6/22/15

1.8. මනසිකාරයේ ස්වාභාවය පිළිබඳ ප්‍රශ්නය



8. මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මනසිකාරයේ ස්වාභාවය කුමක්ද ?"

"මහරජාණෙනි, මනසිකාරයේ ස්වාභාවය යමක් ඒකරාශී කිරීමයි.ප්‍රඥාවේ ස්වාභාවය යමක් සිඳ බිඳ දැමීමයි."

"මනසිකාරය යමක් ඒකරාශී කරන්නේ කෙසේද ? ප්‍රඥාව යමක් සිඳ බිඳ දමන්නේ කෙසේද ? මට මෙය උපමාවකින් පැහැදිළි කළ මැනව."

"මහරජාණෙනි, ඔබ යව මිටි ගැන දන්නෙහිද ?"

"එසේය ස්වාමීනි, මම දනිමි."

"මහරජාණෙනි, යව නෙළන උදවිය යව මිටි සකසන්නේ කෙසේද ?"

"ස්වාමීනි, පළමුවෙන් වම් අතින් යව මිටිය අල්ලා ගනිති.දෙවනුව දකුණු අතින් දෑකැත්ත ගෙන ඒ දෑකැත්තෙන් යව මිටිය සිඳ දමති."

"මහරජාණෙනි, යව මිටිය වම් අතින් අල්ලාගෙන දෑකැත්ත දකුණු අතින් ගෙන යව සිඳින්නේ යම් සේද, ඒ අයුරින්ම මහරජාණෙනි, දහමේ හැසිරෙන ශ්‍රාවකයා හෙවත් යෝගාවචර තෙමේ මනසිකාරයෙන් මනස අල්ලාගෙන ප්‍රඥාවෙන් කෙලෙස් සිඳින්නේය.මෙසේ මහරජාණෙනි, එකට එක් කොට ගැනීමේ ස්වාභාවය මනසිකාරයයි.සිඳ බිඳ දැමීමේ ස්වාභාවය ප්‍රඥාවයි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

අටවෙනි මනසිකාරයේ ස්වාභාවය පිළිබඳ ප්‍රශ්නයයි.