3/16/17

සතිසම්පජඤ්ඤයෙන් නිවන කරාම..


මේ ‘සතිසම්පජඤ්ඤය ඉතාමත්ම වටින එකක්’. 'පුන ච පරං, භික්‌ඛවෙ, භික්‌ඛු අභික්‌කන්‌තෙ පටික්‌කන්‌තෙ සම්‌පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්‌පජානකාරී හොති, සම්මිඤ්‌ජිතෙ පසාරිතෙ සම්‌පජානකාරී හොති, සඞ්‌ඝාටිපත්‌තචීවරධාරණෙ සම්‌පජානකාරීහොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්‌පජානකාරී හොති, උච්‌චාරපස්‌සාවකම්‌මෙ සම්‌පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්‌නෙ සුත්‌තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්‌හීභාවෙ සම්‌පජානකාරී හොති. මෙන්න මේ සතිසම්පජඤ්ඤය කියන එක තමයි ඊගාවට තියෙන - මේ හැම එකකටම අන්තිමට - අපි ඒ ඒ කෘත්‍ය වශයෙන් නම් කළාට මේ සතිසම්පජඤ්ඤය තමයි මේ අනුග්‍රහය දක්වලා තියෙන්නේ. සති-සම්පජඤ්ඤය කියන්නේ සිහි-නුවණ. මෙන්න මේ සිහි-නුවණ කියන එක විශේෂම, ප්‍රධානම දෙයක්. කරන කරන හැම දෙයක්ම - දැන් අපි ‘ඉස්සෙල්ලා කිව්වේ කෙනෙකුගේ මුළු ජීවිතයම ආවරණය වෙන්න තියෙන පැතිකඩවල් ටික, ඉදිරියට යද්දිත්, ආපහු එද්දිත්, වටපිට බලද්දිත්, අතපය හකුළද්දිත්, දිගහරිද්දිත් ’ - මේ හැම දෙයක්ම සිහියෙන් කරන්න ඕනේ කියලා. එතකොට මේ හැම දෙයක්ම සිහියෙන් කරනවා කියලා කියන්නේ ස්වාමීන්වහන්ස - මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඕකට කියනවා ‘නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටුවාගෙන කටයුතු කරනවා’ කියලා. මේකේ දී ටිකක් දක්ෂවෙන්න ඕනේ. දැන් අපි දැක්කා නේ ස්වාමීන්වහන්ස, බාහිර සතරමහාධාතුව තියෙන තැනක ඇඳපු චිත්‍ර ටිකක් අපිට පෙනෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ‘බිත්තියේ ඇඳපු චිත්‍රය දකින කොට කෙනා කියන අදහස අපිට ආවා නම්’, වෙනදාට අපි ‘අරමුණු ගන්න කලින්’ - බාහිර කෙනෙක් ඉන්නවා, කෙනා හම්බවෙයි කියන තැනකින් - බාහිරයට ඇස් යොමු කරගත්තා වගේ - ‘කෙනෙක් බාහිරයේ ඉන්නවා’ කියන තැනක මුළා වූ සිහියකින් මයි ඇවිද්දේ, කළේ. තේරුණා නේද? දැන් සතිසම්පජඤ්ඤය කියලා කියන්නේ - නෙක්ඛම්ම ධාතුව මනසට ආරෝපණය කරගන්නවා. ‘නෙක්ඛම්ම ධාතුවට’ කියන්නේ ඉස්සෙල්ලාම අනාත්මයට හිත තියාගෙනයි හැම වැඩක්ම කරන්නේ. ඒ කියන්නේ ‘ගඩොල්, වැලි, සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍රය දකින කොට කෙනා කියන අදහස ඇතිවෙයි නේ’ කියන අදහසිනුයි ඒ දිහා බලන්නේ. මම ඕකට තව උපමාවක් කිව්වොත් - ඇත්තටම අපි මෙතැන ටිකක් හිරවෙන්නේ මෙතැන අඩුව හින්දා නෙවෙයි ස්වාමීන්වහන්ස. මේ ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ ඇත්ත දැනගත යුතුයි කියලා ත්‍රිපිටකයේ ඉගෙන ගත යුතු කොටසක් අපේ අඩුයි. ඒකයි දැන් මගෙන් බණ අහපු මේ ඉන්න පොඩි හාමුදුරුගොල්ලන්ට නම් මේක ඇත්තටම එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද ඇස් ඉදිරිපිටට එන රූපය කියන්නේ මොකක්ද, ඒ ධර්මතා ගැන පැහැදිලි කරලා තියෙන නිසා. ඔය අඩුව මේ තියෙන්නේ. නමුත් කමක් නැහැ ඒක හැදෙයි. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, කඳු, පල්ලම්, පර්වත, ප්‍රපාත කියන මේ දේවල් වලට හිත තබන්නේ නැතුව, මුළු පොළොවම පඨවි සංඥාවෙන් බලන්න” කියලා. ස්වාමීන්වහන්ස ඔය හැකියාව හම්බවෙන්නේ මේ ස්කන්ධ, ධාතු, ආයතන ඉගෙනගත්ත කෙනාට. ඒ කියන්නේ අපි ගඩොල්, වැලි, සිමෙන්තියෙන් බිත්තියක් හදලා, සිත්තරයෙකුට එන්න කියලා කඳු, පල්ලම්, ගංගා තියෙන චිත්‍රයක් අඳින්න කියනවා මුළු බිත්තියම වැහෙන්න. බිත්තිය පොඩ්ඩක්වත් පෙනෙන්නේ නැති වෙන්න කඳු, පල්ලම්, ගංගා, නිම්න තියෙන චිත්‍රයක් අඳින්න කියනවා. අඳින්න බැරි ද? පුළුවන්, ඇන්දා. දැන් හොඳට බලන්න ස්වාමීන්වහන්ස, බිත්තිය දැන් අපිට පෙනෙන්නේ නැහැ, චිත්‍රයෙන් වැහිලා නිසා. හැබැයි අපි අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙන්නේ නැහැ, අහුවෙන්නේ බිත්තිය. අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රයේ තියෙන කඳු, පල්ලම් අපිට අහුවෙනවා ද? ගස්කොළන් අහුවෙනවා ද? නැහැ. අහුවෙන්නේ, අත වදින්නේ බිත්තියේ. ‘ඇහෙන් බැලුවොත්’ බිත්තිය පෙනෙන්නේ නැහැ, පෙනෙන්නේ චිත්‍රය. ඇහැට පෙනෙන්නේ උපාදාය රූපය. ‘අතට ගැටෙන්නේ’ මහාභූත. කයට ගැටෙන්නේ හැමවෙලේම පඨවි ධාතුව, මහාභූත. කාය විඤ්ඤාණයෙන් විඤ්ඤෙය්‍ය - පඨවි ධාතුව. රූප පෙනෙන්නේ නැහැ. (කාය විඤ්ඤාණයෙන් වර්ණ රූපය විඤ්ඤෙය්‍ය නැහැ. චක්ඛු විඤ්ඤාණයෙන් විඤ්ඤෙය්‍ය - රූපය. පඨවිය විඤ්ඤෙය්‍ය නැහැ. ඒකයි ස්වභාවය. 

දැන් මෙතැන වෙනසක් තේරෙනවා නේද ස්වාමීන්වහන්සේලාට. දැන් බිත්තියකුත් තියෙයි, චිත්‍රයකුත් තියෙයි. 
 • හැබැයි ඒ බිත්තිය සහ චිත්‍රය අපිට ගනුදෙනු කරන්න පුළුවන් ආයතන දෙකකින්. 
 • චිත්‍රයත් එක්ක කයෙන් ගනුදෙනු කරන්න බැහැ. 
 • බිත්තියත් එක්ක ඇහෙන් ගනුදෙනු කරන්න බැහැ. 
