6/22/15

1.3 විමංසන ප්‍රශ්නය



3. මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මා සමග තවදුරටත් කතා බස් කරන්නහුද?"

"ඉදින් මහරජාණෙනි, ඔබ නුවණින් යුක්ත වූ කෙනෙකු සේ මා සමග කතා කරන්නේ නම් මම ද කතා කරන්නෙමි.නමුත් මහරජාණෙනි, දේශපාලකයෙකු සේ මා සමග කතා කළ හොත් මම කතා නොකරන්නෙමි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නුවණැත්තෝ කෙසේ කතා කරත් ද?"

"මහරජාණෙනි, නුවණැත්තෝ කතා බස් තුළින් කරුණු වෙළීමත් කරනු කරනු ලැබේ.වෙළුණු කරුණු ලිහා දැමීමත් කරනු ලැබේ.වරදට නිග්‍රහ කිරීමත් කරනු ලැබේ.එයට පිළියම් යෙදීමත් කරනු ලැබේ.නිසැක බවත් ඇති කරනු ලැබේ.කරුණු සහිතව නිසැක බව ඇති කරනු ලැබේ.ඒ හේතුවෙන් නුවණැත්තෝ කිසිසේත් කෝප නොවෙති.මහරජාණෙනි, ඔන්න ඔය අයුරිනුයි නුවණැත්තන් කතා බස් කරන්නේ."

"එසේ නම් ස්වාමීනි, රජවරු කෙසේ කතා බස් කරත් ද?"

"මහරජාණෙනි, රජවරු කතා කරද්දී එක් කරුණක් ප්‍රතිඥා දෙති.යමෙක් ඒ කරුණට එරෙහි වූ දෙයක් කළහොත් 'මේකාට දඬුවම් දෙව්' කියා ඔහුට දඬුවම් පමුණවති.මහරජාණෙනි, රජවරු කතා බස් කරන්නේ ඔය විදිහටයි."

"ස්වාමීනි, මම නුවණැත්තන් විසින් කරනු ලබන කතාබහ කරමි.දේශපාලකයන් කතාබහ කරන අයුරින් නෙවෙයි.

භදන්ත නාගසේනයන් වහන්සේ භික්ෂුවක සමග හෝ සාමනේරයෙකු සමග හෝ උපාසකයෙකු සමග හෝ ආරමිකයෙකු සමග හෝ යම් අයුරකින් කතා බස් කරන සේක්ද, මා සමග ද එසේ විශ්වාසයෙන් යුතුව කතාබස් කරත්වා ! භදන්තයන් වහන්සේ විශ්වාසයෙන් යුතුව කතාබස් කරත්වා ! භය නොවෙතවා !"

"හොඳයි මහරජාණෙනි" යි තෙරුන් වහන්සේ අනුමෝදන් වූ සේක.

මිළිඳු රජු "ස්වාමීනි, නාගසේනයන් වහන්ස, කාරණාවක් විමසන්නද?" "මහරජාණෙනි, විමසුව මැනැව." "හරි, ස්වාමීනි, මා විසින් විමසන ලද්දේය" "හරි, මහරජාණෙනි, මා විසින් ද විසඳන ලද්දේ ය." "ස්වාමීනි, නුඹවහන්සේ විසඳන ලද්දේ කුමක්ද?" "මහරජාණෙනි, ඔබ විසින් අසන ලද්දේ කුමක්ද?"

තුන්වෙනි විමංසන ප්‍රශ්නයයි.