8/9/17

කාමද දිව්‍ය පුත්‍රයාගේ ගැටලුව


මේ කාමද දිව්‍ය පුත්‍රයා පෙර ජීවිතයේ මිනිස් ලොව ඉපිද සසුන් බඹසර හැසිරෙන්නට මහන්සි වූ කෙනෙක්. නමුත් ඔහු මාර්ගඵල නො ලබාම මියගොස් දෙවියන් අතර උපත ලැබුවා. ඒ දෙව් ලොවේදීත් ඔහු සීල, සමාධි, ප්‍රඥා වඩමින් ධර්මයේ හැසිරෙන්නට මහන්සි ගත්තා. ඉන් අපට ඉතා හොඳින් තේරුම් ගන්නට පුළුවන් දෙවියන් අතරත් ධර්මයේ හැසිරෙන්නට පුළුවන් බව. ඉතින් ඒ අතරතුර තමා මේ කාමද දිව්‍යපුත්‍රයා භා්‍යවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ.

එදිනත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. මුළුමහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණි කාමද දිව්‍ය පුත්‍රයා උන්වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිටි කාමද දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

භාග්‍යවතුන් වහන්ස, මේ බ්‍රහ්මචාරී ජීවිතය දුෂ්කරයි. ගොඩක්ම දුෂ්කර එකක්මයි”

බුදුරජාණන් වහන්සේ විසින් ඒ දුෂ්කර බ්‍රහ්මචාරි ජීවිතය ගත කිරීමට සුදුස්සෙක් වෙනහැටි ඒ දිව්‍ය පුත්‍රයාට මහ කරුණාවෙන්ම පෙන්වාදී වදාළා

”කාමද දුෂ්කර දේ වුණත් කරනවා (සේඛා සීල සමාහිතා) නිවන් මඟට බැසගත්තු සිල්වත් වූ සමාහිත සිත් තිබෙන අය තමයි එහෙම කරන්නේ. ගිහි ගෙයින් වෙන්වෙලා දහම තුළ පිහිටි සිත් තිබෙන ඔවුන් සැපය ලබන සතුටින් තමයි ඉන්නේ.

මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේ විසින් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා පෙන්වා දී වදාළා. ඒ තමයි සේඛ ශ්‍රාවකයා සහ අසේඛ ශ්‍රාවකයා. අසේඛ කියන්නේ ‘හික්මීම අවසන් කළ’ කියන අර්ථය යි. ඒ කියන්නේ රහතන් වහන්සේ.

’සේඛ’ කියන්නේ හික්මෙන කියන අර්ථය යි. නිවන් කරාගෙනයන ප්‍රතිපදාවේ හික්මෙන සියලු දෙනා සේඛ ශ්‍රාවක පිරිසටයි අයිති වෙන්නේ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ මේ බඹසර ජීවිතයට නිවන් මඟට බැස ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන්නේ. ඒ වගේම ඔහුට සිල්වත්බවත් අවශ්‍යයි. සීලය කියන්නේ උතුම් ගුණධර්ම වලට අම්මා කෙනෙක් වගේ කියලයි සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළේ.

ඊළඟට සිතේ සමාහිත බවත් තිබිය යුතුයි. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාළා (සමාහිතස්සා යං ධම්මෝ තායං ධම්මෝ අසමාහිතස්ස) මේ ධර්මය තිබෙන්නේ සිත සමාහිත උදවියට යි. අසමාහිත සිත් ඇති අයට නොවේ කියලා. ඉතින් මේ ගුණධර්ම ඇති කරගෙන කම් සැපයේ නොඇලී ධර්මයේම හැසිරෙන්නට මහන්සි වෙන කෙනා දුෂ්කර වූවත් බඹසර ජීවිතය අනුගමනය කරන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළා. එබඳු උදවිය නිරාමිස සතුටක් තමයි ලබන්නේ. ඉතින් කාමද දෙවියා යළි මෙබඳු ප්‍රකාශයක් කළා.

”භාග්‍යවතුන් වහන්ස, ඔය සතුට කියන්නේ දුර්ලභ දෙයක්”

කාමද දුර්ලභ දේ වුණත් ලබනවා. සිත සංසිඳීමේ ඇලී ඉන්න කෙනා දිවා රාත්‍රී දෙකේම භාවනාවේ ඇලී ඉන්න කෙනා තමයි (චිත්තවූසමේ රතා, යේසං දිවා ච රත්තෝ ච භාවනාය රතෝ මනෝ) ඒ දුර්ලභ සතුට ලබන්නේ’.

එතකොට කාමද දිව්‍ය පුත්‍රයා ආයමෙත් මෙහෙම පැවසුවා.

”භාග්‍යවතුන් වහන්ස, මේ සිත කියන්නේ එකඟ කරගන්න ගොඩාත් දුෂ්කර එකක්”.
බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා
දුස්සමාදහං වාපි සමාදහන්ති
ඉන්ද්‍රියූපසමේ රතා
තේ ජෙත්වා මච්චුනෝ ජාලං
අරියා ගච්ඡන්ති කාමදාති

කාමද, එකඟ කර ගන්නට ගොඩාක් දුෂ්කර වුණත් එකඟ කර ගන්නවා. ඉඳුරන් දමනය කිරීමේ ඇලුණු අය ඉන්නවා. ඒ අය මාරයාගේ තෘෂ්ණා දැල සිඳගෙන පින්වත් කාමද, ඒ ආර්යයන් වහන්සේලා නිවනට ම යනවා.
සිත ගැන මනාව අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ හැර මෙබඳු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැකිවෙන කිසිවෙක් මේ ලෝකයේ නැහැ. උන්වහන්සේ වදාළේ වතුරෙන් ගොඩට ගත් මාළුවෙකු සේ මේ සිත අරමුණක් අරමුණක් පාසා සැලෙමින් තිබෙන බවයි. නමුත් එබඳු සිත නුවණැත්තන් විසින් දමනය කර ගන්නවා. සිත දමනය කරගැනීමෙන් සැපය ලැබෙන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළේ.

සිත දමනය කරන්නට නම් ඒ කෙනා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන සංවර කර ගන්නට ඕන. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලින් මේ ඉන්ද්‍රියයන් අසංවර වුණොත් සිත තුළ ඇලීම් ගැටීම් හට ගන්නවා. එය මනාකොට තේරුම් ගන්න නුවණැති කෙනා මේ ඉඳුරන් හොඳින් සංවර කර ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ හොඳින් ඉන්ද්‍රිය සංවර කරන කෙනා නිවනට ළංවෙන බවයි. කාමද දිව්‍ය පුත්‍රයා තමන්ගේ අනෙක් ප්‍රශ්නයත් භාග්‍යවතුන් වහන්සේ හමුවේ මෙසේ පැවසුවා.

”භාග්‍යවතුන් වහන්ස, විෂම මාර්ගයක් තිබෙන්නේ. ගමන දුෂ්කරයි”.

මෙතැනදී මාර්ගය කිව්වේ ප්‍රතිපදාවේ ගමන් කිරීම කියලා අදහස් කළේ අනුගමනය කිරීමයි. භාග්‍යවතුන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දී වදාළා

දුග්ගමේ විසමේ වාපි
රියා ගච්ඡන්ති කාමද,
අනරියා විසමේ මග්ගේ
පපතන්ති අවංසිරා
අරියානං සමෝ මග්ගෝ
අරියාහි විසමේ සමාති

කාමද මාර්ගය විෂම වුනත් මාර්ගය දුෂ්කර වුනත්, ආර්යයන් වහන්සේලා ඒ මඟ යනවා. නමුත් ආර්ය තත්ත්වයට පත් නොවිච්ච උදවිය විෂම මාර්ගයේ ගිහින් යටිකුරු වෙලා වැටෙනවා. ආර්යයන් වහන්සේලාගේ මාර්ගය සමයි. ආර්යයන් වහන්සේලා තමයි විෂම ලෝකයේ සමව සිටින්නේ.

ආර්යයන් වහන්සේලා කියන්නේ බුද්ධ ශාසනයට පැමිණි උතුමන්ටයි. මේ ලෝකයේ එබඳු ආර්ය උතුමන් අට දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගයෙන් ගමන් කරන ශ්‍රාවකයා, සෝතාපන්න ශ්‍රාවකයා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා, සකදාගාමි ශ්‍රාවකයා, අනාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා, අනාගාමි ශ්‍රාවකයා, අරහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා සහ රහතන් වහන්සේ තමයි ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලා අටදෙනා වන්නේ.

ඒ උතුමන් අනුගමනය කරන වැඩපිළිවෙල නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. කෙතරම් දුෂ්කරව වුවත් සීල සමාධි ප්‍රඥා වඩන ඒ උතුමන් වහන්සේලා නිවනට ඇති එකම මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් අමා නිවන කරා ගමන් කරනවා.

නමුත් බුදු සසුනෙන් බැහැර කිසිවෙක් ආර්ය බවට පත් වන්නේ නැහැ. ඔවුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය නොකරන නිසා ආයේ ආයෙමත් ඒ දුක්ඛිත වූ සංසාරයටමයි වැටෙන්නේ.

’කාමද දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ පැවසූ ධර්මය නිවන් මඟ හැසිරීමට කැමති සියලුදෙනාටම ඉතාම වැදගත්. මේ විෂම වු ලෝකයේ සමව සිටින්නට නම් අපත් ආර්ය පුද්ගලයන් බවට පත්විය යුතුයි. එය කළ හැක්කේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැස ගැනීමෙන්ම පමණයි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැනත්, සොඳුරු වූ අමා නිවන ගැනත් ලෝකයට පෙන්වා දී වදාළ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනම අප තව තවත් සිත පහදවා ගනිමු

කාමද සූත්‍රය -> http://pitaka.lk/21119/cs,aps

ලෝක උපත ගැන කියවෙන අග්ගඤ්ඤ සූත්‍රය



1..........ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.´´

2..........වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´ වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය.

3..........වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය.

4..........එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´

5..........කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්.

27. අග්ගඤ්ඤ සූත්‍රය(සම්පූර්ණයෙන්)

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්වාරාන්‍යයෙහි වැඩ වසන්නාහ.එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමනේර දෙනම භික්‍ෂුභාවය බලාපොරොත්තු වෙමින් භික්‍ෂූන් සමීපයෙහි වෙසෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ සවස් වේලයෙහි විවේකයෙන් නැඟී සිට ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල පවත්නා පසු භාගයෙහි අවකාස්ථානයක සක්මන් කළහ.

එවිට වාසෙට්ඨ, භාරද්වාජ දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.

එකල භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨ හට කථාකොට මෙසේ කීවාහුය. ´´වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවාහුය. බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙත් ද? හෙළාදැකීම නොකෙරෙත් ද?´´

2. ´´ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති.´´

´´බ්‍රාහ්මණයෝ අපට මෙසේ කියති. ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රහ්මයා විසින මවන ලද්දාහුය. බ්‍රහ්මයා ගෙම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වංශය හැරපියා හීන වූ මාර පක්‍ෂයෙහි වූ බඹහුගේ පාදයෙන් උපන්නා වූ අපිරිසිදු වූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම් වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි´´ කියාය.´´

´´වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූද, දරුගැබ් ඇත්තා වූද, දරුවන් වදන්නා වූද, දරුවන්ට කිරි පොවන්නා වූද බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යෝනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ඔහු තුමූ බ්‍රහ්මයාට ද බොරුවෙන් හෙළා දකිත්. බොරු ද කියත්. බොහෝ පව් ද රැස්කර ගනිත්.´´

3. ´´වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්‍ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්කරුවෝය) කියාය. වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ප්‍රාණාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂ වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තෙක් වෙයි. මිත්‍යාදෘෂ්ඨි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.´´ ´´මෙසේ යම් ධර්ම කෙනෙක් අකුසල වෙත් ද, ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි දක්නා ලැබෙත්. ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති. සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.´´

4. ´´වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුෂ වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තේ නොවෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යක් දෘෂ්ඨි (හරි දැකීම්) ඇත්තෙක් වෙයි.´´ ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි, සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහි ද, සමහර ශුද්‍රයෙකු කෙරෙහි ද දක්නා ලැබෙති.´´

´´බ්‍රාහ්මණයෝ, ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය´´ යන ඔවුන්ගේ ඒ කථාව නුවණැත්තෝ පිළිනොගනිත්. ඊට හේතු කවරේද? වාසෙට්ඨය, මේ (ක්‍ෂත්‍රියාදී) සතර වංශයන් අතුරෙන් (එකකට ඇතුළත් වූ) යම් භික්‍ෂුවක් රහත්වූයේ ද, නැති කරන ලද ආශ්‍රව ඇත්තේ වේ ද, වාසය කොට නිම කරන ලද බ්‍රාහ්මචාර්යාවාස ඇත්තේ ද, කරන ලද සිවුමහ කටයුතු ඇත්තේ ද, බාහා තබන ලද ස්කන්ධ බර ඇත්තේ ද, පිළිවෙලින් පැමිණි ස්වකීය කටයුතු ඇත්තේ ද, විනාශ කරන ලද භව බන්ධන ඇත්තේ ද, හොඳින් කරුණු සහිතව දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේ ද ඒ පුද්ගල තෙමේ ඔවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.´´ ´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මේ ආකාරයෙන් ද දත යුතුයි.´´

5. ´´වාසෙට්ඨය, පසේනදි කොසොල් රජ තෙමේ තමන්ට වඩා උසස් අනෙකෙකු නැති හෙයින් අනුත්තර නම් වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූයේ යයි දනියි. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජුහට සමාන වංශ ඇත්තාහුය. කොසොල් රජුහට යටත්ව පවත්නාහුය. වාසෙට්ඨය, පසේනදි කොසොල් රජුහු ගරු සැලකිලි පැවැත්වීම ද, වැඳීම ද, දැක හුනස්නෙන් නැඟී සිටීම ද, ඇඳිලි බැඳීම ද, වත් පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියා ද තථාහතයන් වහන්සේට කරයි.´´ ´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මෙකී ආකාරයෙන් ද දත යුතුයි.´´

6. ´´වාසෙට්ඨය, ´´තෙපි කවරුහුදැ´´යි විචාරණ ලද්දාහුම ´´ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයම්හ´´යි ප්‍රකාශ කරන්නාහුය. මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වෙමි. ඊට හේතු කවරේ ද? වාසෙට්ඨය, ධම්මකාය යනු ද, බ්‍රහ්මකාය යනු ද, ධම්මභූත යනු ද, බ්‍රහ්මභූත යනු ද තථාගතයන් වහන්සේගේම නම් වන හෙයිනි.´´ ´´ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.

7. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´

8. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය. එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´

´´මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´ ´´කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´පින්වත් සත්වය කම් නැත. මා විසින් සතර දවසක ප්‍රයෝජනය පිණිස එකවරම හැල් ගෙන එන ලදැ´´යි කීයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්ව තෙම ඒ (හැල් ගෙණ ආ) යම් කලෙක්හි ඒ සත්වයෝ හැල් (ගෙනවුත්) කල් තබා ගෙන පාවිච්චි කරන්ට පටන් ගත්තාහූ ද එකල්හි කුඩු ද සහල් වසා සිටියේය. දහයියා (පොතු) ද සහල් වසා සිටියේය. කපන ලද ධාන්‍යයද නැවත නොවැඩුනේය. කපන ලද තැන් එසේ අඩුවම පෙණුනේය. ඇල් වී පඳුරු පඳුරුව සිටියාහුය.´´

´´ඉක්බිත්තෙන් ඒ සත්වයෝ ඇල් වී බෙදා ගත්හ. මායිම් තබාගත්හ.´´

9. ´´එවිට එක්තරා සත්වයෙක් ස්වකීය කොටස ආරක්‍ෂා කරන්නේ මතහට නුදුන්නා වූ එක්තරා කොටසක් රැගෙන (සොරකම් කොටගෙන) පාවිච්චි කළේය. එතැන් පටන් (ලෝකයෙහි) අන්සතු නුදුන් දෙය ගැනීම පහළ විය. (අන්‍යයන්ට) අපහාස කිරීම පහළ විය. බොරු කීම පහළ විය. (සත්ව හිංසා පිණිස) දඬු ගැනීම පහළ විය.´´

10. ´´වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වී ද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වී ද, ඒ සත්ව තෙම ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කිරීමට ද, ගැරහිය යුත්තහුට හොඳින් ගැරහීමට ද, නෙරපිය යුත්තහු නෙරපීමට ද යෙදුවේය. ඒ සත්වයාට ඇල් වී වලින් කොටසක් දුන්නාහුය. එසේ මහජනයා විසින් සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් මහා සම්මතත කියා පළමුවන නාම (ව්‍යවහාරය) ඇතිවිය. වාසෙට්ඨය, ක්‍ෂෙත්‍රයන්ට (ඉඩම් වලට) අධිපතිය යන අර්ථයෙන් ක්‍ෂත්‍රියයයි කියා දෙවන නාම (ව්‍යවහාරය) විය. ධර්මයෙන් අන්‍ය සත්වයන් පිනවයි යන අර්ථයෙන් රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ අග්‍ර යයි දන්නා ලද්දා වූ ලෝකෝප්පත්ති වංශ කථාවෙන් මේ ක්‍ෂත්‍රිය සමූහයාගේ පහළ වීම වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමාන වූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධව මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨය.´´

´´ඒකාන්තයෙන් පාප ධර්මයෝ සත්වයන් කෙරෙහි පහළ වූහ. වාසෙට්ඨය, ලාමක අකුශල ධර්මයන් දුරු කෙරෙති යන අර්ථයෙන් බ්‍රාහ්මණයයිම පළමූවන නාම (ව්‍යවහාරය) වූයේය. ඔහු තුමූ වන ප්‍රදේශයෙහි පන්සල් (කොළ සෙවිලි කල පැල්) කොටාගෙන එහි පන්සල්වල ධ්‍යාන කෙරෙති. ඔහු තුමූ ආහාර ලබාගෙන නැවතත් පන්සල් වලටම වැද ධ්‍යාන කෙරෙත්. වාසෙට්ඨය, ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායකය ඣායකය යන දෙවන නාම (ව්‍යවහාරය) විය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් වන ප්‍රදේශයෙහි පන්සල්වල ඒ ධ්‍යානය (කළ නොහැකි වන්නාහූ) ගම් වෙතට ද, නියම්ගම් වෙතට ද පැමිණ ත්‍රිවේදය සකස් කෙරෙමින් ද, උගන්වමින් ද වෙසෙති. ´´ධ්‍යාන නොකෙරෙති´´ යන අර්ථයෙන් අජඣායකය යන තුන්වන නාමය විය.´´

´´වාසෙට්ඨය, (වේද මන්ත්‍ර දැරීමය, වේද මන්ත්‍ර හැදෑරීමය යන මෙය) එකල්හි පහත් යයි සම්මත විය. (ඒ මන්ත්‍ර හැදෑරීම හා කියවීම) දැන් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයි.´´

´´වාසෙට්ඨය, මෙසේ මේ පුරාණ වූ ලෝක උප්පත්ති වංශ කථාවෙන් බ්‍රාහ්මණ සමූහයාගේ පහළවීම වූයේය.´´ ´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් සත්ව කෙනෙක් මෛථුන ධර්ම සේවනය නිසා හරක් රැකීම් වෙළඳාම් ආදී ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදුනහ.´´

´´´´මෛථුන ධර්මය සඳහා ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදෙත්´´ යන අර්ථයෙන් වෛශ්‍යයයි නාමය විය.´´

´´වාසෙට්ඨය, මෙසේ වනාහි මේ පුරාණ වෛශ්‍ය සමූහයාගේ ලෝකෝත්පත්ති වංශ කථාව පහළ වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් යම් ඒ සත්ව කෙනෙක් ඉතිරි වූවාහු ද ඔහු නපුරු පැවතුම් ඇත්තෝ වූහ.´´

´´වාසෙට්ඨය, නපුරු ක්‍රියා ඇත්තෝය, නින්දිත ක්‍රියා ඇත්තෝය යන අර්ථයෙන් ශුද්‍රයයි යන නාම විය.´´

´´මෙසේ මේ පුරාණ ශුද්‍ර සමූහයාගේ පහළවීම පිළිබඳ ලෝක උප්පත්ති වංශ කථාව වූයේය.´´

11. ´´වාසෙට්ඨය, යම් හේතුවකින් ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේද තමාගේ ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි ගිහිගෙන් නික්ම මහණ වේ ද, එබඳු කාලයක් වේමය.´´

´´වාසෙට්ඨය, මෙසේ ඒ වංශ සතරට අයත් අමූහ අතුරෙන් ශ්‍රමණ සමූහයාගේ පහළවීම වූයේය.´´

12. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් දුෂ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිර, සිතින් දුෂ්චරිතයෙහි හැසිර, මිථ්‍යාදෘෂ්ටිව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්ව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදියි.´´

13. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යක් දෘෂ්ටිව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්ව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.´´

14. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. සිතින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍ර වූ දෘෂ්ටි සමාදන්ව මිශ්‍ර වූ දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුව දුක් දෙකම විඳින්නේ වෙයි.´´

15. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව කොට්ඨාස වශයෙන් සත් වැදෑරුම් වූ බෝධිපාක්‍ෂික ධර්මයන් (මාර්ග ඥානය ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්ම භාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.´´

16. ´´වාසෙට්ඨය, මේ සතර වංශ අතුරෙන් යම් භික්‍ෂුවක් අර්හත් වූයේ ද, නැති කරන ලද කෙලෙස් ඇත්තේ ද, වැස නිම කරන ලද බ්‍රහ්මචර්යාව ඇත්තේ ද, බහා තබන ලද (කෙලෙස් බර ආදී) බර ඇත්තේ ද, පැමිණියා වූ තමාගේ අර්ථය ඇත්තේ ද, නැති කරන ලද සසර බැඳුම් ඇත්තේ ද, මනා කොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේද, හේ තෙමේ ඔවුනතුරෙන් අග්‍ර යයි කියනු ලැබේ. ඒ ධර්මයෙන්මය, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨයි.´´

´´වාසෙට්ඨය, සනත් කුමාර නම් බ්‍රහ්මයා විසින් ද මේ ගාථා තොමෝ කියන ලද්දීය.´´

´´යම් ජනයෝ, ´´මම ගෞතම වෙමි´´, ´´මම කාශ්‍යප වෙමි´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

´´වාසෙට්ඨය, මම ද මෙසේ කියමි. ´´යම් ජනයෝ ´´මම ගෝතම වෙමි. මම කාශ්‍යප වෙමැ´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. වාසෙට්ඨ භාරද්වාජ යන සාමනේරයන් වහන්සේලා දෙනම සතුටු සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටූ වූවාහුය.´´

විසිහත් වැනි වූ අග්ගඤ්ඤ සූත්‍රය නිමියේය.

8/8/17

පර ස්ත්‍රී සේවනයෙහි විපාක



පසේනදී කෝසල කාම භෝගී රජෙකි. සැණකෙළියෙන් රජ මැඳුර නිතරම විචිත්‍ර වෙයි. බොහෝ සැණකෙළි දිනයන්හි රජු ස්වර්ණාභරණයෙන්, සැරැහූ පුණ්ඩරික හස්තියා පිට නැගී විනෝද චාරිකාවෙහි යෙදීම සිරිතකි. එවැනි සංචාරයන්හිදි ජනයාද අපමණ පීඩාවට පත් කෙරෙයි. එනම් රාජපුරුෂයෝ මාර්ග අවහිර දුරු කරන්නට මඟියන්ට පහර දී එළවා දමති. පීඩා ලද වැසියෝද සතුටින් රජු දෙස බලති.

මෙසේ එක් දිනක් රජු සංචාරයෙහි යද්දී සත්මහල් ප්‍රාසාදයක ඉහළ තලයේ සිටි එක්තරා කාන්තාවක් කවුළුවක් හැර පහළ මාර්ගයේ යන රජු දෙස බැලුවාය. රජුද එවේලෙහි උඩ බැලුවේය. කාන්තාව වහාම හිස සඟවා ගනිමින් කවුළු දොර වසා දැමුවාය. එහෙත් රජු එය දුටුවේ පූර්ණ චන්ද්‍රයා වළා ගැබක සැඟවී ගියාක් මෙන්ය. රජුගේ සිත ඈ කෙරෙහි වසඟව ඇය දැකීමේ රාගයෙන් පෙළෙන්නට විය. කෙතරම් ද යත් ඇතුපිටින් වැටෙන්නාක් තරම් රජ සිත රාගයෙන් වසග විය. සංචාරය නැවතු රජතුමා වහාම නගරයට ප්‍රවේශ වී එක් විශ්වාසනීය අමාත්‍යයෙකු ගෙන්වා තමන්ගේ වුවමනාව කියා සිටියේය. ඇමැතිවරයා රජුගෙන් අසා සිටියේ තමා මේ වෙනුවෙන් කුමක් කළ යුතුද කියාය. එවිට රජතුමා කීවේ වහාම එම නිවසට ගොස් ඇය සස්වාමිකද අස්වාමිකද යන්න සොයා බලා එන ලෙසයි.

ඔහු එහි ගොස් ඇය සස්වාමික බව දැන රජුට දැන්වීය. එවිට රජතුමා එම සැමියා මාලිගාවට කැඳවා ගෙන එන ලෙස අණ කළේය. ඇමැතිවරයා එම නිවසට ගොස් රජුගේ නියෝගය එම කාන්තාවගේ සැමියාට දැන්වීය.බියජනක අනතුරක සේයා දුටු මෙම අහිංසක සැමියා රජ අණ ප්‍රතික්‍ෂේප කළ නොහැකි හෙයින් භීතියෙන්ද ශෝකයෙන්ද රජ ගෙදරට පැමිණියේය.

රජතුමා හමුවට පැමිණි මොහුට රජු අණ කළේ අදින් පසු මාලිගාවෙහි සේවය කරන ලෙසයි. එහෙත් මේ මිනිසා කියා සිටියේ දේවයිනි, මට රජ මැදුරේ සේවය අවශ්‍ය නැත. මා කරන සේවයෙන් ඔබතුමන්ට අයබද්දක් ගෙවන්නට පොරොන්දු වන බවය. එවැනි අය බද්දකින් තමන්ට ඇති ප්‍රයෝජනයක් නැති බවත් වහාම රජ මැදුරේ සේවය කළයුතු බවත් කියා ඊට අවශ්‍ය ආයුධ දී සේවයට පිටත් කරන්නැයි නියෝග කළේය. අනතුරුව එම පුරුෂයා මරණ භීතියෙන් යුතුව රජුට අප්‍රමාදීව මෙහෙවර ඉටු කළේය. රාජ දඬුවම් ලැබීමට හේතුවන කිසිදු වැරැද්දක් තමාගෙන් සිදුනොවීමට ඔහු වග බලා ගත්තේය.

මේ අතර රජුගේ කාමදානය දිනෙන්දින වැඩිවන්නට වූ අතර මෙම මිනිසා මරා ඔහුගේ බිරිඳ මාලිගාවට ගෙන්වා ගැනීම පිණිස විවිධ සැලැසුම් පිළියෙළ කළේය. ඒ අතර එක් දිනක් රජතුමා මෙම මිනිසා කැඳවා මෙතැන් සිට යොදුන් සියයක් ගිය තැන නදියක් ඇති බවත් එහි ගොස් එයින් රන්වන් මැටි පිඩක්ද එහි පිපුණු කුමුදු හා උපුල් මල් ද රැගෙන තමා නාන වේලාවෙහි මංගල පොකුණට රැගෙන ආ යුතු බවට නියෝග කළේය. නිසි වේලාවට පැමිණිය නොහැකි වුවහොත් මරා දමන බවට ද තර්ජනය කළේය.

