11/19/16

රහතන් වහන්සේලා පිලිබඳ අප්‍රසිද්ධ තොරතුරු




බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වශයෙන් සැලකෙනුයේ නිවන යි. වාණ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීම නිවන වශයෙන් ථේරවාදී ඇදුරෝ විස්තර කරති. තෘෂ්ණාව හෙවත් ආශාව මුල්කොට ඇති කෙලෙසුන් ප්‍රහීණ කළ පුද්ගලයා රහතන් වහන්සේ ය.

රහත් යන්න අර්හත් යන පදය හා සම්බන්ධ ය. එය ‘ අර්හ’ යන ධාතුවෙන් නිපදී තිබේ. එයින් අදහස් කරනුයේ යෝග්‍ය, සුදුසු පුද්ගලයා යන්න යි. මෙහි නිරුක්ති අර්ථ රැසක් විසුද්ධි මග්ගයෙහි දැක්වේ. රහතන් වහන්සේ යන අරුත දීමට ක්‍ෂීණාශ්‍රව යන්න ද වහරට පත් ව ඇත. ක්‍ෂීණ වූ - පහ වූ ආශ්‍රව ඇති තැනැත්තා යනු එහි අරුත යි. කාම, භව, දිට්ඨී සහ අවිජ්ජා වශයෙන් ආශ්‍රව සතර යි. රහත් බවට පත් වීමේදී මේ ආශ්‍රව සියල්ල ඔහුගේ සන්තානයෙන් බැහැර වේ. එවිට ඔහු නිවනට පැමිණුණා වේ. “ඛිණා ජාති වූසිතං බ්‍රහ්ම චරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථාය” යනුවෙන් දැක්වෙන පරිදි එබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජාතිය හෙවත් උපත පහකොට ඇත. ඒ සඳහා බඹසර හැසිර ඇත. කිරීමට තවත් යමක් ඉතිරි වී නැත. සියලු කෙලෙසුන් නසා ඇත.

නිවන අවබෝධ කිරීමේ මාර්ග තුනක් බුදු දහමේ විස්තර වී ඇත. බුද්ධ, පච්චේකබුද්ධ, අරහත් යනු ඒ මාර්ග තුන යි. රහතන් වහන්සේ අරිය යන නාමයෙන් ද හැඳින්වේ. සියලු පුද්ගලයෝ පෘථග්ජන හා ආර්ය වශයෙන් කොටස් දෙකකට බෙදෙති. කෙලෙස් සහිත පුද්ගලයා පෘථග්ජන වශයෙන් සැලකෙන අතර, උතුම් මගපලයකට පත් පුද්ගලයා ආර්ය නාමයෙන් හැඳින්වේ. සෝතාපන්න, සකදාගාමී, අනාගාමී සහ අර්හත් යනුවෙන් ආර්ය භාවයට පත් වීමේ අවස්ථා හතරක් ඇත. මේ එක එකක් මාර්ග සහ ඵල වශයෙන් දෙකොටසකට බෙදේ.

මිහිඳු මාහිමියන් ලංකාවේදී දේශනා කළ පළමු සූත්‍රය වූ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ප්‍රකාශ වූ පරිදි බුද්ධ ශ්‍රාවකයා ආරම්භයේ සිට චූළ මජ්ඣිම හා මහා ශීලයන් සපුරා සිත සමාධියට නැඹුරු කළ යුතු ය. ප්‍රථමාදි ධ්‍යාන වැඩිය යුතු ය. අභිඥා උපදවා ගත යුතු ය. ත්‍රිලක්ෂණ අවබෝධය මුල්කොට ඇති විසපස්සනා භාවනාවට සිත යොමු කළ යුතු ය. පුබ්බේනිවාසය, දිබ්බචක්බු හා ආසවක්ඛය යන ත්‍රිවිද්‍යාව මගින් සියලු කෙලෙස් ප්‍රභිණ කළ යුතු ය.