තේරුනා නේද කියපු එක? ඒ කියන්නේ මම මෙහෙම බැලුවොත්, කිසිම පැකිලීමක්, පැටලීමක් නැතුව මට ‘චිත්‍රය නම් පෙනෙයි’. නමුත් මුළු චිත්‍රයෙන්ම බිත්තිය වහගෙන නම් තියෙන්නේ, මට දැන් බිත්තිය පෙනෙනවා ද? කීයටවත් පෙනෙන්නේ නැහැ. නමුත් මම චිත්‍රයේ තියෙන මොනම හරි දෙයක් අල්ලන්න කියලා අත දැම්මොත්, මට ‘ඇඳපු චිත්‍රයේ කිසිම දෙයක් නම් අහුවෙන්නේ නැහැ’. බිත්තියේ ගඩොල්, වැලි නම් හැපෙයි. ඒක නේද ඇත්ත? ඒ වගේ, දැන් ස්වාමීන්වහන්ස,‘ඒ චිත්‍රයේ’ කඳු, පල්ලම් කියන එකක් තියෙනවා ද? පෙනුණාට කඳු, පල්ලම් විදිහට, ‘හිතටයි’ පෙනෙන්නේ ස්වාමීන්වහන්ස කඳු, පල්ලම් කියන එක. යථාර්ථයට එහෙම නැහැ.දැන් ඒ උපමාව ගන්න - මුළු පොළොවම බිත්තියක් නම්, ඒ මුළු පොළොවම වැහෙන්න ඇඳපු චිත්‍රයක් නම් මේ, මේ රට, මේ ලංකාව, මේ ආරණ්‍ය - බිම නෙවෙයි, ‘මුළු පෘථිවියම බිත්තියක් නම්’, බිත්තියේ දශමයක්වත් ඉඩ නැතිවෙන්න ‘මුළු බිත්තියම වැහෙන්න චිත්‍රයක් ඇන්දේ නම්’, දැන් ස්වාමීන්වහන්සේලා මෙහෙම බලන්න, ස්වාමීන්වහන්සේලාට ‘පඨවිය පෙනෙයිද’ කියලා. මේ චිත්‍රය ‘පෙනෙනවා’. නමුත් ‘ඔය පෙනෙන ඕනෑම දෙයකට අතදාන්න, අත ගිහිල්ලා හැපෙයි පඨවියේ මිසක’ - ‘පෙනෙන දෙය’ ‘අහුවෙන්නේ නැහැ’. ‘කඳු, පල්ලම්, විවර වලට හිත තියන්නේ නැතුව’ ‘එක්ම පඨවි සංඥාව වඩන්න පුළුවන්’ – ‘මේ පෙනෙන චිත්‍රය පතිත වෙලා තියෙන තැන මහාභූතයි, මහාභූත මත පතිත වෙලා තියෙන චිත්‍රයක්’ කියන තැනකින් හිත තැබුවොත්. 'කො ඉමං පඨවිං විජෙස්සති - කවරෙක් මේ පොළොව දිනා ද? සෙඛො ඉමං පඨවිං විජෙස්සති - ‘සේඛ පුද්ගලයා’ මේ මුළු පොළොවම දිනනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කළේ. එක සේඛ පුද්ගලයෙකුට මුළු පෘථිවි ධාතුවම දිනන්න පුළුවන්. මොකද එක හිතට මේ පෘථිවි සංඥාවම ගන්න පුළුවන් ස්වාමීන්වහන්ස. අර උපමාව ගන්න - මුළු පඨවි ධාතුවම, ‘මුළු පොළොවම බිත්තියක් නම්’, ‘බිත්තිය වැහෙන්නම චිත්‍රයක් ඇන්දොත්’ - මේ ඇහෙන් බලන කොට ස්වාමීන්වහන්සේලාට චිත්‍රයක් පෙනෙයි. නමුත් පඨවිය පෙනෙන්නේ නැහැ. හැබැයි ඔය පෙනෙන චිත්‍රයේ ඕනෑම වස්තුවක් අල්ලන්න අත දාන්න. මේ පෙනෙන ඕනෑම තැනකට අත දැම්මොත්, මේ අත හැපෙන්නේ ගිහිල්ලා මේ පඨවියේ, මේ බිත්තියේ මිසක ‘පෙනිච්ච දේ නෙවෙයි’. 