කුමුදු, උපුල් හා අරුණුවන් මැටි කෙසේ ලබත්දැයි මරණ භයින් භීතියට පත් සේවකයා ශෝකයෙන් ගෙදරට ගොස් ඒ බව තම සොඳුරට ද කියා ඈ උයන ලද ආහාරයෙන් කොටසක් ඉක්මනින් අනුභවකොට ගමනට පිටත්ව යාමට අවශ්‍ය බව කීය. ඔහු තම ආහාර අනුභව කිරීමට පෙර මාර්ගයෙහි ගිය මගියෙකු හටද ආහාර දානයක් දුන්නේය. තවත් බත් මිටක් ගඟට දමා මාළුන්ට ආහාරවේවායි පැතීය. අවසන තමා කළ මේ පුණ්‍යකර්ම දෙකේ පින් අනුමෝදන් වන යම් දෙවිදේවතා කෙනෙකු වෙත්නම් ඒ පිනෙන් මා මෙම මරණයෙන් මුදා, කුමුදු උපුල් හා අරුණුවන් මැටි ගෙන්වා දෙන්නැයි තුන් වරක්ම ඉල්ලා සිටියේය. නදියට අධිගෘහිත නා රජුගේ මොහුගේ මේ හඬ අසා මහලු වෙසක්ගෙන එහි පැමිණ ඔහුගේ අරමුණූ ඉටු කර දුන්නේය.

මේ අතර දුෂ්ට රජු කළේ කල්වේලා ඇතිවම දොර වස්වා යතුරු තමා වෙතට ගෙන්වා ගත්තේය. මිනිසා දොරටු පාලයා වෙත ගොස් දොර අරවා ගන්නට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ගියේය. නිසැකයෙන්ම තමා මරන්නට කළ උපායක් බව දැනගත් ඒ මිනිසා වාසල් දොරේ උළුවස්ස මත මැටි පිඩ තබා ඒ මත මල්ගසා සියලු නගරවාසීනට ඇසෙන සේ තමා රාජ අණ ඉටු කළ බව දැන ගන්නැයි’යි කෑ ගසා කියා සිටියේය. අනතුරුව යා යුතු මගක් නොදැන පන්සලට ගොස් අසරණයෙකු සේ නිදා ගත්තේය .

රජුගේ කාමගින්න ක්‍රමයෙන් වැඩිවී පසුදින පාන්දරින්ම මේ මිනිසා මරා ඔහුගේ බිරිඳ මැදුරට ගෙන්වා ගනිමින් එළිවන තුරු නිදි වරමින් කල්පනා කළේය. නිදිනොලද රජුට ලෝකුඹු නරකයෙහි සැට යොදුන් පමණ වූ ලෝහ සැළියෙක පැසෙන මිනිසුන් සතර දෙනෙකු හිස් ඔසවා කරන බිහිසුණු ශබ්ද හතරක් ඇසෙන්නට විය. රජු උදෑසනම පුරෝහිත කැඳවා, මේ ගැන පැවසු විට එම බමුණා රජු ඇසුශබ්ද කවරේද’යි විමසීය. දු,ස,න,සො යන ශබ්ද බව රජ කී විට ඒවායේ අරුත් විමසන්නට නොදත් බමුණා මෙය රජුට භයානක විපතක් වන්නට හැකි බවත් පවසා එයින් මිදෙන්නට මහා බිලි පූජාවක් කොට යාගයක් කිරීම අවශ්‍ය බවට උපදෙස් දුන්නේය.

කාමාග්නියෙන් ක්ලාන්තව සිටි රජුගෙන් මල්ලිකා දේවිය මේ ගැන විමසන්නට විය.ජීවිතයට අනතුරක් ඇති බවත් එයින් මිදෙන්නට යාගයක් කළ යුතු බවට පුරෝහිතයා උපදෙස් දුන් බව රජු ශෝකයෙන් මල්ලිකාවට කීය. එසේම සර්වශන යාගයෙන් තම ජීවිතය බේරාගත හැකි බවද කීය. මල්ලිකාව රජුට පවසන්නේ රජතුමනි ඔබ තරම් අඳබාලයෙකු මේ ලොව තවත් නැත. එකෙක් මරා තවත් එකෙකුගේ ජීවිතය ලැබෙන්නේ කෙසේද? මෝඩ බමුණාගේ උපදෙස් ලබා මේ සත්ව සංහාරයක් සිදු කරන්නේ ඇයි? ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ වෙත මේ ගැටලුව ඉදිරිපත් කරමු’යි මල්ලිකාවෝ යෝජනා කළහ.

ඊට එකඟ වු රජතුමා විහාරයට ගොස් බුදුන් වහන්සේ බැහැදැක කලබලයෙන්ම මෙම ගැටලුව ඉදිරිපත් කළේය. එවිට බුදුන් වහන්සේ මහරජ බිය නොවන්න. ඔබගේ ජීවිතයට කිසිදු අනතුරක් නැත. පව්කළ පිරිසකගේ තම දුක් විඳීම ප්‍රකාශ කරන ශබ්ද හතරක් ඔබට ඇසී ඇතැයි කීය. ඒ කවර පව්කම්දැයි ඇසූවිට බුදුපියාණන් වහන්සේට වදාළේ පෙර කාශ්‍යප බුදුසමයෙහි සිටුවරු සිව් දෙනෙකු කාමභෝගීව ජීවත්ව අභිරූපි කාන්තාවන් සොයා සොයා මුදල් වියදම්කොට පරස්ත්‍රි සේවනයෙහි යෙදී එහි විපාකයෙන් ලොකුඹු නරකයෙහි ඉපිද අපමණ, දුක්වේදනා විඳීන බවත් ඔවුන් විසින් කියන්නට උත්සාහ ගන්නා දෙයක් කියාගත නොහැකිව අකුරක් පමණක් ප්‍රකාශ වී ඇති බවයි. අනතුරවැ එම අකුරු හතරෙහි අර්ථ ලෙස ඔවුන් කළ පාපය ප්‍රකාශ කරන බවත් බුදුරදහු වදාළහ. එය ඇසූ රජතුමාට මහත් සංවේගයක් ඇතිවිය. පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව වැටහිණි. තමාත් අන්‍ය ස්ත්‍රින් කෙරෙහි ස්නේහ උපදවා මේ විපතට වැටෙන්නට යන බව හොඳින් දැන මින් පසු පරදාර සේවනය නොකරන්නෙමි’යි අදිටන් කළේය.

අනතුරුව බුදුහිමියෝ අඳ බාලයන්ට සංසාරය දීර්ඝ වන අයුරු පහදා දහම් දෙසා වදාළහ.එහි පැමිණ සිට සේවකයාද මේදහම අසා සෝවාන් විය. රජු සිරගෙවල රඳවා සිටි මෙවැනි මිනිසුන් බොහෝ දෙනෙක් එම බන්ධනවලින් නිදහස් කළේය. සියල්ලෝ ශාන්තිය ලදහ.

8/6/17

ඔබ සැමට පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!

ඔබ සැමට පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!




නිකිණි පොහොය යනු මිනිස්සු තමන්ගේ දෛනික කටයුතු වලින් වෙන් වී තමන් අදහන ආගම දහම අනුව දැහැමි කටයුතු වල යෙදුණු දවස විය. පොහොය දවස පාලියෙන් හඳුන්වන්නේ උපෝසථ නමිනි. උපෝසථය යනු පෙහෙවස් සමාදම් වීමයි. බුදුදහම නොතිබුණු අවධියේ මහාමායා දේවියද පෙහෙවස් සමාදම්ව සිටි බව බුදුසිරිතේ සඳහන් වේ.

එසේ පෙහෙවස් සමාදම් වීමට හා ආගමික කටයුතු කිරීමට යොදා ගත්තේ හොඳින් සඳ පායා ඇති දවසයි. දින දර්ශන ආදිය නොතිබුණු ආදියේ මිනිස්සු පුන්සඳ ඇති දවස මේ සඳහා යොදා ගත්හ. පොහොයේ ආරම්භය එසේ විය. හොඳින් සඳ පායා ඇති රාත්‍රිය රජවරු ද ධර්ම සාකච්ඡා කිරීම සඳහා යොදා ගෙන ඇති බව ජාතක කතා කිහිපයකම සඳහන් වේ. අජාසත්ත, මිලින්ද ආදී රජවරු ද මෙසේ කර ඇත. පසු කාලයක දැනුම දියුණු වී ගණිත ශාස්ත්‍රය පුළුල් වී මාස දොළහක් වී පොහොය දොළහක් වූ බව සිතන්නට ඉඩ තිබේ. පොහොය දොළහ යනු පුන්සඳ ඇති රාත්‍රී දොළහයි.

මේ දොළොස් පොහොය අතුරින් නිකිණි පොහොය ද ඉතා වැදගත් පොහොයකි. බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් තෙකොටසකි. එයින් වැදගත්ම චිරස්ථායි කොටස පර්යාප්තියයි.

භාග්‍යවතුන් වහන්සේ නැති කලෙක ශාස්තෘන් වන්නේ මේ පර්යාප්තියයි. ඒ බව බුදුරදුන් කීප අවස්ථාවක පැහැදිලිව දක්වා තිබේ. මේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දවසේ ය. පළමුවන ධර්ම සංගායනාව ආරම්භ කළේ බුදුරදුන් පිරිනිවී තෙමසිනි. බුදුරදුන් පිරිනිවන් පෑවේ වෙසක් පුර පසළොස්වක දවසේ ය. එයින් තෙමසකට පසුව කියන්නේ නිකිණි මාසයයි. ඒ අනුව පර්යාප්ති සාසනය චිරස්ථායී කිරීම සඳහා අඩිතාලම දැමූ පොහොය නිකිණි පොහොයයි.

එමෙන්ම මේ සංගායනාවට අත්‍යවශ්‍යම පුද්ගලයා වූයේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝයි. ආනන්ද හාමුදුරුවෝ අරහත් මාර්ගයට පිවිසියේ ද නිකිණි පසළොස්වක දවසේ ය. ඒ මගින්ද නිකිණි පොහොය වැදගත් වේ. දඹදිව වර්ෂා සමය තුළ ඉතා තදින් වැස්ස වසී. මෙම වැසි කාලය තුළ කුරුල්ලෝ ද කූඩුවලට වී සිටිති. සිව්පාවෝද තම තමන්ගේ වාසස්ථාන වලට වී සිටිති.

ඇවිදින්නට නොයති. එකල සිටි අන්‍ය තීර්ථකයෝද ගමන් බිමන් නවතා එක් තැන් වී සිටිති. එහෙත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ (භික්‍ෂූහු) දහම් දෙසමින් ඇවිදිති. මේ පිළීබඳව ජනයාගේ විරෝධය විවේචනය පැන නැඟූහ. ඒ බව දත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට වර්ෂා කාලයේ එක් තැන්ව වසන ලෙස නියෝග පැනවූහ. මේ නියමය පනවන්නට මිනිසුන් කෑගහන තෙක් සිටියේ මන්දැයි ඔබ සිතනු ඇත. තාථගතයන් වහන්සේ කිසිම විනය නීතියක් හේතුවක් නැතිව හේතු රහිතව පනවන්නේ නැත. හේතුවක් ඇතිවන තෙක් සිටීම එක් කරුණකි. දෙවැන්න තථාගතයන් වහන්සේ මහජන බසට කන් දීමයි. බුදු සිරිතේ බොහෝ තැන්වල මෙම ප්‍රජාතන්ත්‍රවාදී මාවත පෙනේ. මේ අනුව භික්‍ෂූන් ඇසළ පසළොස්වක දවසේ පොහොය කිරීම නම් වූ විනය කර්මය කොට පසුවදා වස් විසීමට නියම කළහ. වස් විසීමට නියම කිරීමේ, නැතිනම් වස් විසීමේ ශාසනික අංශය මෙයට වඩා බලවත් ය.

වස් විසීමෙන් අදහස් කළේ ධාරානිපාත වැස්සට නොතෙමී සිටීම පමණක් නොවේ. ඒ කාලය තුළ වීර්යය වඩා මාර්ග ඵල ලබා ගැනීමය. වස් විසීමට පෙර එකල භික්‍ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේ වෙත පැමිණ කමටහන් ලබාගනිති. උන්වහන්සේ ඒ ඒ අයගේ චරිතයන්ට ගැළපෙන කමටහන් දෙති. මෙසේ කමටහන් ගෙනයන භික්‍ෂූහු වස් කාලය තුළ කමටහන් වඩා සතරමඟ සතර ඵල වලට පැමිණ වස් පවාරණය කොට නැවත භාග්‍යවතුන් වහන්සේ දකින්නට එති. මෙසේ භික්‍ෂු ශාසනය ප්‍රතිවේධ ශාසනයක් වීමේ පසුබිම සකස් වූයේ වස් කාලය තුළ ය.

වස්වැසීම වකවානු දෙකකට සීමාකොට පනවන ලදී. පෙරවස් සහ පසුවස් වශයෙනි. ඇසළ මස පුර පසළොස්වක දිනට පසුදා පෙරවස් විසීමද, පෙරවස් විසීමට නොහැකි වූ භික්‍ෂුවකට නිකිණි පොහොයදා පොහොය කොට ඊට පසුදා පසුවස් විසීමට ද පැනවීය. ඒ අනුව පසුවස් විසීමේ දිනය වශයෙන් ද නිකිණි පොහොය වැදගත් ය.

