6/8/16

ලෝකෝත්තර ආර්‍ය්‍යමාර්ගයහි බලය



යමෙක් ප්‍රථම ආර්‍ය්‍ය මාර්ගය වූ සෝවාන්මාර්ගය සිය සතන්හි උපදවා ගත්තේ වේ නම් එහි බලයෙන් ඔහුගේ සන්තානයෙහි දෘෂ්ටි විචිකිත්සා මතු කිසිම කලෙක අන් ජාතියකදී වුවද නූපදනා පරිදි දුරුවන්නේය. අපායෝත්පත්තියට හේතුවන කර්මයන් කරන තරමට ඖදාරික වූ ලෝහාදි අන්‍ය ක්ලේශයෝ ද දුරුවෙති. එබැවින් වර්මාන ජාතියේ තබා අනාගත ජාතිවලදී අපායෝත්පත්තියට හේතුවන තරමට බලවත් වූ පව්කම් ඔහු අතින් නො කෙරෙන්නේ ය. සත්වයා අපායෙහි උපදින්නේ සක්කාය දෘෂ්ටිය ඇතිතාක් පමණෙකි. සක්කාය දෘෂ්ටිය ප්‍රහීණ බැවින් ඔහුට ඇති අතීත අකුශලකර්මයෝද ඔහු අපායෙහි උපදවාලීමට සමත් නො වෙති. ප්‍රථම මාර්ගයේ බලයෙන් ඔහු කිසි කලෙක අපායෙහි නූපදනා පුද්ගලයෙක් වෙයි. ප්‍රථම මාර්ගඥානය උපදවා චතුස්සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කළ පුද්ගලයාගේ සන්නානයෙහි එහි ආනුභාවයෙන් බෝධිපාක්ෂිත ධර්මයෝ ක්‍රමයෙන් වැඩෙති. ක්ලේශයෝ පිරිහෙති. ඔහු නිවන් මඟ ඉදිරියටම යන්නේ ය. ආපසු නො එන්නේ ය. එබැවින් ඔහු සසර පමා වුව ද ජාති සතකදී සියලූ කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ නිවනට පැමිණෙන්නේය.
සකෘදාමී මාර්ගය නම් වු ද්විතික ආර්‍ය්‍යමාර්ගය උපදවා ගත් කල්හි එහි බලයෙන් සෝවාන්මාර්ගයෙන් ප්‍රහාණය නොවී ඒ පුද්ගලයන්ගේ සන්නාතයෙහි ඉතිරිව තිබු කාමරාගාදීහු තුනී වෙති. තුනී වීමය යනු නිතර නුපදනා බවට පැමිණිම හා කලාතුරකින් උපනද සියුම් ලෙස පමණක් උපදනා බවට පත්වීමයි. කාමරාගය අප්‍රහීණ බැවින් සෝවාන් පුද්ගලයෝ මෛථුන සේවනය ද කෙරෙති. සකෘදාගාමී පුද්ගලයන්ට කාම රාගය කලාතුරකින් ඇති වුවද ග්‍රාමධර්මයෙහි යෙදෙන තරමට ඖදාරිකව නූපදී, සකෘදාගාමීමාර්ගයේ බලයෙන් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමේ වේගයද බලවත් වේ. එබැවින් සකෘදාගාමි පුද්ගලයා ප්‍රමාද වුවද ඉපදීම වශයෙන් මේ ලෝකයට එක් වරකට වඩා නො පැමිණේ.
අනාගාමීමාර්ග නම් වු තුන්වන ලෝකෝත්තර ආර්‍ය්‍යමාර්ගය ඇති වු කල්හි එහි බලයෙන් ඒ පුද්ගලයාට කාමරාගය හා ව්‍යාපාදය සම්පුර්ණයෙන් දුරු වන්නේ ය. එබැවින් ඔහු කාමලෝකයෙහි නැවත නූපදින්නේ ය.
අර්හන්මාර්ග සංඛ්‍යාත සතරවන ආර්‍ය්‍යමාර්ගය උපදනා කල්හි එහි බලයෙන් ඒ පුද්ගලයාට ඉතිරිව තුබු සකළක්ලේශයෝ ප්‍රහීණ වෙති. ඔහු සසර මතු නූපදන්නේ ය. ආර්‍ය්‍යඵලයන්ගෙන් සිදුකරන විශේෂ කෘත්‍ය නැත්තේ ය. ඔවුහු මාර්ගයන් අනුව පවත්නෝය. ඒවාට පැමිණි ආර්‍ය්‍යපුද්ගලයන්ට ඵලසමාපත්තිසුඛය ලැබිය හැකිය.
නිර්වාණධර්මයාගේ ආනුභාවය, ස්ථීරත්වය හා කෙලෙස් නැසීමට ආර්‍ය්‍යමාර්ගයන්ට සහාය වීමය. ලෝකයෙහි ඇති අන්‍යවස්තුහූ පරණ විමෙන් නරක් වෙති. කලෙකදී සම්පුර්ණයෙන් ම විනාශ වෙති. පරණ වීමෙන් නරක් වන ස්වාභාවය හා නැසෙන ස්වාභාවය නිවනට නැත. එබැවින් රහත්ව පිරිනිවන් පාන්නා වූ පුද්ගලයාට නීවීම නැති වි ගොස් නැවත සසරට එන්නට සිදු නො වේ.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.