5/28/15

ශෝක වැළැපීම්වලින් මිදීමට මඟ


මරණානුස්සති භාවනාව වඩන ආකාරයන් පිළිබඳ අපි පසුගිය වාරයන්හිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෙමු. බොහෝ ආනිශංස මෙලොවදීම ලැබිය හැකි මරණ සති භාවනාවේ එම මහත් වූ අනුසස් කවරේදැ’යි මෙවර අපි විමසා දැනගනිමු.
මැරෙන බව සිහිපත් කිරීම මෙලොව පරලොව දෙලොව ජයගැනීමට උපකාරි වනවා. එසේ නොමෙනෙහි කිරීම දෙලොව පසුතැවිල්ලට හේතුවනවා. භාවනාවට ප්‍රථමකොට ශීලාදී ගුණධර්මයන්හි සිත පිහිටුවාගෙන තෙරුවන් වන්දනා කරන්න. අනන්ත බුදුගුණ සිහිපත් කරමින් පූර්ව කෘත්‍යය සිදුකළ යුතුය.
ශීලාදි ගුණයන් සිහිපත් කරන විට සිතේ බියක් කනස්සල්ලක් ශෝකයක් ඇති වන්නේ නැහැ. සිතේ පහන් භාවය වඩා වර්ධනය කරගැනීමට හැකියාව සැලසෙනවා. තෙරුවන්ට ජීවිත පරිත්‍යාගය සිදු කරන විට බාහිර වශයෙන් එන සහ අධ්‍යාත්මික වශයෙන් ඇතිවෙන කැළැඹිලි,බියජනක සිතිවිලි, අමනුෂ්‍ය බලපෑම් ආදි සියල්ල දුරස්ථ වී නික්ලේෂි ගුණයන්ගේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ශක්තියෙන් තමා තුළ මනා ආරක්‍ෂණය සැලසෙනවා. චිත්ත ප්‍රසාදය ප්‍රභාස්වර වන්නට වන්නට භාවනා අරමුණේ සිත පිහිටුවා ගැනීමට ශක්තිය ,ධෛර්යය, උනන්දුව වැඩිවනවා. තෙරුවන් සමාකරවාගෙන, හැදූ වැඩූ මවුපියන්ට සිතෙන් වන්දනාමාන ගරු සත්කාර කරන්න. මවුපියන්ටද වරදක් වූවා නම් ඒ මොහොතේ පටන් නැවැත සිදුනොවන බවට ආයති සංවරය ඇති කරගන්න. හමුවේදිත් හමුනොවන විටදීත් මෛත්‍රි සිත පුරුදු කරන්න. නිරතුරු එසේ පුහුණුවීම ,තැවීම ශෝකය අඩුකර ගැනීමට ඉවහල් වනවා. මවුපියන්ගේ සිත රිදවමින් හිංසා පීඩා සිදුකරන අයට භාවනා කුසලයක දියණුවක් ඇති වන්නේ නැහැ. එම නිසා සසර දුකින් නිදහස් වීමට කැමැති අය තමාට තමා පළමුකොට පි‍්‍රයශීලි කෙනෙකු විය යුතුයි. තමාට බාහිර කෙනෙකුගෙන් කරදරයක්, හිංසාවක් වනවාට අකැමැති කෙනා, සියලු සත්වයන්ට ද අහිතක්,අනර්ථයක් සිදුවනවාට කැමැති නැහැ. සියල්ලන්ම සුවසේ ජීවත්වීමට කැමැතියි. සියල්ලන්ගේ සැපය කැමැති වන අය සියලු දුකින් මිදීමට දක්‍ෂයන් වනවා. එනම් තමාගේ විමුක්තිය ඇති කරගන්නට සමර්ථයි.
මෙසේ සිත කිසිවකු කෙරෙහි පි‍්‍රය,අපි‍්‍රයභාවය නූපදවන මධ්‍යස්ථ භාවයෙන් පිහිටුවාගත යුතුයි. බුදුගුණ ,මෙත්ගුණ, අසුබය මෙනෙහි කොට අධිෂ්ඨානය පිහිටුවා මරණ සති අරමුණ සිහිපත් කළ යුතුයි. සියලු සත්වයන්ම උපන් මොහොතේ පටන් ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසාම මරණයට සමීප වනවා. මාද එසේමයි. උපන් සත්වයාට මරණයෙන් නිදහස් වීමක් නැහැ. කෙලෙස් සහගත සිත නැවැත නැවැත මරණය කරාම පැමිණෙනවා. එම නිසා මරණය ගෙන දෙන හේතු සාධකවලට ඉඩ නොතබා මනා සිහිනුවණින් යුතුව කෙලෙස් ප්‍රහීණ කිරීමට මරණ සති අරමුණ මෙනෙහි කිරීම පුරුදු පුහුණු කළ යුතුයි.
