6/19/15

දෙන දෙයෙහි උපරිම ආනිශංස ලබන්නේකෙසේ ද?


.
එක කලක, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත් පුරවරයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහාප්‍රජාපතී ගෝතමී දේවිය තම දෑතින්ම කපු කටා මසන ලද චීවර දෙකක් බුදුරජාණන් වහන්සේට පිළි ගැන්වීමට රැගෙන ආවාය. ඇයට මහානිශංස ලබාදෙනු වස් එම චීවර යුග්මය මහා සංඝයාට පුදන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙම කථා ප්‍රවෘත්තිය මෙන්ම පෞද්ගලික දාන 14 ක් හා සාංඝික දාන 7 ක් පිළිබඳව ද කරුණු ඇතුළත් සම්බුද්ධ දේශනාවකි. මජ්ඣිමනිකායන්තර්ගත දක්ඛිණවිභංග සූත්‍රය. උක්ත දානයන්ගේ ආනිශංස මෙන්ම දාන විසුද්ධි හතරක් පිළිබඳව ද මෙහි තවදුරටත් සඳහන් වේ. මෙම ධර්ම කාරණා මෙතැන් සිට පෙළ දහමට අනුව විමසා බලමු.
.
මහාප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම
.
ස්වාමිනි, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින්ම වියන ලදී. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා යනුයි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙය වදාළහ. ගෝතමීය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේ ය යනුයි. දෙවනුවද මහා ප්‍රජාපතී ගෝතමි තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළෝ ය. ස්වාමිනී, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින් වියන ලදී. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා, යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට කීවාය.
දෙවනුව ද, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙය වදාළහ. ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හී මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේය යනු යි. එහෙත්, තුන්වන වරටද මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළෝය. ස්වාමිනී, මාගේ මේ අලුත් වූ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදී. මා විසින්ම වියන ලදී. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුගල අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා යනුයි. තුන්වෙනුව ද භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙසේ වදාළ සේක. ගෝතමිය සංඝයාට දෙන්න. ඔබ විසින් සංඝයාට දුන් කල්හි, මමද පුදන ලද්දේ වන්නෙමි. සංඝයාද පුදන ලද්දේ වන්නේය යනුයි.
.
ආනන්ද හිමියන්ගේ ඉල්ලීම
.
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා. ස්වාමිනි, මහා ප්‍රජාපතී ගෝතමීය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තීය. මවගේ සහෝදරිය, අත් පා වැඩූ තැනැත්තීය. පෝෂණය කළ තැනැත්තීය. කිරි දුන් තැනැත්තීය. භාග්‍යවතුන් වහන්සේට වැදු මව කලුරිය කළ කල්හි කිරි පෙව්වාය.
ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමියට බොහෝ උපකාර ඇත්තේ වේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බුදුන් සරණ කොට ගියෝ ය. ධර්මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෝතමී සතුන් මැරීමෙන් වැළකුණේ ය. සොරකම් කිරීමන් වැළකුනීය. කාමයන්ගෙන් වරදවා හැසිරීමෙන් වැළකුනීය. බොරු කීමෙන් වැළකුණාය. රහමෙර පානය කිරීමෙන් වැළකුනීය. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ නිසා මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බුදුන් කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය.
ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය. සංඝයා කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්ත වූවෝය. ආර්යයන් කැමැති වූ සීලයෙන් යුක්ත වූවෝය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෝතමී තොමෝ දුක්ඛ සත්‍යයෙහි සැක නැති වූයෝ ය. දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති වූවෝය. දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති වූවෝ ය. දුක් නිරුද්ධ කිරීමට පිළිපදින්නා වූ මාර්ග සත්‍යයෙහි සැක නැති වූවෝය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ද මහා ප්‍රජාපතී ගෝතමියට උපකාර ඇති සේකයැයි සැලකළ සේක.
.
බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය
.
