9/9/16

ඔබ මිතුරන්ගේ මිතුරුකම උදෙසා බුදුරජාණන්වහන්සේගේ සරණ අහිමි කරගන්නව ද?


උදේට පංච ශීලය සමාදන්වෙන පිංවත් මහත්මයා, හවසට මඟුල්ගෙදර ගිහින් අරක්‌කු බොනවා. අරක්‌කු බීවේ ඇයි කියලා ඇහුවහම 'යාළුවෝ තරහ වෙයි කියලා බීවා' කියනවා. බලන්න මෝහයේ විශාලත්වය. පංචශීලයවත් සමාදන් නොවූ මිතුරන්ගේ මිතුරුකම උදෙසා, ඔබ වෙනුවෙන්ම සාරසංඛ කල්ප ලක්‍ෂයක්‌ ඇස්‌, ඉස්‌, මස්‌, ලේ දන්දෙමින් කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේට පිටුපානවා. බුදුරජාණන්වහන්සේගේ සරණ අහිමි කරගන්නවා. අනේ ඔබ අසරණයි, බයයි, කෑදරයි...
ඔබට වටින්නේ ඔබව දුකින් මුදවාගැනීම උදෙසා ඒ සා කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේද, නැතිනම් මිතුරන්ද?
හිතවතාටත්, ඥාතියාටත් වඩා පහළ තැනක ඔබ බුදුරජාණන්වහන්සේව තැබුවහොත්, ඒ මොහොතේම ඔබේ සිත පිහිටන්නේ සතර අපායේයි. මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්‍ෂයෙක්‌ වෙන්න එපා. ඔබ සැබෑ ලෙසින්ම තෙරුවන් සරණගිය පිංවතෙක්‌ නම්, ඔබ තුළ ආත්ම ශක්‌තියක්‌ සකස්‌වෙන්න ඕනේ සමාජය තුළ දුස්‌ශීලභාවය ඉදිරියේ සිල්වත්ව නැගී සිටින්න.
සෑම මොහොතකම සිතන්න බුදුරජාණන්වහන්සේ ඔබ දෙස බලා සිටිනවාය කියලා. එවිට පිංවත් ඔබට පුළුවන් මිතුරන් සියයක්‌ ඉදිරියේ වුවත් ඔබේ ශීලයට අනතුරක්‌ වෙනවා නම් එම තැනින් ඉවත්ව යන්න. එවිට යාළුවෝ ඔබට බැන්නත්, පිංවත් දෙවියන් ඔබට සාධුකාරදේවි. ධර්ම මාර්ගය තුළ ඔබ තව තවත් ශක්‌තිමත් වේවි. අසරණයන්ගෙන් මිදී සරණක්‌ ලැබූ අය අතරට යන කෙනෙක්‌ වේවි.
සමාජය අනතුරුදායක නම්, ශිල්පද ඔබ ඔබේ සැබෑ මිතුරා බවට පත්කරගන්න. එවිට සිතේ සංසිඳීමක්‌ ඇතිවේවි. එම සංසිඳුන සිත ඔබ ඉදිරියේ ඇති බියකරු යථාර්ථය හොඳින් ග්‍රහණය කරදේවි. එවිටයි ඔබට පුළුවන් ලෝකයට ආදරය කරන සැබෑම ආදරවන්තයෙක්‌ වන්න. ආදරය කියන වචනයට සමාජය ගොඩාක්‌ අර්ථයන් දෙනවා. ලෝකය කියන කාරණය ගනිද්දිත්, 'ලෝකය දුකය' කියන කාරණය ගනිද්දිත් සමාජය ආදරයට දෙන අර්ථකථන වැරදි නැහැ. ඒ නිසා ඒවා ලෝකයේ ස්‌වභාවයේම තිබුණාවේ. ඒවා