනවාත් සමග ඇතිවන මේ පටිච්ච වීමේ ක‍්‍රියාවලිය මේ ආදී අවස්ථා කීපයකට බෙදී වෙන් වෙනවා. මේවා එකිනෙක විග‍්‍රහ කර ගනිමු. චිත්ත පිළිබඳ අර්ථ කථනයේදී.

පබස්සර මිදං භික්ඛවේ චිත්තං ආරම්මන විජානන ලක්ඛණං චිත්තං….

ආදී වශයෙන් විග‍්‍රහ කරල තියෙනවා. ආරම්මන විජානන ලක්ඛණං යන්නෙහි තේරුම, අරමුණු විවිධාකාරයෙන් දැනගැනීමේ ලක්‍ෂණ යන්නයි. එය විස්තර කරන විට එම ලක්‍ෂණය දරන්නා කවුද? ඒ මනසයි. එහෙනම් චිත්ත යන්න මනසෙහි මූල ලක්‍ෂණයක් හෙවත් ස්වභාවයක් විය යුතුයි. මෙය ඉතා පිරිසිදු ලක්‍ෂණයක්. උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. මනස යන්න මුහුණේ ඡායාව වැටී ඇති කැඩපතකට සම කළොත්, එහි මුහුණ දැකීමේ ලක්‍ෂණය ඇති කැඩපත චිත්ත වශයෙන් පෙන්නුම් කළ හැකියි. කැඩපත එසේම තිබියදී මුහුණ දැකීමේ ලක්‍ෂණය කිළිටි කළ හැකියි. උදාහරණයක් වශයෙන් කැඩපත මත දූවිලි තැවරුවොත්, දූවිලිවලින් කිළිටි ගැන්නුවොත් එය ඉදිරියට ගිය විට මුහුණ දැකීමේ ලක්‍ෂණය අඩු වී ඇති බව පේනවා. මේ ආකාරයට තමයි, චිත්ත කියන එක විඤ්ඤාණ දක්වා යනකොට කිළිටි වන්නේ. මේ කිළිටි වීම පියවරෙන් පියවර විමසා බලමු.

චිත්ත ළඟට ඇත්තේ මනෝය. මනෝ වශයෙන් හඳුන්වන්නේ යම් වස්තුවක් ඉන්ද්‍රියක ගැටුණු විට එය මැන බලා ගැනීමයි. උදාහරණ ලෙස අපි පොල් ගසක් දෙස බලන විට පොල් ගසේ මුල ප‍්‍රදේශය දකින විට අග ප‍්‍රදේශය පේන්නෙ නෑ. මැද ප‍්‍රදේශය දකින විට අග මුල පේන්නෙ නෑ. අග ප‍්‍රදේශය දකින විට මුල මැද පේන්නෙ නෑ. එහෙනම් අපි පොල් ගසක් දකින විට කොටස් තුනක් වශයෙන් වෙන් කළොත් පළවෙනි කොටස අපි මැන ගත්තා. ඊළඟට දෙවන කොටසත් අපි මැන ගන්නවා. ඉන්පසු තුන්වන කොටසත් මැන ගන්නවා. මේ කොටස් තුන මැනගෙන මේවා එකතු කරනවා. මේකට කියනවා මානසං කියලා. මෙතනදී සං යන වචනය යෙදෙනවා. මැන ගත්තු ටිකට මාන කියා කියනවා. මාන ටික එකතු කරගෙන මාන සං කළාම අපි එය පොල් ගසක් වශයෙන් හඳුනා ගන්නවා. පොල් ගසක් වශයෙන් හඳුනා ගත් පසු තමයි අපිට මේ බැඳීමේ ක‍්‍රියාවලිය වෙන්නේ. දැන් පටිච්ච වීමේ ක‍්‍රියාවලිය පටන් ගන්නවා. පොල් ගහ ලෙස හඳුනා ගැනීමට පෙර, අපි ඊට රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳෙන්නෙ නෑ. පොල් ගස එක් උපමාවක් පමණයි. ප‍්‍රියමනාප ලෙස දකින ශරීර ආදියත් දකිමින් මෙන් ඒ ඒ කොටස් මැනගෙන සං කර හෙවත් එකතු කර මනෝ රූපයක් සාදා ගන්නවා. රාග, ද්වේශ, මෝහ ඇතිවන්නේ මේ අවස්ථාවෙන් පසුවයි. ඒ තමයි මානසං වුනාට පසු, හදයං කියන අවස්ථාව. මේ හදයං යන්නෙහි තේරුම හාද වෙනවා කියන එකයි. ඒක අපි කවුරුත් දන්නවා. යාළු වෙනවා, හිතවත් වෙනවා කියන එකයි. මෙසේ අපි දැකපු ද්‍රව්‍ය වස්තුවත් සමග අපි හිතවත් වෙනවා, හාද වෙනවා. ඉන්පසු එන්නේ පන්ඩරං කියන කොටසයි. ඒ කියන්නේ අපි හාද වෙච්ච එක තවදුරටත් පන්නරයේ පිහිටනවා. යකඩයෙන් ආයුධයක් හැදුවාමත් ඒකට අපි පන්නරයේ පිහිටනවා කියල කියනවා. ඒ වගේ තමයි මෙතනත්. අපි හාද වෙච්ච එක තවදුරටත් පන්නරයේ පිහිටෙව්වාම පන්ඩරං කියල කියනවා. භවයට අංග හෙවත් භවාංග වෙන්නේ මෙබඳු හිතක්මයි. මේ අවස්ථාව ආවට පසු මනෝ මනායතනං, මනේන්ද්‍රියං ආදී වශයෙන් මනස මේකට සම්බන්ධ වෙලා අවසානයේදී මනෝ විඤ්ඤාණය හැදෙනවා. මේ මනෝ විඤ්ඤාණය හැදුන කියල කියන්නේ ඒ තුළ රාගය හෝ ද්වේශය මිශ‍්‍රයි. අවිද්‍යා සහගතව ගොඩනැගෙන විඤ්ඤාණවල හැටි මෙසේය.

ඉන්පසු පටිච්ච සමුප්පාද පියවර වශයෙන් මනෝ සම්ඵස්සය, මනෝ සම්ඵස්සජා වේදනා, ඊට හා වීම හෙවත් තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණවලින් තමයි කෙළවර වෙන්නේ. එහෙනම් අපි මුළින්ම මේ ජාති නිපදවීම සඳහා වූ ක‍්‍රියා මාර්ගය නැවැත්වීමට නම් අනිච්ඡ බව දැනගැනීම හෙවත් විද්‍යාව පහළවීම තුළින් පටිච්ච වීම නවත්වා ගන්න අවශ්‍යයි. එසේ අභිවිඤ්ඤාණ ගොඩනැගීම නැවැත්තුවොත් ජාති ගොඩනැගීමත් නවතිනවා. ඒ සමගම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස… ආදී සියලූ දුක් උදාවෙන්නෙ නැති බව දකිනවා. මේ නිවනට පත්වීමයි. දැන් අපි රහතන් වහන්සේ කෙනෙක් ගැන හිතුවොත් උන්වහන්සේගේ ඇසට රූපයක් ගැටෙන කොට මනෝ, මානසං කියන පියවරවල් දෙකම සම්පූර්ණ වෙනවා. මේ සම්පූර්ණ කිරීම ඒ ගැටිච්ච රූපය හඳුනා ගැනීම සඳහා අවශ්‍යයි. එය හඳුනා ගැනීම මානසං (විපාක විඤ්ඤාණ) වශයෙන් සලකනවා. ඊට එහා ගියොත් හදයං, පන්නරං ලෙස හාදවීමක් ඇති වුනොත් අභිවිඤ්ඤාණ හෙවත් සසරට හේතුවන විඤ්ඤාණ ගොඩනැගෙනවා. රහතන් වහන්සේ සසරට හේතුවන විඤ්ඤාණ ගොඩනගන්නෙ නෑ, ද්‍රව්‍ය වස්තු හඳුනා ගැනීමේ විඤ්ඤාණ පමණක් ගොඩනගනවා.

සෝතාපන්න පුද්ගලයා කෙරෙන් සත්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන ඉවත් වන හැටි දැන් සලකා බලමු. කාය යන්න මින් පෙරත් විග‍්‍රහ කළා. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන කොටස් දොලහෙන් සැදුම් ලත් එකක්. මේ කාය පාවිච්චි කරමින් එනම් අභ්‍යන්තර හා බාහිර ආයතන දොළහ ප‍්‍රයෝජනයට ගනිමින් සත්ත්වයෝ ආස්වාද හොයමින් සැරිසරනවා. මේ ආස්වාද ලබාදීමට හේතු වන නිසා, මේ ආයතන දොළහ ඔවුන්ට හරි වටිනවා, හරි ප‍්‍රයෝජනවත්, නැවත නැවත ලැබිය යුතුයි යන හැඟීම සත්ත්වයා තුළ ඇති වෙනවා. මෙය නිරන්තරයෙන්ම තමා තුළ තියෙන තෘෂ්ණා සහගත හැඟීමක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඒවායින් එකක්වත් ඉවත් කිරීමට කිසිම සත්ත්වයෙක් කැමති නෑ. ආස්වාද ගොඩනැගීම සඳහා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන මේ සියල්ලම නැවත නැවත ලැබීමට සත්ත්වයෝ කැමතියි. එසේනම් අභ්‍යන්තර ආයතන හයෙනුත්, බාහිර ආයතන හයෙනුත් සැදුම් ලත් මේ කය හෙවත් සබ්බ කාය ඉතාමත් වටිනවාය යන දෘෂ්ටියේ තමයි පෘතජ්ජන අය ඉන්නේ. යම් දවසක ත‍්‍රිලක්‍ෂණය අවබෝධ වෙලා, ලෝකය හෙවත් මේ ආයතන දොළහ අනිච්ඡයි – තමන්ට කැමති විදිහට පවත්වන්න බෑ, එයින් දුක හටගන්නවා, එමනිසා අසාරයි කියල තේරුම් ගත්තොත්, කාය සත් යන දෘෂ්ටියෙන් හෙවත් කාය වටිනවා කියන දෘෂ්ටියෙන් ඉවත් වෙන්න පුළුවන්.

යම්කිසි දවසක අනිච්ඡ, දුක්ඛ, අනත්ථ හරියාකාරව තේරුම් ගත් උත්තමයෝ, කාය සත් යන දෘෂ්ටියෙන් ඉවත් වෙනවා. අනන්ත වූ සංසාරයේ ගමන් කරමින් දුක් විඳීමට සැලැස්වූයේ, සතර අපා වැනි නොයෙක් අභව්‍ය ස්ථානවල ඉපදෙමින් මහා දුක් කන්දරාවක් වින්දේ මේ කියන අභ්‍යන්තර ආයතන හයත්, බාහිර ආයතන හයත් එකතු වී සැදුම් ලත් මේ සබ්බකාය කියන පද්ධතිය නිසයි. එසේනම් කරුණු කාරණා තේරුම් ගිය විට මේ සබ්බකාය තමන්ට අහිතක් කරන ලද, අවැඩක් කරන ලද ආයතන දොළහක් බව තමන්ම දකින්න පටන් ගන්නවා. එසේනම් කාය සත් යන දෘෂ්ටිය ඉන්පසු ඉවත් වෙනවා. ‘‘සත්’’ යන වචනය නොයෙක් විට හොඳයි, ආත්මයි යන අර්ථය නිරූපණය කිරීම සඳහා යොදාගෙන තියෙනවා. මේ ආකාරයට සත්කාය දෘෂ්ටිය තේරුම් ගත යුතුයි.