නිවන් අවබෝධය සම්බන්ධ පළමු පියවර සෝතාපන්න නම් වේ. මෙහිදී සක්කායදිට්ඨී විචිකිච්ඡා හා සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප්‍රභීණ කෙරේ. කාමරාග සහ පටිඝ යන සංයෝජන දෙක සකදාගාමී මාර්ගයේදී යටපත් කෙරේ. අනාගාමී මාර්ගයේදී මුළුමනින් ම පහ කෙරේ. සෙසු සංයෝජන පස අර්හත් මාර්ගයේදී පහ කෙරේ. එකී සංයෝජන නම් රූපරාග, අරූපරාග, මාන, දිට්ඨී සහ අවිජ්ජා යනු යි. මෙසේ සියලු සංයෝජන ප්‍රහීණ කිරීමෙන් අර්හත් බවට පත් වේ. සංයෝජන නමින් දැක්වෙන්නේ පුද්ගලයා සසරට බැඳ තබන කෙලෙස් බැමි ය. සෝවාන් ආදි මගපලවලට පැමිණීමෙන් මේ බැමි බිඳහළ හැකි බව ථේරවාදීන්ගේ අදහස යි.

මිහිඳු මාහිමියන් ලංකාවට බුදුදහම හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වූයේ සියලු කෙලෙසුන් ප්‍රභීණ කිරීමෙන් ලබන රහත් බව පසක් කිරීමට මග පෙන්වීම ය. මේ සඳහා බුදු දහමේ නිර්දිෂ්ට අනුපූර්ව ප්‍රතිපදාව ලංකාදීපයෙහි බෞද්ධයන්ට ප්‍රගුණ කරවූ අතර, ඒ මග අනුයමින් ඔවුහු මගපල පසක් කළහ. එකල ලක්දිව දහස් ගණන් රහතන් වහන්සේගෙන් පිරී පැවති බව අටුවාවන්හි දැක්වෙයි. සංයුක්ත නිකාය අටුවාවේ සඳහන් පරිදි රුවන්මැලිසෑය දෙස බලමින් දකුණු වාහල්කඩ සිට භික්ෂුන් තිස් දහසක් දෙනා රහත් වී ඇත. එසේ ම සෙසු වාහල්කඩවල සිටිමින් සෑය දෙස බලා සිට තිස් දහස බැගින් වූ භික්ෂූන් ද රහත් වී ඇත.

තිස්සමහාරාමයේ හා සිතුල්පව්වේ විසිහතරදාහක් රහත් භික්ෂූන් විසුහයි විහංග අටුවාවේ සඳහන් වේ. සුප්‍රසිද්ධ අරියවංශ දේශනාවන්හිදී ද රහත් බවට පත් අපමණ භික්ෂූන් සම්බන්ධ තොරතුරු මූලාශ්‍රයවලින් දත හැකි ය. මේ රහතන් වහන්සේලාගේ ස්වරූපය කෙබඳු ද, උන් වහන්සේ තුළ පැවති ආධ්‍යාත්මික ශක්තිය කෙබඳු වී ද, ඔවුන් සමාජය සමග එක් ව සිදු කළ මෙහෙය කෙබඳු ද යන කරුණු කෙරේ අප අවධානය යොමු වීම ස්වාභාවික ය. මේ පිළිබඳ අටුවා හා වෙනත් මූලාශ්‍රයවලින් ලැබෙන තොරතුරු ද ඇසුරු කර පිළිගත හැකි විස්තරයක් වල්පොළ රාහුල හිමියන්ගේ ‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ නමැති කෘතියේ (හිස්ටරි ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්, කොළඹ, 1956, 217 පිටේ සිට ඉදිරියට) දැක්වේ. එකී විස්තරය හා වෙනත් මූලාශ්‍රයන් අනුව පෙනී යන කරුණක් නම් රහතන් වහන්සේලා ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත් අත්‍යන්ත විවේකකාමී, අල්පේච්ඡ වූ ද යථාලාභ සන්තුෂ්ටියෙන් යුක්ත වූ ද පිරිසක් බවයි. රහතන් වහන්සේ හැම දෙනම ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත් වූ හ යි මින් අදහස් නො කෙරේ.