වෙනස්‌ කරන්න අපි කාටවත් බැහැ. ඒවා දුකට අයිති ලෝකයේ ස්‌වභාවයයි. එම නිසා අනාගතයේදී තව ඕනෑතරම් ට-මහල් ඉදිවේවි. එක්‌ටැම්ගෙවල් ඉදිවේවි. ජීවිත පූජාවන් සිදුවේවි. සිහිමුළාවන්ට පත්වේවි. මුසාබස්‌ වලට තරුණ තරුණියන් විකිණේවි. කාමයේ ආදීනවය, නිස්‌සරණය නොහඳුනන්ගේ ලෝකයේ ආශ්වාදයේ කෙටිවූ දුක්‌ කඳුළු සහ සතුටු කඳුළු මහා සාගරයේ දිය පරයා යන තරමට දෑස්‌ වලින් වැගිරේවි. දුකටත් සැපයටත් එකම කඳුළ හෙළන මුලාවේ ලෝකය, තව තව සුන්දර අර්ථකථනයන් ආදරය ගැන සමාජයට සපයාවි. ඒ අය ආදරවන්තයන්ගේ වීරයන්, වීරවරියන් වේවි. එම වීරයන්, වීරවරියන්ම තම ජීවිතයේ අවසන් කාලයේ, අසරණභාවයෙන්, අනුනගේ ආදරය ඉල්ලා ජීවත්වෙයි. සමාජයේ කොයි තරාතිරමේ සිටියත් ඔතැනට තමයි අපි යන්නේ. ආදරයේ නාමයෙන් අපි බොරුවක්‌මයි කරන්නේ. ඔබට ආදරය නොකරන ඔබ, අනුනට කෙසේ ආදරය කරන්නද? ඔබ ළඟත් නැති දෙයක්‌ ඔබ කෙසේ නම් අනුනට දෙන්නද? නැති බව නොදන්නාකම නිසාම, ඇති බව සිතමින් තමනුත්, අනුනුත් දුකට වැටීමයි අවසානයේ සිදුවන්නේ.
එවන් දුකට ලෝකයකුයි අප ඉදිරියේ තිබෙන්නේ. තමා තමාට ආදරය කරනවා කියන්නේ ආත්මාර්ථකාමීව තමාගේ ගොඩ ලොකු කරගන්නවා කියන කාරණය නොවෙයි. මුළින්ම තමා සුරක්‍ෂිතභාවයට පත්වෙනවා. කුමක්‌ද මේ ලෝකයේ තිබෙන සැබෑම සුරක්‍ෂිතභාවය. තෙරුවන් සරණේ පිහිටලා, ශීලයක්‌ සමාදන්වීම තරම් සුරක්‍ෂිතභාවයක්‌ පිංවත් ඔබට හමුවන්නේ නැහැ. මෙතැනදි ගිහි පිංවතුන්ලා දස කුසල්ම ජීවිතයට එකතුකරගන්න දක්‍ෂ වෙන්න ඕනේ. කයෙන්, වචනයෙන් වන අකුසල් වගේම මනසින් අකුසල් වන ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා ගැන අවධානයෙන් ඉන්න ඕනේ.
ලොව්තුරා බුදුරාණන්වහන්සේ මහා සිහනාද සූත්‍රයේදී දේශනා කරනවා, දුස්‌ශීලභාවය නිසා අනාගතයේදී මනුෂ්‍යයාගේ ආයුෂ ක්‍රමානුකූලව කෙටි වෙමින් පරමායුෂ වසර 10 ක්‌ වන බව. එදාට මනුෂ්‍යයා තුළ මෘග සංඥාවන් මතුවෙලා, මිනිසෙක්‌ තවත් මිනිහෙක්‌ව දකින්නේ මුවෙක්‌ හැටියට කියලා. මේ මෘග සංඥාවන් නිසා මිනිසා තියුණු අවි ආයුධ වලින් එකිනෙකා මරාගන්නවා කියලා.