සත් පුරුෂයා, සත් ක‍්‍රියාව, සත් භාවය, ආදී වශයෙන් නොයෙක් තැන්වල සත් යන වචනය යෙදී තියෙනවා. මේ ආයතන දොළහ අනන්ත සංසාරයේ පටන් අපට අවැඩක් කරපු බවත්, ඉදිරියේදීත් මෙයම ප‍්‍රර්ථනා කරමින් ඒ සමග ගැටෙමින් ආස්වාද සොයමින් ඉදිරියට ගියොත් සසර දුක් විඳීමට මේ ආයතන දොළහ හේතුවන බවත් බුද්ධිවන්තව තේරුම් ගත යුතුයි.

එසේනම් සෝවාන් ඵලයට පත් පුද්ගලයා, ලෝකයේ අසාරත්වය දුටු පුද්ගලයා මේ සබ්බකාය අසාරයි හෙවත් අසත් වශයෙන් දකිනවා. එහෙනම් කාය සත් යන දෘෂ්ටියෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ සත්කාය දිට්ඨියෙන් ඉවත් වෙනවා. කාය අසත් නම් එයින් ඉවත් විය යුතුයි. දැන් මේ ඇස රූප සමගත්, කන ශබ්ද සමගත්, නහය ගන්ධ සමගත්, දිව රස සමගත්, කය ස්පර්ශ සමගත්, මන ධම්ම සමගත් ගැටෙමින් විඤ්ඤාණ ගොඩනැගීමේ ක‍්‍රියාවලිය හෙවත් සංඛාරවලින් ඉවත්වීමේ දෘෂ්ටියට එනම් සම්මා දිට්ඨියට ඒ පුද්ගලයා පත්වී හමාරයි. එහෙනම් සම්මා දිට්ඨිය ඇතිවෙනවාත් සමගම සත්කාය දිට්ඨිය නැතිවෙන හැටි තේරුම් ගන්න පුළුවන්.

‘විචිකිච්චාව’ යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි බලමු. එදිනෙදා ජීවිතයේ මෙය හඳුන්වන්නේ සැකය ලෙසයි. නමුත් සැකය යන්න මෙතනදී පාවිච්චි කරන්න බෑ. මජ්:නි:(1) 426 පිටුවේ එන චුල්ල හත්ථි පදෝපම සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුන් සම්මා සම්බුද්ධයි කියාත්, ධර්මය ස්වාක්ඛාතයි කියාත්, සංඝයා සුපටිපන්නයි කියාත් ආදී වශයෙන් බුදුන්, දහම්, සඟුන් පිළිබඳ සම්පූර්ණ නිට්ඨාවකට යා හැකි වන්නේ එනම් පූර්ණ අත්දැකීමට යා හැකි වන්නේ අරිහතුන් වහන්සේ නමකට පමණකැයි කියා. එසේනම් ඒ සියල්ල පිළිබඳ සැකය අරිහත් වෙන කල්ම පවතිනවා. ප‍්‍රවේසමෙන් කියෙව්වොත් චුල්ල හත්ථි පදෝපම සූත‍්‍රයේ මේ කාරණය විග‍්‍රහ කර ඇති බව වැටහේවි. එහෙනම් මෙහිදී සෝවාන් පුද්ගලයෙකුගේ සැකය පූර්ණ වශයෙන් දුරුවෙනවා කිව්වොත් ඒක දෝෂ සහිතයි. මෙතනදී විචිකිච්චාව කියා දකින්නේ සැකය නෙවෙයි. විචි කියන්නේ වැරදි, කිච්චා කියන්නේ ක‍්‍රියාවයි. එහෙනම් වැරදි ක‍්‍රියාවලියෙන් ඉවත් වෙනවා යන්න විචිකිච්චාව නැතිවෙනවා කියන එකේ තේරුමයි. ලෝකයේ වැරදි ක‍්‍රියා කොච්චර නම් ඇද්ද? මුළු ලෝකයේම සිදු කළ හැකි වැරදි ක‍්‍රියා දහයකට බෙදා බුදුන්වහන්සේ දේශනා කළා. මේවා දස අකුසල් වශයෙන් තේරුම් ගත යුතුයි. ප‍්‍රාණගාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර ලෙස කයෙන් කෙරෙන වැරදි තුනයි. මුසාවාදා, පිසුනාවාචා, පරුසාවාචා, සම්ඵප්ප‍්‍රලාපා ලෙස වචනයෙන් කෙරෙන වැරදි හතරයි. අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ඨි ලෙස මනසෙන් හෙවත් හිතෙන් කෙරෙන වැරදි තුනයි. විකෘති කෘත්‍ය කියන්නේ මේවා වැරදි නැත යන දෘෂ්ටියේ පිහිටා ක‍්‍රියා කිරීමයි. එබඳු දෘෂ්ටි සහගත ක‍්‍රියා සෝතාපන්න පුද්ගලයාට නෑ.

සෝවාන් පුද්ගලයා, මිත්‍යාදෘෂ්ඨිය නම් වූ මනසෙන් කරන භයානකම අකුසලයෙන් ඉවත් වී හමාරයි. ඔහු ලෝකයේ අසාරත්වය දකිමින් ප‍්‍රාණගාත… ආදී අනිත් අකුසල් කිරීමෙන් කිසිම ඵලයක් නැති බව දකිනවා. තමාට රැකගන්න තරම් වටිනා දෙයක් ලෝකයේ නැති බව දකින සෝවාන් පුද්ගලයාට, තමාට මෙළොව රැස් කිරීමට දෙයක් නැති බවත්, ප‍්‍රාණගාත කර මොනවා ලබන්නද යන අදහසත් එනවා. සතෙක් මරා මිනිසෙකුට ලැබිය හැකි ප‍්‍රයෝජන දෙයාකාරයි. එකක් සතාගේ මස් අනුභව කරමින් කවදා හෝ විනාශයට පත්වන තම කය තව තවත් වැඞීමට ඒ මස් ප‍්‍රයෝජනයට ගැනීමයි. දෙවැන්න නම් ඒ මස් විකුණා මුදල් හම්බ කිරීමයි. මේ මුදල් හම්බ කිරීමෙන්ද කරන්නේ එකම ක‍්‍රියාවලියක්. ඒ මොකක්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් පිනවීමට මුදල් වැය කිරීමයි.

එහෙනම් සෝවාන් පුද්ගලයා ඇස, කන, නාසය, දිව, ශරීරය, මන පිනවීමේ ක‍්‍රියාවලිය තමා දුකට පත්කරන ක‍්‍රියාවලියක් සේ දැකල ඉවරයි. එසේනම් ඔහුට සතෙක් මරා ලබා ගන්නා මස්වලින් කරගන්න දෙයක් නෑ. ලෝකය අසාරයි කියා දැකපු පුද්ගලයා තුළ මේ ආකාරයෙන්ම ප‍්‍රාණගාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර ආදී වූ දස අකුසලයෙන් වෙන්වීමට කැමැත්තක් හෙවත් ඒවා කිරීමේ අකමැත්තක් ජනිත වෙනවා. මෙසේ ලෝකයට අවැඩක්, අසාධාරණයක් සිදුවන දස අකුසල්වල යෙදීමේ කැමැත්ත ඇතිකරන දෘෂ්ඨිය විචිකිච්චාව වශයෙන් තේරුම් ගත යුතුයි. විචිකිච්චාවෙන් වෙන්වීම කියන්නේ එම අකුසලයන් කෙරෙහි ඇති කැමැත්ත ඇතිකරන දෘෂ්ඨියෙන් වෙන් වීමයි.

ඊළඟ සංයෝජන ධර්මය නම් සීලබ්බත පරාමාසයයි. මෙහි තේරුම සීල වෘත, පරම ආශ‍්‍රය කරගැනීම යන්නයි. සීල වෘත වශයෙන් හඳුන්වන්නේ මොනවාද? වෘතයක් කියන්නේ යම් යම් දේ සමාදන් වෙලා යම් කිසි කාල සීමාවකට එය ආරක්‍ෂා කරගන්න බැඳී සිටීමේ පිළිවෙතයි. පෙර කාලයේ ගෝ-වෘත, අජ-වෘත ආදී වෘතයන් තිබුණ බව අපි අසා තියෙනවා. හිරු දෙවියන් නමස්කාර කිරීම, සඳු දෙවියන් නමස්කාර කිරීම ආදී වෘත එසේ තිබිල තියෙනවා. මේ ආකාරයට, ධර්මය හරියාකාරව තේරුම් නොගෙන යම් යම් වෘත සමාදන් වීමෙන්ම පමණක් විමුක්තිය ලබාගත හැකි යැයිද සිතා, එය පරම ආශ‍්‍රය කරගන්න උදවිය කරන්නේ වරදක්.

ත‍්‍රිලක්‍ෂණය අවබෝධයෙන් සෝවාන් බවට පත්වූ යම් පුද්ගලයෙක් වේ නම් ඔහු නිවන් දැක හමාරයි. ඔහුට ඉතුරුව ඇත්තේ දැකපු නිවනට පත්වීම පමණයි. එසේනම් වෙනත් වෘත සමාදන් වෙමින් විමුක්තියක් ළඟාකර ගන්න බැරි බව ඔහු දැක හමාරයි. එසේනම් වෙනත් මිත්‍යාදෘෂ්ඨික සිල් වෘතවල යෙදීම නිරායාසයෙන්ම, සම්පූර්ණයෙන් ඔහු කෙරෙන් ඉවත් වෙනවා. පන්සිල් ගැනීම, අටසිල් ගැනීම ආදී සිල් වෘත නරකයි කියා මෙහිදී අදහස් කරන්නෙ නෑ. මොකද අද මෙම ධර්මය තේරුම් ගන්න තරම් යම් කිසි අවස්ථාවකට හෝ පත්වී ඇත්නම් එසේ පත්වුනේ අප මෙතෙක් කල් කරන ලද දස සිල්, පන්සිල් ආදී යම් යම් සිල් වෘත අනුගමනය කරමින් ලබාගත්තා වූ කුසල් නිසයි. සමාදානය සහ පරාමර්ශනය එකක් නොව අදහස් දෙකක්. පරාමර්ශනය කියන්නේ නිවන් මග වෘතයක් සේ සලකා එහිම ඇලී ගැලී සිටීමයි. අනාගත සුචරිත සමාජයට මරු පහරක් එල්ල කරන විකෘති අදහසක් සිල්වත ගැන සමහරු මෙකල එල්ල කරන බව පෙනී යනවා. එය අජ වෘත, ගව වෘත තෝරන ක‍්‍රමයක්. එසේ මුලාවෙන් කරන ප‍්‍රකාශය මෙසේයි. ‘එළුවා, හරකා ජීවිතාන්තය තෙක්ම සතුන් නොමරයි. හොරකම් නොකරයි. වෙන් කරගත් ස්ත‍්‍රී සතෙක් නැති නිසා කාමයේ වරදවා නොහැසිරෙයි. උන් ජීවිතාන්තය තෙක්ම බොරු නොකියයි. මත්පැන් නොබොයි. පංසිල් රකිනවා යැයි වත සමාදන් වන්නේ බෞද්ධයෝ නොව අජ (එළු) වෘත, ගව වෘත සමාදන්වන මෝඩයෝය.’

මෙබඳු ප‍්‍රකාශ, කරුණු තේරුම් ගැනීමේ දුර්වල සමහරුන් විසින් කරන, මුලාවෙන් මුලාවට ඇද දමන මිසදිටු කියමන්ය. බෞද්ධයෝ පංච දුශ්චරිතයෙන් වෙන් වන්නේ එළුවන් ගවයන් ආදර්ශයට ගෙන නොවෙයි. යමක් පව් නම්, වැරදි නම්, අකුසල් නම්, නොකටයුතු නම් ප‍්‍රඥාවෙන් වටහාගෙන ඒ වැරදි පාප මග අතහැර දැමීමෙනි. අෂ්ඨාංග සීලය සමාදන් වන්නේද රහතන් වහන්සේගේ ප‍්‍රඥා ගෝචර ධර්ම විනය සාක්‍ෂි කර, තමන්ද ප‍්‍රඥාවෙන් වටහාගෙන ඒ මග අනුගමනය කිරීමෙනි. මේ පිළිවෙත නිවන් සඳහා ඒකායන මාර්ගය නොවෙයි. නමුත් උපනිශ‍්‍රය ගෙන දෙනවා. නියම නිවන් මග නම් ප‍්‍රඥාවෙන් දකිමින් සිතිවිලි, ක‍්‍රියා, වදන් සංවර කරමින් ධර්මාවබෝධයට නැඹුරු වන සතර සතිපට්ඨානයයි. එය වතක් නොවෙයි.

එසේනම් අවශ්‍ය වන්නේ, දස සිල් හෝ පන්සිල් රැකීමෙන් පමණක් නිවන් සුව දක්වා යාමට නොහැකි බව තේරුම් ගැනීම මිස ඒවා අත්හැර දමා සිටීම නොවෙයි. කවදා හෝ නිවන් ප‍්‍රත්‍යක්‍ෂ කරගැනීම සඳහා වූ මාර්ගයට පිවිසීමට මේ සියළු සම්‍යක්දෘෂ්ඨික සිල් වෘත ප‍්‍රයෝජනවත් වෙනවා. දස සිල් ගන්නා අය, පන්සිල් රකිනා අය ඒවා අගය කරමින් ඒ ආකාරයෙන්ම කළ යුතු වන්නේ ඒ නිසයි. ඒවා ප‍්‍රතික්ෂේප කරන්න බෑ. ඒවායේ වටිනාකමක් තියෙනවා. තේරුම් ගත යුත්තේ ඒ තුළින්ම පමණක් නිවන් දැකිය නොහැකි බවයි.

සම්මා දිට්ඨියට පත් පුද්ගලයාගේ සත්කාය දිට්ඨිය, විචිකිච්චාව, සීලබ්බත පරාමාසය ඉවත් වන බවත් දැන් තේරුම් ගන්න පුළුවන්. එසේනම් දස සංයෝජන ධර්මවලින් පළමු සංයෝජන තුන සෝවාන් පුද්ගලයා වෙතින් ඉවත් වන බව කරුණු කාරණා ඇතිව තේරුම් ගන්න පුළුවන්. මෙසේ සෝවාන් ඵලයට පත් පුද්ගලයාට ඒ සඳහා ඉවහල් වූ කාරණා හතරක් සෝවාන් අංග වශයෙන් බුදු දහමේ විස්තර වෙනවා. (දුතීය සාරිපුත‍්‍ර සූත‍්‍රය) එනම් කළ්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාවයි. මේ අංග හතර සම්පූර්ණ වූ විට සෝවාන් පුද්ගලයෙක් බිහි වෙනවා. කළ්‍යාණ මිත‍්‍ර ඇසුර කියන්නේ මොකක්ද?

සද්ධර්මය දන්නා, නිවන් මග දන්නා, එය පැහැදිලිව ප‍්‍රකාශ කළ හැකි උතුම් පුද්ගලයෙක් සිටී නම් ඔහු කළ්‍යාණ මිත‍්‍රයෙක්. එදිනෙදා ලෞකික කටයුතුවලට උදව් උපකාර කරන, ඉඳහිටලා මුදල්වලින් උදව් කරන, වෙනත් වෙනත් උදව් කරන්නෙක් ආර්ය විනය තුළදී කළ්‍යාණ මිත‍්‍රයෙක් වශයෙන් හඳුන්වන්න බෑ. අපි තවමත් සංසාරයේ ගමන් කරන්නේ නිවැරදි කළ්‍යාණ මිතුරෙක් හමුවී නැති නිසයි. මෙහිදී මිතුරෙක් හමුවුනාටම මදි, ධර්මයත් ඇසිය යුතුයි. ඒ වගේම ඒ ධර්මය යෝනිසෝ මනසිකාරයෙන් සිහි කළ යුතුයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ ලෝකයේ අනිච්ඡ, දුක්ඛ, අනත්ථ බව තමාගේම මනසින් ධර්මය ශ‍්‍රවණය කරන අවස්ථාවේදීම දැකීමයි. හතර වන කාරණය ධම්මානුධම්ම පටිපදාවයි. අනුධම්ම වශයෙන් ත‍්‍රිපිටකයේ විස්තර වන්නේ අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන කාරණා තුනයි. මේ කරුණු තමාගේ අත්දැකීම් සමග සසඳමින්, මේ ධර්මය ප‍්‍රත්‍යක්‍ෂ කිරීමට තමා විසින් ඒවා යොදවා ගත යුතුයි. අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන්න කටපාඩම් කරගත් පලියට මේ ප‍්‍රතිඵල ලබන්න බෑ. එය යෝනිසෝ මනසිකාරයෙන් දකිමින් අනිච්ඡ, දුක්ඛ, අනත්ථ වශයෙන් තමාම තමාගේ අත්දැකීම් සමග සසඳමින් තේරුම් ගත යුතුයි. එසේ තේරුම් ගත් පුද්ගලයා සෝවාන් බවට පත්වෙනවා.

සෝවාන් පුද්ගලයෙකුගේ ලක්‍ෂණ කෙසේද? බොහෝ අයගේ මතයක් නම් සෝවාන් පුද්ගලයෙක් තමා සෝවාන් බව කියන්නෙ නෑ කියන කාරණයයි. මෙය වැරදි අර්ථ කථනයක්. සං:නි: (2) 107 පිටුව – පංචභය වෛර සූත‍්‍රයේ සෝවාන් යැයි ප‍්‍රකාශ කරන්න නම් පහත කරුණු සැපිරිය යුතු බව සඳහන් වෙනවා. එහෙනම් යමෙකුට තමන් සෝවාන් බව විශ්වාස නම් එසේ ප‍්‍රකාශ කිරීමේ වරදක් නෑ. තමන්ට ප‍්‍රත්‍යක්‍ෂ වශයෙන් පහත සඳහන් කරුණු කාරණා සපුරා ඇත්නම් එසේ ප‍්‍රකාශ කරන්න පුළුවන්.

පස්වැදෑරුම් භය හා වෛර සංසිඳීම.
සිවුවැදෑරුම් සෝතාපත්ති ලක්‍ෂණයන්ගෙන් යුක්ත වීම. එනම්,
බුදුන් කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදය
දහම් කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදය
සඟුන් කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදය
අරියකාන්ත සීලයෙන් යුක්ත වීම.
ආර්ය වූ න්‍යාය ප‍්‍රඥාවෙන් මනාව දැකීම.

මොකක්ද මේ ආර්ය වූ න්‍යාය. එය ප‍්‍රඥාවෙන් දැක්කම තමයි සෝවාන් පුද්ගලයෙක් බිහි වෙන්නේ. කටපාඩම් කරගත් පලියට සෝවාන් පුද්ගලයෙක් බිහිවෙන්නෙ නෑ. අපේ මේ දැනුම, අපි මේ තත්ත්වයට පත් කළ දැනුම යම් කිසි බුදු දහමේ න්‍යායකට අනුකූල විය යුතුයි. අපි දැන ගත්ත න්‍යාය මොකක්ද? ත‍්‍රිලක්‍ෂණය හා පටිච්ච සමුප්පාදයයි. පළමුවෙන්ම ලෝකය අනිච්ඡයි, දුක්ඛයි, අනත්ථයි කියා දැන ගත්තා. දෙවනුව ජාති කියන තත්ත්වය නිසා තමයි ලෝක සත්වයා දුක් විඳින්නේ කියන කාරණය දැන ගත්තා. ‘ජාති’ යන්න නිර්මාණය වුනොත් ජාති පච්චයා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී සියලූ දුක්වලට භාජනය වෙනවා. එහෙනම් මේ දැනුම අපි ලබා ගත්තේ, ජාති දක්වා අපිව මෙහෙයෙව්වේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා කියා පටිච්ච සමුප්පාද න්‍යාය තුළින් අපි දැනගන්නවා.

එහෙනම් සෝවාන් පුද්ගලයෙක් බිහිවීම සඳහා ප‍්‍රධාන වශයෙන් න්‍යායන් දෙකක් අවශ්‍යයි. ඒ ත‍්‍රිලක්‍ෂණය හා පටිච්ච සමුප්පාදයයි. අවිද්‍යාව නිසා සංඛාර උපදින බවත්, සංඛාර නිසා විඤ්ඤාණ, විඤ්ඤාණ නිසා නාම රූප ආදී ලෙස අවසාන වශයෙන් ජාති ගොඩනැගෙන බවත්, පටිච්ච සමුප්පාද චක‍්‍ර ධර්මතාවය අනුව දැනගත යුතුයි. පටිච්ච සමුප්පාදය ඉතාමත් ගැඹුරු දහමක්. එය පූර්ණ වශයෙන් දන්නේ සර්වඥයන් වහන්සේ නමක් පමණයි. එය මහ මුහුද හා සමාන කොට පෙන්වා තියෙනවා. එසේනම් සෝවාන් පුද්ගලයෙක් අල්ප වශයෙන් තමයි පටිච්ච සමුප්පාදය දන්නේ. අඩුම තරමින් අවිද්‍යාව නිසා සංඛාර, සංඛාර නිසා විඤ්ඤාණ, විඤ්ඤාණ නිසා නාමරූප ආදී පියවරයන් දැකලා අවිද්‍යාව නිසා ජාති ගොඩනැගෙන හැටිත්, අවිද්‍යාව යනු කුමක්ද යන්නත් ප‍්‍රඥාවෙන් දැකපු පුද්ගලයෙක් විය යුතුයි.

