3/27/17

ලොව දැකීම 01 (රෝහිතස්ස සූත්‍රය)


ඉතින් අද දවසේදී මම මාතෘකා කළේ ඒ දුර්ලභ වූ බුද්ධ දේශනාවේ ඡායාවක් හෝ පෙන්නන්න පුළුවන් වන දේශනාවක්. මේ දේශනාව ගොඩාක් ගැඹුරුයි. නමුත් අපි ටික ටික හරි ඒ මාවතේ ගියොත් කවදාහරි දවසක අපිට එතෙර වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාව හොඳින් අහන්න ඕන. වෙනදා වගේ මම අර එදිනෙදා විඳින ජීවිතයේ දුක ගැන මතක් කරන්නේ නැහැ. ඒකට කාලය වැය කරන්නේ නැහැ. අපි ඒක ඕන තරම් අහලත් තියෙනවා. අහන්න ඕන නම් ඒ දේශනාත් ඇති. අපි දැන් මේ සූත්‍රගත අර්ථය ටිකක් තේරුම් කරගන්න උත්සාහවත් වෙමු. මේ සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකායේයි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ පර්යප්ති ශාසනය බෙදනවා විනය, සූත්‍ර, අභිධර්ම කියලා කොටස් තුනකට. එයින් සූත්‍ර කොටසේ, සංයුක්ත නිකායේ තමයි මේ රෝහිතස්ස සූත්‍රය තියෙන්නේ. රෝහිතස්ස කියලා දිව්‍ය පුත්‍රයෙක් බුදු රජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට උන්වහන්සේ දීපු පිළිතුර තමයි මේ සූත්‍රයෙන් කියවෙන්නේ. මේ රෝහිතස්ස කියන තැනැත්තා දෙවියෙක් කිව්වාට, එයා ඇත්ත වශයෙන්ම බ්‍රහ්මයෙක්. මේ දිව්‍ය කියන වචනය, අල්පායුෂ්ක දේව හා දීර්ඝායුෂ්ක දේව කියලා කොටස් දෙකකට බෙදෙනවා. චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය හා තුසිතය වැනි දිව්‍ය ලෝකවල වෙසෙන දෙවිවරු අල්පායුෂ්ක දේවයි. බ්‍රහ්මපාරිසජ්ඣය, බ්‍රහ්මපුරෝහිතයෙ ඉඳලා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ඉහළ බ්‍රහ්මලෝකවල දෙවියන්ට කියනවා දීර්ඝායුෂ්ක දේව කියලා. මේ දීර්ඝායුෂ්ක බ්‍රහ්මලෝකයක උපන් දෙවියෙක් තමයි, මේ රෝහිතස්ස. මේ රෝහිතස්ස කියන දෙවියා බුදු රජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේදී මම මහත් වූ ඍද්ධි තියෙන, අෂ්ටසමාපත්ති ලාභී ඍෂිවරයෙක්. මට එදා හැකියාව තිබුණා එක කකුලක් ඔසවලා, යොදුන් සීයක් ඈතින් ඊළඟ පියවර තබන්න. එවැනි ඍද්ධියක් තිබුණු මම මේ විශ්වයේ, මේ ලෝකයේ කෙළවරක් හොයාගන්න කියලා ගියා. එහෙම ගිහිල්ලා ලෝකයේ කෙළවරක් හොයාගන්න බැරිවෙලාම මම කලුරිය කළා. භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ කෙළවර දකින්නට යා යුත්තේ කොහොමද?” බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා: “රෝහිතස්ස, කිසිම වෙලාවක පා ගමනින් ගිහිල්ලා නම් මේ ලෝකය කෙළවරක් කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ (පා ගමනින් කිව්වහම හොඳට මතක තියාගන්න මේ ඇඟේ, කයේ හයියෙන් යානාවක් හැදුවත් එකත් අයිති පා ගමනට තමයි). එතකොට පා ගමනින් ගිහිල්ලා ලෝකයේ කෙළවරක් කරන්න පුළුවන් කියල මම කියන්නේ නෑ. නමුත් ලෝකයේ කෙළවරකට නොගොස් කවදාවත් දුක් කෙළවර කරන්න පුළුවන්කමකුත් නෑ,” කියලා. එහෙම නම් ලෝකයේ කෙළවර මොකක්ද? ඇහැ ලෝකයේ කෙළවරයි, රූපය ලෝකයේ කෙළවරයි, කන ලෝකයේ කෙළවරයි. ශබ්දය ලෝකයේ කෙළවරයි. මෙසේ නාසය – ගන්ධය, දිව - රසය, කය - පොට්ඨබ්බය හා මන – ධම්මායතනය කියන මේ දොළොස් ආයතන ටිකම පෙන්නනවා මෙන්න මෙතැන තමයි ලෝකයේ කෙළවර කියලා. ඊට පස්සේ මුළු අර්ථයම එකට කැටි කරලා, කෙටි කරලා රෝහිතස්ස දෙවියාට මෙන්න මෙහෙම ගාථාවකින් දේශනා කරනවා: “ඉමස්මිං ඥේව ඛ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේමි. ලෝක සමුදයඤ්ච පඤ්ඤාපේමි. ලෝක නිරෝධඤ්ච පඤ්ඤාපේමි. ලෝක නිරෝධ ගාමිණී පටිපදඤ්ච පඤ්ඤාපේමි.” “මේ සඤ්ඤා සහිත, මනස සහිත, බඹයක් පමණ වූ ශරීරයකින්ම මම ලෝකයද, ලෝකයේ ඇති වීමද, ලෝකයේ නැති වීමද, නැති කරන මගද පනවමි.” මෙන්න මේ ටිකයි අපි අද තේරුම් කරගන්න ඕන. 

විශේෂයෙන් මම මතක් කරන්න ඕන කාරණාවක් තමයි, අපි ගොඩාක් දෙනා කියනවා නේ අපි බෞද්ධයි කියලා. අපි බය නැතිව ලෝකයට ප්‍රකාශ කරනවා: ‘මේ බුදුදහම තමයි වටිනාම, ශ්‍රේෂ්ඨතම දහම. මේ දහමට සමාන දහමක් වර්තමාන ලෝකයේ කොහේවත් නැහැ. වෙන කිසිම ආගමකට, කිසිම දර්ශනයකට වඩා බුදුදහම වටිනවා, ශ්‍රේෂ්ඨයි’ කියලා අපි කියනවා. නමුත් භය නැතිව, සිංහ නාදයක් කරනවා වගේ, මෙහෙම ප්‍රකාශයක් කරන්න අපිට හේතුවක් තියෙන්න ඕන. කුමක් දන්න නිසාද, කුමක් දකින නිසාද, අපි මෙහෙම කියන්නේ කියලා කියන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕන. එහෙම නැතිව හරි තැනකට අහු වුණොත් වාදෙන් අපිව තළල පොඩි කරලා දායි! ඇයි? අපි ඔය වචන කිව්වාට සමහර විට ගොඩාක් දේ දන්නේ නැහැ. ඇයි? නරක දේවල් කරන්න එපා කියන අදහස මත නම්, ‘නරක දේවල් කරන්න එපා, හොඳ දේවල් කරන්න’ කියන ශාස්තෘවරු තව ඉන්නවා. එසේ කියන දර්ශනත් තව තියෙනවා. ‘අකුසල් කරන්න එපා, කුසල් කරන්න’ කියන අයත් තව ඉන්නවා. ක්‍රියාවාදී, කර්මවාදී ශාසන තව තියෙනවා. ගොඩාක් ආගම් තියෙන්න පුළුවන්. නරක දේ නොකරන්න, දෙමව්පියන්ට සහෝදරයන්ට සලකන්න, සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, ඔය වගේ වැරදි වැඩ කරන්නේ නැතුව කුසල් කරන්න කියන ශාසන තව තියෙනවා. අනිත් ආගම් දර්ශනවලට වඩා බුදු දහම ගොඩාක් වටිනවා කියලා ඒ හේතුවෙන් නම් අපිට කියන්න බැහැ. අනිත් හැම දර්ශනයකටම වඩා බුදු දහම ශ්‍රේෂ්ඨ වෙන්නෙ, බුදු දහම වටින්නෙ කොහොමද, කුමක් නිසාද කියල ඇහුවොත් අපිට බය නැතිව කියන්න පුළුවන් ගොඩාක් කාරණා නොවෙයි, එක තැනක් එක දර්ශනයක් තියෙන්න ඕන. කවුරුහරි වාදයකට ආවොත් සමහරවිට අපේ තියෙන අදහස්, දෘෂ්ටි ගැන පැය ගණනක හෑල්ලක් අහගෙන ඉන්නේ නැති වෙයි නේද? එතකොට අපිට පුළුවන් වෙන්න ඕන බුද්ධ දර්ශනයේ එක තැනකින්, ‘මෙන්න මේක නිසයි අනිත් ඒවාට වඩා වෙනස් වෙන්නේ,’ කියලා පෙන්නන්න. අපි කියමු දැන් සමහර විට තියෙන ගොඩාක් ගැඹුරු වෙනත් දර්ශනයක් ගැන ඇහුවොත්, මේක කොච්චර හරිද කියලා, වැලඳගන්න මට්ටමේ දර්ශන පවා තියෙනවා. මේවාත් අපට අදාළ නොවෙනවා නොවෙයි. වටපිටාව තේරුම් ගන්න-එක හොඳයි. අසූවෙ දශකයේදී ලෝකය පිළිගත්ත හොඳම දාර්ශනිකයා තමයි, ඉන්දියාවේ පහළ වෙච්ච ක්‍රිෂ්ණමූර්ති තුමා. එතුමාගේ දර්ශනය ටිකක් බලමු. 

එතුමාගේ විචාරාත්මක චින්තනය අවදි වෙන්න පටන් ගත්තා කියන්නේ වයස අවුරුදු නවයේදී පමණ. මේ ක්‍රිෂ්ණමූර්ති දරුවාගේ ගෙදර හිටපු පොඩි මල්ලී කෙනෙක් මැරුණ දවසේදී අම්මා කෑගහලා ඇඬුවාලු. මෙයාට නොතේරෙන නිසා ඒ දිහා නිකම් බලාගෙන ඉඳලා තියෙනවා. ඊට ටික කලකට පස්සේ දවසක් මෙයා අම්මත් එක්ක ගමනක් යන්න බස් නැවතුම්පොළේ හිටගෙන ඉන්නකොට, පාරේ එතැනින් කාගෙදෝ මිනියක් ගෙන යනවා. මිනිස්සු ඒ පස්සේ අඬ-අඬා යනවා. මෙයා අම්මා දිහා බැලුවා. නමුත් අම්මා අඬන්නේ නැහැ. මෙයාට හරි ප්‍රශ්නයක්. එදා මල්ලී මැරුණ වෙලාවේ මේ ගොල්ලෝ කවුරුත් ආවේ නෑ. නමුත් අද මේ අය අඬනවා, අම්මා අඬන්නේ නැහැ. මේ ගැන ඔහු හිතුවා. එතකොට මේ දුක කියන-එක ඇති වෙන්නේ තණ්හාව නිසා, මම කියල - මගේ කියලා ගත්ත නිසා නේද කියලා එතුමාට ඒ වෙලාවෙ හිතුණාලු. එය වැරදිද? නෑ. හරිනේ. ඒ වුණත් ඔය වගේ දර්ශන තිබුණාට, අපිට ඕන හරියට ලස්සනට තැනක් පෙන්වීම නොවෙයි. ඒ සඳහා ළඟා වෙන්න ඕන හැටි පෙන්නන-එකයි. ක්‍රිෂ්ණමූර්ති තුමා ඔය වගේ ගොඩාක් දේවල් විස්තර කරලා තියෙනවා: “හැමදාම උදා වෙන්නෙ අලුත් දවසක්, අලුත් මොහොතක්. නමුත් අතීතය නමැති ශෝචනීය බැම්ම නමැති මතකය විසින් අපේ ජීවිතය එක තැනක පල් කරනවා. ඒ නිසා අපට ඒ නැවුම් බව තේරෙන්නේ නෑ. පෙනෙන්නේ නෑ. ඇයි? ඒ අපිට පෙනෙන්නේ ඊයෙ දේම, පරණ තිබූ දේම, නැවත හමු වුණා කියලා. ඒකට හේතුව තමයි, අපි යමක් දිහා බලන්නේ සිතිවිල්ලකින්. සිතිවිල්ලකින් යමක් දිහා බැලුවහම නොදන්නා දෙයක් අපේ දැනුමට එකතු වෙනවා. ඊට පසුව අපි යමක් දිහා බලන්න හදනකොට අර සිතුවිල්ලම ඉදිරිපත් වෙනවා” කියලයි එතුමා කියන්නේ. ඉතාමත් ගැඹුරු වගේම මේ දර්ශනය ගොඩාක් දුරට නිවැරැදියි. නමුත් ඊට පස්සේ එයා දෙන විසඳුම වන්නේ “නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි. ඒ නිසා හිතන්නේ නැතුව ඉන්න.” අර කතා කරපු ඔක්කෝම ටිකේ වටිනාකම එතැනින් ඉවරයි. හරියට තව්තිසා දිව්‍යලෝකය ගැන, එහි දෙවිවරු ගැන, එහි තිබෙන විජයොත්පාය කියන ලස්සන මාළිගාව ගැන, ශක්‍ර දෙවියො ගැන, මෙහෙමයි මෙහෙමයි කියල අලංකාර විස්තරයක් කියාගෙන ගිහිල්ලා එතැනට යන මඟක් පෙන්නුවේ නැතුවා වාගෙයි. එතකොට එක දැනුමක් විතරයි. අනිත් දර්ශනවලටත් වඩා ඔය කතා කරපු දර්ශනය තුළත් පුද්ගලභාවය තුළින් එක් වෙන ක්ලේශයක් විතරයි අඩු වෙන්නේ. 

