6/22/15

1.9. සීලයේ ස්වාභාවය පිළිබඳ ප්‍රශ්නය



9. මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, අන්‍ය වූ කුසල් දහම් ය කියා යමක් මෙහිදී කියවුණේය.ඒ අන්‍ය වූ කුසල් දහම් මොනවාද ?"

"මහරජාණෙනි, සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය යන මේවා වනාහී අන්‍ය වූ කුසල් දහම් ය."

"ස්වාමීනි, සීලයේ ස්වාභාවය කුමක්ද ?"

"මහරජාණෙනි, සීලයේ ස්වාභාවය සියලු කුසල් දහම්වල පැවැත්ම පිහිටීමයි.ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, මාර්ගාංග, සතිපට්ඨාන, සෘද්ධිපාද, ධ්‍යාන, විමෝක්ෂ, සමාධි සමාපත්ති ආදිය සීලය මත පිහිටා තිබේ.මහරජාණෙනි, සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.සියලු කුසල් දහම් නොපිරිහෙයි."

"උපමාවක් වදාළ මැනව."

"මහරජාණෙනි, වැඩි වර්ධනය වී විපුල බවට පත්වෙන ගස්කොළන් ආදී පැළවෙන යම්කිසි දේවල් ඇද්ද, ඒ සියල්ල වැඩෙන්නේත්, වර්ධනය වෙන්නේත්, විපුල බවට පත්වෙන්නේත් පොළොව ඇසුරු කොට පොළොව මත පිහිටා ය.මහරජාණෙනි, ඔය අයුරින් ම සීලය මත පිහිටා සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි."

"තව දුරටත් වදාළ මැනව."

"මහරජාණෙනි, බලය උපදවාලන යම් කර්මාන්ත ආදිය ඇද්ද, ඒ සියල්ල කෙරෙන්නේ පොළොව ඇසුරු කොට ඒ මත පිහිටා ය.මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසාම, සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි."

"තවදුරටත් උපමාවකින් වදාළ මැනව."

"මහරජාණෙනි, නගරය වර්ධනය කරන අය නගරයක් නිර්මාණය කිරීමේදී පළමුවෙන් කරන්නේ නගරය පිහිටන තැන පිරිසිදු කොට කටුකොහොල් බැහැර කරවා භූමිය සමතලා කරවා ඉන්පසු වීථි, සිව්මංසල, සන්ධි, ආදී සලකුණු යොදා නගරය නිර්මාණය කිරීමයි.මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසාම, සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි."

"තවදුරටත් උපමවකින් වදාළ මැනව."

"මහරජාණෙනි, කරණම් ගසන්නා ශිල්ප දක්වනු කැමතිව පොළොව සාරවා ගල් බොරළු බැහැර කරවා භූමිය සමතලා කරවා සිව්මැලි භූමියක සිට කරණම් ගසයි.මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසාම, සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි.ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙකරුණ වදාරණ ලද්දේ ය.

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ - චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකෝ භික්ඛු - සෝ ඉමං විජටයේ ජටං

ප්‍රඥාව සහිත වූ මනුෂ්‍ය තෙමේ සීලය මත සිට සිතත්, ප්‍රඥාවත් වඩයි.කෙලෙස් තවනා වීරියෙන් යුතුව අවස්ථාවෝචිතව ප්‍රඥාවෙන් හෙබි ඒ භික්ෂුව මේ අවුල ලිහා දමන්නේය.

අයං පතිට්ඨාය ධරණීව පාණිනං - ඉදං ච මූලං කුසලාභිවුඩ්ඪියා
මුඛංවිදං සබ්බ ජිනානුසාසනේ - යෝ සීලක්ඛන්ධෝ වරපාතිමොක්ඛියෝ

ප්‍රාණීන් හට පිහිටක්ව තිබෙන මේ පොළොව මෙන් කුසලාභිවෘද්ධියට මුල් වන්නේ මයයි.සියලු බුද්ධානුශාසනයට මුඛ්‍ය කරුණ ද මෙයයි.එනම් යමෙක් උතුම් ප්‍රාතිමෝක්ෂාදියේ සීලසම්පන්නව වාසය කරත් ද, එයයි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

නවවෙනි සීලයේ ස්වාභාවය පිළිබඳ ප්‍රශ්නයයි.