එතකොට මෙන්න මේ මුළු පොළොවම එක්ම එක් පඨවි සංඥාවෙන් වැඩුවොත්, බිත්තියේ චිත්‍රය ඇන්දා වගේ ‘පඨවිය තියෙන තැනක චිත්‍රය දැන් පිහිටලා තියෙන්නේ නම්’ - චිත්‍ර දකින ගානේ අපේ මනසේ මනුස්සයෝ, පුද්ගලයෝ, ගෙවල්දොරවල් කියන අදහස් එයි. මුළු බිත්තිය වැහෙන්නම ඇඳපු චිත්‍රය තියෙනවා, බිත්තිය පෙනෙන්නේ නැහැ.චිත්‍රය දකින කොට ගංගා, මනුස්සයෝ, කපුටෝ, ගෙවල්දොරවල් කියන අදහස් අපිට එයි. නමුත් තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ - ලෝකයේ චිත්‍ර ටිකක් තියෙයි. සංකප්ප රාගො පුරිසස්ස කාමො - පුරුෂයාගේ මනස තුළයි කාමය. ගෙවල්-දොරවල්, කපුටෝ, ළිං, මිනිස්සු, ඉර, හඳ ඔක්කෝම - මනසේ. ‍මේ වගේ මේ මුළු පෘථිවියම වැහෙන්න චිත්‍රයක් නම් මේ ඇඳලා තියෙන්නේ, තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ - මේ ලෝකයේ චිත්‍රයක් තියෙයි. සංකප්ප රාගො පුරිසස්ස කාමො - මේවා දකින කොට වෑන් කියයි, ජනෙල් කියයි, ගෙවල් කියයි, ගොඩනැගිලි කියයි, ගස්කොළන් කියයි, වීර ගස් කියයි, පලු ගස් කියයි මේවා අපි තුළ එයි. සංකප්පො කාමො, රාගො කාමො, සංකප්ප රාගො කාමො - මේ සංකප්පයයි, රාගයයි දෙක කාමය. වෙනදා අපි හිතුවේ ගස්කොළන්, ගෙවල්දොරවල්, වාහන ‘මෙහේ (බාහිර තියෙනවා)’ කියලා. එහෙම නැහැ. ‘පොළොවේ ඇඳපු චිත්‍රය දකින ගානේ’ - අපේ මනසේ යි කාමය යෙදුණේ. සතිසම්පජඤ්ඤය කියන්නේ - අපි කියමු පඨවි ධාතුව අහුරාගෙන පිහිටලා තියෙන වර්ණ සටහන, චිත්‍රය දකින ගානේ අපේ මනසේ අදහස් ඇතිවෙනවා කියන තැනකට සිහියෙන් අඩිය තියන්නේ. වෙනදාට අඩිය තියලා ගියේ අපි ‘පෙනෙන ශාලාවේ, නැත්නම් මේ පොළොවේ’. ‘පෙනෙන දෙයටයි වෙනදාට අපි අඩිය තියලා ගියේ’. දැන් අපි දන්නවා මගේ කකුල හැපෙන්නේ පෙනෙන දෙයෙහි නෙවෙයි කියලා. බිත්තියේ චිත්‍රයක් නම් ඇන්දේ, ඒ බිත්තිය බිමට තල්ලු කළොත්, බිත්තිය උඩ මම යන්න ගියොත්, ඇහැට පෙනෙයි මට චිත්‍රය. ‘චිත්‍රය ඇතුළේ තියෙන බඩු-භාණ්ඩ’ මගේ කකුල හැපෙනවා ද? මම ‘පෙනෙන දෙය පාගගෙන ද’ ඉන්නේ එතකොට? නැහැ.