ටික කලක් මෙසේ පුරුදු පුහුණු වන විට තමාට වෙනදාට වඩා දැනීමක් ඇතිවනවා. එය කුමක්ද? මෙතෙක් සියලු දේ අල්ලාගෙන දුක් දොම්නස් ශෝක පරිදේව ඇතිවුණේ සියල්ල ස්ථිරසාර යැයි සිතා අල්ලා ගත් නිසයි. ටික කලක් මෙසේ අනියත ස්වභාව මෙනෙහි කරන විට මේ ලෝකයේ සිත බැඳ තබා ගන්නට කිසිවක් නෑ නේද, සියල්ල ඇති වී නැතිවී යන ස්වභාවයෙන් යුක්ත නේද කියා සාමාන්‍ය අවබෝධයක් තමාගේ ජීවිතය තුළින් මතු කරගැනීමට හැකියාව සැලසෙනවා. කාමයන් මුල්කොට සියලු දුක හට ගන්නවා. කාම වස්තුවල ආස්වාදය, ආදීනව මෙනෙහි කරන විට සිතේ සන්සිඳීම, නීවරණ යටපත් වීම සිදුවී ධ්‍යානාංග ආදී කුසල සිතුවිලි පහළවීම පටන් ගන්නවා. කාමයන්ගෙන්, අකුසලයන්ගෙන් වෙන් වී සිත පවත්වාගැනීමෙන් මහත් සැනසිල්ලක් නිරාමිස පී‍්‍රතියක් තම ජීවිත තුළින් විකසිත වීමට හේතුවනවා. නැවැත නැවැත සිහිනුවණින් කයේ අසාරය - මරණය, වේදනාවන්ගේ අස්ථිරභාවය - මරණය, සංඥාවන්ගේ අස්ථිර භාවය - මරණය, සංස්කාරයන්ගේ අස්ථිර භාවය - මරණය, විඤ්ඤාණයේ අස්ථිරභාවය - මරණය දකිමින් ස්ථීර වූ පුද්ගලයෙකු නැතිබව නුවණට ගෝචර කරගත හැකිවනවා. පස්කඳ තුළ අයිතිවාසිකම් ඇති කෙනකු , හිමිකාරයකු නැති බව වැටහෙනවා.
මෙසේ දිගින් දිගටම මරණානුස්සති භාවනාව වැඩීමෙන් තමන්ට අත් කරගත යුතු ආනිශංස කිහිපයක් සඳහන් කළ හැකියි. එය කියවා දැනගැනීම තවදුරටත් උනන්දුව, වීර්යය ඇති කරගැනීමට උපකාර වනු ඇති.
* ඉපිද බිඳීයන රූපස්කන්ධය සහිත පස්කඳෙහි ඇල්ම දුරුවීම (භව ආසාව නැතිවීම)
* පාපයෙහි ආදීනව දැක සසර බිය උපදවා ගැනීම
* භෞතික වස්තුන්ට ඇති දැඩි ඇල්ම අඩුවී රැස්කර ගොඩගසා ගැනීම අඩුකරගැනීම
* තම ශරීර කූඩුවෙහිත් බාහිර රූපයන්හීත් ඇල්ම සහ ගැටීම දුරුකර මධ්‍යස්ථභාවයට පත්වීම
* ජීවිත මදයෙන් මත්වී සිදුකරන අකුසල් සිදු නොවීමට වීර්ය ඇතිවීම
* ජීවිත ආශාව අත්හැරීමට නුවණැස පෑදීම
* මසුරුමල දුරුකර ත්‍යාගයෙහි යෙදීම
* ගෙවී ගිය අතීතයන් නොපැමිණි අනාගතයත් ගැන බර අඩුවීම
* අනිත්‍ය ලක්‍ෂණය සැම මොහොතකම ප්‍රකටව වැටහීම
* අප්‍රමාද විහරණය බහුල වීම
* සසර කලකිරීම මනා ලෙස වටහා ගැනීම
* අෂ්ට ලෝක ධර්මයන් පැමිණෙන විට එයින් කම්පාවට පත් නොවීම
* ත්‍රිලක්‍ෂණය නිරන්තරයෙන් වටහා ගැනීමේ ශක්තිය ඇත්තකු වීම
* මරණයට බිය සන්ත්‍රාසය නොවීම
* මරණය හමුවේ හැඩීම් වැළැපීම් ක්ලාන්ත වීම් දුක්ඛ, දොමනස්සයන් ඇති නොවීම
* අන් අයගේ මරණය දැක සංවේගය බහුල ලෙස ඇති කර ගැනීම (තමාටත් පැමිණෙන බව සමගාමිකොට සිතීම)
* සිහි නුවණින්ම කලුරිය කිරීම
* මෙම ආත්මභාවයෙහිම සියලු දුකින් නිදහස් වීමට නොහැකි වුවහොත් මරණින් මතු සුගතියෙහි ඉපදීම
මරණසති භාවනාව වඩා මරණය හමුවෙහි නොසැලී නොබියව කටයුතු කරමින් පවුල් ජීවිතයද සාර්ථකව ගත කළ බෝසත් පවුලක් පිළිබඳ අවධානය යොමුකර බලමු.