ලෝකය යම් දවසක මේ තැනට යා යුතුමයි. ඒ නිසාමයි ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා ලෝකයට අයිති ධර්මතාවයන් වෙන්නේ. ඒවා ලෝකය තුළ තිබිය යුතුයි. ඒවා නැති කරන්න ඔබට මට බැහැ. මේ විෂම ධර්මතාවය තේරුම්ගෙන පිංවත් ඔබ ලෝකයාගේ ලෝභය තුළ ඔබගේ 'අලෝභය' දකින්න. ලෝකයාගේ ද්වේශය තුළ ඔබගේ මෛත්‍රිය දකින්න. ලෝකයාගේ මෝහය තුළ ඔබගේ අමෝහය දකින්න. වැරදි කරන ලෝකය තුළ 'ටිකක්‌ නිවැරදි' කෙනෙක්‌ වෙන්න උත්සහ ගන්න එපා. වඩාත් නිවැරදි කෙනා වෙන්න උත්සහ ගන්න. මෙතැනයි ලොව්තුරා ධර්මය තිබෙන්නේ. දුස්‌ශීලභාවය විසින් යම් දවසක මිනිසාගේ ආයුෂ වසර දහයක්‌ දක්‌වා අල්ප කරනවා වගේම, ශිල්වත්භාවය නිසා නැවත ක්‍රමානුකූලව, ශීලයේ ශක්‌තියෙන් මනුෂ්‍යයා සකස්‌ වෙමින් අවුරුදු 80,000 ක්‌ පරමායුෂ ඇති මිනිසුන්ගේ ලෝකයක්‌ ක්‍රමානුකූලව බිහිවෙනවා කියලා ඉහත සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. බලන්න දුස්‌ශීලභාවයත්, ශීලයත් අතර අතර තිබෙන පරතරය. පිංවත් ඔබ, ආදරයත්, අනාදරයත් අතර තිබෙන පරතරය වශයෙන්ද මෙය දකින්න පුළුවන්. පරතරය මේ සා විශාල වුවද, මේ යථාර්ථය අවබෝධයක්‌ කරගැනීම සඳහා ගොඩාක්‌ දේවල් කිරීමට අවශ්‍ය නැහැ. එක සිතිවිල්ලයි වෙනස්‌ කරගත යුත්තේ. රූපය සැපය කියලා ගන්නාවූ මිථ්‍යා සිතුවිල්ල. වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය සැපය, නිත්‍යය, ආත්මීයය කියලා ගන්නා වූ මිථ්‍යා සිතුවිල්ල වෙනස්‌ කරගැනීම පමණයි ඔබ කළ යුත්තේ. පිංවත් ඔබ මේ කාරණා පහට බැඳෙන්නේ තෘෂ්ණාව නිසාමයි. 'තෘෂ්ණාව' කියන එකම කාරණය ගැන නුවණින් සිතුවත් ඔබට පුළුවන් මාර්ගයක්‌ පාදාගන්න. මෙන්න මේ මාර්ගය පාදාගන්න ශීලය මහෝපකාරී වෙනවා.
ඔබ සමාදන්ව ආරක්‍ෂා කරන සෑම ශිල්පදයක්‌ පාසාම ඔබ කැමති දෙයක්‌ ඔබට අතහැරෙනවා. ඔබ දක්‍ෂවෙන්න ඕන ශීලය විසින් ලබාදුන් දක්‍ෂභාවය වඩාත් අර්ථවත් කරලා අලෝභ, අදේෂ, අමෝහ කියන යථාර්ථයන් තුළින් ඔබ රැස්‌කරගත් කුසල් සංස්‌කාර ආරක්‍ෂා කරගන්න. ඒ අවස්‌ථාව පිංවත් ඔබට ලබාදෙන්නේ අනිත්‍ය සංඥාවන් ජීවිතය තුළින් දැකීමෙන්. මෙතැනදී පිංවත් ඔබට සැබෑම සාමයත්, සැබෑම ආදරයත් ලෝකයාට දැක්‌වීමට හැකිවේවි. තමන් ආදරය නාමයෙන් කරන්නේ ලෝභ, ද්වේෂ,මෝහය තිව්ර කරගැනීමනම් පිංවත් ඔබ කාට ආදරය කළත් එතැන සකස්‌ වෙන්නේ තෘෂ්ණාවමයි.