“ක්‍ෂය කළ නිරය ඇත්තෙම්, ක්‍ෂය කළ පේ‍්‍රත විෂය ඇත්තෙම්, ක්‍ෂය කළ තිරිසන් යෝනි ඇත්තෙම්, ක්‍ෂය කළ විනිපාතික අසුර නිකාය ඇත්තෙම් නියතයෙන් සම්බෝධි පරායනයෙම් සෝතාපන්න වෙමියි හෙතෙම කැමති නම් ප‍්‍රකාශ කරන්නේය.” මේ දහම් පාඨය ත‍්‍රිපිටකයේ බොහෝ තැන්වල දකින්න තියෙනවා. මේවා නොබලා, “මගඵල ලාභී නම් ඒ අය ප‍්‍රකාශ නොකරයි, ප‍්‍රකාශ කරන්නේ නම් ඔවුන් බොරුකාරයෝ” යැයි සමහර භික්‍ෂූන් වහන්සේලාද ත‍්‍රිපිටකය නොබලාදෝ ප‍්‍රකාශ කරන බව පෙනී යනවා.

ඉහත දැක්වූ පංච භය වෛර සූත‍්‍රයේ, භය හා වෛර සංසිඳීම කියන්නේ මොකක්ද? පාණාතිපාතා, අදින්නාදානා, කාමේසුමිච්චාචාරා, මුසාවාදා, සුරාපානය ආදී මේ පස්වැදෑරුම් නොකටයුතු දේවල් සිදුකිරීම තුළින් තමන් ලෝක සත්ත්වයාට භයක්, වෛරයක් උපදවනවා. මේ පස්වැදෑරුම් භය හා වෛර ලෝක සත්ත්වයාගෙන් තමන්ටත් ඇති වෙනවා. එසේනම් සෝවාන් පුද්ගලයා පස්වැදෑරුම් වූ වැරදි ක‍්‍රියාවන්හි නොයෙදෙන විට තමන්ගෙන් ලෝකයාට භය පහක් සහ වෛර පහක් ඇති නොවීමට වගබලා ගන්නවා. එසේම, තමා අංවක නිසා ලෝක සත්ත්වයාගෙන් තමන්ටත් එම භය හා වෛර පහ ඇතිවීම සංසිඳී යනවා.

දෙවෙනි ලක්‍ෂණය ගෙන බලමු. සිව් වැදෑරුම් සෝතාපත්ති ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූවෙක් විය යුතුයි. බුදුන්, දහම්, සඟුන් කෙරෙහි අවෙච්ච ප‍්‍රසාදය, ආර්ය කාන්ත සීලයෙන් යුක්ත වීම යනුවෙන් මෙය දක්වා තියෙනවා. අවෙච්ච ප‍්‍රසාදය කියන්නේ නොකැඩුණු ප‍්‍රසාදයයි. අනන්ත වූ සංසාරයේ ඇවිදිමින් දුක් විඳින ලද මේ සත්ත්වයා සෝවාන් ආදී මාර්ග ඵලයකට පත්වීම තුළින් සදහටම සතර අපායෙන් නිදහස් බවත්, තමන් නිවන දැකපු බවත්, නිවීම දැකපු බවත් ප‍්‍රත්‍යක්‍ෂ වූ විට ඒ සඳහා තමන්ට උපකාරී වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි විශාල ගෞරවයක් ගොඩනැගෙනවා. මෙසේ කරුණු කාරණා දැනගෙන බුදුන්, දහම්, සඟුන් කෙරෙහි නොකැඩුනු ප‍්‍රසාදයක් ගොඩනගා ගැනීමක් සිදුවෙනවා.

සෝවාන් පුද්ගලයා හඳුනා ගැනීමේ ඊළඟ කාරණය වූ ආර්ය වූ න්‍යාය ප‍්‍රඥාවෙන් දක්නා විය යුතුයි යන්න දැනටමත් පැහැදිලි කළා. එසේනම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ආදී ඵලවලට පත් වෙච්ච අයෙක් ඒ බව තමන්ට ප‍්‍රත්‍යක්‍ෂ නම් එසේ ප‍්‍රකාශ කරන්න එපා කියා ත‍්‍රිපිටකයේ කොතනකවත් සඳහන් වෙලා නෑ. නමුත් තමන්ගේ ලාභ ප‍්‍රයෝජන සඳහා එසේ ප‍්‍රකාශ කරනවා නම් ඒක වැරදියි. ලෝක සත්ත්වයාට අනුකම්පාවෙන්, තමන්ගෙන් තවත් කෙනෙකුට ප‍්‍රයෝජනයක් අත්වෙයි යන හැඟීමෙන් තමන් සෝවාන් හෝ වෙනත් මගඵලයකට පත්වූවෙක් බව ප‍්‍රකාශ කිරීමේ වරදක් නෑ. තමන්ගේ ප‍්‍රතිලාභ සඳහා එසේ කරන එක පමණයි වැරදි. ආර්ය ධර්ම ඇති අය අතින් ලාභ කීර්ති ප‍්‍රශංසා සඳහා යම් කිසි එබඳු කියමන් සිද්ධ වෙන්නෙ නෑ. එසේනම් මේ කරුණු කාරණාවලින් පෙනී යන්නේ සෝවාන් පුද්ගලයෙකුට තමන් සෝවාන් බව දැනගත හැකි විශේෂිත වූ කරුණු ඇති බවත්, එය ප‍්‍රත්‍යක්‍ෂ නම් සෝවාන් පුද්ගලයෙක් සෝවාන් වශයෙන් ප‍්‍රකාශ කිරීමේ ඇති වරදක් නොමැති බවයි.

කොටස් සතරක් සහිත මෙම වටිනා ලිපියේ අවසාන කොටසයි මේ. පලමු, දෙවන හා තෙවන කොටස් පහතින් ලබා ගත හැක. පලවූ ලිපි ලබා ගැනීමට Google url shortener (goo.gl) භාවිතා කර ඇත. පහත ලින්ක් මගින් පලවූ ලිපි වලට පහසුවෙන් යොමුවිය හැක,


- පූජ්‍ය වහරක අභයරතනාලංකාර ගරු ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනයකි.

ඔබ සැමට තෙරුවන් සරණයි !

ධර්ම දානය පිනිසයි. කියවා මිතුරන් අතර බෙදාගන්න.

උපුටා ගැනීම : http://www.helabodhupiyuma.net/archives/343

සෝතාපන්න වීම - ( තෙවන කොටස ) සම්මා දිඨ්ටියට පත්වීම


"ගෙදරට ලැබුණු මත්පැන් බෝතලයක් දෙස, බීමට කැමති ස්වාමි පුරුෂයා රාගයෙන් බැඳෙනවා. බීමට අකමැති බිරිඳ, ද්වේශයෙන් තම බලාපොරොත්තුව ඉටුකරගන්නා අදහසින් බැඳෙනවා. ස්වාමිපුරුෂයා රාග විඤ්ඤාණයක් ගොඩනගමින් සතුටට පත්වෙනවා. එම මත්පැන් බෝතලය පිළිබඳව ද්වේශ විඤ්ඤාණයක් ගොඩනගාගත් බිරිඳ එයින් දුක්වේදනාවට පත් වෙනවා. එසේනම් පුරුෂයාගේ සතුටටත්, බිරිඳගේ වේදනාවටත් හේතු වූයේ එකම මත්පැන් බෝතලය නේද?"

බුදුපියාණන් වහන්සේ විසින් දේශිත සියලු දුක්, ලෝකය කැමති පරිදි නොලැබීම නිසා හටගත් දුක් බව

"යම්පිච්චං නලබති තම්පි දුක්ඛං"

යන පාඨය තුළින් පසුගිය ලිපිවලදී හඳුනාගත්තා. මෙය බෞද්ධයන්ට පමණක් දැකිය හැකි දුකක්. නිවන් දැකීමට උත්සාහ කරන අපේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වනුයේ සසර දුකයි. එනම් ජාති, ජරා, මරණ….. දුක්ඛ, දෝමනස්ස, උපායාස යන දුක් කරුණුයි. බුදුපියාණන් වහන්සේ සසර දුක සහ දුකට හේතුව පටිච්ච සමුප්පාදය තුළින් දුටුවා. එය ප‍්‍රඥාවෙන් අවබෝධ කළ දෙයක්.

අවිද්‍යා → සංඛාර → විඤ්ඤාණ → නාම රූප → සලායතන → ඵස්ස → වේදනා → තණ්හා → උපාදාන → භව → ඉපදීම (ජාති) → සසර දුක → ජරා මරණ….

සසර දුකට මුල් වූ හේතුව අවිද්‍යාව බව ඉහත සටහන තුළින් දකින්න පුළුවන්. අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් සංඛාරත් සංඛාර ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණත් ආදී වශයෙන් අවිද්‍යාව විසින් මෙහෙයවන්නා වූ සසර දුක නිවීමට නම් අවිද්‍යාව නැති කළ යුතුයි. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදැකීමයි. චතුරාර්ය සත්‍යයේ න්‍යාය ත‍්‍රිලක්ෂණයයි. (නෙත්තිප‍්‍රකරණය 249 පිටුව.)

චතුරාර්ය සත්‍යය නොදැකීම හේතුකොටගෙන දිගු කලක් මුළුල්ලේ ඒ ඒ ජාතීන් හි සංසරණය විය. ඒ තුළ චතුරාර්ය සත්‍යය දක්නා ලදහ. භව තණ්හාව නසන ලද්දීය. දුක්ඛයන්ගේ මූලය සුන් කරන ලදහ. දැන් පුනර්භවයක් නැතැයි මේ ඤෙයිය (ඤාණයෙන් පූර්ණ) දේශනාවයි. මෙහි ඤෙයිය කවරේද? රූපය අනිච්චය, වේදනා අනිච්චය, සංඥා අනිච්චය, සංඛාර අනිච්චය, විඤ්ඤාණ අනිච්චය යන මේ ඤෙයියය.

මේ පාඨයෙන් කියවෙන්නේ චතුරාර්ය සත්‍යයේ න්‍යාය ත‍්‍රිලක්‍ෂණය බවයි. ති‍්‍රලක්ෂණය නිවැරදිව නොදැක චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න බෑ. එසේ නම් අවිද්‍යාව යනු ත‍්‍රිලක්ෂණය නොදැකීම වශයෙන් දැක්වීම නිවැරදියි. පටිච්ච සමුප්පාදයේ තවත් පියවර කීපයක් තුළින් දුක නිර්මාණය වන හැටි බලමු.

අවිද්‍යාව නිසා සංඛාර ඇතිවන බව පෙන්වා තියෙනවා. එනම් අනිච්ච වන බව නොදැනීම නිසා සංඛාර ඇතිවන බවයි.

1. අවිජ්ජා පච්චයා සංඛාරා
2. සංඛාර පච්චයා විඤ්ඤාණං
3. චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං

දෙවැනි වැකියේ සංඛාර ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණ ඉපදෙන බව කියවෙනවා. තුන්වන වැකියේ සංඛාර වෙනුවට චක්ඛුංච පටිච්ච රූපේච යන්න යොදා තියෙනවා. එසේ නම් සංඛාර = චක්ඛුංච පටිච්ච රූපේච යනුවෙන් නිගමනය කළ හැකියි. එසේ නම් චක්ඛුංච පටිච්ච රූපේච යන්න විග‍්‍රහ කරගත්තොත් සංඛාර යනු මොනවාද යන්න පැහැදිලි වෙනවා. මෙහිදී චක්ඛුංච වෙනුවට සෝතංච, ඝානංච, ජිවුහාච, කායංච, මනංච ආදී වශයෙන් යොදන්න පුළුවන්. උදාහරණ: සෝතංච පටිච්ච සද්ධංච උප්පජ්ජති සෝත විඤ්ඤාණං…. ආදී වශයෙන්.

දැන් අපි චක්ඛුංච පටිච්ච රූපේච යන කොටස තේරුම් ගනිමු.

චක්ඛු (A) රූප (B) රාගිකව හෝ ද්වේශිකව බැඳීම (C) → චක්ඛු විඤ්ඤාණං

ABC යන මේ කරුණු තුන එකතු වීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස චක්ඛු විඤ්ඤාණය ගොඩනැගෙනවා. ABC යන කරුණු තුන එකතු වීමේ ක‍්‍රියාවලිය සංඛාර හෙවත් සං කිරීම වශයෙන් තේරුම්ගත යුතුයි. සං කිරීම යනු ඇස රූප සමග රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳීම ලෙස තේරුම් ගත යුතුයි. දැන් “සං” යන වාක්‍ය ඛණ්ඩය පොදුවේ වෙනත් යෙදී ඇති ස්ථාන පිළිබඳව බලමු.

සං+ගමය – කිහිපදෙනෙකුගේ එකතුවකින් සෑදේ, සං+බන්ධය – බැඳීම් කිහිපයක එකතුවෙන් සෑදේ, සං+යෝග – ද්‍රව්‍ය කිහිපයක එකතුවෙන් සෑදේ, සං+වේගය – සිතේ වේග රාශියක් එකතුවෙන් සෑදේ, සං+ගීත – ගීත රාශියක් එතුවෙන් හා භාණ්ඩ රාශියක් එකතුවෙන් සෑදේ

මේ අනුව “සං” යන පදය නිතරම යෙදී ඇත්තේ එකතුවක් දැක්වීමටයි. ආර්ය විනයේ සං යෙදී ඇත්තේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් එක්වීමටයි. ඒ සසර ගමනට හේතුවන සං පෙන්වා දී ඇති ආකාරයයි. සමහරුන් සං යන්න ශක්තියක් වශයෙන් ද විස්තර කර තියෙනවා. නමුත් මෙය වැරදියි. (තවදුරටත් සං ගැන කරුණු දැක්වීමේදී මෙය පැහැදිලි වෙනවා ඇත.)

සං යන පදය බුදු දහමේ යෙදී ඇති ආකාරය බලමු. බුදුපියාණන් වහන්සේගේ දේශනාව මේ ආකාරයට විස්තර කර තියෙනවා.

සං දෙස්සති – සං පිළිබඳ දේශනා කිරීම. සං මාද සේති (සමාදස්ති) – සංවලින් වෙන්වීම (මා – මිදීම) කියාදීම. සං මුක්තේජේති – සංවලින් මිදීම කියාදීම. සං පහන්සේති – සං පහකිරීම පිළිබඳව කියාදීම.
උදාහරණ – මජ්ජිම නිකාය 1, 428 පිටුව, චුල්ලහත්ති පදෝපමසූත‍්‍රය.

සං යෙදීම මේ ආකාරයෙන්ම දක්වා ඇති වෙනත් සූත‍්‍ර නම්, දීඝ නිකාය (2), 198 සහ 206 පිටු මහාපරිනිබ්බාන සූත‍්‍රය සහ අංගුත්තර නිකාය (5), නන්දක සූත‍්‍රය.

තවද දහම් වඳින ගාථාවේ එන “සංදිට්ඨිකෝ” යන පදයෙන් සං පිළිබඳ දැක්ම විග‍්‍රහ වෙනවා. එසේනම් සං යන පදය බුදු දහම පුරාවටම යෙදී ඇති බව පේනවා. යමෙකු සං දිට්ඨික නොවුනහොත්, එනම් සං යන්න පැහැදිලිව නොදැක්කොත් ඔහුට ආර්ය මාර්ගය තේරුම් ගැනීමට නොහැකි වෙනවා. සං යනු රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳීම බව අපි දැක්කා. රාගයෙන්, ද්වේශයෙන් බැඳෙන්නේ එම රූපය තමාට ඉච්ච ලෙස පවත්වමින් ආස්වාද විඳීම සඳහායි. එසේ බැඳෙන්නේ එය ඉච්ච ලෙස පවත්වන්නට නොහැකි බව (අනිච්ච බව) නොදැනයි. එනම් පටිච්ච (කැමැත්තෙන් බැඳීම) වන්නේ අනිච්ච බව නොදැකීම නිසයි. මේ අනිච්ච බව නොදැකීම අවිද්‍යාවයි.

තමාට කැමති ලෙස පවත්වන්නට බැරි ලෝකය සමග බැඳීමෙන් දුක උපදිනවා. එසේ බැඳීම සං කිරීම හෙවත් සංඛාර ලෙසත්, එම බැඳීම් ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලය විඤ්ඤාණය ලෙසත් දැන් දැකිය යුතුයි. එනම් විඤ්ඤාණය යනු රාගයෙන්, ද්වේශයෙන් බැඳීම නිසා ඇති වූ විකෘති ඥාන හෙවත් දැනීම් සමූහයයි. (මායා කාරයෙක් වැනි.)

ගෙදරට ලැබුණු මත්පැන් බෝතලයක් දෙස, බීමට කැමති ස්වාමි පුරුෂයා රාගයෙන් බැඳෙනවා. බීමට අකමැති බිරිඳ, ද්වේශයෙන් තම බලාපොරොත්තුව ඉටුකරගන්නා අදහසින් බැඳෙනවා. ස්වාමිපුරුෂයා රාග විඤ්ඤාණයක් ගොඩනගමින් සතුටට පත්වෙනවා. එම මත්පැන් බෝතලය පිළිබඳව ද්වේශ විඤ්ඤාණයක් ගොඩනගාගත් බිරිඳ එයින් දුක්වේදනාවට පත් වෙනවා. එසේනම් පුරුෂයාගේ සතුටටත්, බිරිඳගේ වේදනාවටත් හේතු වූයේ එකම මත්පැන් බෝතලය නේද? එසේනම් සතුට හෝ දුක ගෙන දුන්නේ තමා මනෝ මූලිකව ගොඩනගාගත් රාගික හෝ ද්වේශික විඤ්ඤාණය නේද? එසේ නම් එකම මත්පැන් බෝතලය පිළිබඳව විඤ්ඤාණය විසින් ලබාදී ඇත්තේ ප‍්‍රකෘති ආකල්පයක්ද නැතිනම් විකෘති ආකල්පයක්ද? විකෘති ආකල්පයක්. එමනිසයි විඤ්ඤාණය විකෘති ඤාණයක් ලෙස හැඳින්වූයේ. විඤ්ඤාණය මායා කාරයෙකුට සම කළේ ඒ නිසයි.

තමා ගොඩනගා ගත් මෙම විඤ්ඤාණය තුළින් රූපයක් දැකීම මගින් ගොඩනගා ගන්නා වේදනාව සම්ඵස්සජා වේදනා වශයෙන් හැඳින්වෙනවා. විකෘති ඤාණය (විඤ්ඤාණය) + ඇස + රූපය → චක්ඛු විඤ්ඤාණය → චක්ඛු සම්ඵස්සය → චක්ඛු සම්ඵස්සජා වේදනා. තින්නං සංගති ඵස්සෝ යනුවෙන් දැක්වූයේ මේ චක්ඛු සම්ඵස්සයයි. සසර පුරාවට අප විසින් සිදුකරන ලද්දේ සං කිරීමයි. එනම් සංඛාරයි. මේ සංඛාර ගොඩනැගීම තුලින් විඤ්ඤාණ ගොඩනැගීමත්, ඒ තුළින් ජාති ගොඩනගමින් සසරේ ඇවිද්ද ආකාරයත් දැන් පැහැදිලියි. එසේ නම් ජාති නිරෝධ කිරීමට (නිර්-උදා) අප කළ යුත්තේ කුමක්ද? සංවලින් වෙන් වීමයි. වෙන්වීම, මිදීම යන වචනවලට සමාන වූ පාලි වචනය “මා” යන්නයි. උදාහරණ – මාමේ බාල සමාගමෝ – බාල සමාගමයෙන් මිදේවා. එසේනම් සංවලින් මිදීම යනු “සං-මා” (සම්මා) වශයෙන් තේරුම් ගන්න පුළුවන්.

සසර දුකෙන් මිදීමට නම් ජාති ගොඩනැගීම වැළැක්විය යුතුයි. සං-මා වුනොත් විඤ්ඤාණ ගොඩනැගීම නතර වෙනවා. ඒ නිසා වන්නේ පටිච්ච සමුප්පාදයේ ඊළඟ පියවරවල් කිසිවක් ගොඩනොනැගීමයි. එසේනම් අවසානයේ ජාති ගොඩනැගෙන්නෙත් නෑ.

“සං”වලින් “මා” වීම හෙවත් මිදීමේ දෘෂ්ඨිය සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨියට පත් පුද්ගලයාට තවත් වීර්යයෙන් පිරීමට කොටසක් ඉතිරිව තියෙනවා. එනම් සම්මා සංකප්ප, සම්මා වාචා…. සම්මා සමාධි ආදියයි. පළමුව සම්මා දිට්ඨිය කුමක්ද යන්න හඳුනාගෙන සම්මා දිට්ඨියට පත්විය යුතුයි. කෙනෙකු සම්මා දිට්ඨියට පත්වූවෙකු නම් ඔහු සෝතාපන්නයෙකු බව සංයුක්ත නිකායේ (5-2), 147 වන පිටුවේ එන දුතීය සාරිපුත්ත සූත‍්‍රයෙන් මෙසේ පෙන්වා තියෙනවා.

සාරිපුත්ත සෝතය සෝතය යැයි මෙය කියනු ලැබේ. සාරිපුත්ත සෝතය කුමක්ද? වහන්ස, මේ අරි අටඟි මග සෝතයයි. එනම් සම්මා දිට්ඨි… සම්මා සමාධි යයි. සාරිපුත්ත මැනවි මැනවි. සාරිපුත්ත, මේ අරි අටඟි මග සෝතයයි. සාරිපුත්ත, සෝවාන් සෝවාන් යැයි කියනු ලැබේ. සාරිපුත්ත සෝවාන් කවරේද? වහන්ස, යමෙක් මේ අරි අටඟි මගෙන් යුතු වූයේ වේද හේ සෝවාන් යැයි කියනු ලැබේ….