තවම අවිද්‍යා අනුසය එහෙමමයි. හොඳ දේ කරන්න. තණ්හාවෙන් ලෝකය අල්ලාගන්න එපා කියන මෙවැනි දර්ශන තියෙනවා. සොක්‍රටීස්ගෙ දර්ශනයත් ගොඩාක් ගැඹුරුයි. ඔබ අහලා ඇති සිග්මන් ෆෙ‍්‍රායිඩ් වැනි අයගේ දර්ශන ගැනත්. මම මේවා නිකමටයි මතක් කළේ. මේවා තුළින් කවදාවත්ම බැහැ බුදු දහම ශ්‍රේෂ්ඨයි කියන්න. නමුත් බය නැතිව මේ ඔක්කෝම අබිබවා ගිය ප්‍රකාශයක් අපි කරනවා නම් ඒකට ගැළපෙන අදහසුත් අපි ළඟ තියෙන්න ඕන. මම ටිකක් මතක් කරලා දෙන්නම්, හොඳට මතක තියාගන්න. මෙන්න මේ කාරණාව නිසයි ඔය ඔක්කෝම දර්ශනවලට වඩා බුද්ධ දර්ශනය වෙනස් වන්නේ. ක්‍රිෂ්ණමූර්ති තුමාගේ දර්ශනයටත් වඩා, මේ දැන් මේ පින්වතුන්ගේ හිතේ ඇති වන සිතිවිල්ල ගැන පවා කියන සිග්මන් ෆෙ‍්‍රායිඩ්ගේ දර්ශනයටත් වඩා බොහොම වටිනා, ලෝකයාට හිතන්නවත් බැරි දර්ශනයක් බුදු රජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ දර්ශනය යමෙක් හරියට දැක්කොත් එයා ලෝකෝත්තරම වෙනවා. ලෝකය අතහැරෙන දර්ශනයක් ඒක. මේ අනිත් ඔක්කෝම ලෝකය තුළ ඉඳගෙන දකින ඒවා. ඒ ගැනත් කෙටියෙන් මතක් කරන්නම් දැන්. මේ හැම ආගමකම, හැම ශාස්තෘවරයෙකුගෙම, හැම දර්ශනයකම මූලික පදනමක් තිබුණා. එනම්, හැමෝම දේශනා කළේ අපි ඉපදෙන්න පෙරත් මේ ලෝකය තිබුණා. ඒ තියෙන ලෝකයේ තමයි අපි ඉපදුණේ. ඒ තියෙන ලෝකයේ තමයි අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ කර්මානුරූපව අපි මැරෙනවා. නමුත් ලෝකය එහෙමම තියෙනවා කියන මානසික මට්ටම පදනම් කරගෙන තමයි, අපි ඉපදෙන්න ඉස්සර තිබුණ මේ ලෝකයට ආධුනිකව ආපු අපි ඒ ලෝකයට යහපතක් කරලා ලෝකයෙන් යෑම හොඳයි කියන එක තමයි හැම ආගමකම හැම දර්ශනයකම පදනම වුණේ. ඒ ලෝකයේ ඉන්නකොට යහපත් වීම හොඳයි කියන අදහස මුල් කරගෙන තමයි හැම දෙයක්ම කළේ. ඒ අපි ඉපදෙන්න පෙර තිබුණ අපි ඉපදුණ ඒ ලෝකයට තණ්හා නොකළ යුතුයි කියලයි හැමෝම මතක් කළේ. නමුත් බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඔය දර්ශනවලට හාත්පසින්ම වෙනස් සිද්ධියක්. උන්වහන්සේ දේශනා කළා: ඕක ඔය මොන විදියට කිව්වත් වැරැදියි. අපි ඉපදෙන්න පෙර ලෝකයක් තිබුණේ නෑ. මේ ආයතන ටිකේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි. තියෙන ලෝකයක් ඇසුරු කරනවා නොවෙයි, ආයතන ටිකේ පැවැත්මම ලෝකයේ පැවැත්මයි. අපි මැරෙනවා. ලෝකය ඉතුරු වෙනවා නොවෙයි. ආයතන ටිකේ නිරෝධය ම ලෝක නිරෝධයයි. තමන් ඉපදෙන්නට කලින් වත් තමා ඉපදුණාට පසුව වත්, ලෝකය තිබුණා හෝ තිබෙනවා හෝ නොවෙයි. මෙහෙම දර්ශනයක් ඉදිරිපත් කරපු නිසයි බුදු රජාණන් වහන්සේ අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨ වුණේ. අපි වුණත් හීනයකින්වත් හිතලා නැතුව ඇති. අපි හිතන්නේම, අපි දන්නේම, මේ ලෝකයේ අපේ අම්මලා තාත්තලා හිටපු නිසයි අපි මේ ලෝකයට බිහි වුණේ කියන-එක නේද? එහෙනම් දෙමව්පියෝ හිටියේ නැතිනම්, අපි කොහොමද ලෝකයට පහළ වුණේ කියන-එක ප්‍රශ්නයක්. කෙටියෙන් කියනවා නම්, මෙතැනදී මුළු ලෝකයක්ම එක පැත්තක් වෙන කොට බුදු රජාණන් වහන්සේ තනියම තනි පැත්තක් වෙනවා. එහෙම වන්නේ මොකක් නිසාද? මේ දර්ශනය දෙපැත්තකට යන නිසයි. 

බුදු රජාණන් වහන්සේගේ මේ දේශනාව අදටත් අපට ප්‍රශ්නයක්. අනිත් සියලු දෙනාගේ දර්ශනය වුණේ අපි ඉපදෙන්නට පෙර ඉස්සර වෙලාමයි ලෝකය හැදිලා තිබුණේ. ඒ හැදිලා තිබුණ ලෝකයෙයි අපි ඉපදුණේ. ඒ තිබුණ ලෝකයේ හිටපු අය තිබුණු දේවල් ඇසුරු කරගෙනයි මේ අපි ඉන්නේ. අපිත් මැරෙනවා. ඒ දේවල් ඒ විදියටම තියෙනවා. ලෝකය පිළිබඳ නිත්‍ය සඤ්ඤාවක් ඉබේම තියෙනවා. අපි විතරයි ඇති වෙලා නැති වෙන්නේ කියන-එකත් එක්ක. “යං කිඤ්චි සමුදය ධම්මං, සබ්බං තං නිරෝධ ධම්මං” කියන - එකත් එතැන නෑ. ඇති වෙච්චි අපි නැති වෙලා. නමුත් සියල්ල නැති වෙලා නෑ; ලෝකය ඉතුරු වෙලා කියලයි හැමෝම කිව්වෙ. ඇයි, අපි ඉපදෙන්නට ඉස්සර වෙලත් තිබුණා නම්, ඉපදුණාට පසුවත් තිබෙනවා නම් “සබ්බං තං නිරෝධ ධම්මං” කියන්න පුළුවන්ද? මෙන්න මේක වැරැදියි කියලයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ. * “ඡස්සු ලෝකෝ සමුප්පන්නෝ” - මේ ස්පර්ශ ආයතන හයේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි. * “ඡන්නමේව උපාදාය” – ආයතන හය ඇසුරු කරගෙනම ලෝකය පවතිනවා. හේමවත යක්ෂයා අහපු ප්‍රශ්නවලට දෙන ඔය උත්තර ටික බලන්න. ආයතන හය ඇසුරු කරගෙනම ලෝකයා පවතිනවා. * “ඡස්සු පුබ්බනි සන්ථවං” – ආයතන හය නිසාම ලෝකයා කර්ම රැස් කරගන්නවා. * “ඡස්සු ලෝකේ නිරුජ්ඣන්ති” – ආයතන හය නිරුද්ධ වීමෙන්ම ලෝකය නිරුද්ධ වෙනවා. මේ දර්ශනය බුදු රජාණන් වහන්සේ මේ රෝහිතස්ස සූත්‍රයෙන් බොහොම ලස්සනට ඉදිරි පත් කරලා තියෙනවා. * “ඉස්මිං ඥේව ඛ්‍යාම මත්ථේ කලේබරේ සසඤ්ඤම්හි සමනකේ” - මේ සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ශරීරය තුළින්ම ලෝකය පනවමි. එතකොට දැන් ලෝකය කියන එක පෙන්නන්ට වෙලා තියෙන්නේ මොකෙන්ද? මේ බඹයක් පමණ ශරීරයෙන්. එහෙනම් ඉපදීමට පෙර මේ බඹයක් පමණ ශරීරයක් වෙන කොහේවත් තිබුණද? නෑ. එහෙනම් ඒ බඹයක් පමණ ශරීරයේ ඉපදීමමයි ලෝකයේ ඉපදීම. මේ ශරීරයට අමතරව ලෝක සමුදයත්, ලෝක නිරෝධයත් පනවලා තව ලෝකයක් පෙන්නලා නෑ. මෙතැනදී අපි සොයා දැනගත යුතු කාරණය තමයි ඇයි බුදු රජාණන් වහන්සේ මෙහම දේශනා කළේ කියලා. ලෝකයාගේ දර්ශනය වැරැදියි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා නම්, මොකක්ද පෙන්නාපු නිවැරැදි දර්ශනය. 

මේ ගැන ඇහුවොත් සහේතුකව කරුණු දක්වන්න හැමෝම පොහොසත් වෙන්නේ නෑ. බුදු රජාණන් වහන්සේ ලෝකයේ අපි දකින මට්ටමේ බොරුවත්, ඇත්ත මේකයි කියලත් පෙන්නුවා. ඉපදෙන්න ඉස්සර වෙලා තිබුණා නොවෙයි; ආයතන ටිකේ ඉපදීමමයි ලෝකයේ ඉපදීම. ඉපදුණාට පස්සේ ලෝකයේ තියෙන දෙයක් ඇසුරු කරනවා නොවෙයි; ආයතන ටිකේ පැවැත්මයි ලෝකයේ පැවැත්ම. තියෙන දේ නැති වෙනවා වත්, එහෙම නැත් නම් අපි නැති වෙනවා වත් නොවෙයි වෙන්නේ; ආයතන ටිකේ නැති වීමයි ලෝකයේ නැති වීම කියලා දේශනා කළා. දැන් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්ට. ඇයි එහෙම දේශනා කළේ කියලා. ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකය තිබුණා කියන මට්ටමක ඉන්න අපිට මෙහෙම දේශනා කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන නේ. අපි බුදු රජාණන් වහන්සේ දේශනා කළා කියලවත්, අන්ධයෝ වගේ පිළිගන්න ඕන නෑ. නුවණැති පුරුෂයෙකුට තවත් ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. ඒකට උත්තර ලැබුණොත් තමයි අපි පිළිගන්න ඕන. නැතුව, බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි නේ; ඒ නිසා කියන දේ ඇත්ත වෙන්න ඇති; බොරු කියන්නේ නෑ නේද කියලා අන්ධ විශ්වාසයෙන් පිළිගන්න ඕන නෑ. එහෙම කරන කෙනා තමයි බුදු රජාණන් වහන්සේට චෝදනා කරන්නේ. එයා ළඟ එතන ශ්‍රද්ධාවක් නෑ. බුදු රජාණන් වහන්සේ කිව්වා කියලා අවිචාරයෙන් පිළිගන්නවාට වැඩිය, ඇයි බුදු රජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ කියලා විමසා බලා පිළිගන්න කෙනාවයි තථාගතයන් වහන්සේ අගය කළේ. මොකද එවැනි කෙනා කවදා හරි මේ දර්ශනය සහේතුකව තේරුම් ගන්නවා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න: සම්මා දිට්ඨිය කියලා මෙහෙම උත්තරයක් නම් දෙන්නේ, සම්මා දිට්ඨිය කිව්වේ ස්පර්ශ ආයතන හය පිළිබඳව නිවැරදි දැකීමයි. ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, නැති වීමත් පිළිබඳ බඹයක් පමණ ශරීරය තුළින් දකින්නට කිව්වම ඒකෙන් තේරෙනවා මුළු චතුරාර්ය සත්‍යයම. ඉපදෙන්නට කලිනුත් තිබුණා. ඉපදුණාට පසුවත් තිබෙනවා, තිබෙන දේ හමු වෙනවා කියලා, බාහිරයෙන් යමක් දකින්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව මොකක්ද කියලා ඇහුවොත් ඒකට දෙන්නෙත් ඉතාම සරල උත්තරයක්. “අවිජ්ජා පච්චයා සංඛාර, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සො, ඵස්ස පච්චයා වේදනා.” ඔය ඔක්කෝම අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නේ මෙන්න මෙහෙම පටිච්ච සමුප්පාදය අල්ලලා. “යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති, යෝ පටිච්ච සමුප්පාදං පස්සති සො ධම්මං පස්සති” යමෙක් දහම දැක්කොත් එයා පටිච්චසමුප්පාදය දැක්කා, යමෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් එයා ධර්මය දැක්ක කෙනෙක්. 

මෙසේ පෙන්වා ඇති පටිච්චසමුප්පාදය කියන්නේ ඔහේ නිකං උදේ ඉඳං රෑ වෙනතුරුත්, රෑ ඉඳං පසුදා පහන් වෙනතුරුත් කියව-කියවා ඉන්න-එකක් නොවෙයි. අපි දැක්කත් නැතත් සිදු වන සිද්ධියයි මේ. මේ ගැඹුරු දර්ශනය බුදු රජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හරහායි ඔප්පු කරන්නෙ. මෙන්න මේ වාගේ සිද්ධියක් සිදු වන නිසයි, ඔය වචනෙ කියන්නේ කියලා බය නැතුව දේශනා කරන්නේ ඒ නිසයි. පටිච්චසමුප්පාදය සම්බන්ධයෙන් ලෝකය කියන දේ වැරදියි. මෙතැන තියෙන්නේ ඇත්තටම සිදු වන ඇත්තක්. නමුත් ඒ ඇත්ත අපි තාම දන්නේ නැති නිසා බලාගන්ට බැරුවා මිසක කෙනෙකුට ශේෂයක්වත් වචන කතා කරන්න පුළුවන් තැනක නොවෙයි මේ දර්ශනය තියෙන්නේ. අපිට තේරෙන විදියට අපි මේකේ අර්ථය පොඩ්ඩක් ගවේෂණය කර බලමු. එතැනදී ඔය ඇත්තන්ට විචාරශීලී වෙන්ට යමක් හොයනකං හුරු පුරුදු වෙන්න ක්‍රමයක් නිකමට මතක් කරන්නම්. රෝහිතස්ස සූත්‍රයේදී පෙන්නුවා ලෝකයත්, ලෝකයේ ඇති වීමත්, නැති වීමත්, නැති කරන මගත් බඹයක් පමණ ශරීරයෙන් දකින්ට කියලා. ඊට පස්සේ ලෝකය කියන්නේ කුමකටද කිව්වාම අපි දන්නා තරමින් අදහස් ඉදිරිපත් කරගන්නේ නැතුව ඒ ප්‍රශ්නයටත් උත්තර සූත්‍රවලින්ම හොයාගන්නට බලමු. 