ඇසළ මාසය දඹදිව කෙළිදෙලෙන් පසුවන උත්සව සමයයි. දුප්පත් පොහොසත් හැම පුරවැසියෙකුම දඹදිව ඇසළ උළෙල සමරති. සුද්ධෝදන රජ පවුලට ද එයට සූදානම් වූ බව සඳහන්ව ඇත. මේ උත්සව සමය නිසා ඇසළ පොහොයට වස් විසීමට තථාගතයන් වහන්සේ නියම කිරීම ගැන සේනිය බිම්බිසාර රජු කැමැත්ත දැක් වූයේ නැත.

එබැවින් වස් සමාදම් වීම මාසයකින් පසු කරන ලෙස බිම්බිසාර රජු බුදු රදුන් වෙතින් ඉල්ලා සිටියේ ය. මේ ඉල්ලීම භික්‍ෂූන්ගෙන් දැනගත් බුදුරදුන් භික්‍ෂූන්ට නියම කළේ ‘රාජා අනුවත්තිතුං’ යනුවෙනි.

රජුගේ කැමැත්ත පරිදි ක්‍රියා කරන්න යනුවෙනි. එසේ භික්‍ෂූන්ට නියම කොට තථාගතයන් වහන්සේ මගධයෙන් සැවැත් නුවරට වැඩමවා තිබේ. මගධයේ භික්‍ෂූන් ඒ අනුව වස් වසා ඇත්තේ නිකිණි මාසයේ ය. පසු කලෙක මෙය වෙනස් වී ඇසළ මාසයම සම්ප්‍රදාය ගත වී ඇති බව පෙනේ. ඒ අතින්ද නිකිණි මස පොහොය අනුස්මරණීය කළ යුතු ය. කාවන්තිස්ස රජු එකසිය තිස් අටක් විහාර කර වූ බවත් එයින් එක් විහාරයක් සේරුවිල මංගල විහාරය බවත් සඳහන් ය. සේරුවිල මංගල චෛත්‍යයේ ධාතු නිධානය හෝ වැඩ අවසන් වී නිකිණි මස සිදු වූ බව සිතන්නට ඉඩ ඇත.

කකුසන්ධ නම් මහ තෙර කෙනෙකුන් විසින් රචනා කරන ලද ධාතු වංශය නම් ග්‍රන්ථයේ (1890) සඳහන් වන්නේ භාග්‍යවතුන් වහන්සේ අතින් තපස්සු භල්ලුක යන වෙළඳුන් දෙදෙනා ලබාගත් කේශධාතු නාග ලෝකයේ තිබුණු බවත්, ශිව නම් මහ රහතන් වහන්සේ නාලොවට ගොස් නාලොවින් ඒ කේශධාතු ගෙනැවිත් කාවන්තිස්ස රජුට දුන් බවයි.

අදත් සේරුවිල මහ උත්සවය පවත්වන්නේ නිකිණි මාසයේ ය. මේ අනුව බුද්ධ ශාසනයට අදාළ ප්‍රතිවේධ, පර්යාප්ති අංශ දෙකටම අයත් සිද්ධීන් කිහිපයක් සිදු වූ මාසයක් පොහොයක් වශයෙන් නිකිණි මාසය වැදගත් වන බව සඳහන් කරනු කැමැත්තෙමි. අවසන් රන්දෝලි මහ පෙරහර

මහනුවර ඇසළ මහ පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කරනුයේ නිකිණි පොහෝදා රාත්‍රි කාලයේය. දළදා වහන්සේට ගෞරව දැක්වීම සඳහා පෙරහර පැවැත්වීමේ සිරිත ලංකාවට දළදාව වැඩමවීම දක්වාම අතීතයට දිව යයි.

8/2/17

ධර්ම පුරෝහිත මුගලන් මහ රහතන් වහන්සේ

සෘද්ධි බලයෙන් බුදුරජාණන්වහන්සේට පමණක් දෙවෙනි වූ ධර්ම පුරෝහිත මුගලන් මහ රහතන් වහන්සේ.




අටවිසි බුදුරජාණන් වහන්සේලා අතර “අනෝමදස්සී” බුදු රජාණන් වහන්සේගේ නම ඔයාල අහල ඇති. අද මම විස්තර කරන්න යන මුගලන් මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුවේ මේ බුදුන් වහන්සේගෙනුයි. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.
මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”. සැරියුත් මහ තෙරුනුත් බමුණු කුලේක ඉපදුණා. නම “සාරද”. ඉතින් මේ දෙන්නා තරුණ වයසට එළඹිලා, තාපසයන් බවට පත් වෙලා, සත්‍ය සොයාගෙන යන ගමනේ සාරද බමුණාට අනෝමදස්සී බුදුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගේ දකුණත්අග්‍ර ශ්‍රාවක “නිසභ” තෙරුන් දැකල පැහැදිලා කවදා හෝ බුදු කෙනෙකුගේ අගසව් තනතුරක් හිමිවේවා කියල ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සාරද තාපසතුමාට නියත විවරණ ලබා දුන්නා. ඊට පස්සෙ සාරද තාපසතුමා තමාගේ මිත්‍ර සිරිවඩ්ඪ තාපසතුමා සොයාගෙන ඇවිත් විස්තරේ කියලා තමා අගසව් තනතුර ප්‍රාර්ථනා කළ බුදුන් වහන්සේගේම දෙවන අගසව් තනතුර ප්‍රාර්ථනා කරන්න කියල ඉල්ලා හිටියා. ඉතින් සිරිවඩ්ඪ තවුසත් සත් දිනක් දාන මාන පවත්වලා අවසානයේ බුදු පාමුල වැඳ වැටිලා අගසව් තනතුර ප්‍රාර්ථනා කළා. ඒ පැතුම් ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සිරිවඩ්ඪ තාපසතුමාටත් නියත විවරණ ලබා දුන්නා.
ඒ දෙපල එතැන් පටන් නොයෙක් පින්කම් කරමින් ඉඳල මරණින් මතු සුගතියේ ඉපදිලා ගොඩක් කල් සසර සැරිසරලා ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලෙ “උපතිස්ස” හා “කෝලිත” නමින් රජගහනුවර බමුණු කුල වල උපත ලැබුවා. ඒ කාලෙ වාර්ෂිකව පැවැත්වුණු “ගිරග්ග සමජ්ජ” කියන නාට්‍ය සංදර්ශනේ බලලා, සසර කලකිරිලා, ගිහිගෙයින් නික්මිලා සත්‍ය සොයාගෙන ගිය කතාව ඔයාල දන්නවනෙ. ඉතින් ඉස්සෙල්ලම ගියේ “සංජය” පරිබ්‍රාජකතුමා ලඟට. එතනදී තවුස් භාවය ලබාගෙන, උගත් යුතු සියල්ල ඉගෙන ගෙන, එයින් පලක් නැති බව හිතලා නියම දහම් මඟ හොයාගෙන ගියානෙ. එහෙම ගිය ගමනෙදි තමා උපතිස්ස පරිබ්‍රාජකතුමාට “අස්සජි” මහ රහතන් වහන්සේ හමුවුණේ. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ දැක පැහැදිලා කිසිවක් නොකියා පසුපසින්ම ගමන් කළා. දන් වළඳලා ඉවර වුණාම ලඟට ගිහින් උන්වහන්සේගෙන් විස්තර ඇහුවා. එහිදී තමා “යේ ධම්මා හේතුප්පභවා...” ගාථාව දේශනා කළේ. උපතිස්ස පිරිවැජියාගේ නුවණැති බව කොච්චරද කියනවා නම් ගාථාවේ දෙපදයක් අහද්දීම සෝවාන් පලයට පත් වුණා. අස්සජි මහ රහතන් වහන්සේගෙන් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය අහල දැනගත්තු උපතිස්ස පිරිවැජියා කෙළින්ම ගියේ තම මිත්‍ර කෝලිත පිරිවැජියා මුණගැහෙන්න. ගිහින් “යේ ධම්මා හේතුප්පභවා..” ගාථාව පැහැදිලි හඬින් දේශනා කළා. සම්පූර්ණ ගාථාව අවසානයේ කෝලිත පිරිවැජියාත් සෝවාන් වුණා. බුදුන් දකින්නට යන්න පළමුව ඒ දෙදෙනාට මතක් වුණේ සංජය පිරිවැජියාව. ඔහුට කොතෙක් කතා කළත් ඔහු බුදුන් හමුවට යාම ප්‍රතික්‍ෂේප කළා. ඒ නිසා උපතිස්ස- කෝලිත පිරිවැජියන් දෙදෙනා ඔවුන් සමඟ යාමට කැමති තවත් 250ක පිරිසක් එක්ක ගෙන වේළුවනාරාමය බලා පිටත් වුණා. (මේ කතාව ඔයාල හැමෝම දන්නවා නේද? දන්නෙ නැති එක්කෙනෙක් වත් හිටියොත් කියලයි කිව්වේ)

එවෙලෙ දම්සභාමණ්ඩපයෙහි වැඩහුන් බුදුන් වහන්සේ ඈත එන පිරිස දැකලා “මගේ ශාසනයේ දෑගසව්වන් වන්නේ ඉදිරියෙන්ම එන ඒ දෙදෙනා බවත්, උපතිස්ස තෙමේ “සාරිපුත්ත” නමින් දකුණත් සව් වන බවත් කෝලිත තෙමේ “මහා මොග්ගල්ලාන” නමින් වමත් සව් වන බවත්” වදාළා. ඊට පස්සෙ ඒ පිරිස බුදුන් වහන්සේ ළඟට පැමිණිලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදුන් වහන්සේ ඒ සියලු දෙනාටම “ඒහි භික්ඛු” භාවයෙන් පැවිද්ද ලබා දුන්නා. ඊට පස්සෙ ධර්මය දේශනා කළා. දේශනාව අවසානයේ සැරියුත්, මහ මුගලන් තෙරුන් හැර අනික් 250 දෙනාම රහත් බව ලැබුවා.

උපතිස්ස- කෝලිත පැවදි වීම

එදිනම මහ මුගලන් තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මගධ රට “කල්ලවලමුත්ත” කියන පිටිසර ගමට ගියා භාවනා කරන්න. දවස් 7ක්ම සක්මන් කරමින් භාවනා කළා. නමුත් කිසිම මාර්ගඵලයක් ලැබුණේ නෑ. නිදි කිරා වැටෙමින් උන්නා. බුදුන් වහන්සේ දිවැසින් මේ සිද්ධිය දැකලා මුගලන් තෙරුන් වෙත වැඩම කරලා උන්වහන්සේට එයින් මිදෙන්න ධර්මාවවාද ලබා දුන්නා. ඊට පස්සෙ නැවත බුදුන් වහන්සේ උන්නු තැනටම වැඩියා. බුදුන් වහන්සේ දුන්නු අවවාද අනුව භාවනා කරලා මුගලන් තෙරණුවෝ මහ රහත් භාවයට පත් වුණා. එපමණක් නෙමේ, සෘධිමත් භාවයෙනුත් ඉහළම ස්ථානයට පැමිණුනා.
මුගලන් තෙරුන් රහත් බව ලබා සතියකින් සැරියුත් තෙරුන් රහත් බව ලැබුවා. අනතුරුව බුදුන් වහන්සේ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරා ගෙන වේළුවනාරාමයට වැඩලා සියළුම භික්ෂූන් රැස් කරලා සැරියුත්- මුගලන් දෙපළට අගසව් තනතුරු පිරි නැමුවා.
මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.
මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධිමත් භාවය, ධර්මඥාණය ප්‍රකට කරන සිදුවීම් රැසක් තියෙනවා. මේ එව්වයින් කීපයක්.

මහපොළොව පෙරළීමට අවසර ඉල්ලීම

(මට මතක හැටියට බුද්ධත්වයෙන් 12 වන වස.. )මේ වස් කාලය බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ගත කරන්නේ වේරංජා නුවර. ඒ කාලයේ වේරංජා නුවර දරුණු දුර්භික්ෂයක් ඇති උනා. ආහාර පාන හිඟ උනා. දාන මාන ලබා ගැනීමේ හැකියාව ඉතා අඩු උනා. ඒ නිසා මුගලන් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙත පැමිණිලා, භික්ෂූන් වහන්සේලාට භික්ෂාව ලබා ගැනීමේ අපහසුතාවය පවසලා, මහපොළවේ යට කොටස රසවත් බැවින් මහ පොළොව පෙරළන්න අවසර ඉල්ලුවා. ඊට අවසර ලැබුණේ නෑ. ඉන් පස්සෙ උතුරු කුරු දිවයිනට පිඬු සිඟා වඩිමු කියා බුදුන් වහන්සේට යෝජනා කළා. නමුත් සියළු සත්වයෝ අටලෝ දහමට මුහුණ දිය යුතු නිසා බුදුන් වහන්සේ ඒ ඉල්ලීමටත් එකඟ වුණේ නෑ.
නන්දෝපනන්ද නා රජු දමනය

දිනක් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන වෙලාවෙ මහමේරු පර්වතය මුදුනේ නන්දෝපනන්ද නා රජුගේ විමන ඉහළින් වැඩියා. එයින් නා රජු කෝපයට පත් වුණා. මහ කළු නයි වෙසක් මවාගෙන මහමේරු පර්වතය හත් පාරක් දරණින් වෙලාගෙන, තව්තිසා දිව්‍යලෝකෙත් යටිකුරු කරලා පෙණයෙන් වහගෙන හිටියා. වෙනදට වඩා කිසියම් වෙනසක් දුටු රට්ඨපාල මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ පිලිබඳ විමසුවා. බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කලාට පස්සෙ රට්ඨපාල මහ රහතන් වහන්සේගේ නා රජුගේ තේජස බිඳ දමා දමනය කිරීමට අවසර ඉල්ලුවා, නමුත් අවසර ලැබුණේ නෑ. ඒ ආකාරයෙන් කාළිගෝධා පුත්‍ර භද්දිය මහ රහතන් වහන්සේ, ජිනපුත්‍ර රාහුල මහ රහතන් වහන්සේ ඇතුළු මහාශාක්‍ය මහ රහතන් වහන්සේලා නා රජ දමනයට අවසර ඉල්ලුවත් අවසර ලැබුණේ නෑ. අවසානයේ මුගලන් මහ රහතන් වහන්සේ ඒ සඳහා අවසර ඉල්ලුවම බුදුන් වහන්සේ අවසර දුන්නා. නොයෙක් වෙස් ගනිමින්, නොයෙක් සෘද්ධි පාමින් මුගලන් මහ රහතන් වහන්සේ නන්දෝපනන්ද නා රජු දමනය කළා පමණක් නෙවේ, අවසානයේ ඔහු බුදුන් සරණ ගියා.(බලන්න ඔයාලගේ ගමේ පන්සලෙත් මේ සිදුවීමට අදාළ චිත්‍රයක් ඇඳලා තියෙනවද කියලා)
නන්දුත්තරා පරිබ්‍රාජිකාව පැරදවීම

