7/14/16

ආවාස පූජාවේ අනුසස්‌


කිවුල්දෙණියේ විජිතනන්ද හිමි,
නිග්‍රෝධාරාම සේනාසනය, පොල්පිටිය උතුර, මැටිකුඹුර, පොල්ගහවෙල.
පොදු මානුසික අවශ්‍යතා අතර ඇඳුම් පැළඳුම්, කෑම-බීම, ගෙවල්-දොරවල් සහ සෞඛ්‍ය පහසුකම් මූලික වේ. රටක්‌ පාලනය කරන රජයකින් ජනතාවට ඉටුවිය යුතු මූලික යුතුකම් වශයෙන් සැලකෙන මේ අවශ්‍යතා හතර, සසර දුක අවබොධ කරගෙන නිවන් දකින්න පැවිදි දිවියට ඇතුල්වෙච්ච භික්‌ෂුවටත් පොදුයි. ප්‍රත්‍යවේක්‌ෂා වශයෙන් සැලකෙන චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය ගිහි පරිභෝගයට වඩා පැවිදි පරිභෝගයේ විශාල වෙනසක්‌ තිබේ. භිකෂුන් වහන්සේ ආරාම පරිභෝග කරන්නේ, රැස්‌ කරන ධනයක්‌ ආරක්‌ෂා කිරීමට හෝ සොර සතුරු උවදුරකින් වැලකීමට හෝ නොවේ. සීත පීඩා, උෂ්ණ පීඩා වළක්‌වා ගන්න, ලේ බොන මැස්‌සන්, මදුරුවන්ගෙන් ආරක්‌ෂා වෙන්න, සුළඟ, අව්ව, වැස්‌ස සර්පාදීන්ගෙන් එන පීඩාවන් දුරුකරගන්න, විවිධ සෘතු උපද්‍රවවලින් ආරක්‌ෂා වෙන්න සහ සිත එකඟ කර ගැනීමේ පහසුව පිණිසත් කියන මේ කාරණාවලට.
ඉහත සඳහන් පරමාර්ථයන්ටත් වඩා පුළුල්වූ පරමාර්ථයන් මත විහාරාරාම ගෙඩනැගුණු බව ඒ සඳහා වැය කරන ලද විශාල ධන පරිත්‍යාගයන්ගෙන් පැහැදිලි වේ. පනස්‌ හතර කෝටියක්‌ ධනය ඡේතවනාරාමය සඳහාත්, විසිහත් කෝටියක්‌ ධනය පූර්වාරාමය සඳහාත් වැය කර තියෙන බව පොතපතේ සඳහන් වේ. ලංකා සාසන ඉතිහාසය අනුව අතීත රජදරුවන් මහා විහාරය, අභයගිරිය, ඡේතවනය වගේ සුවිසල් ආරාමත්, සත්මහල් ලෝවාමහා ප්‍රාසාදයත් භික්‌ෂුන් වහන්සේලාගේම ප්‍රයෝජනය උදෙසා ගොඩනැගුවා.
සක්‌විති රජ සැප අත්හැර, තුන් සෘතුවට ගැළපෙන රම්‍ය, සුරම්‍ය, සුබ වගේ දැකුම්කළු මහා ප්‍රාසාද අත්හැර මහන වුණු මහ බෝසතාණන් වහන්සේට ශාක්‍යයන් විසින් නිග්‍රෝධාරාමය, බිම්බිසාර රජතුමා විසින් වේළුවනාරාමයත්a, අනේපිඬු සිටුතුමා විසින් ඡේතවනාරාමයත්, විශාඛා උපාසිකාව විසින් පූර්වාරාමයත්, මහා ධන පරිත්‍යාගයන් සිදුකරමින් සකස්‌ කර පූජා කළා. පාවාරික සිටුවරයා කළ පාවාරිකාරාමය, කොසබෑ නුවර ඝෝෂිතාරාමය තවත් ඒ වගේ විහාර අතර වෙනවා. සුනාපරත්ත ජනපදයේ රත් සඳුන්වලින් විහාරයක්‌ බුදුරදුන් සඳහා ගොඩනැගූ බව පුණ්‌ණෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. මුලදී ගහක්‌ යට, ලෙනක්‌ තුළ වැඩ වාසය කරමින් බුදුන්වහන්සේගේ දහම් පණිවිඩය බෙදාහැරීමේ නිරතවෙලා හිටපු ශ්‍රාවක සංඝයා සඳහාත් බුදුන් දවස ආරාම ගොඩනැගූ බව අට්‌ඨක නාගර සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ. අට්‌ඨක නගර වැසි දසම කියන ගෘහපතියා ආනන්ද හිමියන් සඳහා පංචසතික විහාරයක්‌ කළ බවත්, චිත්ත ශෘහපති විසින් මහානාම හිමියන් සඳහා ආරාමයක්‌ කළ බවත් සඳහන් වෙනවා.
බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සංඝරත්නය පහළ වෙච්ච මුල් කාලයේ භික්‌ෂු සංඝයා ගල් ගුහා, වනාන්තර, ගස්‌ යට ආදී තැන්වල වැඩ වාසය කළා. ශාසනය ආරම්භක අවධියේ භික්‌ෂුන්ට අවශ්‍ය ආවාස ආදිය සකසා දීමක්‌ සිදුවෙලා නෑ. ඊට හේතුව තමයි බුදුන්වහන්සේ ලෝකයට පහළ වෙච්ච අලුත, සාසනයේ වටිනාකම තේරුම් ගෙන ඒ වගේ කටයුතු කරල දෙන්න දැනුවත් වෙච්ච පිරිසක්‌ නොසිටීම. මිනිසුන්ට බුද්ධ ශාසනයේ වටිනාකම වැටහුණේ සද්ධර්මය අහලා දැනුවත්භාවය ඇතිවුණාට පස්‌සේ. ඒ සඳහා සෑහෙන කාලයක්‌ ගත වුණා. ඊට පස්‌සේ බුදුන් වහන්සේ මුල්කරගෙන සංඝ රත්නය උදෙසා ගරු සැලකිලි, සිව්පස පූජාවන් ලැබෙන්න පටන්ගත්තා. 
එක්‌ අවස්‌ථාවක දායක පිංවතෙක්‌ භික්‌ෂුන් වහන්සේ නමකට කුටියක්‌ හදා දෙන්න ඇහුවම, බුදුරජාණන් වහන්සේ ආවාස පිළිගැනීමට අනුදැන වදාරා නැති නිසා භාරගැනීමට නොහැකි බවත්, බුදුන්වහන්සේගෙන් ඒ සඳහා අවසර අරගෙන දැනුම්දිය හැකි බවත් පැහැදිලි කළා. මේ කාරණය තථාගතයන් වහන්සේට දැනුම් දුන්නම ආවාස පිළිගැනීමට අනුදැන වදාළා. එතැන් පටන් ආවාස සකස්‌ කරල බුදුපාමොක්‌ මහ සඟරුවනට පූජාකරන්න සැදැහැවතුන් උනන්දු වුණා. 
වළගම්බා රජතුමා දෙමළ ජනයා සමග සටන් කර පැරදිලා කැලෑවේ ඉන්නකොට, මහා විහාරවාසී තිස්‌ නම් භික්‌ෂුවක්‌ පිඬුසිඟා ආහාර අරගෙන ගිහින් රජ පවුලට සංග්‍රහ කළා. කැලේ හිටපු රජතුමා ඇතුළු පිරිසට ආහාරය විශාල උපකාරයක්‌ වුණා. ඒ නිසා පසුව වළගම්බා රජතුමා, රජ වුණාම තමන්ට කළ උපකාරයට කළගුණ සැලකීමක්‌ වශයෙන් අභයගිරි විහාරය හදා තිස්‌ස හාමුදුරුවන්ට පෞද්ගලිකව පූජා කළා. පුද්ගලික ආරාමයක්‌ බාර ගැනීමේ වරදට මහා විහාරික භික්‌ෂුන් 'උක්‌ෙ€පනීය' කියන විනයකර්මයකින් aතිස්‌ස භික්‌ෂුව මහා විහාරයෙන් නෙරපා හැරියා. ඊට පස්‌සේ අභයගිරි නමින් නිකායක්‌ ඇතිවුණා. අභයගිරියෙන් කැඩී ගිය තවත් භික්‌ෂු පිරිසක්‌ ඡේතවන නමිනුත්. එයින් කැඩී ගිය තවත් පිරිසක්‌ සාගලිය නමිනුත් නිකායන් විදිහට බිහිවුණා. පෞද්ගලිකව ආරාමයක්‌ බාර ගැනිමේ ප්‍රථිපල වශයෙන් නිකාය භේදයන් ඇතිවෙලා නොයෙක්‌ ශාසනික අර්බුදත් පහළ වුණා. ඒ නිසා සතර දිගින් වඩිනා සංඝයා උදෙසා සඟසතු කර පූජා කිරීම තමයි ශාසනානුලෝමික වෙන්නේ.