පූජේමි බුද්ධං කුසුමේන නේන...
සුවඳ පිරුණු සමන් පිච්ච මල්, මල් අසුන මත තැන්පත් කෙළෙමි; දෑත පපුව මත තබා හිස ඔසවා බැලීමි.
මෙත උතුර බුදු සමිඳු ගේ මුහුණ මට පෙනිණ; දෑත නළලට ගෙන ගියෙමි. සාදු! සාදු!! යි මුමුණමින් දෑස පියා ගතිමි. යළි දෑස හැර මල් අසුන දෙස බැලීමි.
මා පිදූ සමන් පිච්ච මල් අසල රතු නෙළුම්, සුදු නෙළුම්, නිල් මානෙල්, රතු රෝස, සුදු රෝස, ඉද්ද, වතු සුද්ද මල්, ලස්සන, සුවඳ මල්.
ගුණ සාගරයක් වූ බුදු පියාණනි, මේ මල් ඔබ වහන්සේ ගේ ගුණ සමුදායට පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!!
මම ඒ බුදු කුටියෙහි සුදු, සුමුදු බිම හිඳ ගතිමි.
දෑස පියා ගතිමි.
අර සුවඳැති, රුවැති, මල් ම සිතෙහි පිරිණ.
මා රැඳුණේ විසිතුරු මල් ලොවෙක.
මොහොතකින් මගේ නැහැයට නොවේ, සිතට දුගඳක් දැනිණ. මා මේ බුදු මැඳුරට පැමිණෙන විට පසු කැර ගෙන ආ තුරු ගොමුව අසලින් නැඟුණු දුගඳ! මම නතර වී දුගඳ ආ දෙසට ඇස යොමු කෙළෙමි. මහා මල් ගොඩක්. ඊයේ මේ මලසුනේ වූ සමන් පිච්ච, රතු නෙළුම්, සුදු නෙළුම්, නිල් මානෙල්, රතු රෝස, සුදු රෝස, ඉද්ද, වතු සුද්ද මල්, ඒ රුවෙන් ද, සුවඳින් ද මිදී මිලානව, දුගඳව, පස් ගොඩක වැතිර ඇති සැටි මට පෙනිණ. ඒ පස් දින කීපයකට පෙර සුවඳ දුන් රුවැති වූ මල් මය.
මල් ගොඩක් පස් ගොඩක් වෙළා!
මගේ සිතෙහි විදිලි කෙටීමක් දැනිණ.
"නුඹේ සිරුරට ද අත්වන්නේ ඔය ඉරණමමයි!"
විදිලි කෙටීමක්! ගිහි රුවක් සිත සැලිණ.
මා උපන් දා සිට මේ මොහොත වන තුරු මොහොතින් මොහොත, පැයෙන් පැය, දවසෙන් දවස, වසරෙන් වසර, සිරුර ජරාවට පත් වූ සැටි, ලෙඩ රෝගවලට ගොදුරු වූ සැටි, සවිබල අත් පා දුබල වැ ගිය සැටි, මට පෙනෙන්නට විය.
සුරූපී ලලනාවක වූ මගේ මව පිළිකා රෝගයට ගොදුරු වුණා. දිගු නිල් කෙස් කලඹ ගිලිහී මුඩු හිසක් මතු වුණා. හමට සහ ඇට සැකිල්ලට ඉඩ දී මස් දිය වී ගියා. නහර මතු වුණා. මේ මගේ අම්මා දැයි මට ම සැක ඇති වුණා. සැත්කම්, එන්නත්, ලේ පරීක්ෂණ, විදුලි සැර ගැන්වීම් මැද වසර කීපයක් ගත වුණා.
එක් දිනෙක ඇගේ හද නිසල වුණා. ඒ ඇට සැකිල්ල ආදාහනය කළා. අම්මා අළු ගොඩක් වුණා.
මගේ මාමා යෝධ බල සහිත ගොවියෙක්. පස් වසරක්ම ඔහු සිටියේ ඇඳේ. මුළු සිරුර ම වණයක් වුණා. කුණු ගඳ හැමුවා. දූ පුතුන් ඈත් වුණා. මැස්සන් ළං වුණා. හඬ හඬාම ඔහු මැරුණා. එම්බාම් නොකළ මළ සිරුර දින තුනකට පසු ඉදිමුණා. නිල් වුණා. හම පිපිරී සැරව ගලන්නට පටන් ගත්තා. ඇස්වල, කන්වල, නාස් පුඩුවල, කටේ, මුත්‍ර මාර්ගයේ, අධෝ මාර්ගයේ පණු කැදලි. පණුවන් පිටතට ආවා. මුළු ගෙයම ගඳ ගහන්න පටන් ගත්තා.
අසල් වැසියන් දොර කැඩුවා. මස් දිය වී යන්නට පටන් අරගෙන. කාගේදැයි හඳුනාගත නොහැකි තරමේ මළ සිරුරක් දක්නට ලැබුණා.