(මතු සබැඳේ) කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි (ගලෙන්බිඳුණුවැව, ලබුනේරුකන්ද ආරණ්‍ය සේනාසනය) 

සසර තතු දැක නිවනට


අප ඉපදුණේ අපායේ පමණක් නොවෙයි; මහ පොළොවේ වැලි කැට ගණනට වඩා වැඩි වාර ගණනක් පේ‍්‍රතයන් වෙලත් ඉපදුණා. පේ‍්‍රතයන් වී ඉපදුණාට පස්සේ, අවුරුදු දහස් ගණන්, දසදහස් ගණන්, සමහර විට බුද්ධාන්තර ගණන් බොන්නට වතුර ටිකක් නැතිව අපි පිපාසයෙන් පිච්චුණා. කෑමට ආහාරයක් නැතිව කුසගින්නෙන් දැවුණා. අඳින්නට වස්ත්‍රයක් නැතිව, ඉන්නට තැනක් නැතිව බොහෝ දුක් විඳවිඳ බුද්ධාන්තර ගණන් හිටියා. කෑමට බීමට දෙයක් නැතිව ‘ඛුප්පිකාසික’ පේ‍්‍රතයන් වෙලා අපි මෙහෙම කොච්චර නම් දුක් විඳලා තිබෙනවාද?
අපි පේ‍්‍රතයන් වෙලා ඉපදිලා සමහර විට ආහාරයට ගත්තේ මිනිසුන් ඉවතට දමන කෙළ, සෙම්, සොටු ටිකක්; නැත්නම් මිනිසුන්ගේ හරි තිරිසන් සතුන්ගේ හරි අසූචි; නැත්නම් ඔවුන්ගේ මළකුණු; එහෙමත් නැත්නම් පිඟන්, කෝප්ප ආදිය සෝදලා ඉවත දාන තැන්වල තිබුණු බත්හුළු, තවත් සමහර අවස්ථාවලදී තමන්ගේ ම ඇඟ සූරාගෙන, එසේත් නැත්නම් වණ තුවාලවලින් ගලනා ලේ සැරව.
මීට අමතරව, කවුරුහරි පින් දුන්නොත් කන්නට බොන්නට දෙයක් ලැබෙන ‘පරදත්තූපජීවක’ පේ‍්‍රතයන් වශයෙනුත් අනන්ත අප්‍රමාණ වාර ගණන් අපි ඉපදී දුක් වින්දා. ඒ කාලයේ අපි හිටියේ අතිශයින් දීර්ඝ කාලාන්තර ගණන් තිස්සේ කන්නට බොන්නට දෙයක් නොමැතිව, සාපිපාසා ගිනි මැද අතිශය දුක් විඳිමින්.
මෙපමණක් නොවෙයි. අපි ‘කාලකඤ්ජි’ පේ‍්‍රතයන් වෙලත් බොහෝ වාර ගණන් ඉපදුණා. ඒ පේ‍්‍රතයන්ගේ ශරීර හරි උසයි; ඇස් දෙක තිබෙන්නේ හිස මත; කට ඉදිකටු සිදුරක් විතර අති; තුනටිය ඉතාමත්ම සිහින්. කෙළ සෙම් සොටු ටිකක් සොයසොයා ඇවිදලා, ඒවා කොතැනක හරි තිබෙනවා දැකලා, ගන්නට නැමෙන විට තුනටිය ළඟින් දෙකට කැඩී යනවා. කර්ම ශක්තිය නිසා නැවතත් ඉපදෙනවා; නැවතත් පෙර සේ ම දුකට පත් වෙනවා. මෙහෙම ඉපදිලා අපි කොච්චර නම් දුක් විඳලා තිබෙනවාද?
ලක්ඛණ සංයුක්තයේ දක්වා තිබෙනවා සමහර පේ‍්‍රතයන්ගේ ශරීරවල ස්වරූපය සහ ඔවුන් කළ අකුශල කර්ම. බුදු රජාණන් වහන්සේ වදාළේ ඔවුන් කළ ඒ ඒ අකුශල කර්මවල විපාක වශයෙන් අපායේ ඉපදී අතිදීර්ඝ කාලාන්තරයක් එහි දුක් විඳ, අපායෙන් මිදුණාට පසුව මෙලෙස ඔවුන් ඉපදී සිටිනවා කියලයි. අපායේ ඉපදුණු පමණින් කළ අකුශල කර්මවල විපාක ගෙවා නිම කරන්නට බැහැ. ඒවායේ ප්‍රවෘත්ති විපාක පිරිනිවන් පාන මොහොත දක්වාම පල දෙන්නට පුළුවන්.
සමහර පේ‍්‍රතයන්ගේ ඇඟේ සම නැහැ. ශරීරය තනිකරම මස්වැදැල්ලක් වගේ. ඔවුන්ට කොටන්නට එන යක්‍ෂ ගිජුළිහිණියෝ, උකුස්සෝ, ඔවුන් පසුපස හඹා ඇවිත් මස් වැදලි කඩකඩා කනවා. වේදනාවෙන් කෑගසමින් ඒ පේ‍්‍රතයෝ දුවනවා.
සමහර පේ‍්‍රතයන්ගේ තිබෙන්නේ ඇටසැකිලි විතරයි. යක්‍ෂ ගිජුළිහිණියෝ, උකුස්සෝ ඒ ඇටසැකිලි පසුපස එළවඑළවා, කඩකඩා කන විට, ඒ පේ‍්‍රතයෝ දුක ඉවසිය නොහැකිව විලාප දෙනවා.
සමහර පේ‍්‍රතයන්ගේ ශරීරවලින් ගින්දර විහිදෙනවා. ඔවුන්ගේ ශරීර ඇතුළතිනුයි පිටතිනුයි ඇති ගින්දරවලින් ඒ පේ‍්‍රතයෝ මැරෙන මොහොත දක්වාම ගිනි ගෙන දැවෙනවා. ‘නිජ්ඣාමතණ්හික’ පේ‍්‍රතයන් කියලයි මොවුන් හඳුන්වන්නේ.
සමහර පේ‍්‍රතයෝ සිටිනවා අසූචි වළවල්වල එරිලා. මහා ගිනි කබල් හිස මත තබාගෙන පිච්චිපිච්චී ඔවුන් සිටින්නේ.
සමහර පේ‍්‍රතයන්ගේ ශරීරවල ලෝම හරියට අවි ආයුධ වගේ. ඒවායින් ඔවුන්ගේම ඇඟවල් කැපිකැපී, කැපිකැපී යනවා.
සමහර පේ‍්‍රතයන්ගේ ලෝම ඉදිකටු වගෙයි.
යකඩ උල් ඇනෙන්නා සේ ඒ ලෝම ඇනි ඇනී ඒ පේ‍්‍රතයෝ මහත් දුක් විඳිනවා.
අපිත් අතීත සංසාරයේදී මෙවැනිම පේ‍්‍රතයන් වෙලා පමණක් නොවෙයි, මීට අමතරව දසදහස් ගණන් වෙනත් ආකාරවලිනුත් විවිධ පේ‍්‍රතයන් වෙලා ඉපදිලා, අප්‍රමාණ අසීමිත කිව නොහැකි තරම් දුක් වින්දා. එසේ විඳින ලද දුක් මොනම ආකාරයකින්වත් කියලා, හිතලා නිම කරන්නට බැහැ. විශේෂයෙන්ම මේ අය අවධාරණය කර මතක තබාගත යුතුයි සෝවාන් වත් වී නැති කිසිවෙක් පේ‍්‍රත ලෝකයෙන් මිදිලා නැති බව.
ලක්ඛණ සංයුක්තයේ දැක්වෙන මේ ආදි පේ‍්‍රතයන් සහ ඔවුන් කළ කර්ම පිළිබඳ ලැයිස්තුවක් මෙහෙම දක්වන්න පුළුවන්:

01. ඇට සැකිල්ලක් පමණක් ඇති පේ‍්‍රතයන්: ගවඝාතක කර්ම.
02. මස්වැදැල්ලක් පමණක් ඇති පේ‍්‍රතයන්: ගවඝාතක කර්ම.
03. මස්පිඩක් වූ පේ‍්‍රතයන්: කුරුල්ලන් මරා විකිණීම.
04. සම නැති පේ‍්‍රතයන්: බැටළුවන් මරා විකිණීම.
05. අසිපත් වැනි ලොම් ඇති පේ‍්‍රතයන්: ඌරන් මරා විකිණීම.
06. ඊතල වැනි ලෝම ඇති පේ‍්‍රතයන්: වධකයකු ලෙස කටයුතු කිරීම.
07. ඉදිකටු වැනි ලොම් ඇති පේ‍්‍රතයන්: කේළාම් කීම.
08. කළගෙඩි පමණ අණ්ඩකෝෂ ඇති පේ‍්‍රතයන්: අල්ලස් ගෙන අයුතු ලෙස නඩු විසඳීම.
09. අසූචි වළක හිස සහිත මුළු සිරුර ම ගිලුණු පේ‍්‍රතයන්: පරදාර සේවනය.
10. අසූචි වළක එරී දෑතින්ම අසූචි කන පේ‍්‍රතයන්: දානයට ඇරියුම් කර අසූචි කන්නැයි භික්‍ෂූන්ට ප්‍රකාශ කිරීම.
11. සම නැති පේ‍්‍රතියන්: වෙශ්‍යාකම් කිරීම.
12. අතිශයින් දුගඳ හමන, පිළිකුල් පේ‍්‍රතයන්: යකැදුරුකම් කිරීම.
13. ගින්නෙන් පිච්චුණු ශරීර ඇති, දාඩිය වැගිරෙන, ශරීරය ගිනි අඟුරින් වෙළීගත් පේ‍්‍රතයන්: තම සැමියාගේ හොර බිරිඳට ගිනි අඟුරු දැමීම.
14. හිස නැති ප්‍රේතයන්: (ඔවුන්ගේ ඇස් සහ කට පපුවේ ඇත:) රාජ්‍ය සේවය සඳහා සොරුන් මැරීම (වෝර ඝාතක කර්මය)
15. ගිනි ගත් සිවුරු, ගිනි ගත් පාත්‍ර, ගිනි ගෙන දැවෙන ශරීර ඇති ශ්‍රමණ පේ‍්‍රතයන්, ශ්‍රමණ පේ‍්‍රතියන්, සාමණේර පේ‍්‍රතයන්, සාමණේරී පේ‍්‍රතියන්: කාශ්‍යප බුද්ධ ශාසනයේ පවිටු ලෙස මහණකම් කිරීම.
මොවුන් මේ තත්ත්වවලට පත් වූයේ, ඔවුන් කළ අකුශල කර්ම විපාක වශයෙන් අපායේ ඉපදී බොහෝ කලක් අපායේ දුක් විඳ, අපායෙන් මිදුණු පසුවයි.
සතර අපායෙන් එකක් වන අසුරයන් වශයෙන් ද අපි ඉපදී අතීත සංසාරයේ අනන්තවත් දුක් විඳ තිබෙන බවත් මේ අය අවබෝධ කරගත යුතුයි.
දෙවියන් මෙන්ම ආනුභාව සම්පන්න, දේව කොට්ඨාසයන්ටම අයත්, ‘වේපචිත්ති, රාහු, පහාරද’ වැනි අසුරයන් සහ පහළම දිව්‍ය ලෝකය හා සම්බන්ධ එහෙත් එතරම් ආහාරපානාදිය නොලබන ‘විනිපාතික අසුරයන්’ සතර අපායට අයත් වන අසුරයන් වශයෙන් සැලකෙන්නේ නැහැ. අපායට අයත් වන අසුරයන්, සැතපුම් ගණන් ඉතා උස, නිරන්තරයෙන්ම සා-පිපාසාවෙන් පෙළෙන, නැගිටින්නට වත් බැරි තරමට ඉතාමත්ම දුර්වල, ඉතාම සිහින් ශරීර ඇති සත්ත්ව කොට්ඨාසයක් බව යි පොත්වල සඳහන් වන්නේ.
‘කාලකඤ්ජි’ පේ‍්‍රතයන්ට වඩා විශාල ශරීර තිබෙන මොවුන් ඉපදුණු දවසේ සිටම සිටින්නේ සා-පිපාසාවෙන් දුක් විඳිමින්. මොවුන්ගේ ශරීර මස්-ලේ සිඳී ගිය, වේළිච්චි සමකින් වැසී ගිය ඇටසැකිලි වගේ. සෙම් සොටු ටිකක් වැනි දෙයක් ගැනීමට නැමුණොත් මොවුන්ගේ ශරීර කැඩී යනවා. එහෙත් මොවුන්ගේ කර්ම ශක්තිය නිසා නැවතත් කලින් සේම සිරුර හැදෙනවා. කිසි දිනක කන්නට බොන්නට කිසිවක් නොලැබෙන මොවුන් විඳින දුක වචනවලින් කියා නිම කරන්නට බැහැ.
මෙවැනි අසුරයන් වෙලා අපි ඉපදුණු වාර ගණන් පොළොවේ වැලි කැට ගණනටත් වඩා වැඩියි. කොපමණ නම් දුකක් අපි ඒ විධියට විඳලා තිබෙනවා ද කියලා සිතා බලන්න.
මේ පමණක් නොවෙයි, අපි ලෝකාන්තරික නරකවලත් ඉපදී අනන්තවත් දුක් වින්දා. පොත්වල සඳහන් වන විධියට ලෝකාන්තරික නරක තිබෙන්නේ ලෝක ධාතු දෙකක් අතර. ඝන අන්‍ධකාරයෙන් වැසිලයි තිබෙන්නේ. අතිශයින්ම දරුණු ශීතලක් ඒවායේ තිබෙනවා. ඒ නරක වළ පතුලේ තිබෙන ජලයත් ඒ වගේම ශීතල යි.
මෙම ශීතලෙන් දුක් විඳිමින්, කිසිම ආහාර පානයක් නොමැතිව පීඩිතව, මේ නරකවල සත්ත්වයන් සිටින්නේ වවුලන් වගේ එල්ලිලා. මොවුන් බිමට වැටුණොත් වැටෙන්නේ යට තිබෙන අතිශයින් ශීතල ජලයට. එහෙම වැටුණට පස්සේ ‘චිටි චිටි’ ගාමින් ඔවුන් පුපුරපුපුරා ගියත්, නැවත එහිම ඉපදිඉපදී අනන්තවත් දුක් විඳිනවා. අතීත සංසාරයේ අපි මෙහෙම කොච්චර නම් දුක් විඳලා තිබෙනවා ද?
කම්මට්ඨානාචාර්ය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

3/24/17

දුක්ඛ ආර්ය සත්‍යයේ ද්වාදසාකාරය


“තත්ථ කතමං දුක්ඛං අරියසච්චං? ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොක පරිදෙව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.” මෙය අභිධර්ම පිටකයෙහි විභඞ්ග ප්‍ර‍කරණයෙහි සච්ච විභංග සුත්තන්ත භාජනීයයෙහි දුඃඛාර්‍ය්‍ය සත්‍යය දැක්වෙන පාඨයයි. 