නන්දුත්තරා කියන්නෙ කුරු රට කම්මාස්සදම්ම නියම් ගමේ බමුණු පවුලක උපන්නියක්. හොඳින් සිප් සතර හදාරපු ඇය නිඝන්ඨ ආශ්‍රමයක පැවිදි වෙලා විවිධ දුෂ්කර වත් පිළිවෙත් පිරුවා. පසුව ඒවා පසෙක ලා නොයෙකුත් වාද ඉගෙන ගෙන, තමා සමඟ වාද කිරීමට සමතෙක් සොයමින් දඹදිව පුරාම ඇවිද්දා. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇයට හමුවෙලා වාද කරලා, එයින් අන්ත පරාජයක් ලැබුවා. ඉන්පසු උන්වහන්සේගේ ධර්මවාවද පිළිඅරන් මෙහෙණවරකට ගිහින් පැවිදි වෙලා විදර්ශනා වඩලා රහත් වුණා.
කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කිරීම

මසුරු කෝසිය සිටුතුමාගේ කතාව ඔයාල දන්නවා නේ.. අර කැවුම් කන්න ආස හිතිලා හොරෙන් කැවුම් උයන්න හැදුවේ... ඒක ආයේ කියන්න ඕන නෑනේ නේද? ඉතින් බුදු හාමුදුරුවෝ දිවැසින් බලද්දී කෝසිය සිටුතුමා සෝවාන් බව ලැබීමට තරම් පින් ඇති කෙනෙක් බව දැකලා මුගලන් තෙරුන් එහෙ යැව්වෙ ඔහුගේ මසුරු බව දුරු කරන්න. නොයෙක් පෙළහර පා අවසානයේ සිටුතුමා සහ දේවිය පහදවාගෙන බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන ආවේ උන්වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේගේ දායකත්වය නිසා සිටුතුමාටත් දේවියටත් සෝවාන් වෙන්න පුළුවන් වුණා වගේම සතර අපායෙන් සදහටම මිදෙන්න හැකි වුණා.
බුදුරදුන්ගේ ඇරයුමෙන් පූර්වාරාමය පයින් ගසා සෙලවීම

බුදුන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින කාලයේ එහි මහල් විහාරයේ යට මහලේ මහත් හඬින් කෑකෝ ගසමින් උන්නා. බුදුන් වහන්සේ ඒ ඇසී අනඳ තෙරුන් ලවා මුගලන් මහ රහතන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන ලෙස දැන්වූවා. ඒ ඇරයුමෙන් මුගලන් මහ රහතන් වහන්සේ මහල් වෙහෙර අසළට වැඩලා එහි පාදමට වම් පයේ මහපට ඇඟිල්ලෙන් පුංචි පහරක් ගැසුවා. එතකොට මහා භූමිකම්පාවක් වගේ මහල් විහාරය පැද්දෙන්න පටන් ගත්තා. ඇතුලෙ හිටපු නොහික්මුණු භික්ෂූන් වහන්සේලා බය වෙලා විහාරයෙන් එළියට ආවා. බියවී සංවේගයට පත් වෙලා ඉන්න පිරිස දැකපු බුදු රජාණන් වහන්සේ එතනට වැඩලා කරුණු විමසලා ඒ මුගලන් මහ රහතන් වහන්සේගේ වැඩක් බව පැවසුවා. ඉන්පසු මුගලන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළ බුදුන් වහන්සේ ඔවුන්ටද එවන් තත්ව ලබා ගැනීමට උත්සහ කළ යුතු බව පවසා දහම් දෙසුවා. දේශනා අවසානයේ ඒ පිරිස හික්මී දහම් මාර්ගයේ පිහිටියා.
මුගලන් මහ රහතන් වහන්සේගෙත් සැරියුත් මහ රහතන් වහන්සේගෙත් තිබුණේ සංසාරගත මිත්‍ර කමක්. වරක් එක් පුරුෂයෙක් මේ දෙනම විරසක කරන්න එකිනෙකාට කේලම් කිව්වා. නමුත් එය හරිගියේ නෑ. එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයෙන් උන්නු ඒ දෙන්නගේ සමඟිය බිඳුනේ නෑ. ඒ වගේම සැරියුත් තෙරුන් අසනීප වුණු සෑම අවස්ථාවකම පාහේ ඒ සඳහා ගත යුතු බෙහෙත් මොනවාදැයි විමසලා , ඒ බෙහෙත් සපයා දෙන්නත් මුගලන් තෙරණුවෝ ක්‍රියා කළා.
මුගලන් මහ රහතන් වහන්සේ ඉතා ලඟින් ඇසුරු කරපු භික්ෂූන් වහන්සේ කෙනෙක් තමා ලක්ඛණ තෙරුන් වහන්සේ. මුගලන් තෙරණුවෝ ගිජ්ජකුට පර්වතයේ වැඩ වාසය කරන කාලයේ රජගහනුවරට පිඬු සිඟා වැඩියේ ලක්ඛණ තෙරුන් සමඟයි. එසේ පිඬු සිඟා වඩින්නට පර්වතයෙන් බහින අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ සිනා පහල කරනවා.(මගේ අභිධර්ම දැනුම නිවැරදි නම් රහතන් වහන්සේලා සිනා පහල කරන අවස්ථාවේ හට ගන්නා සිත හසිතුප්පාද සිත... )ඒ අවස්ථාවේදීම ලක්ඛණ තෙරුන් සිනහවට කරුණු විමසන නමුත් මුගලන් තෙරුන්ගේ පිළිතුර වෙන්නේ “සවස භාග්‍යවතුන්වහන්සේ හමුවේදී මගෙන් ඔය ප්‍රශ්නය අසන්න” කියායි. එසේ සවස බුදුන් වහන්සේ හමුවේ මුගලන් තෙරුන්ගෙන් ඒ පිලිබඳ ඇසුවාම උන්වහන්සේ තමා සිනා වුණු කාරණා පැහැදිලි කළා. බුදුන් වහන්සේ එම කතා අනුමත කරමින් තමන් වහන්සේද ඒ සිද්ධි එලෙසින්ම දැක ඇති බවත්, කිසියම් ශ්‍රාවකයෙකු ඒවා දකින තුරු එම සිද්ධි විස්තර නොකළ බවත් පවසමින් ඒවායේ අතීත කතා දේශනා කරනු ලැබුවා. මේ එවැනි සිද්ධි කීපයක් ලුහුඬින්.

• ඇටසැකිලි ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ගවයන් මරන්නෙක්
• මස් වැදැල්ලක් බඳු ප්‍රේතයෙක් - ඔහුත් රජගහ නුවරම සිටි ගවයන් මරන්නෙක්
• මස් පිඬක් බඳු ප්‍රේතයෙක් - රජගහ නුවර ලිහිණියන් මරා මස් විකිණූ තැනැත්තෙක්
• සිවිය නැති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බැටළුවන් මරන තැනැත්තෙක්
• අසිලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ඌරන් මරන තැනැත්තෙක්
• සැත්ලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි මුවන් මරන්නෙක්
• හී ලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි වධකයෙක්
• හිඳිලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි රථාචාර්යයෙක්
• හිඳිලොම් ඇති තවත් පුරුෂ ප්‍රේතයෙක් - රහගහ නුවර කේලම් කියමින් සිටි තැනැත්තෙක්
• කළගෙඩියක් තරම් අන්ඩයක් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බොහෝ අල්ලස් ගත් ඇමතියෙක්
• අසූචි වලක ගිලුණු පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි පරඅඹුවන් සේවනය කළ තැනැත්තෙක්
• අසූචි වලක ගිලී අසූචි කන පුරුෂ ප්‍රේතයෙක් - කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ කාලයේදී භික්ෂු සංඝයාට දනට ආරාධනා කොට අසූචි වළඳන්නයි කියා, අසූචි පිරවූ ඔරු පෙන්වා නින්දා කළ පවිටු බමුණෙක්
• සිවිය නැති ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි ගණිකාවක්
• අතිශයින්ම කුණු ගඳ ගසන පිළිකුල් සහගත ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි මන්තර ගුරුකම් කළ යක්දැස්සියක්
• ගින්නෙන් පැසී ගිය, ගිනි අඟුරු වලින් වට කරගත් ප්‍රේත ස්ත්‍රියක් - කලිඟු රජතුමාගේ අග බිසව වූ තැනැත්තියයි. රජුගේ අනෙක් බිසව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඇගේ ඇඟ මතට ගිනි අඟුරු කබලක් හෙලීම නිසා
• අහසෙහි ගමන් ගන්නා කවන්ධයක් - රජගහ නුවර “හාරිත” නමින් ප්‍රකට චෝරඝතකයෙක්
• ගිනිගෙන දැවෙන ප්‍රේත මහණෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මහණෙක්
• ගිනිගෙන දැවෙන ප්‍රේත මෙහෙණක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මෙහෙණක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සික්ඛමානාවක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සික්ඛමානාවක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරයෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරයෙක්
• ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරියක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරියක්සර්පයෙක් වැනි ප්‍රේතයෙක් - බරණැස් නුවර වැඩ හුන් පසේබුදු කෙනෙකුගේ අසපුව ගිනිබත් කළ දුෂ්ට ගොවියෙක්
• සට්ඨිකුට ප්‍රේතයා - “සුනෙත්ත” නම් පසේබුදු වරයන් වහන්සේට අතේ ඇඟිලි ශිල්පය යොදා ගනිමින් ගල් කැටයක් විදි පුරුෂයෙක්
• පිඹුරු ප්‍රේතයෙක් - කාශ්‍යප බුදුන් කළ සිටි “සුමංගල” නම් සිටුතුමා, බුදුන් වහන්සේට පිදූ විහාරය ගිනි තබා විනාශ කළ සොරා

මේ ඇතුළු තවත් ප්‍රේතයන් සමූහයක් මුගලන් තෙරුන් දුටුවා. ප්‍රේතයින් පමණක් නෙමේ, මුගලන් තෙරණුවෝ තව්තිසා දෙව්ලොව දේව චාරිකාවේ යෙදෙද්දී බොහෝ දෙවියන්, දිව්‍යාංගනාවන් මුණ ගැසුණා. ඔවුන් ඒ සා සැප සම්පත් ලැබීමට හේතු වූ කරුණු ඔවුන්ගෙන්ම අසා දැනගෙන එම තොරතුරු බුදුන් වහන්සේට පැවසුවා. බුදුන් වහන්සේ ඒ කරුණු මුල් කරගෙන දහම් දෙසුවා. මේ ඒ වගේ කතා කීපයක් ඉතා ලුහුඬින්;

• පතිව්‍රතා දෙවඟන - සැවැත්නුවර සිටි, දිවිහිමියෙන් පතිව්‍රතා ධර්මය රැකීම නිසා දෙව්ලොව ඉපිද මහත් සේ බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
• පීඨවිමාන දෙව්දුව - පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ කෙනෙකුට සැදැහැයෙන් දන් පිරිනමා අවසානයේ උන්වහන්සේ වැඩ සිටි අසුනද පූජා කොට, දෙව්ලොව ඉපිද සිතේ වේගයෙන් අහසේ ගමන් කළ හැකි විමානයක් වන් අලංකාර පුටුවක් ලැබූ කෙනෙක්
• කුඤ්ඤර දෙව්දුව - සැරියුත් මහ තෙරුන් වහන්සේට තමාගේ අතින්ම සකස් කළ දානය පිළිගන්වා උන්වහන්සේ වැඩ හුන් පුටුවද පූජා කොට, දෙව්ලොව ඉපිද සුදු ඇත් වාහනයක් ලද තැනැත්තියක්
• නාවුකා දෙව්දුව - පිපාසයෙන් හා කායදාහයෙන් පීඩාවට පත්වී සිටි භික්ෂූන් වහන්සේලා 16 නමකට සැදැහැ සිතින්පැන් පිළිගන්වා, දෙව්ලොව ඉපිද මනහර පොකුණක්ද නැව්විමනක්ද ලැබූ තැනැත්තියක්
• දීප විමාන දෙව්දුව - ඝන අඳුරක් පැවති පොහෝ දින ධර්ම ශාලාවක රැය පහන් වන තුරු පහන් දල්වා, දෙව්ලොව ඉපිද සිකුරු තරුව මෙන් බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
• තිලදක්ෂිණා දෙව්දුව - බුදුරදුන් හට තල දෝතක් පිරිනමා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලැබූ ගැබ්බර කාන්තාවක්
• සුණිසා දෙවඟන - තමාගේ ආහාර කොටස රහතන් වහන්සේ නමකට පිළිගන්වා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලද තැනැත්තියක්
• භික්ඛාදායිකා දෙවඟන - බුදු රජාණන් වහන්සේට දන් පිළිගන්වා දෙව්ලොව ඉපිද සුරූපී බබළන ශරීරයක් ලද තැනැත්තියක්
• අනේකවර්ණ දිව්‍ය පුත්‍රයා - සුමේධ බුදුන් වහන්සේගේ සසුනේ ශ්‍රාවකයෙක්ව සිට, උන්වහන්සේගේ ධාතුන් නිධන් කොට තැනූ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර, දෙව්ලොව ඉපිද නොයෙක් වර්ණයෙන් බබළන ශරීරයක් ලැබූ අයෙක්
• සුවර්ණ දෙව් පුතු - බුදුන් වහන්සේට සියල්ල සපිරි මනරම් විහාරයක් සාදවා පූජා කොට, දෙව්ලොව ඉපිද සත් රුවනින් සැදි විමානයක් සහ රන්වන් ශරීරයක් ලැබූ අයෙක්

මේ ආකාරයෙන් දේව චාරිකාවේදී මුණ ගැසුණු දෙව් පුතුන් සහ දිව්‍ය අංගනාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඹ දෙව් පුතු, උළාරා දෙවඟන, පාරිච්ඡත්තක දෙවඟන, සුනික්ඛිත්ත දිව්‍ය පුත්‍රයා, කුණ්ඩලී දෙව්පුතු, භික්‍ෂාදායක දෙව්පුතු, මඤ්ජෙට්ඨක දෙවඟන, කඤ්ජිකදායිකා දෙවඟන, නාග විමාන දෙව්පුතු, උපස්සයදායක දෙව්පුතු, රජ්ජුමාලා දෙවඟන, කන්ථක දෙව්පුතු, කර්කටකරසාදයක දෙව්පුතු, ගෝපාල දෙව්පුතු වගේ අය....