බුද්ධ කාලයේ ම රහතුන් දෙකොටසක් විසූ බවට සාධක ලැබේ. ඉන් එක් කොටසක් අභිඥාලාභීන් වශයෙනුත් එක් කොටසක් ශුෂ්ක විදර්ශක වශයෙනුත් හැඳින්විණ. අහසින් යෑම, අහසේ පලක් බැඳ වැඩ සිටීම, දියෙහි මෙන් පොළොවෙහි ද කිමිදී යෑම වැනි විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් අභිඥාලාභී රහතන් වහන්සේ සතුව පැවතුණි. ශුෂ්ක විදර්ශකයෝ හුදෙක් විදර්ශනා වඩා කෙලෙසුන් නැසූ උතුමන් වූ අතර, ඔවුන්ට යට කී ආකාරයේ ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් නො වී ය. ධම්මපදට්ඨ කථාවේ විස්තර වන චක්ඛුපාල හිමි ශුෂ්ක විදර්ශකයෙක් විය. ඔහුට ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් නො වී ය. බුදු සමයේ පණිවිඩය රැගෙන ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමියන් මෙහි වැඩියේ අහසින් බව කියැවේ. උන් වහන්සේ අභිඥාලාභී රහත් නමක් වූ හ. උන් වහන්සේගේ පණිවිඩයක් ද රැගෙන දම්සෝ රජු හමුවට ගිය සුමන සාමණේරයන් වහන්සේ ද ධාතූන් වහන්සේ රැගෙන ලංකාවට වැඩියේත් ධාතු සඳහා ඉන්දියාවට වැඩියේත් ඍද්ධියෙන් බව මහාවංශයේ දැක්වේ. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ පිණ්ඩෝල භාරද්වාජ නමින් ප්‍රසිද්ධ රහත්නමක් විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යයක් පිළිබඳ විස්තරයක් ධම්මපදට්ඨකථාවේ එයි. ඒ අයුරින් සකසන ලද වඩාත් නිර්මාණාත්මක රචනයක් බුත්සරණේ ද දැක්වෙයි. එහි දැක්වෙන පරිදි බොහෝ දෙනා බලා සිටියදී ඍද්ධියෙන් අහසට නගින භාරද්වාජ රහත්නම සැටරියන් ලීයක පිහිටුවන ලද පාත්‍රය ද රැගෙන බිමට බැස්සේ ය. මේ සිද්ධිය බුදුන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අතර, මෙබඳු කරුණෙහි ප්‍රාතිහාර්ය පෑම ද තහනම් කරන ලදි.

ජනතාවගෙන් ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ ආශාවෙන් හෝ තමාගේ ප්‍රාතිහාර්ය මහිමය පෙන්වීම සඳහා හෝ ඉන් පසු භික්ෂූහු පෙළහර පෑමෙන් වැළකුණහ. තමන්ගේ රහත් ගුණය හෝ සෙසු ආධ්‍යාත්මික ශක්තිය ප්‍රදර්ශනය කිරීමට රහත්හු නොකැමති වූහ. එමෙන් ම අත්‍යන්ත විවේකය පි‍්‍රය කළහ. මංගනවාසී බුජ්ජතිස්ස තෙරුන්ගේ කථාවෙන් මේ සඳහා තොරතුරු ලැබේ. උන් වහන්සේගේ රහත් ගුණය අසා වරක් සද්ධාතිස්ස රජු එතුමන් බැහැදැකීමට පැමිණි සැටිත් ඒ අවස්ථාවේ ඇඳේ වාඩි වී බිම ඉරි අඳිමින් සිටි සැටිත් රජු කලකිරී ආපසු ගිය සැටිත් එම කථාවෙන් කියැවේ. තමා බැහැදැකීමට රජුගේ පැමිණීම පවා මුන් වහන්සේ නොරිස්සූ අයුරු මෙයින් පැහැදිලි වේ.

රහතුන් තුළ පැවැති සංචරය පිළිබඳ කථා පුවතක් විසුද්ධි මාර්ගයේ එයි. වරක් භික්ෂූන් කීපනමක් විහාරචාරිකාවේ යමින් කරඬු ලෙනට පැමිණ, එහි සත්බුදුවරුන්ගේ දැකුම්කලු සිතුවම් බලා එහි වැසි භික්ෂුවට මේ ගැන දක්වා ඇත. සැට අවුරුද්දක් එහි සිටි භික්ෂුව එය එතෙක් නොදැන සිටි බව එහිදී හෙළි විය. උන් වහන්සේ එතරම්ම ඉන්ද්‍රිය සංවරය පුහුණු කර ඇත. ඇතැම් කතාවක එන තොරතුරු අනුව මහජනතාවගේ ශ්‍රද්ධාව වැඩෙන පරිද්දෙන් ප්‍රාතිහාර්ය පෑමට ඇතැම් රහත්හු ඉදිරිපත් වී ඇත. කලින් සඳහන් කළ මංගනවාසී බුජ්ජතිස්ස තෙරුන්ගේ ආදාහන ශිවිකාව අනුරාධපුරයට අහසින් පැමිණි විට දහස් ගණන් සැදැහැවත්හු සැදැහැයෙන් ඉපිලී සාධුනාද පැවැත්වූ හ. මෙය ඇසූ ලෝහපාසාදවාසී (ලෝවාමහාපාය) මහාව්‍යග්ඝ රහතන් වහන්සේ ද එබඳුම උදාර අන්දමේ ආදාහනයකට කැමැති වූහ. මේ අනුව පෙනී යන්නේ ඇතැම් රහතුන්ගේ මේ ආකාර අභිලාෂයක් පැවැති බවයි.

