6/22/15

1.2 වස් ගණන පිළිබඳ ප්‍රශ්නය



2. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නුඹවහන්සේ උපසම්පදාව ලබා වස් කීයකින් යුක්තද ?

"මහරජාණෙනි, මම වස් සතකින් යුක්ත වෙමි."

"ඒ කියන්නේ ස්වාමීනි, කවර සතක්ද ? ඔබවහන්සේ ද සත? එසේ නැතිනම් ගණන් කිරීමෙන් ලැබූ දෙයක්ද?"

ඒ අවස්ථාවේදී සර්වාභරණයෙන් අලංකාර වූ මිළිඳු රජුගේ ඡායාව පොළොවෙහි දිස් විය.දිය බඳුනෙහි ද දිස් විය.එවිට ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ මිළිඳු රජුට මෙය පැවසූ සේක.

"මහරජාණෙනි, මේ ඔබගේ ඡායාව පොළොවෙහි ද, දිය බඳුනෙහි ද, දිස් වෙයි.කිම? මහරජාණෙනි, ඔබ ද රජු? නැතහොත් සෙවණැල්ල ද රජු?"

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, රජු වනාහී මම වෙමි.මේ සෙවණැල්ල රජු නොවෙයි.සෙවණැල්ල පවතින්නේ මා නිසාය."

"මහරජාණෙනි, ඔය අයුරුමය.ගණන් කිරීමෙහි උපසම්පදාවෙන් ලත් වස්සාන සත ලැබෙන්නේ.නමුත් මා සත නොවෙයි.ඒ සත් වසර පවතින්නේ මා නිසයි.මහරජාණෙනි, සෙවණැල්ල උපමා කොට පැවසුවේ මෙකරුණයි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා අසිරිමත්ය.ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා අද්භූතය.ප්‍රශ්නය විග්‍රහ කළ අයුරු නම් ඉතා අතිවිචිත්‍රය."

දෙවෙනි වස් ගණන පිළිබඳ ප්‍රශ්නයයි.