9/20/16

ඇට සැකිලි ප්‍රේතයාගේ කථා වස්තුව



“පවිටා ලද යම් දැනුමක් වෙයි නම් – ඒ තුළිනුත් ඔහු වැනසෙන්නේ…”
පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙයත් කලින් කථාව වගේම එකක්. මුගලන් මහරහතන් වහන්සේම තමයි මේ ප්‍රේතයාවත් දැක්කේ. එදාත් ලක්ඛණ රහතන් වහන්සේ එතන හිටියා. මුගලන් මහරහතන් වහන්සේට සිනහ පහළ වුණා. කාරණාව ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමයි මේක අහන්න ඕන කියලා කිව්වා. එදා බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයයි.
“පින්වත් මහණෙනි, මට ඔය ප්‍රේතයාව ගයාවේ බෝධි මූලය ළඟත් දකින්නට ලැබුනා. ඒත් ඔය පෙරේතයා මයි. නමුත් මං කිසි කෙනෙකුට කිව්වෙ නෑ. දැන් මේ මුගලන් දැකපු නිසා මං කියන්නම්.
ඔය පෙරේතයා පුදුමාකාර දුකක් විඳින්නේ. තනිකරම ඇටසැකිල්ලක්. ගිනියම් වුණු යකඩ කුළුගෙඩි හැටදහසක් ඔහුගේ ඔළුවට එකවරටම වේගයෙන් වදිනවා. එතකොට ඔළුව පැලෙනවා. ප්‍රේතයා යටිගිරියෙන් කෑ ගහනවා. ආයෙ ටික වෙලාවකින් නැවත හාවෙනවා. ආයෙමත් ගිනිගෙන දැවෙන යකඩ කුළුගෙඩිවලින් ඔලුවට වදිනවා. ආයෙමත් හාවෙනවා. මේක ඉවරයක් නෑ. දැන් අවුරුදු දහස් ගාණක් තිස්සේ ඔය පෙරේතයා ඔය දුක විඳිනවා. මේක සිද්ධ වුණේ මේ පුද්ගලයා අත්හදා බලන්න ගියපු කාරණයක් නිසයි.
ඉස්සර කාලෙ අවුරුදු දහස් ගණනකට කලින් එක කොරෙක් හිටියා. ඔහු ඇඟිල්ලෙන් කරකැවිලා යන්න ගල්කැට විදිනවා. ඉතාමත් දක්ෂ විදිහට විදිනවා. ඕනම දෙයක් සිදුරු කරගෙන යනවා. මොහු හිටියේ බැරණැස් නුවර. රජ්ජුරුවොත් මෙයාට ප්‍රශංසා කළා. රජ්ජුරුවන් ඉදිරියේ ශිල්ප දක්වා තෑගි බෝග ලැබුවා. ඒක වුණේ මෙහෙමයි.
රජ්ජුරුවන්ට ඉන්නවා මහා මුඛරි කටක් තියෙන පුරෝහිත බමුණෙක්. ඔහුගෙන් කිසිම බේරිල්ලක් නෑ. කතාව පටන්ගත් විට ඉවරයක් නෑ. හරිම වදයක්. දවසක් රජතුමා අර පුද්ගලයා කැඳවලා කිව්වා,
“නුඹ පුළුවන්නම් මේ පුරෝහිත බමුණාගේ කටවහල දීපන්” කියල.
“හොඳමයි දේවයන් වහන්ස, මට එළුබෙටි නැළියක් ගෙනත් දෙන්න” කිව්වා.
රජතුමාත් මොහුට එළුබෙටි නැළියක් ගෙනත් දුන්නා. එදා රජතුමා සමඟ පුරෝහිත බමුණා කතා කර කර සිටිද්දී මේ පුද්ගලයා එක එක එළුබෙට්ට අර බමුණාගේ කටට විද්දා. ඒත් බමුණා කතාව නවත්වන්නේ නෑ. එළු බෙටි නැළිය ඉවර වෙන කම්ම එක එක විද්දා. රජතුමාට අර පුද්ගලයා දැනුම් දුන්නා එළුබෙටි ඉවරයි කියලා.
“එම්බා පුරෝහිතය, දැන්වත් කට වහගන්නවා. දැන් තමුසේ එළුබෙටි නැළියක්ම ගිලලයි ඉන්නේ.”
“ඈ….” කියල පුරෝහිත බමුණා අත් දෙකෙන් කට වහගත්තා. ඇස් ලොකු කරගත්තා. නිශ්ශබ්ද වුණා. එදා ඉඳලා ඔහුගේ කට වැහුණා. ඒකට සතුටටයි රජතුමා ඔහුට තෑගි දුන්නේ.
දවසක් තරුණයෙකුට මොහුගෙන් ශිල්ප ඉගෙනගන්න ආසා හිතුණා. මොහු ඒ ආබාධ පුද්ගලයා ළඟට ගිහින් නොයෙකුත් ඇවිටිලි කළා. සැලකිලි සම්මාන කළා. ශිල්පය උගන්වන්න කිව්වා. ඉගැන්නුවේ නෑ.