ස්වාමීන්වහන්ස, මේ දැනුත් එහෙමයි. සතිසම්පජඤ්ඤය කියන එකේ සැබෑම අර්ථය ඒකයි. ඒ කියන්නේ මහාභූත සහ උපාදාය රූප තියෙන තැනක, නැත්නම් මුළු පොළොවම ආවරණය වෙන්න පිහිටි චිත්‍රයක් තියෙන්නේ. චිත්‍රය දකින කොට - ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් වෙනදාට අපි ටක්ගාලා ‘ගහ’ දිහා බලන්නයි ඔලුව හැරෙව්වේ. දැන් සතිසම්පජඤ්ඤයෙන් - ‘රූපය දකින කොට ගහ කියන අදහස එනවා නේද’ කියන එකට සිහියෙන් තමයි ඔලුව හරවන්නේ. ඒ කියන්නේ වෙනදාට ළඟ ඉන්න හාමුදුරුවෝ දිහා බලන්නයි ඔලුව හැරෙව්වේ. දැන් සතිසම්පජඤ්ඤයෙන්, ඒ කියන්නේ සිහියෙන්, නුවණින් මම ඔලුව හරවන්නේ. ඒ කියන්නේ කනබොන ආහාරයෙන් හැදුණු ‘කුණප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහන’ දකින කොට ‘හාමුදුරුවෝ කියන අදහස මට එයි නේ’ කියන එක සිහි කරගෙන මෙහෙම බලන්නේ. ‘බාහිර’ හාමුදුරුවෝ දිහා නෙවෙයි බලන්නේ. මහාභූත සහ උපාදාය රූප ටික දිහා බලන කොට හාමුදුරුවෝ කියන අදහස එයි නේ කියන අදහසින් බලන්නේ මම. ඉදිරියට යන්නෙත් එහෙමයි.මේ පෙනෙන දෙය - ස්වාමීන්වහන්ස කට්ටිය දන්නේ නැති වුණාට, අපි ඉස්සර මතක ද සක්මන් භාවනාව එහෙම කරන කොට ‘පඨවි, පඨවි’ කිය කියා ඔය හිතන්නේ මොකක් ද? යථාර්තය. අන්තිමට ඒ කියන්නේ ‘මේ හැපෙන්නේ පෙනෙන දෙය නෙවෙයි කියන එකයි ඒ සිහි කරවන්නේ’. දැන් බිත්තිය උඩ ඇවිදින කොට අපිට හිතන්න තියෙන්නේ ‘පඨවි, පඨවි’ කියලා - මොකද? “මේ පෙනෙන දේ හැප්පෙනවා නෙවෙයි, මේ පෙනෙන ‍දෙය චිත්‍රය. දැන් මේ හැපිලා තියෙන්නේ කකුලට මේකේ තියෙන පඨවියයි” කියන එකයි ඒ කියන්නේ. එහෙනම් මෙය ද මුළු පොළොවම ආවරණය වෙන චිත්‍රයක් නම්, දැන් මේ අපි අඩිය තියන්නේ පෙනෙන දේ ද? නැහැ. සිහිගන්වනවා. රැවටෙන්න දෙන්නේ නැහැ මනසට, ‘පෙනෙන