ආනන්දය එය එසේය. යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම බුදුන් සරණ කොට ගියේ වේද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද ආනන්දය, මේ ආචාර්ය වූ පුද්ගලයාට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රති උපකාර කළ නොහැක්කේ යැයි කියමි. එනම්, වැඳීමය. දැක හුනස්නෙන් නැගිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය. යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද තෙරුවන් සරණ යෑමට කළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
පස්පවින් වැළකීම
.
ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා පුද්ගලයෙක් තෙම සතුන් මැරීමෙන් වැළකුණෝ වේද, සොරකම් කිරීමෙන් වැලකුණෝ වේද,, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණෝ වේද, බොරු කීමෙන් වැළකුණෝ වේද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කිරීමෙන් වැළකුණෝ වේද, ආනන්දය, මේ ආර්ය වූ පුද්ගලයාහට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර (උපකාරයට උපකාර) කළ නොහැකියැයි කියමි. එනම් වැඳීමය, දැක හුනස්නෙන් නැඟිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස, බෙහෙත්, පිරිකරය, යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද පස්පවින් වැළකීමට කළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය
.
ආනන්දය, යම් පුද්ගලයකුª නිසා පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වේද, ආර්යයන් කැමැති වූ සීලයෙන් යුක්තවූයේ වේද ආනන්දය, මේ ආචාර්ය වූ පුද්ගලයාහට මේ අතවැසිවු පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර කළ නොහැකි යැයි කියමි. එනම්, වැඳීමය. දැක හුනස්නෙන් නැඟිටීමය. ඇඳිලි කිරීමය. ගරු බුහුමන් කිරීමය. සිවුරුය. පිණ්ඩපාතය. සායනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය. යන මොවුන් දීමෙනි. (මේ සියල්ලින් උපකාර කළද තෙරුවන් කෙරෙහි ඇතිකළ (අචලප්‍රසාදයට) උපකාරයට මේ එකක්වත් සම කළ නොහැක)
.
සත්‍යාවබෝධය
.
ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් තෙම දුක්ඛ සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි සැක නැති බවට පැමිණියේ වේද, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා සත්‍යයෙහි සැක නැතිබවට පැමිණියේ වේද, ආනන්දය, මේ ආර්ය වූ පුද්ගලයා හට මේ අතවැසි වූ පුද්ගලයා විසින් ප්‍රත්‍යයෝපකාර කළ නොහැකියැයි කියමි. (මේ සියල්ලින් උපකාර කළද සත්‍යාවබෝධය ඇතිකළ උපකාරයට මේ එකක්වත් සමකළ නොහැක)
.
පුද්ගලික දාන දාහතරකි
.
ආනන්දය, පුද්ගලික දාන දාහතරක් වෙත්. එනම් ආර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි. පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන්වන පුද්ගලික දානයයි. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි. අනාගාමී පුද්ගලයකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි. අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි. සකෘදාගාමි පුද්ගලයකුට දානය දේද මේ සත්වන පුද්ගලික දානයයි. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි.
සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි. සස්නෙන් බැහැර වූ කාමයන්හි පහ වූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි. තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දාහතරවන පුද්ගලික දානයයි.
.
පුද්ගලික දානයන්ගේ ආනිශංස
.
ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානයදී දහසක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේය. පෘතග්ජන සීලවන්තයකු කෙරෙහි දානයක දී ලක්ෂයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේ ය. ශාසනයෙන් පිටත්හි වූ කාමයන්හි පහ වූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටි ලක්ෂයක් අනුසස් ඇත්තා වූ දානය කැමැති විය යුත්තේ ය.
සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තා වූ ප්‍රමාණයක් නැත්තා වූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේ ය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද? සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේ ද? සකෘදාගාමී පුද්ගලයෙකුට කියනුම කවරේ ද? අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නාහු කෙරෙහි කියනුම කවරේ ද? අනාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේ ද? අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේ ද? තථාගත රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේ ද? පසේ බුදුන් කෙරෙහි කියනුම කවරේ ද? අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දුන් දනෙහි අනුසස් කියනුම කවරේ ද?
.
සංඝික දාන හතකි
.