දැන් එමු මුගලන් මහ රහතන් වහන්සේගේ අවසාන කාලයට.. තීර්ථකයෝ මුගලන් මහ රහතන් වහන්සේ සමඟ ඇති කරගෙන තිබුණු වෛරය නිසා උන්වහන්සේව මරන්න සොරු කණ්ඩායමකට මසු දහසක් දුන්නා.(වෛරයක් ඇති වුණේ මුගලන් තෙරණුවෝ දෙව්ලොවට වැඩලා දිව්‍ය සම්පත් ලැබීමට හේතුවෙන කරුණු දැනගෙන ඒවා බුදුන් වහන්සේට පැවසීම නිසා බොහෝ දෙනෙක් තෙරුවන් සරණ යාම නිසා) ඒ කාලේ මුගලන් තෙරණුවෝ වැඩ උන්නේ රජගහ නුවර ඉසිගිලි පර්වතය පාමුල කළුගල් ලෙනේ. මේ හොරු කණ්ඩායම දෙවරක්ම කළුගල් තලාව වට කළත් මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ සෘද්ධි බලය පාවිච්චි කරලා එතනින් ගැලවිලා ගියා. නමුත් තුන්වෙනි වතාවේ එතනින් ඉවත් වෙන්න උන්වහන්සේට හිත දුන්නේ නෑ. තමන් වහන්සේගේ ආයු ගෙවී ඇති බවත් පෙර කර්ම පළදෙන්න තියෙන බවත් නුවණින් දැක්ක උන්වහන්සේ ඒ අවස්ථාවට පලා නොගොස් මුහුණ දුන්නා. ඉතින් තුන්වෙනි වතාවේ මේ සොරු කට්ටිය උන්වහන්සේට තදබල විදියට පහර දීලා, ඇට කැබලි කුඩුපට්ටම් වන තරමට පහර දීල උන්වහන්සේ මැරුණා කියල හිතලා පැනල ගියා.
තමන්ගේ සෘද්ධි බලයෙන් කුඩුපට්ටම් වී තිබුණු ශරීරය නැවත සකසාගෙන මුගලන් තෙරුන් වහන්සේ අවසන් වතාවට බුදුන් වහන්සේ දකින්න වැඩියා. තමන් වහන්සේගේ ආයු ගෙවී තියෙන නිසා පිරිනිවන් පාන්න අවසර ඉල්ලා හිටියා. එහිදී බුදුන් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේ දන්නා සියලුම ප්‍රාතිහාර්ය දක්වලා, අහසේ ඉඳන්ම ධර්මය දේශනා කළා. ඊට පස්සේ බුදු පාමුල වැඳ වැටිලා, සිරිපතුල් සිඹලා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙතින් සමු අරන් කළුගල් ලෙනට වැඩම කරලා නැවත නොනැගිටින අදහසින් දකුණු ඇලයෙන් සයනයේ සැතපුනා. පසුදින අලුයම් කාලයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාලා.
ඒත් එක්කම අහස දෙදරුවා. මහා භූමිකම්පාවක් ඇති උණා. මුහුදු රලේ වේගය වැඩි වුණා. දෙව් බෙර පැලුනා. මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත්තු දෙවිවරු උන්වහන්සේට අවසන් ගෞරව දක්වන්න කළුගල් ලෙනට වැඩියා. මුගලන් තෙරණුවෝ පිරිණිවන් පාද්දී සැරියුත් තෙරුන් පිරිණිවන් පාලා දින 15ක් ගත වෙලයි තිබුණේ.
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ලවා මුගලන් මහ රහතන් වහන්සේගේ දේහය දෙවිවරු විසින් කරවපු සඳුන් චිතකයක නංවා ආදාහනය කළා. ඉතිරි වුණු ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කරලා රාජ්‍ය අනුග්‍රහ ඇතිව ස්ථුපයක් කරවලා ඒකෙ තැන්පත් කළා. එය වන්දනාවට ලක්වෙන වස්තුවක් බවට පත් කළා.
අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් චරපුරුෂයින් විසින් සොරු කණ්ඩායම අල්ලා ගත්තා. මුගලන් තෙරුන් මරා දැමීමේ විපාක වශයෙන් ඔවුන්ටත් දිට්ඨධම්මවේදනීය කර්මය පලදීමෙන් මරණ දඬුවම ලැබුනා.මුගලන් මහ රහතන් වහන්සේට මේ වගේ දුක්ඛිත මරණයක් උදා වුනේ ඇයි කියලත් හොයල බලන්න ඕනනේ නේද? බුදුන් වහන්සේ ඒකට හේතුවත් පසුකාලයේ වදාළා.
පෙර භවයක මුගලන් තෙරණුවෝ බරණැස් නුවර කුලපුත්‍රයෙක් වෙලා තමාගේ මහලු මව්පියන්ට උපස්ථාන කරගෙන හිටියා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ සුදුසු විවාහයක් කරගන්න කියන එකයි. නමුත් මේ කුල පුත්‍රයා හැමවිටම ඒක ප්‍රතික්ෂේප කළා. බැරිම තැන මනාලියක් කැන්දාගෙන ආවා. මුලදී ඇයත් මේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කරගෙන උන්නත් කල් යද්දී යද්දී ඒ සැලකිලි අඩු වුණා. මේ දුෂ්ට කාන්තාව ස්වාමියා රැකියාවට ගියාම නොයෙක් අකටයුතුකම් කරලා ඒවා කලේ මහලු මව්පියන් බව හැඟෙව්වා. එපමණක් නෙවේ, තවදුරටත් තමාට ඒ නිවසේ ඉන්න බැරි බවත් දෙමාපියන් හෝ තමා යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස පුතාට කිව්වා. අගසව් තනතුරකට පෙරුම් පුරන මේ කුලපුත්‍රයා පවිටු ස්ත්‍රියගේ බසට රැවටිලා දෙමාපියන් හොඳින් සරසවලා මහ වනයක් මැදට ගිහින් සොරු පැමිණි බව අඟවලා තමාගේ අතින්ම ලොකු පොල්ලක් අරගෙන ඔවුන් දෙදෙනාට මැරෙන තුරුම පහර දුන්නා. මේ මහා පවට අවීචි මහා නරකයේ ඉපදිලා බොහෝ කල් දුක් වින්දා. රහත් බව ලබා සසර නිමවන අවසන් භවයේදීත් ඉතිරිව තිබූ අකුසලය විපාක දීමක් තමා සිදු වුණේ. (ඔන්‍න‍ බලන්න ආනන්තරීය පාපකර්මයක බලවත්කම)

නොපැහැදිලි කියලා හිතෙන දේවල් :-
• පරිබ්‍රාජක - බුදුන් දවස දඹදිව 62ක් ආගම් පැවති බව කියවෙනවා. මේකත් එකක්.
• ඒහිභික්ඛු - බුදුන් වහන්සේ “එව මහණ” කියූ පමණින් හැඳ සිටි වස්ත්‍ර වෙනුවට සිවුරු පෙරවිලා, හිස මුඩු වෙලා පැවදි වෙස් ගැනීම
• දිට්ඨධම්මවේදනීය කර්ම පලදීම - මේ භවයේදී කරන හොඳ හෝ නරක කර්ම වල විපාක මේ භවයේදීම විඳින්නට සිදුවීම
• ආනන්තරීය පාපකර්ම - මේවා 5ක් තියෙනවා. මෙව්වා එකක් හරි කළොත් ගොඩක් කල් අපායේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම

7/30/17

දස අකුසල් හා ඒවායේ විපාක


අප වැරදි අන්දමට පැවැතුණොත්, එ නම්, වැරැදි ලෙසට කෑම් පීම් ගත්තොත්, කිලුටු කරන දෑ ඇඟ ගා ගත්තොත් ඒවා ඇඟ ඇතුළට වැදෙන්නට ඉඩ හැරියොත් කිමෙක් වේ ද? සනීපය නැතිවෙයි, ලෙඩ හැදෙයි, ඇඟ නරක් වෙයි. එයින් ඇඟේ පොහොණිය නැති වෙයි. අඩු වයසින් ම මැරෙන්න ද වෙයි.
එ මෙන් ම අප වැරදි අන්දමට හිතන්නට පුරුදු වුණොත් කිමෙක් වේ ද? හිතේ සනීපය නැති වෙයි, හිත ලෙඩ වෙයි, හිත නරක් වෙයි. එයින් හිතේ වැඩි දියුණුව නැති වෙයි. හිත මුළු මනින් ම පහත වැටෙයි.
ඉතින් උඩ කී අන්දමට හිත නරක් වී කිලුටු වී තිබෙන විටෙක, එය මුල් ව යමක් කියතොත් කරතොත් ඒ කියන කරන දෑ හොඳ කියුම් හෝ හොඳ කැරුම් වෙන්න හැකි ද? නො හැකි ය. නරක සිතින් හොඳක් කියන්න කරන්න බැරි ය. නරක හිතෙන් කියන්නේ ම නරක කීමෙකි, කරන්නේ ම නරක කැරුමෙකි.
හිත නරක් කරන, හිතේ ඇති වන ලෙඩ ගති මොනොවා ද? යමෙක ඇත්ත ඇති හැටියට නො දැක් ම, නරක දෑ කරන්නට ලැජ්ජාවක් හෝ බයක් නැති කම, හිතේ කලබොල ගතිය, ලෝබය, මානය, තරහව, ඉරිසියාව මසුරුකම, ජීවිතයේ ඇති සැටිය වැරැදි අන්දමට දැකීම යන ආදිය යි. මේ වා ය හිතේ ලෙඩ ගති, හිත නරක් කරන ගති. මේවාට අකුසල් යැයි නමෙකි.
මේ නරක ගති හිතේ හැදී වැඩී හිතට පුරුදු වුණොත්, හිත නරක් වී එයින් නරක දෑ කියැවෙයි. ඒ වාට වචනයෙන් කරන අකුසල් යැයි කියති. හිත නරක් වීමෙන් කරන දැයට කයින් කරන අකුසල් යැයි කියති. හිත නරක් වී හිතේ ම ක්‍රියා කරන අකුසල්වලට හිතින් කරන අකුසල් යැයි කියති.
හිත නරක් වී කියන නරක කියුම් මොනවාද? බොරු කීම, කේලාම් කීම, රළු පරොස් බස් කීම, කිසිම වැද ගැම්මකට නැති දෙඩවිලි දෙඩීම යන මේ හතර වර්ගයේ නරක කියුම් ය. මේවාට යි වචනයෙන් කරන අකුසල් යැයි කියන්නේ. හිත නරක් වී කරන නරක කැරුම් මොනවා ද? සතුන් තැළුම පෙළුම මැරුම, අනුන්ගේ දෑ අයුතු අන්දමෙන් ගැනුම, පහත් ආශාවෙන් නො හොබිනාකම් කිරීම හා මත් පැන් බීම යන මේ තුන් වගේ නරක කැරුම් ය. මේවාට කයින් කරන අකුසල් යැයි කියති.
ලෝබ ආදි නරක ගති වැඩී ගොසින් තනි හිතින් ම කැරෙන නරක තුන් වගෙකි. එනම්, අනුන් ගේ දැයට ආශා කිරීම හෙවත් විෂම ලෝබය, සිතේ නපුරු බව, ජීවිතයේ සැටි වැරැදි අන්දමින් දැකීම යන තුන යි. මේ තුනට හිතෙන්ම කැරෙන අකුසල් යැයි කියති.
මෙසේ තනි සිතින් ම කරන අකුසල් තුනෙකි. කයින් කරන අකුසල් තුනකි. වචනයෙන් කරන අකුසල් හතරෙකි. ඔක්කෝ ම අකුසල් දහයෙකි. දස අකුසල්ය කියන්නේ මේවාට යි.
මේ අකුසල්වල තරමක විස්තරයක් දැන් මෙහි දැක්වේ.
අකුසල් දසයෙකි, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුන වාචා, ඵරුසා වාචා, සම්ඵ ප්‍රලාප, අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන මොහු යි. ලොවැ මෙයට ඇතුළත් නො වෙන කිසි පවෙක් අකුසලෙක් නැත. නොයෙක් වැදෑරුම් සියලු අකුසල් ම මේ දහයට ඇතුළත් වේ.

01. ප්‍රාණඝාතය

ප්‍රාණඝාතය නම් සතුන් මැරීමයි. සතකු මරමි යි සිතේ ඇති වන චේතනාව ප්‍රාණඝාත අකුශල කර්ම නමි.
සතකු වීම ය,
සතකු බව දැනීම ය,
මරමි යි යන සිත ය,
එයට උපක්‍රම කිරීම ය,
දිවි නැසීම ය.
යන අංග පස ම නො අඩු ව ඇති වූකල අකුසලය සම්පූර්ණ වේ.