කසීරට බරණැස් නුවර “ධර්මපාල’ නමින් බ්‍රාහ්මණ පවුලක් දැහැමින් ජීවත්වුණා. එහි සාමාජිකයන් සදෙනයි. සියල්ලන්ම මරණානුස්මෘති භාවනාව නිරතුරුව වැඩුවා . දිනක් පියා වූ බමුණා තම එකම පුතු සමඟ කුඹුරෙහි සී සාමින් සිටියා. ඒ අසල හුන් සර්පයකු පුතාට දෂ්ඨ කළ අතර එයින් ඔහු කලුරිය කළා. පුත්‍රයා නම් මහ බෝසතාණන් වහන්සේයි. කලුරිය කොට, මරණානුස්සති භාවනාවේ බලමහිමයෙන් ශක්‍රව උපන්නා.
බ්‍රාහ්මණ තෙමේ ඒ අසලින් යන පුරුෂයෙකු දැක තම නිවෙසට පණිවිඩයක් ඔහු අත යැවුවා. ගෙදර සැමට සුදුවස්ත්‍රයෙන් සැරැසී එන ලෙසත් එක බත් මුලක් පමණක් රැගෙන එන ලෙසත් පණිවුඩයෙන් දැනුම් දුන්නා. පුරුෂයාද කිවු පරිදි ගෙදර අයට පණිවුඩය සැල කළා. ගෙදර සාමාජික පිරිස කුඹුරට පැමිණියා. බ්‍රාහ්මණ පියා නා පිරිසුදුව බත් කා සියල්ලන් සමග එක්ව, කලුරිය කළාවූ පුතාගේ ශරීරය දවන්නට නිසි කරුණු සූදානම් කළා.
කිසිවකු ශෝක වැළැපීම් නැතිව,අනිත්‍ය ස්වභාව මෙනෙහි කරමින් මෘත ශරීරය දවන්නට පටන් ගත්තා. ශක්‍රව උපන් බෝසතාණන් වහන්සේ සියල්ලන් කෙරෙහි අනුකම්පාවෙන් බ්‍රාහ්මණ වේශයක් මවාගෙන එතැනට පැමිණියා.
“නුඹලා මුවකු මරා මස් දවන්නෙහිද? මටත් මස්ටිකක් දුන මැනැවි”
පියාණන් වූ බ්‍රාහ්මණ තෙම මෙසේ කියා සිටියා.
“මුවකු නොව මළ කෙනෙකු දවන්නේය”
“එසේ නම් ශෝක නොකර දවන්නේ තමන්නේ සතුරෙක් හෙයින් ද?”
“නැත පින්වත, ඉතා කීකරු ගුණවත් වූ තරුණ පුත්‍රයා ගේ මළ සිරුර දවන්නෙමු.”
“ එසේනම් කුමක් නිසා, හැඩීම් වැළැපීම් නොකරන්නේද?
“යම්සේ සර්පයා දිරාගිය සැව ගලවා අත්හැර යන්නේද පුරාණ කර්මයක්‍ෂයවීමෙන් දිරාගිය තමාගේ ශරීරය හැර යන්නේය. දවනු ලබන මළකඳ ජිවත්ව සිටින අපගේ හැඬීම හෝ වැළැපීම් නොදනී. මළ තැනැත්තා තවත් භවයකට යන්නේය. ඔහු නෑයන්ගේ ශෝක වැළැපීම් බලාපොරොත්තු නොවන්නේය. මාද හැඩීම් ශෝක කිරීම් නොකරමි.”
නැවත සක් දෙව් තෙමේ මවු බැමිණිය අමතා මෙසේ විමසුවා.
“ස්වාමිවරු හිතේ තද බව නිසා හැඩීම් වැළැපීම් සිදු නොකරති. එහෙත් මවුවරුන්ගේ සිත ඉතාමත් මෘදු වන්නේය.අනුකම්පාව දැඩිකොට ඇත්තේය. කුමක් නිසා පුත්‍රයා වෙනුවෙන් නොහඬන්නේද?”
