6/8/16

පර්‍ය්‍යාප්ති ධර්ම




පර්‍ය්‍යාප්ති ධර්මය, ප්‍රතිපත්ති ධර්මය, ප්‍රතිවේධ ධර්මය, කියා ද ධර්මය තුන් ආකාර වේ. සුත්‍රාභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය පර්‍ය්‍යාප්ති ධර්ම නම් වේ. එහි ශ්‍රාවකභාෂිත - සෘෂිභාෂිත - දේවභාෂිතයෝ ද ඇත්තාහ. අනංගණසුත්‍රය, සම්මාදිට්ඨී සුත්‍රය, අනුමාන සුත්‍රය, චූලවේදල්ල සුත්‍රය, මහාවේදල්ල සුත්‍රය යනාදීහු ශ්‍රාවක භාෂිතයෝ ය. බාහිර තවුසන්ගේ භාෂිතයෝ ඍෂි භාෂිතයෝ ය. මජ්ක්‍ධීමනිකායේ පරිබ්බාජක වග්ගයෙහි හා සුත්‍ර නිපාතයේ පාරායන වග්ගයෙහි ද තවත් සමහර තැන්වල ද ඍෂිභාෂිත ඇත්තේ ය. දේවතා සංයුත්ත දේවපුත්තසංයුත්ත මාරසංයුත්ත බ්‍රහ්මසංයුත්ත සක්කසංයුත්තාදියෙහි දේවභාෂිතයෝ ඇත්තාහ. ශ්‍රාවක භාෂිත ධර්මවලින් සමහරක් බුදුරදුන් විසින් අනුමත කරන ලද බැවින් ද, සමහරක් බුදුරදුන්ගේ ධර්මයට අනුකුල බැවින් ද පිටකත්‍රයට ඇතුළු කර ගත්තේ ය. දේවතාදින් විසින් විචාල ප්‍රශ්නයන් විසඳිම් වශයෙන් තථාගතයන් වහන්සේ වදාළ සුත්‍රධර්මයන් සම්පුර්ණ වීමට ඒ ප්‍රශ්න ද ඇතුලත් විය යුතු බැවින් බොහෝ දේවභාෂිත ඍෂිභාෂිතයන් පිටකත්‍රයට ඇතුළත් කර තිබේ. ඇතැම් දේව භාෂිතයන් තථාගතයන් වහන්සේ විසින් නැවත වදාළ බැවින් පිටකත්‍රයට ඇතුළත් කර තිබේ. පිටකත්‍රය ධර්මයේ අර්ථවිවරණය කරන නොයෙක් භාෂාවලින් සම්පාදනය කර ඇති අටුවා ටීකා සන්න ගැටපද ග්‍රන්ථයෝ ද ඛුද්දසික්ඛා මූලසික්ඛා අභිධම්මත්ථසංගහ අභිධම්මාවතාර ආදි සංග්‍රහ ග්‍රන්ථයෝ ද, එක් එක් ධර්ම කොට්ඨාසයක් විස්තර කරන ග්‍රන්ථයෝ ද පිටකත්‍රයේ පරිවාර ග්‍රන්ථයෝ ය. ඒවා ද පර්‍ය්‍යාප්ති ධර්මය ලෙස සැලකිය යුතුය.
සතර අපායෙන් මිදීම සඳහා ද, දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබිම සඳහා ද, පිරිය යුතු ශාසනික ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිධර්මය ය. ගිහියන් විසින් ඔවුන්ට සුදුසු පරිදි ද පැවිද්දන් විසින් පැවිද්දන්ට සුදුස් පරිදි ද පිළිවෙත් පිරිය යුතුය. දන්දීම, මාපියනට ගිලනුන්ට මහල්ලන්ට සිල්වතුන්ට උවටැන් කිරිම, ජනෝපකාරි ක්‍රියා කිරිම, වත් පිළිවෙත් කීරිම, පඤ්චශීලය, අෂ්ටාංගශීලය, දසශිලය, සාමනේර ශීලය, උපසම්පදා ශිලය, තෙළෙස් ධුතාංග, ඉන්ද්‍රිය සංවරය, ආජීවපාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිඃශ්‍රීත ශීලය, නීවරන ප්‍රහාණය, ජාගරියානුයෝගය, ශමථ විදර්ශනා භාවනා, රූපාවචරාරූපාවචරසමාපත්ති යනාදීහු ශාසනික ප්‍රතිපත්තීහු ය. ආර්‍ය්‍යමාර්ග සතර ආර්‍ය්‍යඵල සතර නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම ප්‍රතිවේධ ධර්මය ය.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.