ඊට පස්සේ ඔහු තවත් මහන්සි වෙලා සැලකිලි සම්මාන කරලා අමාරුවෙන් අර පුද්ගලයාගේ හිත දිනාගත්තා. ඔහු මේ තරුණයාට තම ශිල්පය ඉගැන්නුවා. මේ තරුණයා හරි දක්ෂයි. ඈත ඉඳලා ගස්වල කොළවලට ගල්කැට විදිනවා. විදලා එක එක රූප හැදෙන විදිහට ඒ කොළ සිදුරු කරනවා. මිනිසුන්ට හරි පුදුමයි.
දවසක් තරුණයා මෙහෙම කල්පනා කළා.
‘මං මේ ශිල්පය අත්හදා බලන්න ඕන. ඒත් කොහොමද කරන්නෙ. ගවයෙක් මැරුණොත් කහවණු සීයක් දඩගහනවා. මිනිහෙක් මැරුණොත් දාහක් දඩගහනවා. මොකද මං කරන්නේ? මව්පියන් නැති වගකීම් නැති කෙනෙක්ව මැරුවොත් නඩු පවරන්න කවුරුවත් නැහැ නෙවැ’ කියල හිතුවා.
ඒ දිනවල සුනෙත්ත නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් බරණැස් නගරය ඇසුරු කොට එක්තරා කුටියක වාසය කළා. කාත් කවුරුවත් නැති, වගකීමක් නැති, භාරකාරයෙක් නැති නිදහසේ සැරිසරන මේ ශාන්ත ශ්‍රමණයන් වහන්සේව අර පුද්ගලයාට දකින්න ලැබුණා. එතකොට ඔහු මෙහෙම හිතුවා.
“මෙන්න ඉන්නවා කෙනෙක්. මෙයාට ගල විදින්න ඕන. හරිගියත් කමක් නෑ. වැරදුනත් කමක් නෑ. නඩු පවරන්න කවුරුත් නෑ නෙව. බලමු. මං ඉගෙන ගත්ත ශිල්ප හරිද කියලා.”
ඉතින් ඔහු අතට ගලක් ගෙන කරකැවිලා යන්න විද්දා. ඒ ගල් කැටය “රූං….” යන හඬින් ශබ්ද කරගෙන වේගයෙන් ගිහින් පසේබුදුරජාණන් වහන්සේගේ දකුණු කනට රිංගුවා. වම් කනෙන් පිටවුණා. පසේ බුදුරජාණන් වහන්සේ එතනම හිටගත්තා. පිඬුසිඟා යන්න ලැබුණෙ නෑ. කන් දෙකෙන්ම ලේ වැගිරෙද්දී ඉර්ධි බලයෙන් ආපහු කුටියට වැඩියා. පිරිනිවන් පෑවා.
මේ පුද්ගලයා ඒ කර්ම විපාකයෙන් මරණින් මතු නිරයේ උපන්නා. බොහෝ වර්ෂ ගණනක්, වර්ෂ කෝටි ගණනක් නිරයේ දුක් විඳලා තමයි ඒ කර්මයේ ඉතිරි විපාක විඳින්න ඇටසැකිලි ප්‍රේතයෙක් වෙලා ඉපදිලා ඉන්නෙ.”
මේ කාරණය අරභයා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.
යාවදේව අනත්ථාය – ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කංසං – මුද්ධමස්ස විපාතයං
පවිටු කෙනා උගතමනා – සිප් සතරක් දැනගත් විට
පවිටා ලද සියලු දැනුම – විපතටමයි හරවන්නේ
ඔහු තුළ යම් හොඳක් ඇද්ද – එයත් එයින් වනසාගෙන
සියලු නුවණ නැති කරගෙන – විපතටමයි පත් වන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ නිසා කෙනෙක් යම් දක්ෂකමක් ඇතිකරගත්තා කියලා ඒ ගැන ආඩම්බර වෙන්න හොඳ නෑ. හිතට ගන්න හොඳ නෑ. දුර දිග නොබලා අත්හදා බලන්න යන්නත් හොඳ නෑ.
ඉස්සර අපේ රටේ වුනත් සමහර මන්තර ශාස්ත්‍ර දන්න අය ඒවා අත්හදා බලන්න ගිහින් මිනිසුන්ට හරියට විපත් කරනවා. කරදර කරනවා. දුකට පත් කරනවා. එහෙම දේවල් කරලා නොදන්නවා වගේ ඉන්නවා. අර අහිංසකයින් අනන්ත දුකකට පත්වෙනවා. ඒ සෑම පවක්ම තමන්ට ආපහු ලැබෙනවා.
ඒ තමන් උගත් ශිල්පයමයි තමන්ව විනාශ කළේ. තමන්ගෙ දක්ෂතාවමයි තමන්ව විනාශ කළේ. තමන්ගෙ හැකියාවමයි තමන්ව විනාශ කළේ. ඒක කොහොමද වුණේ? තමන් අඥාන පුද්ගලයෙක් නිසා. හොඳ නරක පිළිගන්නෙ නැති කෙනෙක් නිසා. පින් පව් නොපිළිගන්න නිසා. අපාය විශ්වාස නොකරන නිසා. දෙව්ලොව විශ්වාස නොකරන නිසා. ඒ වගේම සිල්වතුන් ගුණවතුන් නොපිළිගන්නා නිසා. වැඩිහිටියන්ට නොසලකන නිසා. ධාර්මික නැති නිසා. ඒ වගේම දුර කල්පනා නොකරන නිසා. දන්න ශිල්පය තුළින් අහංකාර වන නිසා.
එම නිසා පින්වතුනේ, පින්වත් දරුවනේ, කවරදාක වත් තමන් දන්න දෙය අනුන්ගේ අයහපතට යොදවන්න එපා! විපතකට යොදවන්න එපා! කරදරයකට යොදවන්න එපා! ඒ ශිල්පයෙන් ආඩම්බර වෙලා හිතට ගන්න එපා! අහංකාර වෙන්න එපා! නුවණැති කෙනාට තමන් දන්න ශිල්ප ශාස්ත්‍ර පවා පින්කර ගන්න උදව්වක්මයි. එහෙම කෙනෙක් වෙන්න.