(1) ජාතිය, 
(2) ජරාව, 
(3) මරණය 
(4) ශෝකය, 
(5) පරිදේවය, 
(6) දුක්ඛය 
(7) දෞර්මනස්‍යය 
(8) උපායාසය 
(9) අප්‍රිය සම්ප්‍රයෝගය, 
(10) ප්‍රිය විප්‍රයෝගය
(11) කැමැති දෑ නොලැබීම, 
(12) පඤ්චෝපාදානස්කන්ධයෝ ය යන මේ දොළස දුඃඛාර්‍ය්‍ය සත්‍යය බව මෙයින් දක්වනු ලැබේ. 

1. ජාති දුක්ඛය 

‘ජාති’ යන මේ වචනය අර්ථ රාශියක් දෙන වචනයෙකි. මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි එයින් අදහස් කරනු ලබන්නේ භවයෙහි පළමු කොට ඉපදීම යන අර්ථය යි. එයින් ද කියැවෙනුයේ, මව්කුස පිළිසිඳ ගන්නා වූ සත්ත්වයන්ගේ පිළිසිඳීමේ පටන් බිහිවීම දක්වා ඇත්තා වූ ද අවශේෂ සත්ත්වයන්ගේ ප්‍ර‍තිසන්ධික්ෂණයෙහි පහළවන්නා වූ ද ස්කන්ධයෝ ය. ඒ ජාතිය දුක් වනුයේ නොයෙක් දුක් වලට හේතු වන බැවිනි. දුඃඛය වනාහි දුඃඛ දුඃඛය, විපරිණාම දුඃඛය, සංස්කාර දුඃඛය, ප්‍ර‍තිච්ඡන්න දුඃඛය, අප්‍ර‍තිච්ඡන්න දුඃඛය, පර්‍ය්‍යාය දුඃඛය, නිෂ්පර්‍ය්‍යාය දුඃඛය යි අනේකාකාර වේ. එහි හිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම යනාදි ශරීරයෙහි හටගන්නා වූ වේදනාවෝ ද ප්‍රිය වස්තු විනාශාදියෙන් සිත්හි හට ගන්නා වේදනාවෝ ද දුඃඛ දුඃඛ නමි. සුඛ වේදනාව හෙවත් සිත කය දෙක්හි හට ගන්නා සුවය නැති වී යාමෙන් දුක් වන බැවින් විපරිණාම දුඃඛ නමි. උපේක්ෂා වේදනාව හා අවශේෂ ත්‍රෛභූමික සංස්කාරයන් උදයව්‍යය දෙකින් (ඉපදීම බිඳීම දෙකින්) පීඩිත වන බැවින් සංස්කාර දුඃඛ නමි. කන් කැක්කුම, දත් කැක්කුම, රාගය නිසා වන තැවීම්, ද්වේෂය නිසා වන සිත් තැවීම් ආදිය නො කියා නො දත හැකි බැවින් උපක්‍ර‍මයක් ද නො පෙනෙන බැවින් ප්‍ර‍තිච්ඡන්න දුඃඛ නමි. වැසී පවත්නා දුකය යනු එහි තේරුමයි. දඬු මුගුරු වලින් ගැසීම්, පිහියෙන් ඇනීම්, කඩුවෙන් ගැසීම් ආදියෙන් වන්නා වූ දුඃඛය නො කියා ම දත හැකි බැවින් ද, උපක්‍ර‍මය ප්‍ර‍කට බැවින් ද අප්‍ර‍තිච්ඡන්ද දුඃඛ නමි. ප්‍ර‍කට දුකය යනු එහි තේරුමයි. දුඃඛ දුඃඛය හැර සත්‍යය විභංගයෙහි දැක්වෙන ජාත්‍යාදි සියල්ල ඒ ඒ දුක්වලට වස්තු වන බැවින් පර්‍ය්‍යාය දුඃඛ නමි. දුඃඛ දුඃඛය නිෂ්පර්‍ය්‍යාය දුඃඛ නමි. ජාතිය දුකය යි කියන ලදනමුත් හුදු ඉපදීම් මාත්‍ර‍ය ම දුකෙක් නො වේ. නරකාදි සතර අපායෙහි ඇත්තා වූ යම් මහත් වූ දුකෙක් වේ නම් ඒ දුක ද සුගතියෙහි ගර්භාවක්‍රාන්ති මූලක දුඃඛාදි යම් දුකෙක් වේ නම් ඒ දුක ද නූපන්න හොත් නො වන්නේය. ඉපදීමෙන් ම වන්නේය. එබැවින් ජාතිය ද ස්වභාවයෙන් දුක නුවූයේ ද දුකට වස්තු භාවයෙන් දුකකැයි කියනු ලැබේ. අපායෙහි දුඃඛය යට කියන ලදි. සුගතියෙහි ගර්භාවක්‍රාන්ති මූලකාදී දුඃඛය මෙසේ දත යුතු. මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගැබෙක හෝ රන් කරඬුවක නො වේ. ඔහු පක්වාශය මතුයෙහි ආමාශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිර වූ ලෝකාන්තරික නරකයක සේ අඳුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුණා වූ මවු කුස වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය, ඉක්බිති ඔහු දස මසක මුළුල්ලෙහි මව් කුස තුළ ම උෂ්ණයෙන් පැසෙමින් අත් පා සැකිළීම් දිගු කිරීම් වලින් තොරව මහත් දුකක් විඳින්නේ ය. මෙය ගර්භාවක්‍රාන්ති මූලක දුඃඛය යි. ඔහු මව හිඳගන්නා වූ ද නැගිටින්නා වූ ද යන්නා වූ ද නොයෙක් වැඩ කරන්නා වූ ද කාලයන්හි රා සො‍‍ඩෙකු අතට අසු වූ එලු පැටවකු මෙන් ද, අහිකුණ්ඩිකයකු අතට ගත් සර්පයකු මෙන් ද පොඩි වන්නේය. තැළෙන්නේය. ඔහු මව ඇල් දිය බී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන් ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය. මෙය ගර්භපරිහරණ මූලක දුඃඛය යි. ගැබ් මුළා වූ මවට අතිශයින් මෘදු වූ ස්ථානයන්හි වෙදුන් විසින් සැත්කම් කිරීම් ආදියෙන් වන්නා වූ මහත් වූ රිදීම ගර්භ විපත්තිමූලක දුඃඛය යි. දරුවා බිහිවන කල්හි මව් කුස තුළ ම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවාගේ ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙන සේ පෙරළෙන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබූවකුට මෙන් මහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සංඝාත නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බඳු මහත් දුකෙක් වන්නේය. මෙය විජායන මූලක දුඃඛය යි. මව්කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහි ම නාවා පිරිසිදු කරන කල්හි අලුත හට ගත් වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හි මෙන් මහත් වූ දුකෙක් වන්නේය. මෙය වහිර් නිෂ්ක්‍ර‍මණ මූලක දුඃඛය යි. හෙවත් පිටවීම හේතු කොට වන දුකය. ඉපද වැඩිවිය පැමිණීමේන පසු සිය දිවි නසා ගන්නවුන්ට ද, ක්‍රෝධය නිසා හෝ ලෝභය නිසා හෝ ආහාර වර්ජනය කරන්නවුන්ට ද, මිථ්‍යාව්‍ර‍ත සමාදානයෙන් අව්වෙහි සිටීම් කටු ඇතිරිවල හිඳීම් ආදිය කරන්නවුන්ට ද උපදනා දුඃඛය ආත්මෝපක්‍ර‍ම මූලක දුඃඛ නමි. තැළීම්, කැපීම්, බැඳීම් ආදියෙන් අනුන් විසින් උපදවන්නා වූ යම් දුකක් වේ නම් එය පරෝපක්‍ර‍ම මූලක දුඃඛ නමි. මේ සියලු ම දුඃඛයන්ට ජාතිය හෙවත් ඉපදීම හේතුවන බැවින් ජාතිය දුකෙකි.
2. ජරා දුඃඛය 

උපන් සත්ත්වයාගේ ස්කන්ධ පරණවීම දිරීම ජරා නමි. ආත්මභාවය පරණ වූ කල්හි කෙස් ලොම් පැසෙන්නේය. දත් සැලෙන්නේය. ඇඟ රැලි වැටෙන්නේය. දුර්වර්ණ වන්නේය. තල කැලල් හට ගන්නේය. කොරල පිපෙන්නේය. ඇට නහර ඉල්පෙන්නේය. කුදු වන්නේය. ඇස් පෙනුම අඩු වන්නේය. අන්ධ හෝ වන්නේය. කන් බිහිරි වන්නේය. දිවට රස දැනීම මඳ වන්නේය. කළ දෑ කරන්නට තිබෙන දෑ නොයෙක් විට අමතක වන්නේය. නුවණ මඳ වන්නේය. නොයෙක් විට ඔහු රැවටෙන්නේය. වැරදීම් බහුල වන්නේය. ශරීර ශක්තිය අතිශයින් හීන වන්නේය. අත් පා වෙව්ලන්නට වන්නේය. දරුවන්ට පවා අප්‍රිය වන්නේය. ජරාව ස්වභාවයෙන් දුකක් හෙවත් රිදීමක් නොවන නමුත් මේවා නිසා දිරූ තැනැත්තාට කායික වූ ද මානසික වූ ද බොහෝ දුඃඛ වේදනාවෝ වන්නාහු ය. ඒ සියලු දුඃඛ වේදනාවන්ට හේතුව ජරාව ම බැවින් ජරාව ද මහත් වූ දුකක් වන්නේය. මහලුව දුබලව සිටින්නා හට නිදා සිටි තැනින් නැගිට හිඳ ගැනීම ද හිඳගෙන සිටින තැනින් නැගිටීම ද දුකෙකි. යන කල්හි මඳ දුරක් යෑමෙන් ම වෙහෙසට පත් ව ඔහුට බොහෝ ශාරීරික වේදනා හට ගන්නේ ය. ගමන් කරන්නා වූ දුබල මහල්ලා ඉදිරියට තබන පය බලාපොරොත්තු වූ තැනට නො පැමිණීමෙන් ද ගල් මුල් ආදියෙහි සැපීමෙන් ද නොයෙක් විට බිම ඇද වැටෙන්නේ ය. එසේ වැටුණු අවස්ථාවල දී අත් පා බිඳීම් ආදියෙන් ඔහුට බොහෝ දුක් වන්නේ ය. තමහට වුවමනා දෑ ලබා ගනු පිණිස රැකී රක්ෂාවක් කරන්නට නුපුළුවන් බව ද ඔහුට මහත් දුකෙකි. ආහාරයක් ලද ද ඔහුට රිසි සේ වළඳන්නට නුපුළුවන් බව ද දුකෙකි. තමහට තිබෙන දෑ සොරුන්ගෙන් සතුරන්ගෙන් ආරක්ෂා කරන්නට නුපුළුවන් බව ද දුකෙකි. අමාරුවෙන් සිටින කල්හි අන්‍යයන් විසින් විසුළු කරනු ලැබීම ද දුකෙකි. ආදරයෙන් පෝෂණය කරනු ලැබූ අඹුදරුවන් අකීකරු වීමත්, ඔවුන් විසින් නො සලකා හැරීමත් මහත් දුකෙකි. මේ ආදි ජරාව හේතු කොට ඇත්තා වූ දුක් මහත් රාශියකි. 