දෙය අහුවෙනවා නෙවෙයි, පෙනෙන දෙය පෑගෙනවා නෙවෙයි, පෑගෙන්නේ පඨවියයි’ කියන එක. ඒකයි සතිසම්පජඤ්ඤය කියන්නේ. මම මේ කිව්වේ, වෙනදාට බිත්තියේ චිත්‍රය දිහා බැලුවේ කෙනෙක් කියන අදහසින් නේ? දැන් බිත්තිය දිහා බලන්නේ, ‘බිත්තිය දිහා බලන කොට කෙනා කියන අදහස ඇතිවෙයි නේ’. ඉදිරියට යද්දිත්, ආපසු එද්දිත්, වටපිට බලද්දිත්, අතපය හකුලද්දිත්, දිගහරිදිද්දිත්, මේ ටික පෙන්නුවේ, කයෙන් කෙරෙන වැඩ ටික - අපි ජීවත්වෙනවා කියන එක. අපි කෙනෙක් ජීවත්වෙනවා කියලා කියන්නේ මේ මේ වගේ ක්‍රියාදාමවල් ටිකක් කරනවා කියන එක. මේ මේ වගේ ක්‍රියාදාමවල් ටිකක් කෙරෙද්දී, අපිට නුවණ තියෙන්න ඕනේ ‘අපි ගනුදෙනු කරන්නේ සතරමහා ධාතු සහ උපාදාය රූප ටිකක් එක්කයි’. ඒ ගනුදෙනු කරන ගානේ අපේ මනසේ ප්‍රපංච යෙදිලා තියෙනවා කියන කාරණාවයි මේකෙන් තේරෙන්න ඕනේ. අර මම කිව්වේ වෙනදාට මම මෙහෙම ‘ස්වාමීන්වහන්සේලා දිහා යි’ බැලුවේ. ඕකට තමයි ‘අසිහිය’ කියන්නේ. එතකොට සතිසම්පජඤ්ඤය කියලා කියන්නේ මොකක් ද? ‍‘මහාභූත සහ උපාදාය රූපය දකින කොට කෙනා කියන අදහස ඇතිවෙනවා නේ’ කියන අදහසින් තමයි මම මේ දිහා බලන්නේ. ඉදිරියට යනවා, ‘දානශාලාව බලන්න යන්නේ නැහැ’. ‘මහාභූත සහ උපාදාය රූප - ඒ සටහන දකින කොට දානශාලාව කියන අදහස ඇතිවෙනවා නේ’, ඇතිවෙයි නේ කියන තැනකින් තමයි යන්නේ. අතපය නමනවා, දිගහරිනවා, මම මේ වටාපත ගත්තා නෙවෙයි, ඒ කියන්නේ දැන් මේ හැම තැනකදීම දන්නවා - ‘ධාතු මාත්‍රයක්, ධාතු මාත්‍රයක් ස්පර්ශ වෙන්නේ’. ඒ කියන්නේ මේ දැන් කිසිම වෙලාවක චිත්‍රය අහුවෙන්නේ නැහැ. මේ කායගතාසතියටමයි යන්නේ. සතිසම්පජඤ්ඤය - හැම වෙලාවේම සිහිනුවණ කියලා කියන්නේ - ඇදවැටෙන්න දෙන්නේම නැහැ. රැවටෙන්න දෙන්නේම නැහැ. ප්‍රපංච ටිකට ඉඩ දෙන්නේම නැහැ මනසේ. 