මෙහි විපාක වශයෙන් (විපාකයට ඉඩ ලැබුණු විට) මෙහි දී ම වධ බන්ධන විඳීම, ලෙඩ රෝග ඇති වීම, ආයුෂ මද වීම් ආදි හිරිහැර ඇති වේ. මරණින් මතු අපායෙහි ඉපිද බොහෝ කල් දුක් විඳින්නට වේ. නැවත එයින්මිදී මිනිසත් බවක් ලද කල්හි ද ඇස් ආදිය විකල වීම, ආයුෂ මද වීම, රෝග බහුල වීම, ලොවට අප්‍රිය වීම, අශෝභන කය ඇති වීම ආදි විපත් ඇති වේ.

02. අදත්තාදානය

අන් සතු දෑ අයුතු සේ ගැන්ම අදත්තාදානය නමි.
අදත්ත (අදින්න) යනු නො දුන්න දැයි.
ආදාන යනු ගැන්ම යි.
මෙසේ අදත්තාදාන (අදින්නාදාන) යනු අයිති කරු විසින් නො දුන් දෑ සොරකමින් හෝ බලහත්කාරයෙන් හෝ රැවැටිල්ලෙන් හෝ වෙන යම් මොන ම අයුතු අන්දමෙකින් ගැන් ම යි.

මෙහි අකුසලය සම්පූර්ණ වීමට අංග පසෙකි. එනම්, අන් සතු දැයක් වීම, අන් සතු බව දැන්ම, අයිතිකාරයාට නො දන්වා හෝ බලයෙන් හෝ රවටා හෝ ගනිමි යි යන සොර සිත, එයට උපක්‍රම කිරීම, එසේ ම එය ගැන්ම යනු ඒ අංග පස යි.
මෙහි විපාක වශයෙන් ඉඩක් ලදොත්, මේ අත්බව්හි දීත් මතු උපන් කලත් ධන හානිය, දිළිඳු බව, සොර සතුරු උවදුරු, සිතූ දෑ ඉටු නො වීම ආදී නපුරු විපාක ලැබේ. මරණින් මතු අපායවල ද ඉපි ද බොහෝ කල් දුක් විඳින්නට සිදු වේ.

03. I කාමමිථ්‍යාචාරය

කාමයෙහි වැරදි වූ හැසිරීම කාමමිථ්‍යාචාරය නමි. පිරිමියෙකු අනුන්ගේ බාරයේ සිටින ස්ත්‍රීන් සේවනය කිරීම ද, ස්ත්‍රියක සිය සැමියා හැර අන් පුරුෂයන් සේවනය කිරීම ද මෙයින් දැක්වේ.

අන්සතු ස්ත්‍රියක වීම,
ඇය හා සේවනයට අදහස,
එයට උපක්‍රමය,
සේවනය කිරීම
යන අංග සතර ඇති වීමෙන් පිරිමියට කාමමිථ්‍යාචාරය අකුසලය පිරේ.
සිය සැමියාගෙන් අන්‍ය පුරුෂයකු වීම,
ඔහු සේවනයට කැමැත්ත,
එයට උපක්‍රමය,
සේවනය
යන සතර අංග සම්පූර්ණ වූ විට ස්ත්‍රියට කාමමිථ්‍යාචාරය සම්පූර්ණ වේ.
මේ අකුසලයෙහි විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස විඳීම, බියකරු ලෙඩ රෝග වැළැඳීම, හදිසි විපත්වලට අසු වීම, ආංඩුවෙන් ද¼ඬුවම් ලැබීම ආදී කරදර ද, මරණින් පසු අපායෙහි ඉපිද බොහෝ දුක් විඳීම ද වේ. අපායෙන් මිදී මිනිසත් බවක් ලදොත් ස්ත්‍රී වීම, නපුංසක වීම, සතුරන් බහුල වීම, ප්‍රිය භාර්යාවක නො ලැබීම ස්ත්‍රියක් නම් ප්‍රිය සැමියකු නො ලැබීම යන විපාක ඇති වේ.

03. (III)රහමෙර බීම

රහමෙර බීම රස කාමයෙහි වරදවා හැසිරීම යි. එ බැවින් එය ද කාමමිථ්‍යාචාර යන්නෙහි ම ඇතුළත් වෙයි.
රහමෙර වීම ය, රහමෙර බව දැනීම ය, බොනු කැමැත්ත ය, එය පීම ය යන සතර අංග ඇති වූ කල අකුසලය සම්පූර්ණ වේ.
මෙහි විපාක වශයෙන් ඉන්ද්‍රිය දුර්වල වීම, උමතු වීම, ලෙඩ බහුල වීම, ආයුෂ මද වීම, දුබල දරුවන් ලැබීම, ධන හානිය, නින්දා අපහාස ලැබීම, නෑයනට පවා අප්‍රිය වීම ආදි නොයෙක් විපත් මෙහිදීත් වේ.
මරණින් මතු චේතරණී ආදි නිරයවල ඉපිද නො පමණ දුක් විඳීම ද, ඉන් මිදී මිනිසත් බව ලද කල්හි ලජ්ජා නැති බව, උමතු බව විරූප බව ආදිය ද වේ.
04. මුසාවාදා

මුසා යනු නො සිදු වූ දැය යි. වාද යනු කීම යි. නො වූවක්, වූයේ යැ යි. නැති දැයක් ඇතැයි අන්හට පිළිගන්වන අදහසින් වචනයෙන් හෝ හිස සෙලැවීම් ආදි නියායෙකින් හෝ ඇඟැවීම මුසාවාදා නමි.
නො සිදු වූවක් බව ය,
රවටමි යන අදහස ය,
එය ඇඟැවීමට උපක්‍රම ය,
අසන්නහු එය පිළිගැන්මය
යන අංග සතර ඇති වූ විට මුසාවාද අකුසලය සම්පූර්ණ වේ.

බොරු කීමේ විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස ලැබීම, ලොවට අප්‍රිය වීම් යන ආදිය වේ. මරණින් මතු අපායේ උපදී. ඉන් මිදී මිනිසකු වූ කල්හි මුව දුගඳ වේ ලෙඩ බහුල මුඛය ඇත්තෙක් වේ. දරුවන් නැත්තෙක් වේ. ලබතත් ගැහැණු දරුවන් ම ලබයි.

05. පිසුනා වාචා

උනුන් ප්‍රිය බව (සමගිය) නැති කරන බස පිසුනාවාචා නමි. කේලාම් කීම යි. බිඳෙන පුද්ගලයෙකු ඇති බව, ඔහු අනෙකා ගෙන් බිඳුවන අදහස, තමා ඔහුට ප්‍රියවන සිත, තමා කියන කේලාම් ඔහු පිළිගැන්ම යන අංග සතර ඇති වීමෙන් අකුසලය සම්පූර්ණ වේ.

මෙහි විපාක වශයෙන් ඉඩක් ලදොත් මෙහි දී ම හිත මිතුරන් නැති වීම් ආදිය ද, මරණින් පසු අපාය දුක ද, නැවත මිනිසකු වූ කල මිත්‍රයන් අඩු වීම ද, ඇති වූ මිතුරන් කරුණක් නැතිව ම බිඳී යෑම ද වේ.

06. පරුෂ වචනය

පරුෂ නම් කර්කශ රළු දැයි. පරුෂ වචන යනු කර්කශ රළු බස යි. අනුන් ගේ සිත් රිදුවන ඇනුම් බැනුම් ගැරැහුම් මෙයින් දැක්වේ.
ගැරැහුම් ලබන්නකු ඇති බව, රළු සිතැති බව,, බැණීම යන අංග තුන ඇති කලැ අකුසලය සම්පූර්ණ වේ.
්‍යවහාරයේ මිහිරි වූ වචනයක් වුව ද කිපුනු සිතින් ඇනුම් බැණුම් වශයෙන් කියා නම් ඒ ද පරුෂ වචන යැ යි ද ත යුතු. පෙර ඇතැම් රජහු සොරුන් මරවනු කැමැති ව ‘මොවුන් සුව සේ නිදිකරවු’ යි කියති. වධකයෝ ඔවුන් මරති. මෙහි එ රජුන් කියන වචන කණට රළු නො වුවත් ‘මොවුන් මරවු’ යන අදහස ම උඩ කියන බැවින් පරුෂ වචන ම ය. පෙර බුරුම රජුන් මරණ තීන්දුව ලීවේ ‘කම්මං සත්තේ විභජති (කර්මය සත්ත්වයන් බෙදයි)’ යන බුද්ධවචනය ලිවීමෙනි. එහෙත් එයින් මැරීම අදහස් කළ බැවින් එය ඒ අවස්ථාවෙහි පරුෂ වචනයෙක් ම ය.
ඇතැම් විට මව දරුවාට ආදරයෙන් දැඩි වචන කියයි. සිතෙහි බිඳකුත් කෝපයක් නැති ව බලවත් සෙනෙහයෙන් කියන බැවින් ඒ පරුෂ වචන සංඛ්‍යාවට නො යෙයි.
ඉහත කී පරිදි පරුෂ වචනයෙන් මෙහි දී ම ජනයාට අප්‍රිය වීම ද, කුෂ්ට කිලාසාදි ලෙඩ ඇති වීම ද, මරණින් පසු අපායෙහි ඉපැදීම ද නැවැත මිනිසත් බව ලත් කලක් වුවොත් අප්‍රිය දැකුම් ඇති, විකාර මුඛ ඇති, විවර්ණ කය හා රළු කටහඬ ඇති, ජනයාට ප්‍රිය නො වන දීනයකු වීම ද යන විපාක ඇති වේ.

07. සම්ඵප්‍රලාප

දියුණුව නැති කරන හිස් බස් සම්ඵප්‍රලාප නමි. වැඩකට නැති කථා බව ය, ඒවා කීම ය (අසන්නවුන් ඒ පිළිගැනීමය) යන අංග ඇති කල අකුසලය සම්පූර්ණ වේ.
සම්ඵප්‍රලාප
දොඩන මිනිසා මෙ ලොව දී ම ලෝ වැස්සාට පිළිකුල් වේ. මෙය බලවත් ව දෙඩුයේ මරණින් පසු අපායේ උපදී. නැවැත මිනිස් ව උපන්නේ ද අනුන් විසින් නො පිළිගන්නා වචන ඇතියෙක් වේ.

08. අභිධ්‍යාව

අනුන් අයත් දැය ගැන ‘මෙය මට ඇත් නම් මැනැවැ’යි ඇති කැරැගන්නා දැඩි ලෝභය අභිධ්‍යා නම් වේ.
අනුන් සතු දැයක් වීම,, එය තමාට අත් කැරැ ගැන්මේ සිත, යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ.
දැඩි ලෝභයෙන් මඩනා ලද්දේ මෙහි දී දුර්වර්ණ බව ආදියට පැමිණේ. මරණින් පසු ලෝභයේ දැඩි කම වූ පරිදි ප්‍රේතාදි වූ අපාය දුකට ගොදුරු වේ. නැවැත මිනිසත් බව ලද කල්හි දුගී බව ද, සම්පත් සිත්සේ භුක්ති විඳිය නො හැකි බව ද ආදි දුර්විපාක විඳී.

09. ව්‍යාපාද

අනුන් ගේ සිත සැපය වනසන, තමාත් විරූප බවට පමුණුවන සේ දැඩි වූ දෙවෂය ව්‍යාපාද නමි.

අන් සතකු වීම, ඔහු පෙළෙතොත් නැසෙතොත් මැනැවැයි සිතීම යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ. අන් හට විපත් කැමැති වන්නෝ මෙහි දී ලොවට අප්‍රිය වීම් ආදි කටුක විපත් ද මරණින් පසු අපායයෙහි ඉපැත්ම ද මිනිස් ව උපන් කල විරූප බව ආදී අනිෂ්ට විපාක ද ලබත්.

10.මිථ්‍යාදෘෂ්ටිය

ඇති සැටිය තබා වරදවා දැකීම මිථ්‍යාදෘෂ්ටිය නම්.
වරදවා දැක්ම, එසේ ම වටහා ගෙන දැඩි කොට සිතින් ගැන්ම යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ.
මිථ්‍යාදෘෂ්ටිය වනාහි අහේතුක දෘෂ්ටි, අක්‍රිය දෘෂ්ටි, නාස්තික දෘෂ්ටි යැ යි තුන් වැදෑරුම්.
“සත්ත්වයා කෙලෙසීමටත් පිරිසිදු වීමටත් හේතුවක් නැතැයි. එය ඉබේ ම වන දැයෙකැ”යි වරදවා දැක්ම අහේතුක දෘෂ්ටි යි.
කුශලාකුශල කර්මවල කිසි ම විපාකයෙක් නැතැ යි වරදවා ගැන්ම අක්‍රිය දෘෂ්ටි නම්.
දානාදියේ ඵල විපාක නැතැයි, මව යැ පියා යැ යි විශේෂ යෙන් සැලැකියැ යුතු කෙනෙක් නැතැ යි මෙලොව පරලොව කියා දැයෙක් නැතැ යි යන ආදීන් වැරැදි ලෙස දැක්ම නාස්තික දෘෂ්ටිය යි.
මේ මිත්‍යාදෘෂ්ටි ගත් අයට එහි ඵල වශයෙන් මෙහිදීත් සිහි මුළාවීම් ආදිය ද, මරනින් පසු අපායේ ඉපැත්ම ද, මිනිස් ව උපන් කල නුවණ මඳ බව, සුව කළ නො හැකි කල් පවත්නා ලෙඩ ඇති බව ආදි හිරිහැර ද වේ.

------------------ත්‍රිභෙදය-----------------

සියලු අකුසල් කායික, වාචසික, මානසික යැයි කොටස් තුනකට බෙදේ. කායික යනු කයින් කරනු අකුසලි. වාචසික යනු වචනයෙන් කරන අකුසලි. මානසික යනුසිතින් පමණක් කරන අකුසලි.