3. මරණ දුඃඛය 

මරණය වනාහි ක්ෂණික මරණය, සංවෘත මරණය යයි දෙ වැදෑරුම් වේ. ක්ෂණයක් පාසා සිදුවන නාම රූපයන්ගේ බිඳීම ක්ෂණික මරණය නමි. පරම්පරා වශයෙන් පැවත එන ස්කන්ධ සමූහයක හෙවත් සත්ත්වයකුගේ ජීවිතේන්ද්‍රියය සිඳී යාම සංවෘත මරණය නමි. ලෝකයේ “මිනිසා මළේය, ළමයා මළේය, ගොනා මළේය,” යනාදීන් කියනු ලබනුයේ ඒ සංවෘත මරණය යි. මේ මරණ දෙක ම දුක් ම වන නමුත් මේ ආර්‍ය්‍ය සත්‍ය කථාවෙහි අදහස් කරනුයේ සංවෘත මරණය යි. එය ද ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ඡේදක මරණය යි සිව් වැදෑරුම් වේ. ඒ ඒ ජාතිවලට අයත් සත්ත්වයන් හට ජීවත් විය හැකි කාල ප්‍ර‍මාණයක් ඇත්තේය. ඒ කාල ප්‍ර‍මාණයට ආයුෂයයි කියනු ලැබේ. ඒ කාලය ගෙවෙත් ම ශරීරය දිරා යාමෙන් ඉන් ඔබ්බට ජීවත් විය නො හැකි ව සත්ත්වයෝ මිය යති. ඔවුන්ගේ ඒ මරණයට ආයුක්ෂය මරණය යයි කියනු ලැබේ. අතීත කර්මය ද සත්ත්වයාගේ ජීවත්වීමට එක හේතුවකි. බලවත් වූ කර්මයෙහි සත්ත්වයා බොහෝ කල්හි ජීවත් කරවන ශක්තියක් ඇත්තේ ය. දුර්වල කර්මයන් කෙරෙහි බොහෝ කල් ජීවත් කරවන ශක්තියක් නැත්තේ ය. එබැවින් දුර්වල කර්මවලින් උපන් සත්ත්වයෝ පහන් වැටිය නිරුපද්‍රිතව තිබියදී, වැසි සුළං ආදී බාහිර උපද්‍ර‍වයකුදු නැතිව, තෙල් ඉවර වීම නිසා නිවී යන්නා වූ පහන් මෙන් ආයුෂය ඉදිරියට තිබියදීම කර්ම ශක්තිය ගෙවීමෙන් මිය යෙති. ඒ මරණය කර්මක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය හා කර්ම ශක්තිය එකවර ගෙවී යාමෙන් මිය යෙති. එය උභයක්ෂය මරණය නමි. ඇතැමෙක් ආයුෂය කර්මය යන දෙක ම තිබිය දී හදිසියෙන් පැමිණෙන්නා වූ රෝගාදි යම්කිසි හේතුවකින් මිය යෙති. එය උපච්ඡේදක මරණ නමි. ජීවිතේන්ද්‍රියයාගේ සිඳීම් මාත්‍ර‍ය රිදුමක් නො වෙතත් මේ සතර ආකාරය අතුරෙන් කවර ආකාරයකින් වුව ද මැනේනා වූ සත්ත්වයා හට මරණය වනුයේ ඔහුගේ සිත කය දෙක ම මහත් රිදුම් රාශියක් ඇතිකොට අන්තිමේදී ය. එබැවින් මරණය මහත් වූ දුකෙකි. මරණය ළං වූ කල්හි මැරෙන සත්ත්වයාගේ ශරීරයෙහි වාතාදි දෝෂයන් නයින් සේ කිපී පොලු වලින් තලන්නාක් මෙන් ද, පිහිය වලින් පලන්නාක් මෙන් ද, හුල් වලින් අනින්නාක් මෙන් ද, ශරීරය ඒ මේ අත පෙරළ පෙරළා පොඩි කරන්නාක් මෙන් ද, ගින්නේ දවන්නාක් මෙන් ද, අත් පා ගලවන්නාක් මෙන් ද, ඇඟ මස් ගලවන්නාක් මෙන් ද, ශරීරය පෙළන්නට වන්නාහු ය. මරණය ළංවත් ම විශේෂයෙන් ම ඝන වූ සෙම නැගී අවුත් ළය තද කරන්නේ ය. ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ගය අවුරන්නේය. එයින් මැරෙන්නා වූ තැනැත්තා හට ආශ්වාස ප්‍ර‍ශ්වාස කිරීම ඉතා අමාරු වන්නේය. මේ තද වීම නිසා ඔහුට ඉතා මහන්සියෙන් ආශ්වාස ප්‍ර‍ශ්වාස කරන්නට සිදුවන්නේය. භයානක හඬක් නංවමින් ඉතා අමාරුවෙන් ඒ අවස්ථාවේ දී කරන ආශ්වාස ප්‍ර‍ශ්වාසයට පණ ඇදීමය යි කියති. සෙම නැගී අවුත් ආශ්වාස ප්‍ර‍ශ්වාස මාර්ගය ආවරණය කළ කල්හි සත්ත්වයාහට වන්නා වූ වේදනාව ඉතා මහත් වූවකි. අනේපිඬු මහ සිටාණන් මරණ මඤ්චකයෙහි සැතපෙන අවස්ථාවෙහි එතුමන් දක්නට ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ ද වැඩි සේක. ශාරිපුත්‍ර‍ ස්ථවිරයන් වහන්සේ සිටාණන් ගෙන් සුවදුක් විචාළහ. එකල්හි සිටාණෝ “ස්වාමීනි ශාරිපුත්‍ර‍යන් වහන්ස, බලවත් පුරුෂයකු විසින් මිටියකින් ගසන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් පෙළන්නේය. බලවත් පුරුෂයකු විසින් වරපටකින් තද කොට වෙළන්නාක් මෙන් මාගේ හිස වාතයෙන් තද වන්නේය. දක්ෂ වූ ගව ඝාතකයන් විසින් ගෙරි මස් කපන තියුණු සැතකින් කපන්නාක් මෙන් මාගේ කුසය රිදෙන්නේය. බලවත් පුරුෂයන් දෙදෙනකු විසින් දුර්වල පුරුෂයකු දෑතින් අල්වා ගෙන ගිනි අඟුරු වළෙක ලා පෙරළා තවන්නාක් මෙන් දැවෙන්නේය” යි කීහ. අනේ පිඬු මහ සිටාණන් වැනි පින්වතුන් හට මරණ දුක්ඛය මෙපමණ මහත්ව යන කල්හි සෙස්සන්ට මරණාසන්නයේ දී මහත් වූ දුකක් වීම ගැන කියනුම කිම? අපමණ ශාරීරික වේදනාවලින් පෙළෙන්නා වූ සත්ත්වයා හට මේ අවස්ථාවෙහි දී මරණය ගැන මහත් වූ භයක් ද හට ගන්නේය. ඒ භය තරම් විශාල වූ අන් භයක් නැත්තේය. අති රෞද්‍ර‍ වූ ඒ මරණය ගිනි කඳක් හෘදයට වැද යන කලෙක මෙන් සත්ත්වයාගේ සිත දවන්නේය. ශාරීරික දුඃඛ වේදනාවලින් අතිශයින් තැවෙමින් දෙවියන් සිහිවී සිටින සත්ත්වයා පව් කළ කෙනෙක් වී නම්, මේ අවස්ථාවෙහි ඔහුට තවත් මහත් වූ බියක් එළඹෙන්නේ ය. මේ අවස්ථාවෙහි දී ඔහුට කර්මය විසින් ම නරකය දක්වනු ලබන්නේය. ඔහුට මහා ගිනි ජාලාවක් තමන් වැළඳ ගැනීමට තමා දෙසට බුර බුරා නැග එන්නාක් මෙන් පෙනෙන්නේය. රෞද්‍ර‍ වූ යම රකුසන් තමා ඇදගෙන යන්නට එන්නාක් මෙන් පෙනෙන්නේය. මේවා දක්නා කල්හි භයින් තැති ගන්නා වූ ඒ සත්ත්වයා හට මල මුත්‍ර‍ පවා පහ වන්නේය. සුගති දුර්ගති දෙක්හි ම උපදින සත්ත්වයන්ට මේ අවස්ථාවෙහි දී ඇතිවන තවත් මහත් දුකක් නම් ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වීමෙන් වන ශෝකයයි. මැරෙන්නා වූ සත්ත්වයා හට මරණයෙන් තමා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටියා වූ මිල මුදල් ගෙවල් දොරවල් ආදියෙන් වෙන් වන්නට, ප්‍රිය වූ අඹුදරුවන් ගෙන් නෑයන්ගෙන් මිතුරන්ගෙන් වෙන් වන්නට සිදුවේ. මෙය ද ඔහුට ඉවසිය නො හෙන දුකකි. තමාගේ අඹු දරු ආදීන්ගෙන් එක් කෙනකු නැති වූ විට ද, දවස් ගණනක් හඬන්නා වූ මාස ගණනක් අවුරුදු ගණනක් ශෝක කරන්නා වූ පුද්ගලයකුට සියල්ලෙන් ම වෙන් වීම කෙසේ නම් ඉවසිය හැකි වන්නේද? නො වන්නේ ම ය. මේ වෙන් වීම ගැන මරණාසන්න සත්ත්වයාට වන චිත්තසන්තාපය ළය තුළට මහ ගිනි කඳක් වැද දවන කලක් වුවහොත් එබඳු කලෙක වන දුක හා සමාන වන්නේ ය. මෙසේ සිත කය දෙකට ම මහත් වූ දුක් රාශියක් ගෙන දෙන බැවින් ජීවිතේන්ද්‍රියය සිඳීම වූ මරණය සත්ත්වයා හට අන් සියල්ලට ම මහත් වූ දුක වන්නේ ය. එබැවින් සත්ත්වයෝ අන් හැම දෙයට ම වඩා මරණයට බිය වන්නාහු ය. මරණයෙන් ගැලවීම සඳහා අන් සියල්ල ම පරිත්‍යාග කරන්නාහු ය. 

4. ශෝක දුඃඛය 

රන් රිදී මුතු මැණික් මිල මුදල් ගේ වතු කුඹුරු ආදි ප්‍රිය වස්තූන්ගෙන් විනාශයෙන් ද, අන්‍යයන් විසින් පැහැර ගැනීමෙන් ද, අඹු දරු ආදි ප්‍රිය පුද්ගලයන්ගේ විනාශයෙන් ද, ඔවුනට වූ හානි වලින් ද, තමහට වන රෝගාදි අන්තරායන්ගෙන් ද, වන්නා වූ සිත දැවීම ශෝක නම් වේ. මෙය ද සසර සැරිසරන සත්ත්වයා හට නොයෙක් විට පැමිණෙන්නා වූ දුකෙකි. එය විනාශ වන වස්තුවෙහි ප්‍රියත්වය වැඩි පමණට මහත් ව ඇති වන්නා වූ දුකෙකි. අතිශයින් ම ප්‍රිය වස්තුවක් හෝ අතිශයින් ප්‍රිය පුද්ගලයකු හෝ විනාශ වූ කල්හි එය ගිනියම් වූ යහුලක් පපුවට ප්‍රවේශ කළ අවස්ථාවක මෙන් ද මහ ගිනි කඳක් පපුවට වැදුන අවස්ථාවක මෙන් ද සිත කය දෙක ම අතිශයින් දවන්නේය. දැවීමේ වේගය කොතරම් ද කියතහොත්, ශෝක ගින්නෙන් ලේ හුණු වී සමහරකුට හුණු ලේ වමනය වන්නේය. සමහර කෙනකුට හුණු ලේ විරේචනය වන්නේ ය. සමහරෙක් උමතු වන්නාහ. සමහර කෙනකුට තවත් නොයෙක් රෝග හට ගන්නේය. සමහරෙක් බෙල්ලේ වැලලා මිය යන්නාහ. සමහරෙක් බෙලි කපා ගෙන මිය යන්නාහ. සමහරෙක් දුම්රියට බෙල්ල තබා මිය යන්නාහ. සමහරෙක් දියට පැන මිය යන්නාහ. සමහරෙක් ගින්නට වැද මිය යන්නාහ. සත්ත්වයන්ට හැම කල්හි ම මුණ ගැසෙනුයේ එක එක ප්‍රිය වස්තුවක විනාශය පමණක් නොවේ. සමහර විටෙක එකවර ම බොහෝ ප්‍රිය වස්තූන්ගේ විනාශය ද පැමිණෙන්නේ ය. බොහෝ ප්‍රිය පුද්ගලයන්ගේ විනාශය ද පැමිණෙන්නේ ය. එක වස්තුවක හෝ එක ප්‍රිය පුද්ගලයකුගේ විනාශයෙන් හට ගන්නා ශෝකය සිය දිවිනසා ගැනුමට තරම් කරුණක් වන කල්හි වස්තු බොහෝ ගණනක හෝ පුද්ගලයන් බොහෝ ගණනක හෝ විනාශයෙන් වන්නා වූ ශෝක දුඃඛයේ මහත්ත්වය කෙසේ කිය හැකි වන්නේ ද? 

5. පරිදේව දුඃඛය 

ඥාති ව්‍යසනාදිය සිදු වූ කල්හි ශෝකයෙන් “අනේ, පුතේ නුඹ කොහි ගියෙහි ද? අනේ දුවේ නුඹ කොහි ගියෙහි ද? නුඹ නැතුව අප සිටින්නේ කෙසේද?” යනාදීන් ඒ ඒ පුද්ගලයන් ගැන කියමින් හෝ ඔවුන්ගේ ගුණ කියමින් හෝ නැති වූ වස්තු ගැන කියමින් හෝ ඒ වස්තූන් නැති පාඩුව කියමින් හෝ නන් දෙඩීම ද, සුසුම් ලමින් කඳුළු සලමින් කෙළ පෙරමින් ශබ්ද පැවැත්වීම ද පරිදේව නම් වේ. හැඬීමය යනු ද මීට නමෙකි. හැඬීම ම දුකක් නො වෙතත් හඬන්නා වූ තැනැත්තා හට හිසට ගසා ගැනීම් බිත්තිවල කණුවල හිස ගසා ගැනීම් බිම හැපීම් බිම පෙරළීම් ආදියෙන් බොහෝ දුඃඛ වේදනා වන බැවින් “පරිදේවය දුඃඛයකැ” යි තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දේය. 