එසේනම් සෝවාන් වීම සඳහා අවශ්‍ය මූලික දැනුම කුමක්ද? ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ථ බව දැකීමයි. ලෝකය ඉච්චයි, සුඛයි, සාරයි වශයෙන් ගත් දෘෂ්ඨිය අවිද්‍යාවයි. ලෝකය තමාට කැමති පරිදි සකස් කරමින් ඒ හරහා ආස්වාද බුක්ති විඳීම ලෝක සත්ත්වයාගේ බලාපොරොත්තුවයි. ඔහු ඇස, කන, නාසය, දිව, ශරීරය හා මන සමග පටිච්ච වන්නේ ආස්වාද ලැබීම සඳහායි. ඒ සඳහා රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සං වීමේ ක‍්‍රියාවලිය සංඛාර වශයෙන් ද හැඳින්වෙනවා. සංඛාර කරනා තුරු ඔහු පටිච්ච සමුප්පාදයේ ඊළඟ පියවරවල් හරහා ජාති ගොඩනගනවා. එයින් ජාතියට උරුම වූ ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී දුක්වලට ගොදුරු වෙනවා.

“සං” තේරුම් ගනිමින් ත‍්‍රිලක්ෂණය නමැති න්‍යාය තේරුම් ගැනීමෙන් “සං” කරන්නේ නැතුව, “සං”වලින් මිදෙන්නා ජාති ගොඩනගන්නෙ නෑ. ඔහු ජරා, මරණ ආදී දුක්වලට පාත‍්‍ර වෙන්නෙ නෑ. සම්මා දිට්ඨිය තේරුම් ගැනීම සඳහා බුදු දහමේ ප‍්‍රධානම න්‍යායන් දෙකක් මෙහිදී යොදාගත් බව පැහැදිලියි. ත‍්‍රිලක්ෂණය හා පටිච්ච සමුප්පාදය මේ න්‍යායන් දෙකයි. එනම් සම්මා දිට්ඨියට පත් පුද්ගලයා ආර්ය වූ න්‍යාය ප‍්‍රඥාවෙන් දැක්කෙකු විය යුතුයි. සෝවාන් පුද්ගලයාගේ ලක්‍ෂණ පිළිබඳව සංයුක්ත නිකාය (2), 107 වන පිටුවේ එන පංච භය වෛර සූත‍්‍රයේ සඳහන්ව තියෙනවා.

- පූජ්‍ය වහරක අභයරතනාලංකාර ගරු ස්වාමීන් වහන්සේ

ඔබ සැමට තෙරුවන් සරණයි !

ධර්ම දානය පිනිසයි. කියවා මිතුරන් අතර බෙදාගන්න.

උපුටා ගැනීම : http://www.helabodhupiyuma.net/archives/343

සෝතාපන්න වීම - ( දෙවන කොටස ) ලෝක සත්වයා නොදකින ලෝකය දහම් ඇසින්


අනිත්‍ය නිසා දුකයි කියලා පසු කලෙක විග‍්‍රහ කළත්, අනිත්‍ය නම් දුකක් වෙන්නෙ කොහොමද කියල නුවණින් හිතා බලල නෑ. ලෝකයේ යමක් අනිත්‍ය නම් දුකයි කියන විට අපි කැමති දේවල් මෙන්ම අකමැති දේවල් යන සියල්ලම දුකද යන ප‍්‍රශ්නය මතු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම තියෙන්නේ අපි අකමැති දේවල් නොවෙයිද? ලෙඩක් දුකක් වුනාම අපි හිතනවා මේ ලෙඬේ මොන තරම් කරදරයක්ද කියලා.

බුදු පියාණන් වහන්සේ, “ලෝකය” බඹයක් පමණ වූ ශරීරයකට සීමා කළේ නෑ. ලෝකය කුමක් දැයි දැන ගැනීමට ක‍්‍රම කිහිපයක් පෙන්වා තියෙනවා. රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, සහ විඤ්ඤාණ ස්කන්ධය යන ස්කන්ධ පහේ එකතුවෙන් ගොඩනැගෙන පංචස්කන්ධය “ලෝකය” වශයෙන් එක් ආකාරයකින් පෙන්වා තියෙනවා. අතීත, වර්තමාන, අනාගත, අධ්‍යාත්මික, බාහිර, සියුම්, ඝණ, හීන, ප‍්‍රණීත, දුර, ළඟ වශයෙන් ඇසුරු කළ සියලූ රූප, වේදනා, සංඥා, සංඛාරා, විඤ්ඤාණ යන පංචස්කන්ධය ලෝකයට අයිති වෙනවා. මීළඟට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඤ්ඤාණ යන ධාතු කොටස් හයකින් ලෝකය විග‍්‍රහ කරල තියෙනවා. එසේම චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාණ ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණ ධාතු, ජිව්හා ධාතු, රස ධාතු, ජීව්හා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ඨබ්භ ධාතු, කාය විඤ්ඥාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු යන කොටස් දහ අටකින් ලෝකය තවත් ආකාරයකින් පෙන්වා තියෙනවා.

ආයතන වශයෙන් තවත් ආකාරයකින් ලෝකය විග‍්‍රහ කරල තියෙනවා. චක්ඛායතන, රූපායතන, සෝතායතන, ශබ්දායතන, ඝාණායතන, ගන්ධායතන, ජිව්හායතන, රසායතන, කායායතන, පොට්ඨබ්භායතන, මනායතන, ධර්මායතන යන දොළොස් ආකාරයෙන්. එසේම පටිච්ච සමුප්පාද වශයෙන්ද ලෝකය විග‍්‍රහ කරල තියෙනවා. එනම් අවිජ්ජා, සංඛාරා, විඤ්ඥාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන භව, ජාති, ජරා, මරණ යන දොළාස් ආකාරයයි.

අපි ප‍්‍රියයි මනාපයි කියල හඹායන ලෝකය සම්පිණ්ඩනය කර දැක්වීමක් තමයි මෙම විග‍්‍රහයන්ගෙන් කරල තියෙන්නේ. මෙයට පිටස්තරව ලෝකයට අයත් දෙයක් කියලා පෙන්වන්න කිසිවෙකුටත් බෑ. මේ ලෝකය තුළ තමයි අපිට දුක ඇතිවෙන්නේ. ඒ දුක ඇති වෙන්නේ කුමක් නිසාද? අපි බලාපොරොත්තුවන ආකාරයෙන් මේ ලෝකය තුල අපි කැමති දේ ලැබෙනවා නම්, දුකක් ඇතිවීමට හේතුවක් නෑ. එහෙත් මේ ලෝකය තුළ සිදු නොවනම දේ තමයි අපි කැමති ආකාරයෙන් කිසිම දෙයක් නොපැවතීම.

මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට හැකි, එසේම කිසිම ආකාරයකින් වෙනස් කළ නොහැකි ලක්ෂණ තුනක් බුදු පියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එනම්, අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ෂණයයි. මේ ත‍්‍රිලක්ෂණය හරියාකාරව අවබෝධ කර ගෙන ලෝකය පිළිබඳව යථාවබෝධය ලබාගත්තොත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වෙනවා.

අනිච්චං ඛයට්ඨෙන

අද ත‍්‍රිලක්ෂණය වශයෙන් ප‍්‍රචලිත වෙලා තියෙන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන වචන තුනයි.

"යම්පිච්චං නලභති තම්පි දුක්ඛං"

යනුවෙන් බුදුපියාණන් වහන්සේ ධම්ම චක්කප්පවත්තන සූත‍්‍ර දේශනාවේ පෙන්වා දෙන ලද ධර්මය, තවත් අවස්ථාවල

"යදනිච්චං තං දුක්ඛං – යං දුක්ඛං තදනත්තා"

යනුවෙන් ත‍්‍රිපිටක දේශනාවලම පෙන්වා තියෙනවා. යමක් කැමති සේ නැද්ද එය දුකයි යනුවෙනුයි විස්තර වෙලා තියෙන්නේ.

අනිත්‍ය නිසා දුකයි කියලා පසු කලෙක විග‍්‍රහ කළත්, අනිත්‍ය නම් දුකක් වෙන්නෙ කොහොමද කියල නුවණින් හිතා බලල නෑ. ලෝකයේ යමක් අනිත්‍ය නම් දුකයි කියන විට අපි කැමති දේවල් මෙන්ම අකමැති දේවල් යන සියල්ලම දුකද යන ප‍්‍රශ්නය මතු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම තියෙන්නේ අපි අකමැති දේවල් නොවෙයිද? ලෙඩක් දුකක් වුනාම අපි හිතනවා මේ ලෙඬේ මොන තරම් කරදරයක්ද කියලා. කිසියම් ප‍්‍රදේශයක දාමරික පුද්ගලයෙක් ඉන්නවා නම්, ඔහු ඒ ප‍්‍රදේශයට මහා කරදරයක්. මෙවැනි දේවල් නිත්‍ය වුනා නම් සැපක්ද? අනිත්‍ය නිසා දුක නම්, නිත්‍ය නම් සැප විය යුතුයි. කිසියම් පිළිකාවක් වැනි දෙයක් නිත්‍ය නම් සැපද? ගමට රටට කරදරකාරී පුද්ගලයෙක් වැනසී ගියා නම් ඔහුගෙන් පීඩාවට පත් වූ අයට දුකද?

බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධම්ම චක්කප්පවත්තන සූත‍්‍රය මුල්කරගෙන සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ සච්ච විභංග සූත‍්‍රයේදී “යම් පිච්චං නලභති තම්පි දුක්ඛං.” යන ධර්ම කාරණය තවදුරටත් විග‍්‍රහ කරල තියෙනවා.

‘කතමඤ්චාවුසෝ, යම්පිච්චං නලභති තම්පි දුක්ඛං?’
අවැත්නි යමක් කැමති සේ නොලැබීම දුකක් වන්නේ කෙසේද?

එය මෙසේ විභංග කර දක්වනවා.

‘ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡුා උප්පජ්ජති.’
අවැත්ති, මේ ජාති ධර්ම කෙරෙහි සත්ත්වයින්ට මෙවැනි කැමැත්තක් ඉපදෙනවා.

‘අපෝ වත මයං න ජාති ධම්මා අස්සාම’
අනේ, මට මෙහෙම ජාති ධර්මයක් හට නොගන්නවා නම් කියලයි.

‘න ඛෝ පනේතං ඉච්ඡුාය පත්තබ්බං’
එහෙත් එය කැමැත්තට සිද්ධ වෙන්නෙ නෑ.

‘ඉදම්පි යම් පිච්චං නලභති තම්පි දුක්ඛං’
යමක් කැමති සේ නැද්ද එය දුකක් වන්නේ මෙසේය

මේ ආකාරයෙන් ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන සියලූ කරුණු කැමති සේ නැති නිසා දුක ගෙන දෙන ආකාරය සච්ච විභංග සූත‍්‍රයේ මනාව පැහැදිලි කරල තියෙනවා.