කයින් කරන (කායික) අකුසල් නම් – ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන තුන යි.
වචනයෙන් කරන අකුසල් නම් – මුසාවාද, පිසුනවාචා, පරුෂා වචන, සම්ඵ ප්‍රලාප යන සතර යි.
සිතින් ම කරන අකුසල් නම් – අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන තුන යි.
සාවධාතා භෙදය
අල්ප සාවද්‍යා යනු ස්වල්ප දුක් විපාක දෙන කර්ම යි. මහා සාවද්‍ය යනු මහත් දුක් විපාක දෙන කර්මයි.

-----------බුද්ධ භක්තිය------------

ප්‍රාණඝාතයෙහි වනාහි කුඩා ම සතුන් මැරීම අල්ප සාවද්‍ය වේ. වඩ වඩා ලොකු සතුන් මැරීම වඩ වඩා මහා සාවද්‍ය වේ. එයට කරුණු නම් කුඩා සතුන් මැරීමට යෙදෙන ප්‍රයෝගය, ගන්නා උත්සාහය ස්වල්ප වීමත්, මහත් සතුන් මැරීමට යොදන ප්‍රයෝගය, ගන්නා උත්සාහය මහත් වීමත් ය.

එක සමාන සතුන් අතුරෙහි ද, ගුණයෙන් වැඩි සතා මැරීම මහා සාවද්‍ය වේ. ගුණයෙන් අඩු සතා මැරීම අල්ප සාවද්‍ය වේ.
තිරිසන් සතුන් මැරීමට වඩා මිනිසුන් මැරීම මහාසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි බවත්, මැරීමට කරන ප්‍රයෝගයේ මහත් බවත් එයට කරුණු යි. ගුණ හීන මිනිසුන් මැරීමට වඩා මහ ගුණවත් මිනිසුන් මැරීම මහාසාවද්‍ය යි. ගුණයෙන් මහත් බැවිනි.
මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු රජුන් ගේ ඇඟේ ලේ සෙලැවීම යන මේවා අන් හැමටම වඩා දරුණු වූ ආනන්තර්ය අකුසල් කොටසට අයත් දෑය.
ආනන්තර්ය අකුශල යනු වෙන කොතරම් පින් කළත් ඒවායේ ශක්තියෙන් වසා ලිය නොහැකි මෙයින් මැරෙනු සමග ම ඒකාන්තයෙන් අවීචි මහා නිරයට පමුණුවා ලන අකුසල් ය. අනත්තර හෙවත් මී ළඟ ම අත් බව්හි විපාක දෙනුයේ ආනන්තර්ය යි.
ගුණයෙන් අඩු සතුන් මැරීමේ අකුසලය ඇතැම් විට මහ කුසල් කිරීමෙන් මැඩ පවත්වා, විපාක දීමට ඉඩ නො දෙන්නට පිළිවන.
අදත්තාදානයේ අල්ඵ සාවද්‍ය මහා මහා සාවද්‍ය බව වනුයේ සොරා ගන්නා බඩු වේ වටිනා නො වටිනා කමේ හැටියටත් වස්තු හිමියන් ගේ ගුණවත් බවේ අඩු වැඩි කමේ හැටියටත්ය.
සාමාන්‍ය කෙනෙකු සතු නො වටිනා දැයක් ගැන්මට වඩා එ බඳු ම කෙනෙකු සතු වටිනා දෙයක් සොරා ගැන් ම මහා සාවද්‍ය වේ. එහෙත් ගුණයෙන් වැඩි කෙනෙකු ගේ නො වටිනා බඩුවක් වුවත් ගුණ අඩු කෙනෙකු ගේ වටිනා බඩුවක් ගැන්මට වඩා මහා සාවද්‍ය වේ. එහි ද සොරා ගැන්මට කරන උපක්‍රමයේ කුදු මහත් බැවිනුත් කර්මයේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව මැන්න යුතු ය.
නො දැහැමි ධනවතකු ගේ දැයක් ගැන්මට වඩා අහිංසක දිළින්දකු ගේ දැයක් ගැන් ම ද මහාසාවද්‍ය වේ. ගනු ලබන බඩුවේ වටිනාකම ද, වස්තු හිමියාගේ ගුණ ප්‍රමාණය ද, සොරා ගැනීමෙහි උපක්‍රම ප්‍රමාණය ද යන තුන ම බලා අල්පසාවද්‍ය බව හා මහාසාවද්‍ය බව නිශ්චය කළ යුතුයි.
කාමමිථ්‍යාචාරයෙහි – ගුණ හීන ස්ත්‍රියක කෙරෙහි කාමයෙහි වරදවා හැසිරීමට වඩා ශීලාදි ගුණවලින් වඩා දියුනු වූ ස්ක්‍රියක වැරැදි සේ සේවනය කිරීම මහාසාවද්‍ය වේ. තවද නෑකමේ හැටි හැටියට ද නගුන් නැන්දැණියන් මවුන් හා කාම මිථ්‍යාචාරයෙහි හැසිරීම් ක්‍රමයෙන් වඩ වඩා මහාසාවද්‍ය වේ. ගුරුවරයා ගේ භාර්යාව, මෑණියන්, බ්‍රහ්මචාර්යාව රක්නා ස්ත්‍රීන් හා කාම සේවනය එක් සමාන සේ මහාසාවද්‍ය වේ.
සුරාපානයේ අල්ප මහා සාවද්‍යතා මෙසේ ය. - කෑම කන විට ආහාරයේ අවයවයක් වශයෙන් හෝ සිහි මුළා නො වන පමණට හෝ මත් පැන් බීම අල්ප සාවද්‍ය වේ. මත් වීම වැඩි වැඩි වූ පමණට ද, එයින් කරන දරුණු ක්‍රියාවේ වැඩි වැඩි පමණට ද වඩ වඩා මහා සාවද්‍ය වේ.
මුසාවාදයෙහි වනාහි ඒ බොරුවෙන් වන, එය පිළිගන්නවුනට වන හානියේ වන අඩු වැඩි කමේ පමණට අල්පසාවද්‍ය හෝ මහා සාවද්‍ය බව වේ.
තමා සතු, ඇති දැයක් නො දෙන අදහසින් නැතැයි කීම අල්ප සාවද්‍ය යි. අනුනට අලාභ කරනු පිණිස බොරු කීම මහාසාවද්‍ය යි.
නාන්නට ගොස් පොකුණෙහි දිය සිඳී තිබෙනු දැක අවුත් සිනා සෙන අදහසින් සෙස්සනට අද ළිඳ උතුරා යෙතැ යි කියන සේ වූ බොරු අල්පසාවද්‍ය යි. සිල්වත් ගුණවත් අයට කවට කම් වශයෙන් වුව ද නැති දෙයක් නගා කීම මහාසාවද්‍ය වේ.
පිසුන වාචායෙහි (කේලාම් කීමෙහි) කේලාම් අසා බිඳෙන පුද්ගලයා ගුණ අඩු කෙනෙක් වී නම් අල්පසාවද්‍ය වේ. ගුණ වැඩි කෙනෙක් නම් ගුණ පමණට ඒ කේලම මහා සාවද්‍ය වේ.
පරුෂ වචනයෙහි ඇනුම් බැනුම් අසන්නා ගුණයෙන් අඩු වූ පමණට ඒ කර්මය අල්පසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි වූ පමණට මහාසාවද්‍ය වේ.
සම්ඵ ප්‍රලාපය මද වශයෙන් දෙඩීම අල්පසාවද්‍ය වේ. වඩ වඩා දෙඩීමෙන් මහා සාවද්‍ය වේ.
අභිධ්‍යායෙහි අල්පසාවද්‍ය මහා සාවද්‍ය බව ඉහත අදත්තාදානයට කී පරිදිම ය.
ව්‍යාපාදයෙහි අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව ඉහත පරුෂ වචනයට කී පරිදි ම ය.
මිත්‍යාදෘෂ්ටියෙහි නියත මිථ්‍යාදෘෂ්ටියක වීම මහා සාවද්‍ය වේ. අනියත මිථ්‍යාදෘෂ්ටියක බව අල්පසාවද්‍ය වේ.

---------------විපාක----------------

ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක යැයි විපාක දෙවැදෑරුම්. යම් තැනැක ඉපැදැවීම ප්‍රතිසන්ධි විපාක නම්. උපන් පසු දෙන විපාක ප්‍රවෘත්ති විපාක නම්.

---------------කර්ම කර්මපථ---------------

උඩ කී ඒ ඒ අකුසල් අංග සම්පූර්ණ ව කැරුණේ කර්මපථ වේ. (හෙවත් අපායවල උපදවා දුක් දීමට සමත් වේ) එ සේ අංග සම්පූර්ණ නො වූයේ කර්ම මාත්‍ර ම වේ. එයින් ප්‍රවෘත්ති විපාක (උපන් පසු යම් යම් දුක් හිරිහැර) දෙවෙයි.

-----------------අනුන් ලවා කැරැවීම---------------

ඉහත කී අකුසල් අනුන් ලවා කැරැවීමේ දී, අණ ලත් පරිදි ම කිසි අඩුවක් නැති ව ම එය කරන්නවුනට ද අණ කළ අයට ද යන දෙපක්ෂයට ම එක සේ අකුසල් සිදු වේ. කී සැටියෙන් වෙන් ව කළොත් අණ ලැබූ තැනැත්තාට (එය අංග සම්පූර්ණ කර්මයක් වී නම්) අකුසල කර්මපථ වේ. අණ කළාහට කර්ම මාත්‍ර ම වේ.

-------------------අකුසල් මුල්----------------------

ලෝභය, ද්වේෂය (තරහව) මෝහය (ඇති තතු නො දැන්මය) යන තුන් දෙන අකුසල් වල මුල්ය.

ප්‍රාණඝාතය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුත් සිතින්කැරේ. එසේ නම්, මස් ලොබින් සතුන් මැරීම ලෝභ – මූලික නොවේ ද ? නොවේ.

සතා කෙරේ ලෝභය තිබේ නම් ඌ මැරිය නො හැක්ක. සතාගේ ජීවිතයට විරුද්ධ බැවින් ම එය නසයි. ඔහු ලෝභ කරනුයේ උගේ මසට ය. මෙ සේ නම් මස් ලොබින් සතුන් මැරීම කෙසේ වන්නක් ද ? එය මස් ලොබ සහිත සිත් මුලින් සැදි සැදී අවුත් එයින් රුකුල් ලැබ හටගත් ද්වේෂ සහිත සිතින් කරනකර්මයෙකි. මෙයට ලෝභ ප්‍රත්‍යය ද්වේෂ මූලික සිතින් කැරෙන්නෙකැ යි කිය යුතු යි’ මෙ බඳු තැන ද්වේෂ මූලික යැ යි මෝහය හැම අකුසලෙකම ඇති එකක් බැවින් එය එකක් පාසා නො කීවාට වරදෙක් නැත.
අදත්තාදානය ලෝභ - මෝහ දෙක මුල් වද, ද්වේෂ මෝහ දෙක මුල්ව ද උප දී.
කාමමිථ්‍යාචාරය ලෝභ - මෝහ යන දෙ මුලක් ඇති එකෙකි.

මුසාවාදය වස්තුලෝභාදියෙන් බොරු කීමේ දී ලෝභ - මෝහ යන දෙ මුලෙකින් යුක්ත ද, අනුනට ක්‍රෝධයෙන් බොරු චෝදනා නැංවීම ආදියේ දී ද්වේෂ මෝහ යන දෙ මුලින් යුක්ත ද වේ.

පිසුන වාචාවත් සම්ඵප්‍රලාපයත් දෙක ද මුසාවාදය සේ ම විටෙක ලෝභ මෝහ යන දෙ මුලින් ද විටෙක ද්වේෂ මෝහ යන දෙ මුලින් ද ඇති වේ.
පරුෂ වචනය ද්වේෂ මෝහ යන දෙ මුලින් ඇති වේ.
අභිධ්‍යාව ත් මිථ්‍යාදෘෂ්ටිය ත් ලෝභ මෝහ යන දෙ මුලින් යුක්ත වෙති.
ව්‍යාපාදය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුක්ත ය.
ඉහතින් විස්තර කැරුණු දස අකුසලින් වෙන්වීම දස කුසල් නම්.

------------------------කුසල්----------------------

දස පින් කිරිය වත් පිරීම කුසල් සිතින්ම කැරෙන්නක් බැවින් එය ද කුසල් කම් නමින් සලකති.
පින් කිරිය වත් නම් – දාන සීල භාවනා අපචායන චෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදනා ධම්මදෙසනා ධම්මසවණ දිට්ඨුජුකම්ම යන දශය යි. මේවා කිරීමට ;හ්තු වන කුසල් මුල් තුනෙකි. ඒ අලෝභ අද්වේෂ අමෝහ යන තිදෙන ය. කුසල හේතු යැ යි ද මුනට බැවහැර වේ. ලෝභයට කෙළින් ම විරුද්ධ වූ ස්වභාවය අලෝභය යැ යි ද, දත යුතු ප්‍රාණඝාතාදී අකුසලින් වැළකීමේ දී එනම් - ශීලාදී පින් දහම් වැඩීමේ දී මේ කුසල් මුල් ඇති වේ.
කුසල් කිරීමේ දී සමහර විට අලෝභ අද්වේෂ අමෝහ යන තුන් කුසල් මුල් ම සිතේ ඇති වේ. එ බඳු සිතින් කරන කුසල් ත්‍රිමූලික හෝ ත්‍රිහේතුක කුසල් නම් වේ. කුසල් කරන සමහර විටෙක කුසල් මුල් අතුරෙන් අලෝභ අද්වේෂ දෙක පමණක් ඇතිව කරත්, එසේ වූ කුසල් විමූලක හෝ ද්විහේතුක කුසල් නම් වේ.