මේක දැන් අපිට තේරුණාට ස්වාමීන්වහන්ස, මේක කරන්න පුළුවන් දෙයක් ද කියලා හිතෙයි. නැහැ ස්වාමීන්වහන්ස, කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙච්චර අමාරු නැහැ හැමදාම. අපිට නො තේරුණ නිසා. ගහක් හැදෙන්න පොහොර, වතුර වැටෙන කොට ඒක අපහසුවකින් තොරව හැදෙනවා. බණ දහම් අහන කොට, දහම් කරුණු අහන කොට, ස්කන්ධ, ධාතු, ආයතනයන්ගේ ස්වභාවය ටික ටික තේරුම්ගන්න කොට, නොබෝ දවසකින් නිබර වෙනවා. ස්වාමීන්වහන්ස, නිසරු මුඩු බිමක් වගෙයි අපේ විදර්ශනා ඥාන අද. ඒ කියන්නේ ස්කන්ධ, ධාතු, ආයතන මේ පිළිබඳව ‘මේ නුවණ වැඩෙන්න ඕනේ පොහොර ටික, වටපිටාව අපේ නැතිකමයි’ මේ තියෙන අඩුව. ඔය ටික හැදුණහම කිසිම ප්‍රශ්නයක් නැහැ. කොච්චරද ඔය සතිසම්පජඤ්ඤයට කියනවා නම්, බුදුරජාණන්වහන්සේ උපමාවක් දෙනවා අර තේලපත්ත උපමාවෙන්, ‘මහණෙනි, මුවවිට දක්වා තෙල් පිරුණු පාත්‍රයක් හාමුදුරුනමක් අතට දෙනවා, තෙල් පාත්‍රය මුවවිට දක්වාම පිරිලා. ජනපද කල්‍යාණිගේ නැටුම් බලන මිනිස්සු පිරිසක් මැද්දෙන් තමයි මේක අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ දැන් ජනපද කල්‍යාණි වේදිකාවක් ගහලා නාට්‍ය සංදර්ශණයක් ඉදිරිපත් කරනවා. අපේ ඔය සංගීත සංදර්ශන වගේ. එතකොට මිනිස්සු පිරිලා. දැන් එතැන ඉන්න මිනිස්සු එක්කෙනෙක්වත් සිහියෙන් ඉන්න අය නෙවෙයි නේ. අසිහියෙන් අරහෙන් මෙහෙන් කෑගහ ගහ ඉන්නේ. පිටිපස්සෙන් වධකයෙක් එනවා කඩුවක් උස්සගෙන, ‘එක තෙල් බිංදුවක්වත් හැලුණොත් එවෙලේම කොටලා මරණවා’ කියලා. “මහණෙනි සතිසම්පජඤ්ඤය එසේ උපමා කරමි” කියලා කියනවා. එක භික්ෂූන් වහන්සේ නමක් කියනවා “ස්වාමිනී, මේක නම් කරන්න බැහැ කවදාවත්, අපිට නම් මහණකම කරන්න බැහැ” කියලා. ස්වාමීන්වහන්ස, අපි කොච්චර පරිස්සමින් ගියත් අසිහියෙන් ඉන්න පිරිසක් මැද්දේ නම් යන්නේ, ඒ මිනිස්සු ඇ‍ඟේ හැප්පුණත් තෙල් පාත්‍රය හැලෙන්නේ අපේ නේ. මැරුම්කන්න වෙන්නේ අපිට. මගේ වැරැද්දෙන් තෙල් පාත්‍රයෙන් බිංදුවක් හැලුණත් වධකයා කොටනවා. 

අනුන්ගේ වරදින් තෙල් පාත්‍රයේ හැපුණත් වධකයා කොටලා මරන්නේ මාව. ඒකයි යන්න තියෙන්නේ සංවර වූ, හොඳට ඉඩදෙන තැනක නෙවෙයි, මේ පාත්‍රය අරගෙන යන්න තියෙන්නේත් ජනපද කල්‍යාණිගේ නැටුම් බලන පිරිසක් මැද්දෙන්. එතකොට තෙල් බිංදුවක්වත් හරි හැලුණොත් වධකයා මරණවා ම යි. ඒකෙන් කියන්නේ ‘තමන්ට වැරදුණොත් විතරක් නෙවෙයි, අර නැටුම් බල බලා ඉන්න මිනිහෙක් අසිහියෙන් ඇවිල්ලා ඇඟේ හැපිලා තෙල් පාත්‍රයෙන් බිංදුවක් වැටුනත්’ ඒත් මැරුම් කන්න වෙනවා තමන්ට . ඒ නිසා වැරදීමකින් අසිහියෙන් තව මිනිහෙක් ඇවිල්ලා මගේ ඇ‍ඟේ හැපෙයිද කියන එකත් මම බලන්න වෙනවා මේක අරගෙන යද්දී - කියලා සතිසම්පජඤ්ඤයට බුදුහාමුදුරුවෝ ඔහොම උපමා දුන්නහම හාමුදුරුවෝ කිව්වා මේක නම් කරන්න බැහැ කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා “මහණෙනි, බැරි නැහැ, පුළුවන්. කල්‍යාණ මිත්‍ර වූ මම ඉන්නවා. මේ මනා කොට දේශනා කළ මේ ධර්මය තියෙනවා. මහණෙනි මේක කරන්න පුළුවන්. බැරි නම් මම කියන්නේ නැහැ” කියනවා. නොබෝ දවසකින් ඒ බැහැ කියපු ස්වාමීන්වහන්සේ රහත් වෙනවා. ඉතින් ඒකේ දී මම මතක් කළේ ස්වාමීන්වහන්ස, ජනපද කල්‍යාණිගේ නැටුම් බලන පිරිසක් වගේ, නිවනට හිතෛශී පිරිසක් ඉන්න ලෝකයක් නෙවෙයි මේ තියෙන්නේ. අසිහියෙන්, ‘මම, මගේ...’ කියලා මේ ලෝකය බදාගෙන, කාම වස්තු බදාගෙන මම මගේ කියලා, ඒවායේ වටිනාකම දකිමින්, ඒකේ හරය දකිමින්, ඒවාට ගහබැන ගනිමින්, රණ්ඩු කර ගනිමින්, මරා ගනිමින්, කපාකොටා ගනිමින්, ඒවා එක්ක පොපියන, නලියන ලෝකයක් තියෙන්නේ ස්වාමීන්වහන්ස. මේ බාහිර වස්තුවල වටිනාකම අනන්ත විදිහට වටිනවා කියලා දැකලා, ඒවා ‘මම ම’ වෙලා, ‘මගේ ම’ වෙලා, ඒවා එක්ක පොපියමින්, දඟලමින්, නලියන ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකයක් මැද්දෙන් තමයි මේ නිවන් මග අපිට ගෙනියන්න වෙන්නේ. ඒ කියන්නේ කැලයකට ගිහිල්ලා නෙවෙයි, මෙබඳු ලෝකයක් එක්කයි අපිට ජීවත්වෙන්න තියෙන්නේ. එතකොට ඒ ලෝකයේ වරදකින් හරි, අපේ වරදකින් හරි, මේ අරමුණු පරිහරණය කරන කොට සිහිය නැතිවෙන වාරයක් ගානේ කර්ම රැස්වෙනවා. වධකයා කොටනවා වගේ - ‘මගේ මනසේ තියෙන ගතිය මේ ආයතනයන්ට පතිත වූ පමණකින්ම’ කර්ම රැස්වෙනවා. මේ වස්තුව දිහා "වීදුරුව” කියලා මම බැලුවා නම් ස්වාමීන්වහන්ස, වධකයා කොටලා තියෙන්නේ. මේ හේතුවෙන් ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස අනන්ත සංසාරයේ නිර්මාණය වෙලා. අපි දන්නේ නැහැ. අපි ගොඩාක් දුරට හිතන්නේ - “කැමැත්ත ඇති නො වුණා නම් ඇති නේ, කෙලෙස් ඇති නො වුණා නම් ඇති නේ, තණ්හාව ඇතිකර නො ගත්තා නම් ඇති නේ” කියලා. නමුත් තණ්හාව ඇති නො වුණාට මෝහය තිබුණා නම් ඇති. ස්වාමීන්වහන්ස, සැප වේදනාවේ රාගයත්, දුක් වේදනාවේ ද්වේෂයත්, උපේක්ෂා වේදනාවේ මෝහයත් තියෙයි. නිවන කියලා කියන්නේ රාගක්ඛයො, දොසක්ඛයො, මොහක්ඛයො නිබ්බාණ. රාග, ද්වේෂ, මෝහ කියන ධර්මතා තුනේ ක්ෂය බව. අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ "ආලොකො උදපාදී" ග්‍රන්ථයේ තුන්වෙනි දේශනාව ඇසුරෙන්.