“ස්වාමීනි, ඔහු අපගේ කැඳවීමක් නැතිවම මෙහි ආවේය. අපගේ අවසරයක් නැතිවම පරලොව ගියේය. කර්මානුරූපව මෙලොවට ආයේය. කර්මානුරූපව පරලොව ගියේය. අප හැඬුවත් දැවෙන්නා වූ මළ මිනිය අපගේ හැඬීම් නොදන්නේය. එබැවින් ශෝක නොකරමි.” සක්දෙව් රජ ඊ ළඟට කථා කළේ මළ තරුණයාගේ සහෝදරියටයි.
“දවනු ලබන තැනැත්තා ඔබගේ කවුරුන් ද?”
“මාගේ වැඩිමල් සොහොයුරායි”
“කුමක් නිසා නොහඬන්නීද?”
“මම හඬා කඳුළු සලන්නේ නම් මාගේ ශරිරය කෘෂ වන්නේය මා හැ¼ඩීමෙන් සහෝදරයා නැවැත මේ ලෝකයට එන්නේ ද නැත. සුගතියට හෝ යන්නේද නොවෙයි. සෙස්සන්ටද තව තවත් දුක් ඇතිවෙන හෙයින් නොහඬා සිටින්නෙමි.”
මියගිය තරුණයාගේ භාර්යාවගෙන් ද නොහඬන කරුණ විමසන්නට යෙදුණා.
“මළ තැනැත්තා තීගේ කවරෙක්ද?”
“මාගේ ස්වාමිපුරුෂයා වන්නේය.”
“එසේ නම් ඔබ නොහඬන කාරණය කුමක්ද? “
“යමෙක් මළ කෙනකු දෙස බලා හඬන්නේ නම් ඔහු අහසෙහි වන සඳමඩල ඉල්ලා හඩන ළදරුවකු වැනිය. මිය ගිය අය කෙරෙහි හැඬීමත් එවැනි දෙයක් වැන්න. ඔහු කර්මානුරූපව මිය ගියේය. ශෝක වැළැපීම් නොකරමි.”
මේ බ්‍රාහ්මණ නිවසේ මෙහෙකාරියකද සිටියා. ඇය ද කිසි වැළැපීමක් නොකරම මෘතදේහය දවන්නට උපකාර කරමින් සිටියා.
“මේ දැවෙන තැනැත්තා ඔබේ කවරෙක්ද? කුමක් නිසා නොහඬන්නේ ද?”
“අප නිවෙසේ හාම්පුතායි. බිඳුණා වූ මැටි කළය නැවැත සන්ධිකොට මුල් තත්ත්වයට පත්කළ නොහැකියි. එසේම මළ තැනැත්තා නැවත නොපැමිණේ. මළ තැනැත්තකු වෙනුවෙන් හැඩීම බිඳුණා වූ කළය ගැන සිතා හැඬීම වැනිය. අපි මොනතරම් හැඬුවත් දවනු ලබන අය ඒ බව නොදනී. කර්මානුරූපව තවත් තැනකට ගියේය. එසේ හෙයින් ශෝක වැළැපීම් නොකරමි “
පස්දෙනාගේම දැහැමි වූ ආදර්ශමත් වූ කතා අසා සතුටුවූ සක්දෙවිඳු මරණ සතිය වැඩීමෙහි යහපත ගැන ප්‍රශංසා කර නැවැත ගොවිතැන් කිරීමට වෙහෙස වී දුක් නොවීමට ඔවුන්ගේ නිවෙස වස්තුවෙන් පුරවා දෙව්ලොවට ගියා. නිවෙසෙහි ඉතිරි වූ පස්දෙනාද දානාදී පින්කම් කොට ආයු කෙළවර දිව්‍ය සම්පත් ලැබුවා.
ඔබත් මෙසේ මරණානුස්සතිය වඩා ශෝක වැළැපීම් නොකොට, ලාමක අදහස් බැහැරකොට, සසර ස්වභාව වටහාගෙන,අනිත්‍ය ලක්‍ෂණය පරම සත්‍ය බව අවබෝධ කොටගෙන මාර පරාජය කර සියලු දුකින් මිදීමට කටයුතු සලසා ගන්න. ඒ සඳහා මේ කථා පුවත ආදර්ශයට ගෙන කටයුතු කරන්න.
වේවැල්දෙණිය, පහළගම
සමථ -විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි
උතුම් තිසරණයේ බලයෙන් ධර්මාවබෝධය වේවා !!!