ඇතැම් පෘථග්ජන සුසිල්වත් භික්ෂූන් ද රහතන් වහන්සේලා වශයෙන් වරදවා පිළිගෙන තිබුණු බැව් දැක්වෙන කථා මෙන් ම රහත් වීමට තරම් ආධ්‍යාත්මික දියුණුවක් ලබා සිටි එහෙත් රහත් බවට නොපත් හිමිවරුන් ගැන තොරතුරු දැක්වෙන කථාපුවත් ද අපේ අටුවාවන්හි හමු වේ. සුප්‍රසිද්ධ තලංගරවාසී ධම්මදින්න තෙරුන් වහන්සේ වරක් සිය ආචාර්යවරයා වූ උච්චාලිකාවාසී මහානාග තෙරුන්ගේ මගපල අවබෝධය ගැන සොයා බලා පිහිට වීමට උන් වහන්සේ හමුවට ගියහ. මූලික සාකච්ඡාවෙන් පසු ලද අධිගමය ගැන විමසූ විට හැට වසරකට පෙර රහත් බව ලැබිණැයි මහානාග හිමියෝ පළ කළහ. සමාධියට සමවැදී ඍද්ධියෙන් ඇතකු මවන ලෙස ධම්මදින්න හිමියෝ අයැදියහ. මහානාග තෙරුන් තමාම මැවූ ඇත්රුවට බිය වී දුවන්ට සූදානම් වූ විට සිවුරින් අල්ලා කමටහන් දුන්නෙන් කෙටිකලකදී රහත් බව පසක් කිරීමට ඒ හිමිට හැකි විය. මෙහි එන මහානාග හිමියෝ අභිඥාලාභියකු වූ හෙයින් රහත් වී ඇතැ යි සිතා සිටියහ. විසුද්ධිමග්ගයෙහි එන තවත් කථාවක දැක්වෙන පරිදි, මහාසංඝරක්ඛිත නම් වූ අසූ හැවිරිදි භික්ෂුවක් සුසිල්වත් හිමිනමක් වශයෙන් ප්‍රසිද්ධියට පත් ව විසූ හ. මහජනතාව සිතා සිටියේ උන් වහන්සේ රහත් නමක ලෙසිනි. උන් වහන්සේ මරණාසන්න ව සිටින බව ඇසූ දොළොස් යොදුනක මහජනයා එහි රැස් වූ හ. උන් වහන්සේගේ අධිගමය ගැන විමසූ විට තමන් තවත් පෘථග්ජන භාවයෙහි සිටින බව යට කී සංඝරක්ඛිත හිමියෝ ප්‍රකාශ කළහ. එමගින් තමන්ට අගෞරවයක් වන බව උපස්ථායක භික්ෂුව මහතෙරුන්ට දැන්වූයෙන් මොහොතක් තමාට අවකාශ දෙන ලෙස මහතෙරහු කීහ. කාමරයෙන් පිටවෙන්ට සූදානම් වන විට ම අසුරු ගසා උපස්ථායකයා කැඳවූ මහාසංඝරක්ඛිත තෙරුන් වහන්සේ තමන් ඒ මොහොතේ රහත් වූ බව දැක්වූ හ. තමන් එතෙක් රහත් බව ගැන කල්පනා නොකළේ මෛත්‍රිය බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තුව සිටි හෙයිනැයි දැක්වූ හ. මේ කථාවෙන් අනාවරණය වන්නේ රහත් බව ආසන්නයට ම ළං වන පරිද්දෙන් එතුමා කෙලෙසුන් යටපත් කර තිබූ බවකි.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දහසක් යන තුරු අධිගමය පවත්නා බව පිළිගෙන ඇත. එතෙක් සෝවාන් ආදි මගපල අවබෝධයට ඉඩ ඇත. දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වන පරිදි භික්ෂූන් නියම ලෙස ප්‍රතිපත්ති පූරණයෙහි නිරත වතොත් ලොව රහතුන්ගෙන් හිස් නො වේ. එසේ නම් අද ද මගපල පසක් කළවුන් නැතැ යි කිය නොහැකි ය. අටුවා හා ජනකතාවලට අනුව ලංකාවේ අවසන් රහතන් වහන්සේ ලෙස සැලකෙන්නේ මලියදේව තෙරුන් වහන්සේ ය. උන් වහන්සේ පිළිබඳ විසිතුරු කතාපුවත් අසන්ට ලැබේ. කෝට්ටේ යුගයේ වැඩ විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැලළිහිණි සන්දේශයේ එන පද්‍යයක් රචනා කර ඇත්තේ එබඳු ජනප්‍රවාදයක් ඇසුරෙනි:

