3/1/17

අපි බුද්ධානුස්සතිය පුහුණු කරමු.


ධර්ම දානය උදෙසා ම විසින් නිම කරන ලද දෙවන ජංගම මෙවලම බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීමටද වැඩි දියුණු කිරීමට ද උපකාර වනු ඇත. https://play.google.com/store/apps/details… මෙය සඳහා කරුණු එක්රැස් කර දුන් බණ්ඩාරවෙල ධම්මවිජය ස්වාමින්වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා! බොහෝ දෙනා ධර්මයේ හැසිරෙනු දකීම මගේ මෙන්ම මගේ කල්‍යාණ මිත්‍රයන්ගේ ද බලාපොරොත්තුව වනු ඇත. ඒ සඳහා හැකි අයුරින් ධර්ම දානය කිරීම උදෙසා සතුටින් වෙහෙස වෙමි. මෙම ජංගම මෙවලම මහත් වූ අනිශංශ ඇති බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීම සඳහා උපකාර වේ. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී ම බොහෝ ආනිශංස ලබා ගත හැකි වෙයි. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.

මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.
එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.
බුදුගුණ භාවනාවේ අනුසස්


  • සතර අපායට පත් නොවීම
  • නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
  • සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
  • නිහතමානී ගති පැවතුම් ඇතිවීම
  • ලෝකයාට ප්‍රියමනාප වීම
  • බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
  • දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
  • අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
  • තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
  • භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
  • පාපයට ලැජ්ජ භය වීම
  • අධි කුසලයට සිත නැඹුරු වීම
  • අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
  • ගුණ, නුවණින් පිරිපුන් වීම
  • පිටසක්වල නූපදීම
  • අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
  • උන්මන්තක නොවීම
  • මිසිදිටු නොගැන්වීම
  • මරණයට නොබියව මුහුණදීම
  • මුහුණෙ වර්ණය පැහැපත්වීම
  • වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
  • බුදුබව පවා පැතීමට සිත නැමීම
  • තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
  • යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
  • එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
  • තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
  • ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
  • සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
  • සම්මා දිට්ඨියෙහි පිහිටීම
  • යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
  • ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
  • ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
  • මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
  • සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
  • නපුරු සිහින නොපෙනීම
  • භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම