5/20/13

පන්සිල් රැකීමේ අනුසස්.....


පන්සිල් රැකීමේ අනුසස්.....


තෙරුවන් සරණ ගිය බෞද්ධයාගේ නිත්‍යශීලය පඤ්චශීලයයි. අංග පහින් යුත් ශීලය පඤ්චශීලය හෙවත් පන්සිල් නම් වේ.

පන්සිල් රැකිය යුත්තේ කුමක් නිසාද?

බුදුරජාණන් වහන්සේ පිහිට කර ගත් ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි කර්ම කර්මඵල පිළිබඳ විශ්වාසය ඇති කරගනියි. චේතනාත්මක ව අප කයින් කරන වචනයෙන් කියන සිතින් සිතන දේ කර්මය යි. ඒ අනුව කර්මය, කායකර්ම , වචීකර්ම, මනෝකර්ම වශයෙන් ත්‍රිවිධ වේ. චේතනාත්මක ව සිදු කරන හොඳ (කුසල) නරක (අකුසල) කර්ම අනුව ඊට අනුරූප වන විපාකයක් (ප්‍රතිඵලයක්) ජනිත වීම කර්ම නියාමය යි. කෙනෙකු සිදු කරන කර්මවලින් ඇතැම් කොටසක් මේ ජීවිතයෙහි දීම විපාක දෙන අතර එයට ‘දිට්ඨධම්මවේදනීය කර්මය’ යයි කියනු ලැබේ.

කෙනෙකු සිදු කරන කර්මවලින් තවත් කොටසක් අනතුරු ජීවිතයෙහි දී විපාක දෙන අතර එයට ‘උපපජ්ජවේදනීය කර්ම’ ය යි කියනු ලැබේ.කෙනෙකු සිදු කරන කර්මවලින් තවත් කොටසක් මතු දෙවන ජීවිතයෙහි පටන් පරිනිර්වාණය දක්වා විපාක දෙන අතර එයට ‘අපරාපරියවේදනීය කර්ම’ ය යි කියනු ලැබේ. ඒ අනුව චේතනාත්මක ව සිදු කරන කුසල අකුසල කර්ම වඳ නො වන බවත් අවස්ථාවලත් කල්හි විපාක දෙන බවත් ධර්මයට අනුව පැහැදිලිය. එනිසා කයින් වචනයෙන් දුශ්චරිතයන්හි යෙදෙන්නවුන්ට අවස්ථානුකූ®ල ව එහි දුක් විපාක ලැබෙන බැවින් එම දුශ්චරිතයන්ගෙන් වැළකීම මෙලොව පරලොව දෙලොව සැප ලැබෙන මඟක් වේ.

සතුන් මැරීමාදි දුශ්චරිතවලින් වැළකිය යුත්තේ ඒ නිසාය.එසේම නිවන්මඟ වන ආර්යෂ්ටාංගික මාර්ගයෙහි පදනම ද ශීලයයි. එනිසා මෙලොව පරලොව දුක් අකමැති ලෞකික ලෝකෝත්තර සැප කැමති සත්පුරුෂයෝ දුශ්චරිත දුරු කොට සිල්වත් ජීවිතයක් ගත කළ යුත්තාහ. පන්සිල්හි අන්තර්ගතවන සංවරය , ධර්මානුකුªලව මෙන්ම ලෝක සම්මතය අනුවද ඇති කර ගන්නා මුලික හා අවම සංවරයයි. මෙම සංවරයෙන් තොර වුවෝ ධාර්මිකලෝකයා අතරද පිළිකුල් කටයුතු වෙති.

පන්සිල් වනාහි කයින් සහ වචනයෙන් සිදු වන මෙම දුශ්චරිත පසෙන් වැළකීමයි. එනම්

1. පරපණ නැසීමෙන් වැළකීම (පාණාතිපාතා වේරමණී)
2. නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම (අදින්නාදානා වේරමණී)
3. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම (කාමේසු මිච්ඡාචාරා වේරමණී)
4. බොරු කීමෙන් වැළකීම (මුසාවාදා වේරමණී)
5. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරයමජ්ජපමාදට්ඨානා වෙරමණී)

මෙම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලයයි. පන්සිල් හොඳින් රැකීමට නම්, මෙම දුශ්චරිත සිදුවන අයුරු ද වටහා ගත යුතුය.ඒ මෙසේයි.

1. ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදු වන අයුරු

1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනීම
3. මරණ චේතනාව
4. මරණ උපක්‍රමය
5. එම උපක්‍රමයෙන් මරණය සිදුවීම

ප්‍රාණඝාතයක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් ප්‍රාණඝාතයක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

2. අදත්තාදානය (සොරකම ) සිදු වන අයුරු

1. අන්සතු වස්තුවක් වීම
2. අන්සතු වස්තුවක් බව දැනීම
3. සොරා ගැනීමේ චේතනාව
4. සොරකම් කිරීමේ උපක්‍රමය
5. තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම

සොරකමක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සොරකමක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

3. කාම මිථ්‍යාචාරය (කාමයන්හි වරදවා හැසිරීම) සිදුවන අයුරු

1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

කාමයන්හි වරදවා හැසිරීමට මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් කාමයන්හි වරදවා හැසිරීමක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

4. මුසාවාදය (බොරු කීම) සිදු වන අයුරු

1. කියන කරුණු බොරු අසත්‍යයන් වීම
2. අන්‍යයන් රැවටීමේ චේතනාව
3. එය ඇඟවීම
4. එයින් අසන්නා මුළාවීම

බොරුකීම සඳහා මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් බොරු කීමක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

5. සුරා පානය සිදු වන අයුරු

1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම
2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව
3. ඒ සඳහා උත්සාහ කිරීම
4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම

මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සුරා ආදි මත්ද්‍රව්‍ය භාවිතයක් සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

මෙම දුශ්චරිතයන්ගෙන් වැළකුණු තෙරුවන් සරණ ගිය උපාසකයා සිල්වතෙක් වේ. බොහෝ දෙනෙකු යහපත්දෙයක් හෝ අයහපත් දෙයක් කිරීමට උත්සාහවත් වන්නේ ඉන් තමාට ලැබෙන ප්‍රයොජන සලකා ගෙනය. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකුට එයින් බොහෝ ආනිසංස ලබා ගත හැකි වෙතත් වැඩිදෙනෙක් එම ආනිසංස නො දන්නා බැවින් සිල්වත් ජීවිතයක් ගත කිරීමට උනන්දු නො වෙති. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකුට පහත සඳහන් ආනිසංස ලැබෙන බව දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වේ.

1. සිල්වත් ශ්‍රාවකයා නො පමා බව නිසා බොහෝ භෝග ලබයි.
2. සිල්වත් ශ්‍රාවකයා පිළිබඳ වූ කීර්තිරාවයක් උස්ව නැඟේ
3. සිල්වත් ශ්‍රාවකයා යම් පිරිසක් වෙත එළඹෙද හෙතෙම විශාරදව ම එළඹෙයි.
4. සිල්වත් ශ්‍රාවකයා සිහි මුළා නොවී කලුරිය කරයි
5. සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙයි.

තවද පන්සිල් රකින්නා වූ ශ්‍රාවකයාට වෙන වෙන ම ලැබෙන ආනිසංස පිළිබඳ ව පරමත්‍ථජෝතිකා නම් වූ ඛුද්දකපාඨ අට්ඨකථාවෙහි මෙසේ සඳහන්වේ.

ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මනා අඟපසඟින් යුතුව ඉපදීම ආරෝහපරිනාහයෙන් (මනා උස මහතින්) යුක්ත වීම, ජවයෙන් (ශක්තියෙන්) යුතු වීම,පොළොවෙහි මැනවින් පිහිටන යටිපතුල් ඇති බව, මනෝඥ බව, මෘදු බව, පිරිසුදු බව, ශුරභාවය, මහාබල ඇති බව, ඇදහිය හැකි වචන ඇති බව, ලෝකයාට පි‍්‍රය වන බව, නිදොස් බව, නො බිඳිය හැකි පිරිස් ඇති බව, තැති නො ගන්නා බව, විනාශ කළ නො හැකි බව, අන්‍යයන්ගේ උපක්‍රමයකින් නො මැරෙන බව, බොහෝ පිරිවර ඇති බව සුරූපී බව, මනා සටහන් (හැඩ) ඇති බව, අල්පාබාධ බව, ශෝක නො කරන බව, පි‍්‍රය මනාප වූවන්ගෙන් වෙන් නොවන බව, දීර්ඝායුෂ්ක බව යනාදී ආනිසංස ලැබේ.

නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම නිසා මහාධනවතෙකු වීම, බොහෝ භවභෝග සම්පත් ලැබීම, ප්‍රමාණ කළ නො හැකි තරම් සම්පත් ලැබීම, නො ලද සම්පත් ලැබීම, ලද සම්පත් විනාශ නොවීම, කැමති වන සම්පත් වහා ලැබීම, තමාගේ සම්පත් රජුන්, සොරුන්, අපි‍්‍රයයන් විසින් පැහැර ගත නො හැකි වීම මෙන් ම ගින්නෙන් ජලයෙන් විනාශ නො වී, අන්‍යයන්ට සාධාරණ නො වන ධනය ලැබීම, ලොව උතුම් කෙනෙකු වීම, තමාට අසවල් දෙය නැතැ’ යි කියන බව නො දැනීම, සැප සේ විසීම යනාදි ආනිසංස ලැබේ.

කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම නිසා සතුරුබිය නැතිවීම, බොහෝ දෙනාට පි‍්‍රයමනාප වීම, අපායභය සන්සිඳීම, ස්ත්‍රිභාවය හෝ නපුංසකභාවයට පත් නොවීම, සමාජයෙහි නො පසු බෑම, පිරිපුන් ඉන්ද්‍රියයන් ඇතිවීම ස්ත්‍රීපුරුෂයන්ට ඔවුනොවුන් පි‍්‍රය වීම යනාදි ආනිසංස ලැබිය හැකි බව පෙනේ.

බොරුකීමෙන් වැළකීම නිසා ප්‍රසන්න ඉන්ද්‍රියයන් ඇති බව, මිහිරි වදන් ඇති බව, මනා සුදුවන් දත් ඇති බව, තරබාරු නො වීම, වඩාත් කෘශ නොවීම. වඩාත් උස් නොවීම, වඩාත් මිටි නොවීම, සැප පහස ඇති බව, මානෙල්මල් සුවඳ හමන මුඛයක් ඇති වීම, කීකරු පරිවාර පිරිසක් ඇති බව, ඇදහිය යුතු වචන ඇති බව, නෙළුම්පතක් මෙන් මෘදු තුනි රතුවන් දිවක් ඇති වීම, නො සන්සුන් නොවීම, චපල (ස්ථිර වචන නැති) නො වීම යනාදි ආනිසංස ලැබේ.

රහමෙර (මත්ද්‍රව්‍ය ) භාවිතයෙන් වැළකීමෙන් අතීත අනාගත වර්තමාන යන තුන්කල්හිම කළ යුතු කටයුතුවල දී වහා වැටහෙන සුලු බව, සෑම කල්හි මනා සිහියෙන් යුතු වීම, උමතු නොවීම , ඥානවන්ත වීම, අලස නොවීම, අඥාන නො වීම, කෙලතොලු නොවීම, මත් නොවීම, ප්‍රමාද නො වීම, මුළා නොවීම, තැති නො ගැනීම, එකටෙක නො කිරීම, ඊර්ෂා නො කිරීම, සත්‍යවාදි බව, කේලාම් නොකීම, පරුෂවචන නො කීම, නිරර්ථකවචන නො කීම, දිවාරාත්‍රී මැලි නොවීම, කෘතඥ වීම, මසුරු නො වීම, ත්‍යාගශීලි වීම, සිල්වත් වීම, ඍජු වීම, ක්‍රෝධ නො කිරීම, පාපයට ලජ්ජා වීම, පාපයට බිය වීම, ඍජු වූ (නිවැරදි ) දෘෂ්ටියෙන් යුතු වීම, මහාප්‍රාඥයෙකු වීම, නුවණැත්තෙකු වීම, පණ්ඩිතයෙකු වීම, අර්ථානර්ථ දැනගැනීමෙහි දක්‍ෂ වීම යනාදි බොහෝ ආනිසංස ලැබේ.

මෙබඳු අනේක ආනිසංස ගෙන දෙන්නා වූ පන්සිල් රැක ස්වර්ග මෝක්‍ෂ සම්පත් ලැබ ගැනීමට නුවණැති සත්පුරුෂයෝ වෑයම් කරත්වා!


                                                                                                             - From Dharma Danaya Pinisai Page -