6. දුඃඛ දුඃඛය 

ශරීරයෙහි හට ගන්නා වූ අනේකප්‍ර‍කාර වූ රිදුම් දැවීම් ආදි වූ දුඃඛයෝ දුඃඛ දුඃඛ නම් වෙති. ජාත්‍යාදි දුඃඛයෝයයි කියන ලද්දේ ඒවා දුකට හෙවත් රිදීමට හේතුවන බැවිනි. කයෙහි හට ගන්නා දුඃඛ වේදනාව වනාහි තවත් කායික මානසික දුඃඛ වේදනාවන්ට හේතු ද වෙයි. තොමෝ ද ඒකාන්ත දුඃඛයක් වෙයි. එබැවින් එය දුඃඛ දුඃඛ යයි කියනු ලැබේ. අතිශයින් මහත් වූ දුකය යනු එහි තේරුමයි. සත්ත්වයන්ගේ ශරීරයන්හි ආභ්‍යන්තරික ධාතූන්ගේ කෝපයෙන් හට ගන්නා වූ ද, බාහිර උපද්‍ර‍වයන්ගෙන් හට ගන්නා වූ ද, දුඃඛ වේදනා ඉතා බොහෝය. වාතාදීන්ගේ කෝපයෙන් හිසෙහි දුඃඛ වේදනා හට ගන්නේය. ඇස් වල ද කන් වල හා දත් වල ද ඉවසීමට ඉතා දුෂ්කර වූ ඉතා මහත් වූ දුඃඛ වේදනා හට ගන්නේ ය. දිවෙහි ද උගුරෙහි ද පපුවෙහි ද පිටෙහි ද උරහිස්හි ද ඇලපත්හි ද තුනටියෙහි ද අත් පා වල ද සන්ධිස්ථානයන්හි ද ඇට වල ද මස්වල ද නහර වල ද නොයේක විට වාතාදීන් ගේ කෝපයෙන් බොහෝ දුඃඛ වේදනා හට ගන්නේය. මල මුත්‍ර‍ නිකුත් වන මාර්ගයන් වැසුණු කල්හි මල මුත්‍ර‍ පිට නො වීමෙන් ඉතා රෞද්‍ර‍ වූ, පණ යන තරම් ම මහත් වූ දුඃඛ වේදනා හට ගන්නේ ය. ස්ත්‍රීන් හට දරුවන් ප්‍ර‍සූත කිරීමෙහි දී මහත් දුඃඛ වේදනා හට ගන්නේ ය. කුෂ්ඨ වණ ගෙඩි සෑදුණු කල්හි ඒවායේ ද මහත් දුඃඛ වේදනා හට ගන්නේ ය. වණ වල පණුවන් සෑදී කන කල්හි මහත් වූ දුඃඛ වේදනා වන්නේය. මේවා අභ්‍යන්තරයෙන් ම හට ගන්නා වේදනාවෝ ය. පිටතින් පැමිණෙන උපද්‍ර‍වයන් නිසා ශරීරයෙහි වන්නා වූ දුඃඛයෝ ද ඉතා බොහෝ ය. සත්ත්වයා හට නොයෙක් විට අව්වෙහි සිටින්නට වීමෙන් ද දුක් හට ගන්නේ ය. ගින්නෙන් දැවීමෙන් ද දුක් හට ගන්නේ ය. ගල් මුල් වල සැපීමෙන් ද දුක් හට ගන්නේ ය. ඇඟ පිට ගෙඩි කඩා වැටීමෙන් අතු කඩා වැටීමේන ගස් කඩා වැටීමෙන් ගෙවල් කඩා වැටීමෙන් රථවාහන හැපීමෙන් බොහෝ වේදනා වන්නේ ය. ගල් පහරවල් වැදීමෙන් පොලු පහර පිහියා පහර වෑ පහර පොරෝ පහර උදලු පහර කඩු පහර හී පහර වෙඩි පහර වැදීමෙන් ද බොහෝ වේදනා වන්නේය. පත්තෑයන් ගෝනුස්සන් සර්පයන් බල්ලන් සිංහයන් ව්‍යාඝ්‍ර‍න් විසින් කෑමෙන් ද බොහෝ දුක් වන්නේයෙ. එළුවන් විසින් ගවයන් විසින් ඇනීමෙන් ද, ඇතුන් විසින් පාගා දැමීමෙන් ද, ගවයන් විසින් අසුන් විසින් පා පහර දීමෙන් ද බොහෝ වේදනා වන්නේ ය. උකුණන් මකුණන් මැක්කන් මදුරුවන් විසින් කෑමෙන් ද බොහෝ වේදනා වන්නේ ය. සොරකම් ආදි වරද කොට අසුවීමෙන් හා තමන් නො කළ වරද වලට නිකම් අසුවීමෙන් සිරකොට තබනු ලැබීමෙන් ද, සිරගෙයි දී වැඩ කරනු ලැබීමෙන් ද, කසයෙන් තළනු ලැබීමෙන් ද කෝටුවලින් පොලුවලින් තළනු ලැබීමෙන් ද, අත් කැපීම් කන් කැපීම් නාස් කැපීම් හිස සිඳීම් පිළිස්සීම් ආදිය කරනු ලැබීමෙන් ද බොහෝ දුඃඛ වේදනා වන්නේය. සොරුන් විසින් අල්වා ගෙන ධනය සඟවා තිබෙන තැන් අස අසා තළනු ලැබීමෙන් ද, කටු වලින් පිහියා වලින් හුල් වලින් මඳින් මඳ කපනු ලැබීමෙන් ද, වන්නා වූ වේදනාවෝ ඉතා බොහෝ ය. මේ දක්වන ලදුයේ මනුෂ්‍ය ලෝකයෙහි මනුෂ්‍යයකුට ඇතිවිය හැකි දුඃඛ වේදනාවන්ගෙන් ස්වල්පයකි. තවත් බොහෝ දුක් ඇත්තේය. මනුෂ්‍යයා හට හැම කල්හි ම මෙසේ සිටින්නට ලැබෙන්නේ නො වේ. පව් කරන්නා වූ ඔහුට අපායට පැමිණෙන්නට සිදුවන්නේ ය. අපායෙහි දී විඳින්නට වන්නේ මීට වඩා සිය දහස් ගුණයෙන් මහත් වූ දුකෙකි. එය ද සලකා ගත යුතු. දීර්ඝ වන බැවින් මෙහි නො දක්වනු ලැබේ. 

7. දෞර්මනස්‍යය 

සිතෙහි හටගන්නා දුක දෞර්මනස්‍ය නම් වේ. තමා විසින් බොහෝ දුකින් පෝෂණය කරන දරුවන් අකීකරු වීම, මහලු කල්හි දරුවන් විසින් නො සැලකීම, දුකින් ධනය සපයා පෝෂණය කරන භාර්‍ය්‍යාව අන් පුරුෂයන් පතනු දැකීම, අකීකරු වීම, අනුන් විසින් අවමන් කරනු ලැබීම, දරුවන් දුකට පත්ව සිටිනු දැකීම, පාඩම් විභාග වලින් අසමර්ථ වීම, රූපය අවලක්ෂණ වීම, කටහඬ නරක් වීම, දිළිඳු වීම, අනුන් කරන දෑ තමහට නො කළ හැකි වීම යනාදි දහස් ගණන් කරුණු වලින් මේ දෞර්මනස්‍යය මිනිසුන්ට නිතර ඇති වන්නේය. ධනවත් ව සිට පසුව දිළිඳුව අනාථව අම්බලමක සිටින්නට වූ විටෙක පෙර තමා හා එක්ව හැසිරුණු නෑයන් මිත්‍ර‍යන් යස ඉසුරෙන් රථ වාහනාදියෙන් තමන් දෙසවත් නො බලා යනු දක්නා කල්හි මහත් වූ දොම්නස් ඇති වන්නේ ය. එක් ජාතියක දී ම එක් පුද්ගලයකුට ඇති වන දොම්නස්වල ප්‍ර‍මාණයක් නැත්තේ ය. දුප්පත් පොහොසත් කාටත් නොයෙක් විට මේ දොම්නස ඇති වන්නේය. 

8. උපායාසය 

ඥාති ව්‍යසනාදිය හේතු කොට සිතට වන්නා වූ බලවත් වෙහෙස උපායාස නමි. උපායාසයෙන් යුක්ත වූයේ ව්‍යසනයට පත් පුද්ගලයාගේ ගුණ කීම් හැඬීම් ආදි කිසිවක් නො කොට සුසුම් ලමින් බලා සිටී. සමහර විට කෑම්-බීම් ආදි තමාගේ කටයුතු නො කර සිටී. එය බලවත් වූ කල්හි මුර්ඡා ද වෙයි. සමහර විට ළය වියළී මරණයට ද පැමිණෙයි. ඒ සිත වෙහෙසීම් මාත්‍ර‍ය ම දුකෙක් නො වෙතුදු එය බොහෝ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් තථාගතයන් වහන්සේ උපායාසය ද දුකකැයි වදාළ සේක. 

9. අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය 

අප්‍රිය වස්තූන් හා අප්‍රිය පුද්ගලයන් මුණ ගැසීම් අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි. කුණු කසන සෙම් සොටු මල මුත්‍රාදි දැකීමට අප්‍රිය වූ වස්තූහු ද, අමිහිරි වූ ඇසීමට අප්‍රිය වූ ශබ්දයෝ ද, කුණු ගඳ ආදි ආඝ්‍රාණයට අප්‍රිය ගන්ධයෝ ද, තික්තාදි අප්‍රිය රසයෝ ද, ශරීරය හා ස්පර්ශ වූ කල්හි දුක් උපදින අනිෂ්ට ස්පර්ශයෝ ද යන මොවුහු අප්‍රිය වස්තූහු ය. මේවා ස්වභාවයෙන් දුක් නො වෙතත්, මේ අනිෂ්ට වස්තූන් දැකීමේ දී ඇසීමෙහි දී ආඝ්‍රාණය කිරීමේ දී ආශ්වාදනය කිරීමේ දී සිතට ද, ස්පර්ශ වීමේ දී කයට ද දුක් උපදින බැවින් අප්‍රිය වස්තු සම්මුඛ වීම දුකෙකි. අප්‍රිය පුද්ගලයෝ නම් තමා හට සතුරු වූ ද, සතුරු නො වූවත් තමා කැමති නොවන කථා හා ක්‍රියා ඇත්තා වූ පුද්ගලයෝ ය. එබඳු පුද්ගලයන් හා එක්ව වාසය කරන්නට හා එක්ව වැඩ කරන්නට සිදුවීම අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය යි. අප්‍රිය පුද්ගලයන් හා සම්ප්‍රයෝග මාත්‍ර‍ය දුකක් නො වෙතුදු එය අප්‍ර‍මාණ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් දුකකැයි කියන ලදි. සසර සැරිසරන සත්ත්වයන්ට මෙය නිතර මුණ ගැසෙන දුකෙකි. රජකුට වත් මෙයින් මිදී විසිය හැකි නො වේ. 

10. ප්‍රිය විප්‍රයෝග දුඃඛය 

ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර‍ භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුඃඛය යි. ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර‍ කලාත්‍රාදි ප්‍රිය පුද්ගලයන් හා වාසය කරන තැනැත්තාට තමාට ඔවුන් හැර අන් පෙදෙසකට යන්නට සිදුවීමෙන් ද ඔවුන් තමා හැර යාමෙන් ද, මරණයට පැමිණීමෙන් ද ඔවුන්ගෙන් වෙන් වන්නට සිදු වේ. තමාගේ මරණයෙන් හෝ වෙන් වන්නට සිදුවේ. එබැවින් ප්‍රිය විප්‍රයෝගය ද සසර සැරිසරණ පුද්ගලයා හට ජාතියක් පාසා ම සිදු වන දෙයකි. එය ම ඒකාන්තයෙන් දුකක් නො වතුදු බොහෝ කායික මානසික දුඃඛයන්ට හේතුවන බැවින් එය දුකකි. එහි උග්‍ර‍තාවය කොතෙක් ද කියතහොත් සමහරු රෝගී වෙති. සමහරු මිය යති. සමහරු සිය දිවි නසා ගනිති. 

11. කැමති දෑ නො ලැබීමේ දුක 

මේ සත්ත්වයන් විසින් කැමති වන්නා වූ ලැබීමට බලාපොරොත්තු වන්නා වූ දේවල් ඉතා බොහෝ ය. දිරන ස්වභාවය ඇති සත්ත්වයෝ නො දිරීමට හෙවත් මහලු නො වීමට බලාපොරොත්තු වෙති. රෝගී වන ස්වභාවය ඇති සත්ත්වයෝ නිරෝගීව සිටීමට බලාපොරොත්තු වෙති. නූගත්තු උගතුන් වීමට බලාපොරොත්තු වෙති. මෝඩයෝ නුවණැතියන් වීමට බලාපොරොත්තු වෙති. දුප්පත්තු පොහොසත් වීමට බලාපොරොත්තු වෙති. තනතුරු නැත්තෝ තනතුරු ලැබීමට බලාපොරොත්තු වෙති. සාමාන්‍ය වැසියෝ රජ වීමට බලාපොරොත්තු වෙති. තවත් නොයෙක් දේවල් නැත්තෝ නැත්තා වූ ඒ ඒ දේවල් ලැබීමට ද, ඇත්තෝ වැඩි වැඩිය ලැබීමට ද බලාපොරොත්තු වෙති. මෙසේ ලැබීමට බලාපොරොත්තු වන දේවල් බොහෝ ඇත. ඒවායින් දහසෙන් පංගුවකුදු ඔවුන්ට නො ලැබෙන්නේ ය. මේ නො ලැබීම දුකක් නො වෙතත් එය බොහෝ කායික මානසික දුක් ඇති කරන්නක් බැවින් කැමති දෑ නො ලැබීම ද මේ සත්ත්වයන්ට මහත් දුඃඛයක් වන්නේය. 

12. පඤ්චෝපාදානස්කන්ධ දුඃඛය 

ජාති ජරා මරණාදි මේ දුක් සමූහය ඇතිවන්නේ අන් තැනක නොව මේ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ම ය. උපාදානස්කන්ධ පඤ්චකය සියලු ම දුක්වල උත්පත්ති ස්ථානය යි. එබැවින් උපාදානස්කන්ධ පඤ්චකය ද දුකෙකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක.ලෝකයෙහි සත්ත්වයා උපදින්නේ ද දුකෙනි. උපන් තැන් පටන් ම ඔහුගේ ශරීරය දිරන්නේ ය. එ ද ඔහුට දුකෙකි. දිරන්නා වූ ඔහු මොහොතක් පාසා ම යන්නේ මරණය කරා ය. මරණය ද ඔහුට මහත් දුකෙකි. ඉපදීමටත් මරණයටත් අතරදී නොයෙක් වර ඔහුට ශෝක කරන්නට ද හඬන්නට ද, බලවත් සිත් වෙහෙසට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. නොයෙක් වර අප්‍රිය සම්ප්‍රයෝගයෙන් කැමති දෑ නො ලැබී දුකින් ඔහු නො මිදෙන්නේ ය. මෙතෙක් දුඃඛයන් ඇත්තා වූ මේ සත්ත්වයාගේ ස්කන්ධ පඤ්චකය ම දුකෙකි. ස්කන්ධ පඤ්චකය හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත්තේය. එබැවින් මේ සත්ත්ව ලෝකය ම දුක් ගොඩෙකි. උපදින්නේත් දුක ම ය. නිරුද්ධ වන්නේත් දුක ම ය. මෙහි සත්‍ය වශයෙන් සැපයක් නැත. මේ විභංගපාළියෙහි දුඃඛ සත්‍යය දැක්වීම ය. 
දුක්ඛාර්‍ය්‍ය සත්‍යය මෙතෙකින් නිමියේ ය.

3/23/17

අපාය දුඃඛය පිළිබඳ


නරකය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය යයි අපාය සතරෙකි. අපාය දුක් බව ප්‍ර‍සිද්ධ කාරණයකි. එසේ ම සියල්ලන් විසින් ම පිළිගන්නා වූ ද කාරණයකි. එබැවින් මෙහි අපාය දුඃඛය පිළිබඳ සංක්ෂේප විස්තරයක් ම කරනු ලැබේ. ආපායිකසත්ත්වයන්ගේ ස්කන්ධයෝ අකුශල කර්මයන්ගෙන් නිර්මිත ය. පෘථග්ජන සත්ත්වයන්ගේ සිත ස්වභාවයෙන් ම පවෙහි ඇලෙන්නේ ය. එබැවින් පෘථග්ජන සත්ත්වයා හට පව මිහිරි දෙයකි. එබැවින් ආපායික ස්කන්ධ පඤ්චකය පිළිබඳ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්මයන්ගේ ස්කන්ධයන් පිළිබඳව මෙන් සංඛත්වය පිළිබඳ දුඃඛයාගේ මහත් බවෙක් නො කිව හැකිය. සංඛත දුඃඛය මහත් නුවූයේ ය. ආපායික ස්කන්ධ විෂයෙහි සන්තාප දුඃඛය ඉතා මහත් ය. 