හම ගැලවී, කෙස්, ලොම් ගැලවී බිමට වැටිලා. ඒවා ගෙබිම පස් බවට පත්වෙමින් තිබුණා. මස් දියවී ඇට පෑදිලා. ඇට සැකිල්ල මතු වෙලා. නහර මතු වෙලා.
මගේ ශරීරයටත්, වෙනත් අයගේ ශරීරවලටත්, (මට අර රූමත් නිළිය සිහිවුණා) ඇගේ ශරීරයටත් සිදුවන්නේ මෙයමයි. මේ සිතිවිලි ඇතිවි ඇතිවී නැතිවි නැතිවී යනු බලා සිටියෙමි.
ශරීරයේ ඇති ධාතු කොටස් හතර මට සිහි විය.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ
මේ ධාතු හතර හැර ශරීරයේ තවත් ඇත්තේ කුමක් ද?
පඨවි - පස් වී යන දේ. කෙස්, ලොම්, නිය, දත්, ඇට, ඇට මිදුළු, මස්, නහර, ආදි මේ සියල්ල පස් වී යන දේ. පඨවි ධාතුව.
ආපෝ - දිය වී යන දේ. දියර ගතිය, කෙළ, සෙම, කඳුළු, දහදිය, ලේ, ආදි ශරීරයේ ඇති දියර ගතිය. ඒ ආපෝ ධාතුව.
තේජෝ - ශරීරයේ ඇති සිහිල්, උණුසුම් බව. මේ තේජෝ ධාතුව.
වායෝ - ශරීරයේ පිච්චුණු ගතිය ඇති කරන්නේ, වායෝ ධාතුව. ශරීරය තුළ හැසිරෙන වාතය. වායෝ ධාතුව මේ ධාතු හතර හැර අන් කිසිවක්, ආත්මය කියා දෙයක් මෙහි නැහැ.
මේ ධාතු හතරට අයත් දේ අනිත්‍යයට යනවා. විනාශ වෙනවා. මා එය දුටුවා.
සියල්ල අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි.
මම මෙනෙහි කරන්නට වීමි.
මගේ ශරීරය දෙසට යළි සිත යොමු කළෙමි.
එය අනිත්‍යයට ගිය හැටි, අනිත්‍යයට යන හැටි, මොහොතින් මොහොත එය වෙනස් වූ හැටි, මගේ මව, මාමා අනිත්‍යයට ලක් වූ හැටි, ඔවුන් ගේ මළ සිරුරු ද අනිත්‍යයට ගොස්, ඔවුන්ගේ ශරීරයේ අභ්‍යන්තර, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු බාහිර ධාතුවලට එක් වූ හැටි, අවසානයේ දී අභ්‍යන්තර පඨවි ධාතුව මහ පොළොවට පස් වූ හැටි, මට සිහි විය.
සියල්ල අනිත්‍යයි. ශරීරය පමණක් නොව ලොව ඇති සෑම දෙයක් ම, ගස් වැල්, ගංගා, ඇළ දොළ, සාගර, පර්වත පවා නිත්‍ය නොවේ. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයයි.
ඒ සමගම තවත් දෙයක් සිහියට නැඟිණ.
මගේ ශරීරය අනිත්‍යයට යාම, ලෙඩ රෝගවලට ගොදුරු වීම, ශරීරය රැලි වැටීම, දුබල වීම යන මේවායින් වැළකීමට මට හැකි ද? නො හැකි යි. මගේ ශරීරය මට අවශ්‍ය පරිදි පාලනය කළ හැකි ද? නො හැකි යි. මට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැකි දෙයක් මගේ වන්නේ කෙසේ ද? මගේ නම් මට අවශ්‍ය පරිදි එය පාලනය කිරීමට හැකි විය යුතුයි. එසේ කළ නො හැකි යි. ඒ නිසා මේ ශරීරය මගේ නොවේ. එය මම නොවේ. මගේ ආත්මය නොවේ. ආත්මය යනු මමයි, මගේ යන හැඟීමයි, මේ ශරීරය ආත්මය නොවේ. එය අනාත්මයි.
ශරීරය අනිත්‍යයයි - අනාත්මයි
අනිත්‍යයි - අනාත්මයි
අනිත්‍යයි - අනාත්මයි
සෑම දෙයක්ම අනිත්‍යයි, අනාත්මයි, අනිත්‍යයි අනාත්මයි, අනිත්‍යයි, අනාත්මයි.
අනාත්මයි, අනාත්මයි, අනාත්මයි,
අනිත්‍ය වූ, අනාත්ම වූ මේ කිසිවක් මට අල්ලාගත නොහැකියි. මම ඒ සියල්ල අත් හරිමි. අත් හරිමි. අත් හරිමි.
මම බොහෝ වේලාවක් 'අත් හරිමි' සිතිවිල්ලේ සිටියෙමි. මහා ශාන්ත බවකට, නිසල බවකට සිත පත් විය. ඒ සිත හඳුනාගත හැකි සිතිවිලි මාත්‍රයක් පමණක් ඉතිරි විය.
සංස්කාර විරහිත, සුවපත් සිතකට මම පත්වීමි.
Sent from my iPhone