2/25/19

බුද්ධ ගුණය


සම්මාසම්බුද්ධ - බුද්ධ යන පදයෙහි අර්ථය එකිනෙකට වැඩි වෙනසක් නො මැත. ඒ පද දෙකින්ම තථාගතයන් වහන්සේ විසින් චතුස්සත්‍ය ධර්මය අවබෝධ කළ බව කියැවේ. සම්මාසම්බුද්ධ පදයෙන් පරෝපදේශ රහිතව ස්වශක්තියෙන් මැනවින් අවබෝධ කළ බව විශේෂයෙන් කියවේ. එසේ තිබියදි මේ බුද්ධගුණ පාඨයට බුද්ධ යන පදය නැවත ද ඇතුළු කර ඇත්තේ, චතුස්සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමෙන් පමණක් නො නැවතී ඒ ධර්‍මය අන්‍ය සත්වයන්න්ට ද අවබෝධ කරවීම වූ ගුණය දැක්වීම සඳහා විය යුතු ය. බුද්ධ යන පදයෙන් අවබෝධ කරවීම ද කියැවේ. ධර්මය අවබෝධ කර ගත් සැම දෙනම ඒ ධර්මය අනුන්ට අවබෝධ කරවිමට සමත් නො වෙති. පසේ බුදුහු ද චතුස්සත්‍ය ධර්මය අවබෝධ කර ගනිති. එහෙත් ඔවුහු ඒ ධර්මය සෙස්සන්ට අවබෝධ කර විමට සමත් නො වෙති. ලොවුතුරා බුදුහු තමන් වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සෙසු දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවා බොහෝ සත්වයන් දුකින් මුදවති. බොහෝ සත්වයන් නිවනට පමුණුවති. ලොවුතුරා බුදුනට අන්‍යයන් හට චතුස්සත්‍යය අවබෝධ කරවීමෙහි ඇති සාමාර්ථ්‍යය පුරිසදම්මසාරථී සත්ථාදේවමනුස්සානං යන ගුණපද විස්තර කිරිමෙහි දි දැක්විණ. මෙතැන්හි විශේෂයෙන් විස්තර කළ යුත්තේ තමා ලත් දෙය දොර වසා ගෙන අනුභව කරන මසුරකු මෙන් තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය සඟවා ගෙන ආත්මාර්ථය පමණක් බලා ගෙන සුවසේ නො සිට තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මහෝත්සාහයෙන් සෙසු දෙවිමිනිසුන්ට ද බෙදා දෙන බව ය.

“සබ්බදා සබ්බසත්තානං - හිතාය ච සුඛාය ච
උස්සුක්කො අකිලාසු ච - අහො අච්ඡරියො ජිනො”

යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ලොවුතුරා බුදුව ජිවත් වූ පන්සාලිස් වස මුළුල්ලෙහි ම දෙව්මිනිසුන්ට ධර්මය අවබෝධ කර දීමෙන් - ඔවුන් දුකින් මිදවීමෙහි - ඔවුන්ට නිවන් දැක්වීමෙහි මහෝත්සාහයෙන් යෙදුන සේක. උන් වහන්සේ ඒ ඒ දිනයන් හි ධර්මය අවබෝධ කර ගැනීමට සමත් වන්නෝ කවරහුදැ යි බලා ඔවුනට තමන් වහන්සේ අවබෝධ කර ඇති ධර්ම දේශනය කළ සේක. ධර්මය අවබෝධ කර ගැනීමට සමත් සත්වයන් දැක උන් වහන්සේ ඔවුන් කර බොහෝ දුර පා ගමනින් ම වැඩම කළ සේක. එක් වරක් යාමෙන් ධර්ම අවබෝධය කර දිය නො හෙන ඇතැම් පුද්ගලයන් කරා උන්වහන්සේ නොයෙක් වර වැඩම කොට ඔවුනට චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරවූ සේක. එක් මිසදිටු බමුණකුට ඔහු මිත්‍ර කරගෙන ධර්මය අවබෝධ කරවීම සඳහා තථාගතයන් වහන්සේ ඔහු වෙත බොහෝ වාර ගණනක් වැඩම කළ සේක. මහාකප්පින රජු හා ඔහුගේ පිරිසට දහම් දෙසනු පිණිස තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ පා සිවුරු තමන් වහන්සේ විසින් ම ගෙන එක්සිය විසියොදුන් මඟ ගෙවා එකලාව වැඩම කළ සේක. පුක්කුසාති රජු පැවිදි වී බුදුරදුන් සොයා එන කල්හි තමන් වහන්සේ විසින් ම පා සිවුරු ගෙන පන්සාලිස් යොදුන් මඟ පාගමණින්ම වැඩම කොට ඔහු හා කුම්භකාරශාලාවෙක්හි රාත්‍රිය ද ගත කල සේක. පිරිනිවන් පාන දිනයෙහි පිරිනිවන් මඤ්චකයෙහි සයනනය කරමින් සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසු සේක.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.