තිරිසන් අපාය


අපාය සතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහි ම තිබෙන දෙයකි. එහි දුක ඉතිරි අපායන්හි දුක පමණ මහත් නො වෙතත්, මනුෂ්‍ය ස්කන්ධයන් පිළිබඳ දුඃඛයට වඩා අතිශයින් මහත් ය. ඒ තිරිසන් සත්ත්වයන් හට ආහාර පාන සපයා ජීවත් වන්නට තරම් සිහි නුවණ නැත. ස්වභාව ධර්මයෙන් ඉබේ ම ආහාර පාන නො ලැබුණ හොත්, ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නට වන්නේ ය. සමහර විට වියළී මැරෙන්නට ද සිදු වන්නේ ය. ලෝකයෙහි සාගින්නෙන් පිපාසයෙන් මියයන තිරිසනුන් ඉතා බොහෝ ය. වාසස්ථානයක් පිළිවෙළ කර ගැනීමට නුවණ නැතිව ඔවුහු අව්වෙන් වියළෙමින් වැස්සෙන් තෙමෙමින් දිවි ඇති තෙක් ම දුක්වන්නාහ. ඔවුනට සතුරෝ ද ඉතා බොහෝ ය. සතුරන් මැඩලීමට ශක්තියක් හෝ ආරක්ෂකයකු පිහිට වන්නකු හෝ නැති බැවින් ඔවුහු නිරතුරුව මරණ බියෙන් පෙළෙමින් සැඟවි සැඟවී වාසය කරන්නාහ. රෝගයක් වැළඳුන හොත් තුවාලයක් වුවහොත් එයට ප්‍ර‍තිකාර කර ගැනීමට දැනුමක් ඔවුනට නැත. රෝගයකින් හෝ තුවාලයකින් හෝ දුර්වලව වැටුණු කල්හි, මස් කොටා කෑමට, ඇස් උපුටා කෑමට, ලේ උරා බීමට, එන සතුන් මිස, දිය බිඳක්වත් ගෙනැවිත් දෙන, නෑයෙක් මිතුරෙක් ඔවුනට නැත. මැස්සන් මදුරුවන් විසින් ලේ බොද්දී, කපුටන් මස් කොටා කද්දී, හිවළුන් බල්ලන් විසින් මස් ඉරා අදිද්දී, මල මුත්‍ර‍ ගොඩේ වැටී බොහෝ තිරිසන් සත්ත්වයෝ මිය යෙති. ජීවිතය ආරක්ෂා කර ගැනීමට කොතෙක් දිව්වත් කොතෙක් සැඟවුනත් බලවත් සතුන්ගෙන් ද බොහෝ තිරිසන් සතුන්ට ගැලවෙන්නට නුපුළුවන. බලවත් සතුන් විසින් අල්ලා ඔවුහු හඬව හඬවා පණ පිටින් ම ගිලිනු ලැබෙත්. දෙපයින් පාගා ගෙන හඬව හඬවා මස් ඉර ඉරා කනු ලබති. මනුෂ්‍යයන් විසින් ද බොහෝ සතුන් මරා කනු ලබති. මව බලා සිටියදී බලයෙන් පැටවුන් ගෙන මරා කනු ලබති. ගිනියම් වූ යකඩවලින් ගවයන් පුළුස්සනු ලබති. මිනිස්සු බොහෝ සතුන් විනෝදය පිණිස ජීවිතාන්තය දක්වා සිරකර ගෙන බැඳගෙන සිටිති. ගවාදි සතුන් අල්වා බැඳ තබා ගෙන ජීවිතාන්තය දක්වා තළමින් කෙවිටිවලින් අනිමින් ඔවුන් ලවා වැඩ කරවති. දීර්ඝ කාලයක් මෙසේ වැඩ ගෙන සමහර විට අන්තිමේදී මරා මස් ද කති. මේ තිරිසනුන් විෂයෙහි ඇත්තා වූ සන්තාප දුක් වලින් ස්වල්පයකි. හොඳ නොහොඳ පින් පව් දතහැකි නුවණ නැත්තා වූ තිරිසන් සත්ත්වයා ජීවත්වන තාක් කරන්නේ ද පව් ම ය. එබැවින් මරණින් මතු ඌට පැමිණෙන්නට වන්නේ ද වඩාත් දරුණු දුක් ඇති අපායකට ය. එබැවින් තිරිසන් සතාට ජීවත්වීම පමණක් නොව මරණය ද මහත් වූ දුකකි. ඉපදීමය ජීවත්වීමය මරණය යන තුන ම ඒ සත්ත්වයන් හට මහත් වූ දුක් ම වන්නේ ය. එබැවින් තිරිසන් ස්කන්ධ පඤ්චකය දුඃඛ සත්‍යය වන්නේය.

ප්‍රේත අපාය

ප්‍රේතයෝ වනාහි තිරිසනුන් විඳිනා දුකට වඩා අතිශයින් මහත් වූ දුකට පත්ව සිටින සත්ත්ව වර්ගයෙකි. බොහෝ සෙයින් ඔවුන්ගේ උත්පත්තිය සිදුවනුයේ ඕපපාතික වශයෙනි. අහසෙහි විදුලියක් පහළ වන්නාක් මෙන් ද, කැඩපතක ඡායාරූපයක් පහළ වන්නාක් මෙන් ද, මවකු පියකු නො මැතිව, කර්ම බලයෙන් සර්වාංග ප්‍ර‍ත්‍යංග සම්පූර්ණව පහළවීම් වශයෙන් සිදුවන උත්පත්තියට ඕපපාතික උත්පත්තියයි කියනු ලැබේ. මව්පියන් නිසා උපදනා වූ සත්ත්වයන්ගේ ශරීර විෂයෙහි මව්පියන්ගේ ශරීර ස්වභාවය ම බලපවත්වන්නේය. එබැවින් එසේ උපදනා වූ සත්ත්වයෝ මව්පියන්ට සමාන වූ ශරීර ඇත්තෝ වන්නාහ.
ඕපපාතික වශයෙන් උපදනා වූ සත්ත්වයන්ගේ ශරීර කෙරෙහි කර්මය බලපවත්වන්නේය. එබැවින් ඕපපාතිකව උපදනා වූ ප්‍රේතයෝ ඔවුන්ගේ පාපකර්මයට අනුරූප පරිදි කුඩා වූ ද මහත් වූ ද නොයෙක් ආකාර වූ ද ශරීර ඇත්තෝ වෙති. ජාතියක් වශයෙන් ප්‍රේතයන්ගේ සැටි මෙසේය කියා දැක්විය නොහේ. කුඩා වූ ද මහත් වූ ද නොයෙක් ආකාර රූප ඇති නොයෙක් ආකාර දුක් ඇති ප්‍රේතයන් ඇති බව ප්‍රේතවස්තු ප්‍ර‍කරණාදියෙන් දත හැකිය. ඔවුන්ගේ තත්ත්වය ගැන මඳ අවබෝධයක් ඇති කර ගත හැකි වීමට “ලක්ෂණ සංයුක්තකයෙහි” එන ප්‍රේතයන් ගැන මෙහි සඳහන් කරනු ලැබේ. ප්‍රේතයන් දැකිය හැකි වන්නේ දිවැස් ඇත්තවුන්ට පමණකි. දිවැස් ඇත්තා වූ “ලක්ඛණ මහරහතන්” වහන්සේ විසින් ගිජුකුළු පව්ව සමීපයෙහි දී දක්නා ලද ප්‍රේතයන් එක්විසි දෙනකුන් ලක්ඛණ සංයුක්තයෙහි දී දක්වා තිබේ. 

(1) ඔවුන්ගෙන් එකෙක් ලේ මස් නැති ඇටසැකිළි ප්‍රේතයෙකි. ප්‍රේතවර්ගයට ම අයත් වූ කවුඩන් විසින් ද ගිජුලිහිණියන් විසින්       ද උකුස්සන් විසින් ද ලුහුබැඳ ඉලඇට අතුරින් කොටනු ලබමින් හෙතෙමේ බැගෑපත් හඬින් හඬ හඬා අහස්හි ගමන්                 කරන්නීය.

(2) කවුඩු ආදීන් විසින් ලුහුබැඳ කොටා කනු ලබන ඇට නැති මස් වැදැල්ලක් බඳු වූ ශරීරය ඇති එක් ප්‍රේතයෙකි.

(3) එබඳු ම මස් පිඩක් වැනි ශරීරයක් ඇති එක් ප්‍රේතයෙකි.

(4) මුළු ශරීරයෙහි කොතැනක වත් සම නැත්තා වූ එක් ප්‍රේතයෙකි.

(5) තමාගේ ශරීරය ම නැවත නැවත කැපෙන කඩුවකට බඳු ලොම් ඇඟ පුරා ඇති එක් ප්‍රේතයෙකි.

(6) තමන්ගේ ශරීරය ම නැවත නැවත කැපෙන සැත් බඳු ලොම් ඇති එක් ප්‍රේතයෙකි.

(7) තමාගේ ශරීරයෙහි ම නැවත නැවත ඇනෙන හී බඳු ලොම් ඇති එක් ප්‍රේතයෙකි.

(8) ශරීරයෙන් ගැලවී අහසට නැඟ නැවත ඔහුගේ ශරීරයට වැටී ඇනෙන ඉදිකටු බඳු ලොම් ඇති තවත් ප්‍රේතයෙකි. ඒ ඉදිකටු       ඔහුගේ හිසෙහි ඇනී මුඛයෙන් නික්මෙයි. මුඛයෙන් පිවිස ළයෙන් නික්මෙයි. ළයෙන් පිවිස බඩෙන් නික්මෙයි. බඩින් පිවිස         දෙකලවායෙන් නික්මෙයි. කලවා දෙකින් පිවිස හිසින් කකුලින් නික්මෙයි. හිසින් කකුලෙන් පිවිස පත්ලෙන් නික්මෙයි. ඒ          ප්‍රේතයා වේදනාවෙන් නිතර ම අඬයි.

(9) මහ කළයක් පමණ විශාල අණ්ඩයක් ඇත්තා වූ එක් ප්‍රේතයෙකි. ඌ යන කල්හි එය කර තබාගෙන යයි. හිඳිනා කල්හි           එය මතුපිට හිඳ ගනී.

(10) හිසත් සමඟ ම අසූචි වළෙක එරී සිටින එක් ප්‍රේතයෙකි.

(11) අසූචි වළෙක එරී සිට දෑතින් අසූචි අනුභව කරන එක් ප්‍රේතයෙකි.

(12) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් කොටා කනු ලබන සම නැති එක් ප්‍රේතයෙකි.

(13) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් කොටා කනු ලබන දුර්ගන්ධ වූ විරූප වූ එක් ප්‍රේතයෙකි.

(14) ගිනි අඟුරු මැද දැවෙමින් හඬන එක් ප්‍රේතයෙකි.

(15) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් ලුහුබැඳ කොටනු ලබන හිස නැති ළයෙහි ම කට හා ඇස් ඇති ප්‍රේතයෙකි.

(16) ගිනිගෙන දිලිසෙන පා සිවුරු දරා සිටින එක් භික්ෂු ප්‍රේතයෙකි.

(17) එබඳු ම වූ භික්ෂුණී ප්‍රේතියකි.

(18) එබඳු ම ශික්ෂමානා ප්‍රේතියකි.

(19) සාමණේර ප්‍රේතයෙකි.

(20) සාමණේරී ප්‍රේතියකි. මේ ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් දක්නා ලද ප්‍රේතයෝ ය. තවත් නොයෙක් ආකාර දුක් ඇති නොයෙක් ආකාර ශරීර ඇති බොහෝ ප්‍රේතයෝ වෙති. ආහාර පාන නොලැබීම, ඇඳුම් - පැළඳුම් නොලැබීම, වාසය කිරීමට ගෙවල් නැති බව, ගින්නේ දැවීම, දිවි හිමියෙන් ම කිසි තැනකට යා නො හෙන පරිදි අසූචි වළවල් ආදියෙහි එරී සිටීම, ආයුධ වලින් කැපීම, සතුන් විසින් කනු ලැබීම යනාදිය ප්‍රේත විෂයෙහි ඇත්තා වූ සන්තාප දුඃඛයෝ ය. කියන ලද දුඃඛයන්ගෙන් දිවි හිමියෙන් පෙළනු ලබන බැවින් ප්‍රේතස්කන්ධ පඤ්චකය දුක්ඛ සත්‍යය වන්නේය.