ආනන්දය, සංඝික දාන සතක් වෙත්, ඒවා නම් මෙසේය. බුදුන් ප්‍රධාන භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා විෂයෙහි දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි. තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි උභතෝ සංඝයා විෂයෙහි දානය දේද, මෙය දෙවන සාංඝික දානයයි. භික්ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි.
භික්ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සාංඝික දානයයි. මෙතෙක් භික්ෂුහුද භික්ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි. මෙතෙක් භික්ෂුහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවන සංඝික දානයයි.
මෙපමණ භික්ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වන සංඝික දානයයි. ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගෝත්‍රය පමණක් ඇත්තා වූ ලාමක ස්වභාව ඇත්තා වූ කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. ආනන්දය, කිසියම් ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයැයි නොකියමි.
.
දාන විසුද්ධි හතරකි
.
ආනන්දය, මේ දාන විසුද්ධිහූ සතරක් වෙත්. ඒවා කෙසේද යත්. 1. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසුදු වේද, මහත්ඵල වේද ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේය. 2. ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේද, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේ ය. 3. ආනන්දය, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, එබඳු දානයක් ඇත්තේ ය. 4. ආනන්දය, දායකයා කෙරෙනුත් පිිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු වේද, එබඳු දානයක් ඇත්තේ ය.
.
පළමු දාන විසුද්ධිය
.
ආනන්දය,, කෙසේ නම් දානය දායකයා කෙරෙන් පිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම සිල්වත් වූ යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තෝ වෙත්ද, ආනන්දය, මේ දානය වනාහි දායකයා කෙරෙන් පිරිසුදු වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු නොවේ.
.
දෙවන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේනම් දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේද, දායකයා කෙරෙන් පිරිසුදු නොවේද, ආනන්දය, මේ ශාසනයෙහි දායකතෙම දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ සිල්වත් වූ යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහී දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේ. දායකයා කෙරෙන් පිරිසුදු නොවේ.
.
තෙවන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේ නම් දානය දායකයා කෙරෙනුත් පිරිසුදු නොවේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු ද? ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේද දුශ්ශීල වූ ලාමක වූ ස්වභාව ඇත්තෙක් වේ. ප්‍රතිග්‍රාහකයෝද දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තාහු වෙත්. ආනන්දය, මෙසේ වනාහී දානය දායකයා කෙරෙහිද පිරිසුදු නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසුදු නොවේ.
.
සිව්වන දාන විසුද්ධිය
.
ආනන්දය, කෙසේනම් දානය දායකයා කෙරෙනුත් පිරිසුදු වේද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසුදු වේද, ආනන්දය, මේ ශාසනයෙහි දායක තෙමේත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝත් සිල්වත් යහපත් ස්වභාව ඇත්තාහු වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දායකයා කෙරෙනුත් පිරිසුදු වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේ.
.
ආනන්දය, මොහු වනාහි දාන විසුද්ධිහු සතරවෙත්යැයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. උන්වහන්සේ නැවත ද මෙසේ වදාළහ.
.
සිල්වත් වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසුදු වේ.
.
යම් දුශ්ශීලයෙක් අධර්මයෙන් ලද දෙයින් ප්‍රසන්න වූ සිත් නැත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය නො අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසුදු වේ.
.
යම් දුශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලද දෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ මහත්වූ කර්මය හා කර්ම ඵලය නො අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසුදු නොවේ.
.
යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්න වූ සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත් වූ විපාක ඇත්තේයැයි කියමි.
.
යම් පහ වූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලද දෙයින් යහපත් ප්‍රසන්න වූ සිත් ඇත්තේ මහත් වූ කර්මය හා කර්ම ඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිස දාන අතුරෙන් අග්‍ර යැයි කියමි.
.
භාග්‍යවතුන්වහන්සේ මෙසේ මෙම දම්දෙසුම නිමකළ සේක. ආනන්ද තෙරුවන් වහන්සේ එය සතුටින් පිළිගත්හ.
.
(දක්ඛිනවිභංග සූත්‍රය - මජ්ඣිම නිකාය ඇසුරෙනි)