තෘෂ්ණාවෙන් බැඳුන දෙය ඔබෙන් ඈත්වෙනවිට එතැන සකස්‌ වෙන්නේ ද්වේෂයයි. තමන්ට අයිති නැති දෙයක්‌ කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන්නේ මෝහය නිසාමයි. අවසානයේදී ආදරයේ නාමයෙන් ඔබ කරන්නේ අනාදරයයි. එම නිසා පිංවත් ඔබ ලෝකයාට ආදරය කිරීමට පෙර දසකුසල් ධර්මයන් පිංවත් ඔබේ ජීවිතයේ සහකරු, සහකාරිය කරගන්න. පිංවත් ඔබට දැනේවි සශ්‍රීක දිව්‍යතලයක දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ ඔබ ළඟ සිටිනවා වගේ. විසිතුරුභාවයත්, පිවිතුරු භාවයත්, විශ්වාසයත් ඔබට ඇතිවේවි. ඔබට තනිකමක්‌ දැනෙන්නේ නැහැ. බියක්‌ සකස්‌ වෙන්නේ නැහැ. 'මා අසරණයි' කියන හැඟීමක්‌ ඇතිවෙන්නේ නැහැ. ශීලයේ ශක්‌තිය නිසාම සමාධිමත් සිතුවිලි ඇතිවේවි. ඒ සමාධිමත් සිතුවිලි ආදරයේත් අනාදරයේත් අතර වෙනස ඔබට අත්දැකීමෙන් පසක්‌කරදේවි. දස කුසල් ඔබේ ජීවිතයේ සහකරු සහකාරිය කරගැනීමට ඔබ දක්‍ෂ වුවහොත් ඔහු ඇය ඔබට පාවඩ එලනුයේ සුගතිය දෙසටමයි. පිංවත් ඔබ මේ යන ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශණාකරවදාළ ධර්මයම මාර්ගය කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශණාකරවදාළ සබ්භාශ්‍රව සූත්‍රය, අනාපාන සති සූත්‍රය, සතර සතිපට්‌ඨාන සූත්‍රය තුළ භව නිරෝධයට අවශ්‍ය කරුණු කාරණා අන්තර්ගතව තිබෙනවා. මහාසිහනාද සූත්‍රය, සප්තසූර්යගමන සූත්‍රය ජීවිතයට එකතුකර ගැනීමෙන් අනාගත සංසාර බිය හොඳින් ඔබට ඇතිකරගන්න පුළුවන්. ඉහත සූත්‍ර පහ කියවන්න කියල විශේෂයෙන් සදහන් කළේ අනෙක්‌ සූත්‍ර වැඳගත් නැහැය කියල නොවේ. සෑම සම්බුදු වදනක්‌ම එක හා සමානව වැදගත්. නමුත් කාර්යබහුල ලෝකයේ ඔබට සියලුම සම්බුදුවදන් මේ සූත්‍ර පහ තුළ කැටිවී තිබෙනවාය කියල භික්‍ෂුවට හිතෙනවා. එය වැරැදිනම් සමාවෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් වැරදුන තැන් බුදුරජාණන් වහනසේ නිවැරැදි කළා. සාරිපුත්ත මහරහතුන් වහන්සේට වැරදුනානම් අපි කවුරුන්ද? එම නිසා අපි අපි ගැන අධිතක්‌සේරුවකට එන්න හොඳ නැහැ. සෑම විටම නොදන්නා භාවය දැන ගැනීමෙන්මයි අපිට දන්නා භාවයට පැමිණිය හැක්‌කේ. එහෙම වුණොත් පමණයි දන්නාභාවයට පැමිණ නොදන්නාභාවයෙන් ලෝකය තුළ ජීවත් වෙන්න හැකි වෙන්නේ. මෙන්න මෙතනටයි අපි හැමෝම එන්න උත්සහ ගන්න ඕනේ.