එසේ නම් මේ ලෝකය තුළ තියෙන ජාති ධර්ම මොනවාද? ඇස, රූප, චක්ඛු විඤ්ඤාණ, චක්ඛු සම්ඵස්ස, චක්ඛු සම්ඵස්සජා වේදනා කියන මේවා ජාති ධර්මයි. කන, ශබ්ද, සෝත විඤ්ඤාණය, සෝත සම්ඵස්ස, සෝත සම්ඵස්සජා වේදනා කියන මේවා ජාති ධර්මයි. මේ ආකාරයට නාසය, දිව, කය, මන තුළින් ද ජාති ධර්ම ගොඩ නැගෙන ආකාරය වටහා ගත යුතුයි. (සං:නි: (4), 56 පිටුව, ජාති ධම්ම සූත‍්‍රය)

යමක් ජාති ධර්ම නම් ඒ සියල්ල ජරා ධර්ම වෙනවා. උපන් හැම දෙයක්ම ජරාවට පත්වීම උරුමයි. මේ අනුව ව්‍යාධි ධර්මයකුත් උපදිනවා. හටගත් යමක් ඇත්නම් මේ ආකාරයෙන් විපරිනාමයට පත්වෙලා වැනසී යන නිසා මරණ ධර්මයකුත් ඒකට උරුමයි. ඡන්ද රාගයෙන් මේවාට බැඳිලා ඒවා ඇසුරු කරන්න ගියාම දුක්ඛ, දෝමනස්ස, උපායාස හටගන්නවා. මේ ආකාරයෙන් තමයි දුක හටගන්නේ. හටගන්න හැම දෙයක්ම විපරිනාමයට පත්වී වැනසී යාම ලෝක ධර්මතාවයක්. එවැනි දේවල් තුළ ඇති ප‍්‍රිය ස්වභාවය සහ මධුර ස්වභාවයට ප‍්‍රිය කරලා, ඒවා මෙසේ පවතීවා කියල හිතුවට ඒක මුලා සිතිවිල්ලක් පමණයි. අනාදිමත් කාලයක පටන් හටගෙන, සදාතනිකව පවතින කිසිවක් ලෝකය යයි ගොඩ නැගිලා තියෙන සම්මුතිය තුළ පෙන්වන්න බෑ. මෙසේ කැමති සේ පවත්වන්න බැරි ලෝකයක් තුළ කැමති සේ පැවැත්වීමේ බලාපොරොත්තුවක් තිබුණ නම් ඒ මුලා අදහස අත්හැරී ගොස්, ලෝකය අත් හැරීමෙන්, නො ඇලීමෙන්, මිදීමෙන් ලබන සැනසීම ලබනවා.

පටිසම්භිධාමග්ගප‍්‍රකරණය යන මූලික අටුවා ග‍්‍රන්ථයෙහි පෙන්වා තියෙනවා

"අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනාති"

යනුවෙන්. මෙහි අදහස, ක්ෂය අර්ථයෙන් අනිච්චයි, භය අර්ථයෙන් දුකයි, අසාරයි යන අර්ථයෙන් අනත්තයි යන්නයි. ක්ෂය අර්ථයෙන් අනිච්චයි කියන විට මෙහි ක්ෂය කුමක්ද යන්න විමසා බැලිය යුතුයි. මේ ත‍්‍රිලක්ෂණය ප‍්‍රඥාවට ගෝචර වන දහමක්. ලෝක සම්මතයට අනුව ක්ෂය කියන්නෙ ගෙවෙනවා, වැනසෙනවා යන අදහසයි. මේ ප‍්‍රඥාවෙන් දැකල කියන දෙයක් නෙවෙයි. සිත තුළ ක‍්‍රියාත්මක වන චෛතසිකවලිනුයි මෙහෙම දකින්නේ. දැකපු දෙය වේදනා චෛතසිකයට දැනිලා, සංඥා චෛතසිකයෙන් හඳුනා ගන්නවා. හටගත් දෙයක් වැහැරෙන වැනසෙන බව බෞද්ධ නොවන කෙනෙකුගෙන් ඇහුවත් එය අයත් නැහැ කියන්නෙ නෑ. මේ අදහස නම් “අනිච්ච” කියන්නෙ, එසේම මේ කරුණ හැමදෙනාටමත් වැටහෙනව නම්, “අනිච්ච” යන්න අවබෝධ කර දෙන්න බුදු කෙනෙක් ලොව පහළ වෙන්න අවශ්‍යද?

ප‍්‍රඥාවෙන් “අනිච්ච” දකින්න නම් ධර්මය දකින්න ඕන. ධර්මය දකින්න නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕන. එසේනම් බුදු දහමේ පෙන්වන වැනසීම කුමක්ද? සුචරිතවත්ව හැදුනු ගැහැණු ළමයෙක් දුශ්චරිත කරන පිරිසකට එකතු වී චරිතය විනාශ කරගත් විටෙක, ඒ ළමයා විනාශ වුනා කියලා අපේ පැරණි අය කියනවා. මේ ආකාරයෙන් කෙනෙක් මරණයට පත් වුනාම පමණක් නෙවෙයි විනාශ වුනා කියන්නෙ. “අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනො පදං” මේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ මරණය. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් දූෂිත නොවී, සුචරිතය ඇසුරු කරමින් සිටින පුද්ගලයා ඉන්නෙ අමත පදයේ හෙවත් නොමැරෙන පදයේ. යහපත් පුද්ගලයෙකුගේ කය මැරුණත් ගුණ මැරෙන්නෙ නෑ. නමුත් මේ ගුණ විනාශ කරගත්තොත් සිදුවන ගුණ මරණයයි ක්ෂය කියන්නෙ.

ගුණ මරණ දහම් මොනවද? රාග, ද්වේශ, මෝහ කියන්නේ ගුණ මරණ දහම්. රාග, ද්වේශ, මෝහවලට ගෝචර වන ලෝක සත්ත්වයා, එ්වා ප‍්‍රිය ස්වභාවයකින් මධුර ස්වභාවයකින් ඇසුරු කරමින්, ආස්වාදය සොයා එ්වා පසු පස හඹා යනවා. මේවායින් මානසිකත්වය කිළිටි වීමෙන් පැවැත්ම තුළ යළි යළිත් ජීවිත ගොඩ නැගිල ජරා, මරණ, දුක්ඛ, දෝමනස්ස උපායාස ආදී ලෝක සම්මතයේ තියෙන දුකට ගෝචරවන පසුතලය හදාගන්නවා. මේ කරුණ පටිච්ච සමුප්පන්නව දැක්ක නම් විනාශ වෙන හැටි දකින්න පුළුවන්. කෙනෙක් රාගාධික වුනොත් ඔහුට ගුණ පේන්නෙ නෑ. තිරිසන් විදිහට කටයුතු කරන්න පෙළඹෙනවා. ද්වේශය ඇසුරු කළා නම් දුෂ්ට මානසිකත්වයක් ගොඩ නැගෙනවා. රාගය වටිනවා කියල ගත්ත නම් මුලාවට පත්වන දෙයක් හොඳයි කියල ගත්ත වෙනවා.

මෙසේ සැප හැටියට දැක්කේ දුක ගෙන දෙන දෙයක් නම් ඒ තමයි අවිද්‍යාව. මෙසේ අවිද්‍යාවේ තීරණයකට බැහැලා හිතන්න, කියන්න, කරන්න පටන් ගත්තා නම් අවිද්‍යා පච්චයා සංඛාරා යනුවෙන් සංඛාර ගොඩනැගීමේ පටිච්ච සමුප්පාද ක‍්‍රියාවලිය සිදුවෙනවා. ඒ අනුව මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර යන සසර ගමනට හේතුවන අභිසංඛාර ගොඩ නැගෙනවා. රාගයට සහ ද්වේශයට අනුකූලව ගොඩනැගෙන මේ සංඛාර හේතුවෙන් රාග විඤ්ඤාණ සහ ද්වේශ විඤ්ඤාණ ඇතිවෙනවා. ඉන්පසුව රාගයට පත් වූ පුද්ගලයා රාග සහගත වස්තු පසුපසත්, ද්වේශ සහගත පුද්ගලයා ගැටීමට අවශ්‍ය දේ පසුපසත් හඹායනවා. මෙසේ ඔවුන්ගේ විඤ්ඤාණයන් තුළ නිතරම හටගන්නේ රාග සහගත, ද්වේශ සහගත දේවල්වල නාම රූපයන්. විඤ්ඤාණයේ නාම රූප බැසගන්නවා කියන්නේ ඒකයි.

රාගයෙන් හෝ ද්වේශයෙන් හටගත් නාම රූප විඤ්ඤාණයේ බැස ගත් විට ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රියන්ට ඒවා ආයතන වෙනවා. ඒ අනුව රාග සහගත සළායතන හෝ ද්වේශ සහගත සළායතන පහළ වෙනවා. එයින් ලැබෙන ස්පර්ශය රාග ස්පර්ශයක් හෝ ද්වේශ ස්පර්ශයක්. එයින් ලැබෙන වින්දනය රාග හෝ ද්වේශ වින්දනයක්. මේ අනුව රාගය නිසා තණ්හාවත්, ද්වේශය නිසා පටිඝයත් (ගැටීමට බැඳීම) හටගන්නවා.

ඉන්පසුව තණ්හා පච්චයා උපාදානං යනුවෙන් තණ්හා සහගත බැඳීමක් හටගන්නවා. ද්වේශය නිසා පටිඝයක් ඇතිවුනා නම් පටිඝ පච්චයා අධිමොක්ඛෝ යනුවෙන් ගැටෙන බව මුදුන්පත් වෙනවා. මින් පසුව තණ්හා පච්චයා උපාදානයෙන් තණ්හා බවත්, පටිඝ පච්චයා අධිමොක්ඛෝ වීමෙන් ද්වේශ බවත් ඇතිවෙනවා. මේ අනුව භව පච්චයා ජාති යනුවෙන් මෙලොවදීම තණ්හා ජාතික පුද්ගලයෙක් හෝ අධිමොක්ඛෝ පච්චයා භව වශයෙන් ද්වේශ ජාතික දුෂ්ටයෙක් හෝ බිහිවෙනවා. මේ අනුව කෙනෙක් අවිද්‍යාව හේතුවෙන් ගොඩනැගූ සංඛාරවලට අනුව කර්ම භව මෙලොවදීම හටගෙන, උප්පත්ති භවයට අනුව ජාතියක් පහළවෙනවා. මේ අනුව කාමයන් පසුපස යාම නිසා තිරිසන් භවයක් ගොඩ නැගී තිරිසන් ජාතියක් උපදිනවා. එසේ නම් එවැනි කෙනෙක් මේ භවයේදීත් අනාථ වී මතු භවයත් අනාථ කරගන්නවා. මේ ආකාරයෙන් ක්ෂය බවට පත්වුනාම, වැනසුනා කියනවා. ඔහුට සතර අපායෙන් ගැලවීමක් නෑ. කෙනෙක් ඇත්ත දැක්කෙ නැත්නම් මෙසේ වැනසුනාට එපා වෙන්නෙත් නෑ.