ගිලිය නොදී සැට මහණන් බව මහණ

මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ

දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ

බැලිය හැකි වි නම් දැක වැඳ යා කලණ

කැලණි විහාර භූමිය තුළ මෙකී ඓතිහාසික සිද්ධිය අනුස්මරණය කෙරෙන ගොඩනැගිල්ලක් පැවති බව මින් අනාවරණය වෙයි.

මෙහි සඳහන් මලියදේව හිමියන් වාසය කළ කාලපරිච්ඡේදය නිරවුල්ව හඳුනාගෙන නැත. අටුවා කථාවල දැක්වෙන විස්තර තොරතුරු අනුව සුප්‍රසිද්ධ මලියදේව හිමියන් දුටුගැමුණු සද්ධාතිස්ස රජුන්ගේ කාලයේ වැඩ සිටියහයි සැලකේ. පසුකාලයේ මේ නමින් හැඳින්වුණු වෙනත් හිමිවරුන් ද විසූ බව පෙනේ. පාලි රසවාහිනියේ ද එහි අනුවාදයක් වූ සද්ධර්මාලංකාරයේ ද මලියදේව හිමි නමක් ගැන තොරතුරු දැක්වෙන කතාපුවතක් එයි.

සද්ධර්මාලංකාරයෙහි දැක්වෙන අන්දමට මෙකී මලියදේව හිමි දැදුරු ඔයට නුදුරුව පිහිටි සුලුගලු නම් විහාරයට ඍද්ධියෙන් වැඩ එහිදී සුලුගලු උපාසකයාගේ බෙහෙත් කැඳක් ලැබ දිගුකලක් තිස්සේ පැවැති උදරාබාධය සුවපත් කරගෙන ඇත. උපාසකයා බෙහෙත් පිළියෙල කරන අතරතුර ම තෙරුන්ගේ ඍද්ධ්‍යනුභාවයෙන් චුල්ලගල්ලත් සමග තව්තිසා භවනයට ගොස් සිළුමිණි සෑය ද වන්දනා කොට මෙතේ බෝසතුන් හමු වී යළි එම විහාරයට පැමිණ ඇත. මේ ගමනේ දී මෙතේ බෝසතුන්ගෙන් චුල්ලගල්ල ලැබූ මහඟු සළු යුගලය මහජනයාට පෙන්වා ඔවුනුදු පැහැදවූ බව මේ කතාවේ වැඩිදුරටත් විස්තර වේ (සද්ධර්මාලංකාරය, බෙන්තර සද්ධාතිස්ස සංස්කරණය, 1934, 695 පිට සිට ඉදිරියට). කලින් ද සඳහන් කළ පරිදි රහතුන් වහන්සේලා අතර අභිඥාලාභීන් මෙන් ම ශුෂ්ක විදර්ශකයන් ද සිටින බව ප්‍රකට කරුණක් වූව ද සිංහල බෞද්ධයන් වැඩිදෙනා රහතන් වහන්සේ ලෙස සලකනුයේ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙහි සමත් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා ය.

මහාචාර්ය පූජ්‍ය ගතාරේ ධම්මපාල හිමි