අසුර අපාය


අසුරයෝ කීප වර්ගයකි. අපායට අයත් අසුරයෝ ප්‍රේතයන් වැනි සත්ත්ව විශේෂයකි. ඔවුහු තුන් ගව් පමණ ශරීර ඇත්තෝ ය. ඔවුනට ඇත්තේ ඉදිකටු මලක් පමණ වූ කුඩා කටකි. එය පිහිටා තිබෙන්නේ ද හිස මුදුනේය. කට කුඩා බැවින් ඔවුන්ට කවදාවත් සා ගින්න හා පිපාසය නිවා ගන්නට නො ලැබෙන්නේය. ආහාර නො ලැබෙන්නා වූ ඒ සත්ත්වයෝ ලේ මස් නැතිව වියළුණු ඇටසැකිලි බඳු ශරීර ඇත්තෝ ය. ඉස්සන්ගේ ඇස් මෙන් ඉදිරියට නෙරා ගිය ඇස් ඇත්තෝය. අතිශයින් දුර්වල වූ ඔවුනට නැගිටීමට තරම්වත් ශක්තිය නැත්තෝය. මේ අසුරයන්ට “කාලකඤ්ජික ප්‍රේතයෝ” ය යි ද කියනු ලැබේ. උපන් තැන් පටන් මරණය දක්වා වර්ෂ දහස් ගණන් මුළුල්ලෙහි ඔවුන්ට ඇත්තා වූ සා පිපාසාදියෙන් නිරතුරු පෙළීම වූ දුඃඛය ඒ ස්කන්ධයන් නැතහොත් නො වන්නේය. අසුර ආත්ම භාවය පිළිබඳ වූ පඤ්චස්කන්ධය පවත්නා තෙක් ඔවුහු ඒ දුඃඛයෙන් නො මිදෙන්නාහු ය. එබැවින් අසුර පඤ්චස්කන්ධය ද දුඃඛ සත්‍යය වන්නේ ය

නරකය


දුක් ඇති තැන් වලින් ඉතා ම රෞද්‍ර දුක ඇති තැන නරකය යි. නරකයෝ බොහෝ ගණනකි. ඒ ඒ නරකයන්හි නොයෙක් ආකාර වූ භයානක දුක් ඇත්තේය. ගින්නෙන් දවනු ලැබීම, ගිනියම් වූ යපොළොවෙහි තබා හුල් ගසනු ලැබීම, වෑ පොරෝ ආදියෙන් ශරීරය කපනු ලැබීම, කඳක් සේ දැලි නූල් ලා කියතින් කපනු ලැබීම, ලෝදිය (හුණු වූ තඹ) පෙවීම, ගිනියම් වූ යගුලි ගිල්වීම, පෙරළෙන පර්වත වලින් යට කොට අඹරනු ලැබීම, ද්වාරයන්ගෙන් ශරීරය ඇතුළට වැද දමනු ලබන දුම් වලින් ශරීරය තවනු ලැබීම, ලොහොතුඩු ඇති කවුඩු ගිජුලිහිණි ආදීන් විසින් කොටා ඇඟ මස් කඩා ගනු ලැබීම, ගවයන් මෙන් කරත්තවලට බැඳ බර අදවනු ලැබීම, දැලිපිහියා මෙන් කැපෙන තණ හා කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් ද ඇත්තා වූ ප්‍රදේශයන්හි මුළු සිරුරට කැපෙන තුරු ඒ මේ අත දුවවීම, මුළු සිරුරම කැපී ලේ තැවරුණු මස් කැබැල්ලක් මෙන් වූ කල්හි කරදිය ගංගාවලට ඇද දමන් ලැබීම, නිරි සතුන්ගේ සම විද, මස් විද, ඇටමිදුලු, කන්, පුවක් ගස්, පොල් ගස්, කිතුල් ගස් පමණ ලොහො තුඩු ඇති මහ පණුවන් වෙසෙන, කැකෑරෙන අසුචි වලවලට ඇද දැමීම යනාදිය නරකයෙහි ඇත්තා වූ දුක්වලින් සමහරෙකි.
නරකයෙහි දුඃඛය සර්වාකාරයෙන් කියතහොත් කෙනකු විසින් අවුරුදු සියයක් මුළුල්ලෙහි කියා ද දහසක් මුළුල්ලෙහි කියා ද අවසානයට පැමිණ විය නො හැක්කේය. එක දවසක් බුදුරජාණන් වහන්සේ නරක දුඃඛයාගේ මහත්ත්වය දැක්වීමට උපමා ද සුලභ නො වන බව වදාළ සේක. එකල්හි එක් භික්ෂුවක් නරක දුඃඛයාගේ මහත්ත්වය උපමාවකින් වදාරනු මැනවයි සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ ද උපමාවකින් නරක දුඃඛය දක්වා වදාරන සේක් “මහණෙනි! රාජපුරුෂයෝ සොරකු අල්වා රජු ඉදිරියට ගෙන ගොස් ‘දේවයන් වහන්ස! මොහු සොරෙක, මොහුට කැමති දඬුවමක් නියම කරනු මැනවැ’යි කියන්නාහ. රජ තෙමේ ඔවුනට ‘මේ සොරා ගෙන ගොස් උදෑසන ඔහුගේ ශරීරය සිදුරුවන සේ යහුල් පහර සියයක් අනිව්’ යයි කියන්නේය. රජ අණ පරිදි ඔහුට රාජපුරුෂයෝ යහුල් පහර සියයක් අනින්නාහුය.
ඉක්බිති රජ තෙමේ දවල් කාලයේ සොරාට කුමක් වී දැයි අසන්නේය. රාජපුරුෂයෝ ‘දේවයන් වහන්ස සොරා ජීවත්ව සිටින්නේය’ යි කියන්නාහු ය. එකල රජතෙමේ දවාලෙහි ද නැවත සොරුට යහුල් සියයක් අණින්නට අණ කරන්නේය. රජතුමා සවස් කාලයෙහි ද සොරා ගැන අසන්නේය. රාජපුරුෂයෝ ‘සොරා තවම ජීවත් වන්නේය’ යි රජුට කියන්නෝය. රජතුමා නැවත සවසත් ඔහුට යහුල් පහර සියයක් අනින්නට නියම කරන්නේ ය. රාජපුරුෂයෝ ඔහුට සවස ද යහුල් පහර සියයක් අණින්නාහු ය. කිමෙක්ද මහණෙනි! ඒ පුරුෂයා යහුල් පහර තුන් සියයක් ඇණුම් කෑමෙන් දුකට දොම්නසට පත්වූයේදැ” යි විචාළ සේක. එකල්හි භික්ෂූහු “ස්වාමීනි! එක යහුල් පහරකින් ම ඔහුට දුකක් දොම්නසක් වන්නේ ය. යහුල් පහර තුන් සියයකින් මහත් වූ දුකක් දොම්නසක් වන බව කියනුම කවරේදැ” යි සැළකළාහු ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුඩා වූ ගල් කැටයක් අතට ගෙන “මහණෙනි! මා විසින් ගන්නා ලද කුඩා වූ ගල් කැටයෙනුත් හිමාලය පර්වත රාජයාගෙනුත් කවරක් වඩා මහත් වන්නේදැ” යි විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ විසින් ගන්නා ලද ගල් කැටය හිමාලය පර්වතයෙන් දහසින් පංගුවකුදු නො වන්නේය. දස දහසින් පංගුවකුදු ලක්ෂයකින් පංගුවකුදු නො වන්නේය. හිමාලය පර්වතය හා සංසන්දනය කළයුතු දෙයක් ද නො වන්නේය” යි සැළ කළෝය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! එපරිද්දෙන් ම ඒ පුරුෂයා හට යහුල් පහර තුන් සියයකින් අනිනු ලැබීමෙන් වූ දුක නරකයෙහි දුකින් දහසින් පංගුවකුදු දස දහසින් පංගුවකුදු ලක්ෂයෙන් පංගුවකුදු නොවන්නේ ය. නරක දුඃඛය හා සංසන්දනය කොට කථා කළ යුතු දෙයකුදු නො වන්නේය.” යි වදාළ සේක.
නරකයෙහි පතිත වූ සත්ත්වයන් විසින් ලබන ඒ මහත් වූ දුඃඛය මහත් වූ සන්තාපය ඒ ස්කන්ධ පඤ්චකය නැතහොත් ඔවුනට නො වන්නේය. ඒ ස්කන්ධ පඤ්චකය පවත්නා තුරු ඒ දුක ද පවත්නේය. එබැවින් ඒ දුක නේරයික ස්කන්ධ පඤ්චකයෙන් ම කරන පීඩනයෙකි. තැවීමකි. එබැවින් නේරයික ස්කන්ධ පඤ්චකය ද දුඃඛ සත්‍යය වන්නේය. මෙසේ භවාග්‍රයෙහි පටන් අවීචි මහා නරකය දක්වා ඇති ලෝකයෙහි ඒ ඒ භූමීන්හි වෙසෙන කුඩා වූ මහත් වූ ද සකල සත්ත්වයන් පිළිබඳ වූ ස්කන්ධයන් “පීළනට්ඨො, සඞ්ඛතට්ඨො, සන්තාපට්ඨො, විපරිණාමට්ඨො” යනුවෙන් දක්වන ලද සත්ත්වයන් පෙළන බව හා තමා ද පෙළෙන බවය, නැවත නැවත උපදවා ගත යුතු බවය, තැවෙන තවන බවය, විනාශ වී යන බවය යන චතුර්විධ දුඃඛ ස්වභාවයෙන් යුක්ත වන බැවින් ඒකාන්තයෙන් දුක් ගොඩක් බව දත යුතුය. ඒ දුටු තැනැත්තේ දැකීමට අතිශයින් දුෂ්කර වූ දුඃඛාර්‍ය්‍ය සත්‍යය දුටුවෙක් වන්නේය.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘චතුරාර්‍ය්‍ය සත්‍යය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න

අති දුර්ලබ භික්ෂු විනය කර්මය..

2015.02.07 වැනි දින නාඋල ලෙනදොර ධම්මහදය විවේක සෙනසුනෙහි අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් සංවිධානය කර තිබූ අලුතින් සකස් කල සීමා මාලකය සඳහා අභිනවයෙන් සීමා පැනවීමේ භික්ෂු විනය කර්මය.


(විනය කර්මය සිදුකිරීම සඳහා සීමා මාලක සීමාව තුල කොටු සලකුණු කර තිබෙන ආකාරය)

ඒ දුර්ලභ භික්ෂු විනය කර්මය පෙබරවාරි හත්වැනිදා රාත්‍රී නවයට උපසම්පදා භික්ෂූන් වහන්සේලා විසිගණනක් රැස්ව අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. හාත්පසින් මහා වනයෙන් වටවූ සේනාසන බිමෙහි එළිපෙහෙලි කල සුවිසල් බිම් තීරුවක පොලොව මනාව මට්ටම් කොට සිවු දිශාවෙහි සීමා මායිම් කණු එම සම මට්ටම් පොළොව මත ස්ථාපනය කොට තිබූ අතර ඒ සීමාව ඇතුලත එකම දිගින් පළලින් යුක්ත සමචත්‍රරස්‍ර කොටු හැට ගනනක් පිහිටන සේ හුණු අළුවලින් සළකුණු කොට තිබුනි.

මේ සියළුම කොටු ඇතුලත් වන සේ සීමා මාලකයේ මතු ඉදිවීම සිදුවන අතර සෙනසුනෙහි අනාගත සියලු භික්ෂු විනය කර්මයන් මේ තුල සිදුකිරීමට නියමිතව ඇත. මෙම විනය කර්මය සිදු කිරීමට හේතුව සහ එහි ස්වභාවය පිලිබඳව අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ මා හට විස්තර කල පරිදි මෙහි පසුබිම විචිත්‍රය. ගාම්භිරය.

  1. එනම් අලුතින් පිහිටුවන්නට අදහස් කරන යම් සීමාමාලකයක භූමිය, පෙර කිනම් හෝ බුද්ධ ශාසනයකදී එවකට සීමාමාලකයක්ව පැවතුනා නම්, මේ අභිනව භූමියේ කිසිදු තැනකට එහි සීමා කිනම් අයුරකින් හෝ ඇතුලත් වේ නම් ප්‍රථමයෙන් ඒ අතීත බුද්ධ ශාසනය තුල පැනවූ සීමා නිශ්ප්‍රභා කලයුතු වන්නේය.
      
  2. එසේ අතීත සීමා නිශ්ප්‍රභා කිරීම් කරන අතරතුර හෝ භික්ෂූන් වහන්සේලාවිනය කර්මයෙහි යෙදෙන කාලය අතරතුරදී කිසියම්ම හෝ ආගන්තුක උපසම්පදා භික්ෂුවක් එකී ආරන්‍ය සේනාසනය පිහිටි ගම්සීමාවට ඇතුළු වුවහොත් ඒ විනය කර්මය අහෝසි වන හෙයින් ගම්සීමාවට ඇතුළු වන‍ ස්ථානයන්හි පිරිස් රඳවා එසේ ඒ ගම හරහා ඇතුළුවන ආගන්තුක උපසම්පදා භික්ෂුවක් වෙතොත් උන්වහන්සේට මේ විනය කර්මය ගැන දැනුම් දී ගමට ඇතුළුවීම නතරකල යුතු වන්නේය.
      
  3. බිම සලකුණු කල එක් කොටුවක් තුල මුළු කොටුවම ආවරණය පරිදි එනම් එක් භික්ෂුවක් අතක් දිගුකල විට ආසන්න අනෙක් භික්ෂුවගේ උරහිසට ස්පර්ශ වන දුරින් මුළු කොටුවම ආවරණය වන පරිදි රැස් විය යුතුය.
      
  4. එසේ රැස්වී විනය කර්ම වාක්‍යය සජ්ජායනා කරමින් ඒ කොටුවෙහි කිසියම්ම හෝ තැනක පෙර බුද්ධ ශාසනයක සීමා ඇතුලත්ව තිබේනම් ඒවා ඉවත්කොට නිශ්ප්‍රභා කල යුතුය. එසේ මේ සියළුම කොටු වල මේ විනය කර්මය ඒ අයුරින්ම සිදුවිය යුතුය.

එසේ කිරීමෙන් පෙරබුද්ධ ශාසනයක පැනවූ සීමා ආඥාවක් තිබේනම් එය අහෝසිවී නිශ්ප්‍රභා වී අභිනව සීමාමාලකයේ සීමා පැනවීම සහ ස්ථාපනය සිදුවන්නේය.





(විනය කර්මයෙහි යෙදෙන භික්ෂූන් වහන්සේලා)

එදින එනම් 07.02.2015 දින රාත්‍රී නවය පසුවීමෙන් ආරම්භ වූ මෙම විනය කර්මය මුළුමනින්ම සිදුකොට අවසන් වන විට පසුදා අළුයම තුනට පමණ විය. හාත්පස වනගහනය තුල පිහිටි සේනාසන බිම සඳඑළියෙන් නැහැවෙමින් තිබුනි. ඈත නකල්ස් කඳුවැටිය දෙසින් හමා ආ සීතල තද සුලඟෙහි පාවී එමින් ආ පින්න “සට සට“ හඬින් පතිත විය. විනය කර්මයෙහි සාර්ථක නිමාව තුල අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ ගේ මුවෙහි නැගුනු ශාන්ත සිනහව සහ උපෙක්ෂා සහගත සැනසුම් සුසුම උන්වහන්සේ ආසන්නයේම රැඳී සිටි මට තවමත් දැනෙනවා මෙනි. උඩු සුළගට ගසාගෙන එන පින්න, වනමල් සුවඳ, පරදවා කසාවතෙන් හැමූ සිල් සුවඳ මුළු සෙනසුන් භූමිය පුරාම විසිර පැතිරෙන බවක් ඒ රාත්‍රී අළුයම මම දුටිමි. බුද්ධ ශාසනය කෙතරම් ශාන්තද, කෙතරම් පිවිතුරුද, කෙතරම් නිර්මලද.


(පසුදා උදෑසන නාඋල මහවැලි ක්ෂේත්‍ර නිකේතනයේ පැවති හීල් දානමය පුන්‍ය කර්මය සඳහා වැඩම කල අතිපූජ්‍ය මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා)
- colombage-jayantha.blogspot.com -