දුක්ඛං භයට්ඨෙන

ඉපදීම දුකයි, ජරාවට පත්වීම දුකයි, මරණයට පත්වීම දුකයි, අප‍්‍රියයන් හා එක්වීම දුකයි, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, කැමති දෙයක් නොලැබීම දුකයි යනුවෙන් පෙන්වා තියෙන දුක, ලෝක සම්මත ආකාරයෙන් දැකීමෙන් දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ කරගන්න බෑ. ඕනෑම කෙනෙකුට මේ දුක දැනෙනවා, ඒ බව හඳුනනවා. ඒ දැනීම වේදනා චෛතසිකයෙනුත්, හැඳිනීම සංඥා චෛතසිකයෙනුත් වශයෙනුයි හටගන්නෙ. ත‍්‍රිලක්ෂණයෙන් පෙන්වූ දුක ප‍්‍රඥා චෛතසිකයෙන් අවබෝධ කර නොගත්තොත් දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ වෙන්නෙ නෑ. “දුක්ඛං භයට්ඨෙන” වශයෙන් ආර්ය විනයෙහි භයාර්ථයෙන් දුක දැනගත යුතුයි. සැප දුකක් ලෙස දකින්න කිව්වට කවුරුවත් පිළිගන්නෙ නෑ. ආස්වාදය ආස්වාදය ලෙසත්, ආදීනවය ආදීනවය ලෙසත්, නෙක්ඛම්මය නෙක්ඛම්මය ලෙසත් දකින ලෙසයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ.

යම්කිසි තැනක ක‍්‍රීඩා භාණ්ඩයක් ලෙස සකස් කරන ලද විනාශකාරී බෝම්බයක් තියෙනවා. එහි භයානක බව නොදන්නා කුඩා දරුවෙක් එය ගැනීමට ගොස් මරණය හෝ මරණය සමාන විපතකට පත්වෙන්න පුළුවන්. මෙසේ ප‍්‍රිය ස්වභාවයෙන් මධුර ස්වභාවයෙන් ආටෝප කරන ලද දේවල් ඇසුරු කරන්න ගියොත් මහා දුක් කම්කටොලූවලට භාජනය වෙන්න සිදුවෙනවා. මාළු අල්ලන පුද්ගලයෙක් මාළුවන් ප‍්‍රිය කරන රසවත් ඇමක් බිලී කොක්කෙහි අමුණා ජලයට දමා සිටින විට, එයට රැවටෙන මාලූවෙක් ඒ ඇම ගිලීමෙන් මරණයට හෝ ඒ හා සමාන දුකකට පත් වෙනවා. ඒ මාලු අල්ලන පුද්ගලයා රසවත් ඇම නොයොදා කොක්ක සහිත බිලී පිත්ත පමණක් දාගෙන හිටියට, මාලු බිලී කොක්කට අහුවෙන්නෙ නෑ. මේ ආකාරයෙන්ම ලෝක සත්ත්වයාත් මේ පංචකාම ආස්වාද නමැති ඇම ගිලලා මහා දුක් කන්දරාවක් අත්කරගන්නවා. මාලුවා මෝඩ කම නිසා ඇම ගිලින බව දකින මිනිසුන්ට, තමනුත් පංචකාම ආස්වාද නමැති ඇමකට කොටුවෙලා ඉන්න බව තේරුම් ගන්න ශක්තියක් නෑ. මේ ලෝකේ හැම තැනම අටවලා තියෙන්නෙ පංචකාම ආස්වාද නමැති ඇමවල් කියල ලෝක සත්ත්වයාට පේන්නෙ නැත්තේ ඒවායේ ප‍්‍රිය ස්වභාවයත් මධුර ස්වභාවයත් නිසයි. මේ මන වඩන ස්වභාවය නැත්නම් ලෝක සත්ත්වයා ඒවායේ ඇලෙන්නෙත් නැහැ කියලයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ.

එසේම උන්වහන්සේ දේශනා කරනවා, මේ පංචකාම වස්තුවල සැඟවුණු ආදිනවයක් තියෙන බවත්, එ්ක දකින්න නම් “දුක්ඛං භයට්ඨෙන” වශයෙන් දුක භයාර්ථයෙන් දැකිය යුතුයි කියලත්. මෙසේ පංචකාම ආස්වාදයන් මර උගුලක් කියල දැක්ක දවසට එපමණ කලක් ආසා කළ දේට භය වෙනවා. මේ ධර්මතාවය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙ ප‍්‍රඥාවෙන් පමණයි. මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, මන වඩන ධර්ම ඇසුරු කිරීමට ලෝක සත්ත්වයා හරි කැමතියි. මේ මන වඩන දේවල් ලෙඩ රෝග ඇතිකරවන, කැඩෙන, බිඳෙන, විනාශවන, විපරිනාමයට පත්වන, තමන් කැමති සේ පවත්වන්න බැරි දේවල් ලෙස, එ්වා ඇසුරුකිරීමට පෙර එ්වායේ ආදිනවයන් භයාර්ථයෙන් දැක්ක නම් මේවායින් මිදෙනවා. සැනසුමක් බලාපොරොත්තුවෙන් ගත්ත කිසිම දෙයක් සැනසුමක් දීල නෙමෙයි කෙළවර වෙන්නෙ. බල්ලන්ට අසුවන මස්කටු වගේ, උකුස්සන්ට අසුවුන මස් කැටි වගේ තමයි ලෝක පොරපිටියේ තියෙන තරඟකාරී දේවල්. මේවායේ ස්වභාවය නොදැන කෙනෙක් මේවා ඇසුරු කරන්න ගියොත් ඔහුට මහා පොරයකට මුහුණ දෙන්න වෙනවා. කොයි තරම් හොඳින් රක්ෂණය කළත්, කොයි තරම් හොඳින් පෝෂණය කළත්, එ්වා කැඞී බිඳී විනාශ වී යනවා.

මත්පැන්වලට පි‍්‍රය පුද්ගලයෙක් මත්පැන් බඳුනක් පානය කිරීමට සූදානම් වන විටෙක

කැමති නම් බොන්න ඕකෙ තියෙන මත්පැන්වලට වස මිශ‍්‍ර කරල තියෙනවා, බිව්වොත් මරණය හෝ මරණය සමාන දුකකට මුහුණ දෙන්න වෙනවා

කියල හිතවත් කෙනෙක් කිව්වොත් හා ඔහු ඒ වචනය විශ්වාස කළා නම්, කෙතරම් ප‍්‍රිය ජනක වුනත් ඒ මත්පැන් ඔහු බොනවද? යනුවෙන් බුදුපියාණන් වහන්සේ උපමාවක් දේශනා කරල තියෙනවා. ඔහුට එය බලෙන් පෙවීමට උත්සාහ කළොත්, ඔහු තමාට බලෙන් මත්පැන් පොවන්න හදනවා කියයිද? නැත්නම් වස පොවන්න හදනවා කියා කෑ ගසයිද? පංචකාම වස්තු මෙසේ වස යෙදූ මත්පැන් බඳුන් ලෙස දකින්න කියලයි උන්වහන්සේ දේශනා කළේ. තවත් අවස්ථාවක බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා, දෙදෙනෙක් තවත් කෙනෙකු අල්ලාගෙන බලෙන් ඔහු ගිනියම් වූ අඟුරු වලකට ඇද දැමීමට හදන විටෙක ඔහු අඩියෙන් අඩියට පිටුපසට අදිනවා මිස ඒකට ඇද දමනවාට කැමති වෙයිද කියලා. මෙසේ ආස්වාද ගෙන දෙන දේවල් මහා භයානක ලෙස දකිනවටයි “දුක්ඛං භයට්ඨෙන” කිව්වේ.

අනත්තං අසාරකට්ඨෙන

ලෝක සත්ත්වයා අනන්ත සංසාර ගමනක් ඇවිත් තියෙන්නේ, අවිද්‍යාව නිසා ඇත්ත දැක්කෙ නැතුව මුලාවට පත්ව සිටි නිසයි. මේ සංසාර ගමන තුළ පංචකාම ආස්වාදයන් හරි සුන්දරයි, හරි වටිනවා කියල හිතාගෙන හිටියට අපට ලැබුණු හරයක් තියෙනවද? මමය, මාගේය කියල දිව්‍ය, බ‍්‍රහ්ම, මනුෂ්‍ය ආදී විවිධ ආකාරවල ශරීරයන් ලැබුවත් ඒ ශරීරවලට කුමක්ද සිද්ධ වුනේ? මගේ කියල ගොඩගහගත්ත සම්පත්තිවලට කුමක්ද සිද්ධ වුනේ? එවැනි උප්පත්ති තිබුණ බවක් වත් අපට දැන් මතක නෑ. ධාතු හතරකින් ගොඩ නැගිලා, ගෙවී ගිය ශරීර මිසක් වෙනත් දෙයක් දකින්න නෑ. මෙහෙම දැක්කම වටහාගන්නවා, මෙබඳු වන්නා වූ ලෝකය තුළ කිසිම සාරත්වයක් නෑ කියලා. ප‍්‍රියයි, මනාපයි සුන්දරයි කියල ඇසුරු කළ වස්තුවල සාරත්වයක් තිබුණද? එසේනම් යථාර්ථය කුමක්ද? මේ සියලූ දේ අසාරයි කියන එකයි “අනත්තං අසාරකට්ඨෙනංති” කිව්වෙ. ලෝකය තුළ අසාරත්වය දැකිය යුත්තේ මේ ආකාරයටයි. අනාත්මයි අනාත්මයි කිය කිය හිටියට මේ අසාරත්වය පේන්නෙ නෑ.

අනිච්ඡ, දුක්ඛ, අනත්ථ කියන ත‍්‍රිලක්ෂණය, කෙනෙක් මේ ආකාරයෙන් අවබෝධ කරගත්ත නම් ලෝකයට අයත් ඇස අසාරයි, සාරත්වයක් නෑ, කන අසාරයි, නාසය අසාරයි, දිව අසාරයි, කය අසාරයි, මන අසාරයි කියල දකිනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන දේ තුළත් කිසිම සාරත්වයක් නෑ. මේවා මුලාවට පත්කරවන දේවල් කියා දකිනවා. මෙසේ අනිච්ඡු, දුක්ඛ අනත්ථ වශයෙන් ලෝකය යථාර්ථවත්ව දැක්ක දවසට දහම් ඇස පහළ වෙනවා. මෙතැනට පත් වුනාම කෙනෙක් සත්කාය දිට්ඨියෙන් මිදී යනවා. එසේ නැතුව උඩ යනවා දැකලා හරි, එළියක් දැකලා හරි සෝතාපන්න වෙන්න බෑ.

- පූජ්‍ය වහරක අභයරතනාලංකාර ගරු ස්වාමීන් වහන්සේ


ඔබ සැමට තෙරුවන් සරණයි !

ධර්ම දානය පිනිසයි. කියවා මිතුරන් අතර බෙදාගන්න.

උපුටා ගැනීම : http://www.helabodhupiyuma.net/archives/343